උපුල්වන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(උත්පලවර්ණ) බුදුන්වහන්සේ වදාළ මෙහෙවරින් සක් දෙව්රජහු විසින් ලක්දිව රැකීම භාරදෙන ලද දෙව්පුත් තෙමේ උපුල්වන් නමි. හෙතෙම හින්දු ආගමික ග්‍රන්ථාන්තරයන්හි සඳහන් වන දෙවියෙක් නොවේ. පිරිනිවන් මංචකයෙහි වැදහොත් බුදුන්වහන්සේ විජය කුමරු හා පිරිස සත්සියයක් දෙනා ලක්දිවට ගොඩ බට බවත් මතු දවස ලක්දිව බුදු සසුන් පිහිටන බවත් වදාරා ඔවුන් හා ලක්දිව රක්නා ලෙස සක් දෙව්රජුහට නියම කළ කල්හි ඔහු විසින් එම කටයුත්ත උපුල්වන් දෙව්පුත්හට පවරන ලදැයි වංසකථාවන්හි (දී.ව. 9.24-25; ම.ව. 7.3-5) එන විජයාගමන විස්තරයෙහි ලා ඔහුගේ නම පළමු වරට අපට දක්නට ලැබේ. සක් දෙව්රජුගෙන් අණ ලත් විගස උපුල්වන්හු ලක්දිව් පැමිණ පරිව්‍රාජක වේෂයෙන් ගසක් මුලට එළඹ හුන් බවත් එකල විජය හා පිරිස ඔහු කරා ගොස් තමන් පැමිණ ඇත්තේ කවර නම් දිවයිනකට දැයි විමසූ විට ලක්දිවට යයි කියා ඔවුන්ට කෙංඩියකින් (පිරිත්) පැන් ඉස ඔවුන් අත්හි (පිරිත්) නූල් බැඳ ගිය බවත් මහාවංසයෙහි (7.6-9) වැඩිදුරටත් සඳහන් වෙයි. මහාවංස ටීකාවෙහි එන “(විජය කුමරු)... පළමුව ම උපුල්වන්හට බිලියම් කීරිමෙන් අවි පැහැරීම් ආදි තමාගේ නය ද... සියල්ල නොවරදවා කොට” (...පඨමමෙව උප්පලවණ්ණස්ස බලිකම්මකරණෙනාවුධපතනාදි අත්තනො නයඤ්ච... සබ්බං අවිරජ්ඣිත්වා කත්වා) යනාදි පාඨයෙන් ඔහු විජය කුමරුගේ ජන්මභූමිය වූ ලාට දේශයෙහි වැඳුම් පිදුම් ලත් කිසියම් වැදගත් දෙවියකු ලෙස මුල් කාලයෙහි සිංහලයන් විසින් සලකන ලද බව පෙනේ. ඇතැම් තන්හි ඔහුගේ නම උප්පලපත්ත (මහාවංස ටීකා - බටුවන්තුඩාවේ, 180 පිටුව) හෝ උප්පලදත්ත හෙවත් උපුල්දත් (මහා බෝධිවංස ගැටපද විවරණය - 1910, 120 පිටුව) යන ලෙසින් ද සඳහන් වී ඇත.

විජයාගමන කථාවෙන් පසු උපුල්වන්හු පිළිබඳ ප්‍රවෘත්තියක් අපට අසන්නට ලැබෙන්නේ අනුරාධපුරයෙහි සත් දවසකුත් (ක්‍රි.ව. 659) රුහුණෙහි තුන් අවුරුද්දකුත් රජ කළ පළමුවන (සාමි) දප්පුල හෙවත් දාපුලු සෙන් නම් රජු දවස ඔහු කිහිරි කඳක වෙසින් මුහුදින් වැඩම කළ බව කියැවෙන පරම්පරාගත කථාවකිනි. දේවාරූඪ කිහිරි කඳක් දෙවුන්දර වෙරළට පාවී ආ බවත් ඒ දැක එහි රැස් වූ මිනිසුන්ට ගොඩට ගන්නට ඉඩ නොහැර එය ඈත් මෑත් වෙමින් තිබිය දී ඒ බව අසා දාපුලු සෙන් රජු එතැනට පැමිණි බවත් ඉන් පසු එය වේගයෙන් ඇදී අවුත් වෙරළෙහි වැලි පිට පිහිටි බවත් ඊට සුදුසු පුදසත්කාර පැවැත්වූ රජු ඉන් දෙව්රුවක් කරවන්නට සිතා ඒ සඳහා සමත් කාර්මිකයන් නොලැබ දොම්නසින් සිටිනා අතර මහලු වෙසින් එහි පැමිණි විශ්වකර්ම දිව්‍යපුත්‍රයා එම කිහිරි කඳින් ජීවමානාකාරයෙන් වැඩසිටි දෙව්රුවක් නිර්මාණය කළ බවත් ඉන් කියැවෙයි. සාමි දප්පුල රජ ඛදිරාලි විහාරය ද කොට දෙව් (රජු) පිදී යයි මහාවංසයෙහි (45.55) සඳහන් වන හෙයින් මේ පරම්පරාගත කථා ප්‍රවෘත්තිය සනාථ වෙයි. “දෙව් (රජු) පිදීය” (දෙවමපූජයි) යන තන්හි “උපුල්වන් දෙව් (රජු)” යයි වෙසෙසා සඳහන් නොකරන ලද්දේ එකල ඔහු මෙරට වැසියන්ගේ අසහාය දෙවියා වූ හෙයිනැයි හැඟේ. මෙසේ දප්පුල රජු උපුල්වන් පිදීම යළි ඇරඹුව ද දෙව් රජු පිහිටුවා දෙවිනුවර කරවන ලද්දේ ලැමැණි දළුපතිස් නම් රජුහු බෑ සිරිසඟබෝ යන නම් ඇති සිව්වන අග්‍රබෝධි රජු (667-683) විසිනැයි පූජාවලි, රාජරත්නාකර, රාජාවලි ආදි ග්‍රන්ථයහි සඳහන් වන්නේය. එහෙත් පැරකුම්බා සිරිතෙහි සඳහන් වන්නේ දාපුලු සෙන් රජු විසින් ම ඒ කරවන ලද බවයි.

උපුල්ටත් තෙමේ කිහිරැළි උපුල්වන් යන නමින් ද හඳුන්වනු ලැබේ. ඔහු කිහිරි කඳක වෙසින් පැමිණි හෙයින් එනම් වූහයි සැලකූ ඇතැමෙක් කිහිරැළි යන්න ඛදිරදේහලී යයි පාලියට නැඟූහ. එතෙකුදු වුවත් ඛදිරාලි විහාරය යන තන්හි මේ කිහිරැළි යන පදය ම ඛදිරාලි යයි පාලියට නඟා ඇත. දෙවුන්දර ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අටවන සියවසට අයත් සෙල්ලිපියක “ගිරියළ කිහිරැළි පිරුවන” යන්නක් සඳහන් වෙයි. ගිරියළ යන්න පරෙවි සන්දේශයෙහි (195) එන “කිහිරැළි උපුල්වන්-දෙව්රජුනි ගිරිහෙළ පුර” යන තන්හි ගිරිහෙළ පුර යන ලෙසින් ද දක්නට ලැබෙන හෙයින් එය දෙවිනුවර හෙවත් දෙවුන්දර හැඳින්වුණු පැරණි නම බවට සැකයක් නැත. කිහිරැළි යන්න කීරැළි (පූජාවලිය, 34 පරි.), කීරොළ (රාජාවලිය) ආදි වශයෙන් ද දක්නට ලැබේ. දෙවුන්දර ප්‍රදේශයෙහි කිහිරි කඳ ගොඩ ගැසූ ස්ථානය ලෙස සැලකෙන වැල්ල මෙකල හැඳින්වෙන්නේ කීරළ වැල්ල යන නමිනි. මේ කරුණු සලකා බලත් ම දෙවුන්දර උපුල්වන් දේවාලය පිහිටි ස්ථානය එකල කීරළ (කිහිරළ) යන නමින් හැඳින්වුණු බවත් එම කීරළ (කිහිරළ) නිවාස ස්ථානය කොටගත් හෙයින් උපුල්වන්හු කීරැළි හෙවත් කිහිරැළි යන නමින් වෙසෙසා හැඳින්වුණු බවත් පෙනේ.

දාපුලු සෙන් රජු දවස පටන් දඹදෙණි පුර දෙවැනි පරාක්‍රමබාහු රජු (1236-1270) දවස දක්වා උපුල්වන්හු ගැන තොරතුරක් අපට අසන්නට නොලැබේ. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ එකොළොස් වැන්නෙහි චන්ද්‍රභානු ප්‍රමුඛ ජාවක සෙනඟ ලක්දිව ආක්‍රමණය කළ කල්හි රජුගේ බෑනා වූ වීරබාහු නම් කුමරු ඔවුන් හා යුද කොට ඔවුන් පලවා හැර දෙවුන්දරට ගොස් උපුල්වන් දෙව්රජු වැඳ ඔහුට පූජාවක් ද කැරවූ බවත් (83.49) නැවත එම රජු දෙවුන්දර උපුල්වන් දෙව්රජ මැදුර කල්යෑමෙන් දිරාපත්ව ඇති බව අසා එහි ගොස් අලුත් කොට දේවාලය කරවා එම දෙව්රජුට වර්ෂයක් පාසා ඇසළ පෙරහැර පවත්වන ලෙස ද නියෝග කළ බවත් (85.85-89) මහාවංසයෙහි සඳහන් වෙයි. තම දෙවිසිවන අවුරුද්දෙහි හටගත් බලවත් කායිකාබාධයක් නිසා එම දෙවැනි පරාක්‍රමබාහු රජුගේ බස වික්කල්ව ගිය හෙයින් “ලංකාරක්ෂායෙහි නියුක්ත උත්පලවර්ණ දෙව්මහරජ්ජුරුවන්” වහන්සේගේ අනුග්‍රහය ලබාගැනීම පිණිස දේවපතිරාජ නම් අග්‍රාමාත්‍යවරයා පුදපඬුරු හා සමඟ දෙවුන්දරට පිටත් කර යැවූ බවත් ඔහු එහි ගොස් එම වර්ෂයෙහි ඇසළ පූජාව අත්‍යලංකාරයෙන් පවත්වා, ගෙන ගිය පුදපඬුරු ඔප්පු කොට, පෙහෙව වැතිරුණු කල්හි මධ්‍යම රාත්‍රියෙහි උපුල්වන් දෙව්රජු බ්‍රාහ්මණ වේෂයෙන් ඉස්දොර පෙනී සිට “කෙකටිය මලෙහි වක හැරෙන නමුත් තොපගේ රජ්ජුරුවන්ගේ බසෙහි වික්කලු නොහැරෙයි” කියා කවියක් බැඳ ස්වප්නයෙන් පෙන්වා කී බවත් ඒ බව සැල කළ තැන රජු “අපගේ පූර්ව ජාතියෙහි විපාක දී ශේෂව සිටි අකුශලය දැන් කොයි පනතේ උත්සාහ කළත් ශාන්ත නොවන රඟ දෙව්මහරජ්ජුරුවන්වහන්සේ පෙන්වූවා මහත් වූ උපකාරයකැ”යි වඩාත් පැහැද දෙව්රජුහට තව තවත් පුදපූජා පැවැත්වූ බවත් අලුත්නුවර දේවාලය පිහිටුවීම හා සම්බන්ධ පැරණි ලිපියකින් හෙළි වෙයි. දඹදෙණි යුගයෙහි දී යළිත් උපුල්වන්හු බලවත්ව සිටි බවත් එවක ද ඔහු ලංකාරක්ෂායෙහි නියුක්ත දෙව්රජු ලෙස පුද සත්කාර ලත් බවත් මේ තොරතුරුවලින් නිගමනය කළ හැකිය. දෙවැනි පරාක්‍රමබාහු රජුගේ යටකී දේවපතිරාජ ඇමැතිවරයා දෙවුන්දර පිහිටුවූ සෙල්ලිපියක් ද දක්නට ලැබේ.

ඉක්බිති යාපහු නුවර රජ කළ පළමුවැනි භුවනෙකබාහු රජු (1272-1284) දවස උපුල්වන්හු පද්දාවෙල අස්සද්දනා පිරුවන් තෙර සාමීන්ට සිහිනෙන් පෙනී තමාට දේවාලයක් කරවා දෙන ලෙස දැන් වූ හෙයින් උන්වහන්සේ ඒ බව රජුට සැල කළ බවත් ඒ ඇසූ රජු විජයසුන්දර නම් මූලාචාරීන් ලවා දෙමහල් දෙව් මැදුරක් කරවා “ගිරිවස පැවත ආ බෝ අරක් මේනාවන්” ලවා එගමට දකුණු දිග පිහිටි මහත් සපු රුකක් සුබ මොහොතින් කප්වා දෙව්රුව හා චන්ද්‍රවතී බිසෝ රූපයත් නීල වර්ණයෙන් නෙළවා දෙව්නුවරින් ගෙන්වාගත් රන් ආවුදත් තැන්පත් කොට එම පද්දාවෙල ගමට අලුත්නුවර යයි නම් තබා දෙවුන්දර දේවාලයෙහි පුදසිරිත් එහි ද පවත්වන ලෙස නියෝග කළ බවත් යටකී අලුත්නුවර දේවාලය පිළිබඳ විස්තරයෙන් වැඩිදුරටත් පැවැසෙයි. එහෙත් මහාවංසයෙහි (90.100-102) දැක්වෙන්නේ කුරුණෑගල් පුරයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු (1302-1326) මායාදුනු රටෙහි අලුත් නුවරක් හා දෙමහල් දේවාලයක් කරවා එහි උපුල්වන් දෙව්රුවක් පිහිටුවා පුදපූජා පැවැත් වූ බවකි. දැනට අලුත්නුවර දේවාලයෙහි දැඩිමුණ්ඩ නම් දෙවියකු පුදසත්කාර ලබතත් මූල දී එය උපුල්වන් දේවාලයක් වූ බව මේ කරුණුවලින් හෙළි වෙයි.

උපුල්වන්හු ගැන එතෙක් අසන්නට නොලැබුණු අපූර්ව තොරතුරු කිහිපයක් ගම්පොළ හා කෝට්ටේ යුගයන්හි කරන ලද ඇතැම් සන්දේශ පොත්වල සඳහන්ව ඇත. ඔහු හින්දු දේවගණය කෙරෙහි ඇතුළත් නොවතුදු තිසර (16), පරෙවි (206), කෝකිල (32) යන සන්දේශවලට අනුව හෙතෙම අසුරයන් ජය ගත් දෙවියෙකි. මෙරට වංසකථාවන්හි එන තොරතුරු හැර බෞද්ධ සාහිත්‍යයෙහි අන් කිසි තැනක ඔහු ගැන යමක් සඳහන් නොවතුදු ඔහු බුදුමඟුල් වූ දිනයෙහි විදුරසුන් පත් සිදුහතු හා සටනට ආ වසවත් මර සෙනඟට නොබියව මුහුණ දී සැව්බල පෑ බව මයූර (4), කෝකිල (30) යන සන්දේශවලින් පැවැසෙයි. සඳවන් නම් බිසවක හා තම කුලයෙහි දිනූ දුනු නම් දෙව්රජකු ඔහු වෙත වූ බව පරෙවි සන්දේශයෙන් (205, 206) හෙළි වෙයි. ලක්දිවට අරක් ගත් වරම් දෙව්මහරජුන් සිව්දෙනා අතුරෙහි ඔහු මුල්තැන් ගත් බව හංස සන්දේශයෙහි එන එක් කවියකින් (198) වටහාගත හැකිය. එහි ම එන “මුනිඳුන් උපුල්වන්-සුරිඳුන් නරනිඳුන් වෙත, බැති සිත රකින තම පණ සතර වැනි කොට” (50) යන සැහැලි දෙපදය උපුල්වන්හු කෝට්ටේ යුගයෙහි දී ද මෙරට වැසියන්ගේ අසහාය දෙවියා වූ බවට බලවත් සාධකයකි.

ගම්පොළ නුවර සවැනි භුවනෙකබාහු රජුගේ (1341-1351) ලංකාතිලක සෙල්ලිපියෙහි “ලංකාවට අරක්ගත් කිහිරෙළි උපුල්වන් දෙවිරජ්ජුරුවන් වහන්සේ” යනු විසින් ලක්දිවට අරක් ගත් දෙව්රජුන් අතුරෙහි උපුල්වන් තෙමේ මුලින් ම සඳහන් කරනු ලබයි. එම රජු විසින් ම ගඩලාදෙණි විහාරයට ආරක්ෂාව සඳහා උපුල්වන් (?) දෙව්රජ ගෙයකුත් කරවන ලද බව ඔහුගේ ගඩලාදෙණි සෙල්ලිපියෙන් (ලං.ශි.සං., IV, 90-110 පිටු) පෙනේ. උපුල්වන්හු බුදු සසුන් රැකීමට සක් දෙව් රජුගෙන් වර ලද්දකු නිසා විහාර ආරක්ෂාව ද ඔහු සතු වූ මෙහෙයක් බව සලකාගත හැකිය. ලංකාතිලක තඹ සන්නසෙහි ද ලංකාවට අරක් ගත් දෙවිරජුන් අතුරෙහි ඔහුගේ නම මුල් තන්හි දක්වා ඇත. සවැනි පරාක්‍රමබාහු රජු විසින් (උපුල්වන්) දෙව් රජුට දෙවුන්දර අසල නායිමන ගම පුදා පිහිටුවන ලද දෙමළ සෙල්ලිපියක් ද එම රජු දවස විසූවකු ලෙස සැලැකෙන අරුතන්ත්‍රී නමැත්තකු විසින් දෙවුන්දර පිළිමගෙට හා දෙව් රජ්ජුරුවන්ට පොල්වත්තක් පුදා පිහිටුවන ලද සෙල්ලිපියක් ද 1520 දී සත්වැනි විජයබාහු රජු (1509-1521) විසින් උත්පලවර්ණ දෙවිමහරජ්ජුරු ස්වාමීන් සන්තක කොට නැකැති වේදවියාසරුන්ට සිත්තටිය ගම දී ප්‍රදානය කරන ලද තඹ සන්නසක් ද දක්නට ලැබේ.

ගම්පොළ හා කෝට්ටේ යුගයන්හි විසූ ගිහි පැවිදි වියතුන් විසින් උපුල්වන්හුගේ නිල් සිරුර, කිරුළ, නළල්පට, බැම, දෙනෙත, තෝඩු යුවළ, මුහුණ, උර, මුතුවැළ, දෙඅත, වසාරොද, නැබ, තුන්විලි, වටොර, දඟ, පතුල්, නිය හා තෙදබල යසඉසුරු වනමින්, තමන් හිතවත්කම් පෑ රජදරුවන් ආදීන්ට ඔවුන්ගේ මනදොළ සපුරා යසඉසුරු සාදා දෙන්නැයි යදිමින් දෙවුන්දරට එවුණු මයූර, පරෙවි හා දෙවුන්දරින් යැවුණු තිසර, කෝකිල යන සන්දේශවලින් එකල මෙරට වැසියන් තුළ ඔහු කෙරෙහි මහත් භක්තියක් පැවැති බව තවදුරටත් ස්ඵුට වෙයි. එසේ ඔහු යදින ලද්දේ ලක් රජුන් හා බුදු සසුන රැකීම ඔහු සතු කාර්යභාරය වූ (පරෙවි, 201; කෝකිල, 23) හෙයිනි. රජුනට මතු නොව යදින කාහට වුව ද ඔහු පිරිපත දුරලා යස තෙද සුව නුවණ ආසිරි ඈ දෙන බව (මයූර, 148) ප්‍රකටය. එහෙත් පරසතුරු වියවුල් නිසා බමුණු මත පැතිරී ගිය පසු කාලයෙහි ඔහුගේ ඇතැම් දේහලක්ෂණත් බලමහිමයත් සලකා ඔහුත් හින්දුන්ගේ බලවත් දෙවි කෙනකුන් වන විෂ්ණුහුත් එක් දෙවියකු ලෙස සැලැකෙන්නට වන් බව පෙනේ. එතෙකුදු වුවත් කෝට්ටේ මුල් අවධියෙහි ඔහුගේ ස්වාධීන ලක්ෂණ පැවැති බවත් ඔහුත් විෂ්ණුහුත් දෙදෙනකු ලෙස සැලැකුණු බවත් සමකාලීන සන්දේශ පොත්වලින් (තිසර, 21; කෝකිල, 23) හෙළි වෙයි.

සන්දේශවලින් හෙළිවන ඇතැම් තොරතුරුවලින් ගම්පොළ හා කෝට්ටේ යුගයන්හි දී උපුල්වන්හු කෙරෙහි මහායාන ලක්ෂණ ආරෝපිතව තුබූ බව පෙනේ. 1410 දී යුං ලෝ නම් චීන රජු දෙවිනුවර දෙවියන්ගේ කීර්තිය අසා පුද පඬුරු එවූ බව ගාල්ලේ ත්‍රිභාෂා පුවරුයෙහි දෙමළ සෙල්ලිපියෙන් (ලං.ශි.සං., III, 331-341 පිටු) පැවැසෙන හෙයින් ද දෙවිනුවර දෙවියන් කෙරෙහි තමන්ගේ බැතිමත්බව පළ කරනු පිණිස චීන රජුන් විසින් කරන ලද අණින් මෙරට වැසියන්ගේ අකුරින් ලියවා පිහිටුවන ලද ටැම් ලිපි දක්නට ලැබුණු බව ද කේරෝස් නම් පෘතුගීසි ඉතිහාසඥයා (The Temporal and Spiritual Conquest of Ceylon, 35 පිටුව) කියන හෙයින් ද මහායානිකයන් වූ චීනුන්ගේ වන්දනමානනයට භාජන වීමට තරම් මහායාන ලක්ෂණ එකල උපුල්වන්හු කෙරෙහි විද්‍යමාන වූ බව ඔප්පු වෙයි. මේ ආදි කරුණු හේතුකොටගෙන වරක් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා උපුල්වන් තෙමේ ද අවලෝකිතේශ්වර නාථ නම් මහායාන බෝධිසත්ව තෙමේ ද එක් ම කෙනෙකැයි අදහසක් පළ කෙළේය.

උපුල්වන් නමින් මෙරට වැසියන් විසින් හඳුන්වන ලද්දේ වරුණ නම් වෛදික දෙවියා යයි ආචාර්ය පරණවිතාන මහතා දෙවන වරට (1953 දී) තවත් අදහසක් පළ කෙළේය. ඒ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන සාධක සැකෙවින් මතු දක්වනු ලැබේ:

උපුල්වන් යනු බහුව්‍රීහි සමාසයක් නොව එක ම වරුණ දෙවියා හඳුන්වන උපුල්ය, වන්ය යන නම් දෙක එක් වීමෙන් සැදුණු සමාස පදයකි. වරුණ දෙවියා හැඳින්වූ ‘වණ’ යන පැරණි සිංහල ශබ්දයක් වූවා විය හැකිය. එය පාලියට නැඟුවන් ඉන් ‘වණ්ණ’ යන රූපය සාදාගත් බවට සාරත්ථප්පකාසිනී නම් පාලි අටුවාවේ ඉංග්‍රීසි සංස්කරණය දෙස් දෙයි. පැරණි සිංහලයන් වරුණ දෙවියා ඇදහූ බව ඉතා මුල් කාලයෙහි බ්‍රාහ්මී සෙල්ලිපියකින් හෙළි වෙයි. උපුල් යනු සමුද්‍රයට අධිපති වූ වරුණ දෙවියා හැඳින්වීම පිණිස යෙදිය හැකි “ජලය පාලනය කරන්නා” යන අදහස ඇති උදපාල යන්නෙන් බිඳුණා විය හැකිය. එය ම යළි උප්පල යන ලෙසින් පාලියට ද ඒ අනුසාරයෙන් උත්පල යයි සංස්කෘතයට ද නඟන ලදි.

සිංහල සන්දේශ කාව්‍යවල උපුල්වන්හු කෙරෙහි දක්වා ඇති ඇතැම් ලක්ෂණ වරුණ දෙවියා කෙරෙහි ද දක්නට ලැබේ. උපුල්වන්හුගේ බිසව ලෙස පරෙවි සන්දේශයෙහි (205) දැක්වෙන සඳවන් (=සඳට බඳු පැහැ ඇත්තී) යනු වරුණ දෙවියාගේ භාර්යාව වූ ගෞරී (=සුදුපැහැ ඇත්තී ) යන්න සියබසට පෙරළූ සැටියි. එම සන්දේශයෙහි ම (206) සඳහන් වන “දුනුදෙව්රජ” යන්නෙන් වරුණ දෙවියාගේ දුන්න මූර්තිමත් කොට දක්වන ලදි. වරුණ දෙවියා දුන් දුන්නකින් දුනුකම් පෑ රාම දෙව්රජුගේ ස්වරූපයෙන් මේ දුනුදෙව්රජු දෙවුන්දර දී පුදසැලකිලි ලත් බව පෙනේ. පැරණි ලංකාවෙහි රාම දෙව්රජු පුදන ලද්දේ දුනුදෙව්රජුගේ මූර්තියක් ලෙසින් බවට පරෙවි සන්දේශයෙන් (206) සාධක ලැබේ. මේ රාම හෙවත් දුනුදෙව්රජ ක්‍රමයෙන් උපුල්වන්හු අභිභවා බමුණු මතවල වහලින් විෂ්ණු දෙවියන් ලෙස සැලකෙන්නට වන.

උපුල්වත්හු මුහුදින් වැඩම කළ බව පැවැසෙන ජනප්‍රවාදය ද පශ්චාද්-වෛදික යුගයන්හි සමුද්‍රාධිපති දෙවියකු ලෙස සැලකුණු වරුණ දෙවියා ඔහු ම යයි හඳුනා ගැනීමට ඉවහල් වන සාධකයකි. මුහුදු ගමන්වල යෙදුණු පිරිසක් වූ ලක්දිව ජනාවාස කළ මුල් ආර්යයන් තමන් වැඳුම් පිදුම් කළ දෙවියන් අතුරෙහි වරුණ දෙවියාට මුල් තැනක් දුන් බව සැලැකීම අපහසු නොවේ. සමුද්‍රා‍ධිපති දෙවියා ලක්දිව වැනි දිවයිනක ආරක්ෂකයා ලෙස සැලැකීම ද යුක්තිසහගතය. ලක්දිව ඇතැම් පැරණි සිංහල රජුන්ගේ රාජ නාමය වූ “මේඝවණ්න” යන්න ද වැස්ස දෙන්නා ලෙස මුල දී සැලැකුණු වරුණ දෙවියාගේ ම අභිධානයක් වන්නට ද පිළිවන. පසු කාලයෙහි දෙවොල් දෙවි නමින් පුද සැලකිලි ලබන්නට වන් දෙවියා ද ඔහු ම බව සිතීමට කරුණු ඇත. සමුද්‍රය පාලනය කරන දෙවියා බැවින් වෙරළබඩ නගරයක සමුද්‍රය දෙසින් ආරක්ෂාව පතා වරුණ දෙවියාගේ රුව පිහිටුවා දේවාලයක් කිරීම උචිතය. දක්ෂිණ ධ්‍රැවය තෙක් පැතිර සිටුනා සමුද්‍රය බඩ පිහිටි දෙවුන්දර නගරය ඊට ඉතාම සුදුසු බව නොකිව මනායි.

මෙරට උපුල්වන් නමින් වැඳුම් පිදුම් ලබන්නේ නාථ දෙවියන් මූර්තියක් වන විෂ්ණුනාථ නම් දෙවියා යයි (සිංහල ආණ්ඩුව, 198 පිටුව) මැදඋයන්ගොඩ විමලකිත්ති හිමියන් ද මතයක් ඉදිරිපත් කොට ඇත.

මුල් කිහිරි පිළිරුව කෙතෙක් කල් දෙවුන්දර දේවාලයෙහි පැවැත්තේ ද යනුත් ඉන් පසු ඊට කුමක් වී ද යනුත් මතභේදයට භාජනව පවතී. දෙවුන්දර රත් සඳුන් (කිහිරි) විෂ්ණු (උපුල්වන්) රූපය පසු කලක කෑගලු දිස්ත්‍රික්කයේ අලුත්නුවරට ද එතැනින් මහනුවර මහා විෂ්ණු දේවාලයට ද ගෙන යන ලද බව එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන් මහතා සඳහන් කරයි. එහෙත් මහනුවර මහා විෂ්ණු දේවාලයෙහි එය ඇද්ද යනු දැනගත නොහැකිය. එය මහනුවරින් දඹුල්ලට ගෙන යන ලදුව දැනට එහි වෙතැයි ද ජනප්‍රවාදයක් වෙයි. මේ පිළිරුව දෙවුන්දරින් අලුත්නුවරට ගෙන යන ලද බව බෙහෙවින් පළව ගිය අදහසකි. ඒ බව සතර කෝරළයේ මාන්න පස දැක්වෙන පැරණි කවි පෙළක “රාම දෙව්රද දෙවුන්දර සිට අලුත් නුවරට වඩින ගමනේ” යන ලෙසින් සඳහන් වී ඇත. එහෙත් දෙවියන්ගේ රන් ආවුද පමණක් දෙවුන්දරින් අලුත්නුවරට ගෙන යන ලද බවත් අලුත්නුවර වූ දෙව්රුව සපු ලීයෙන් එහි දී කරවන ලද්දක් බවත් අලුත්නුවර දේවාලය පිහිටුවීම පිළිබඳ විස්තරයෙන් හෙළි වෙයි.

මේ කිහිරි පිළිරුව මධ්‍යතන අවධියෙහි දී දෙවුන්දර දේවාලයෙහි ප්‍රදර්ශනය නොවූ බව එහි පැමිණි විදේශීයයන්ගේ වාර්තාවලින් පෙනේ. 1344 දී පමණ එහි පැමිණි ඉබ්න් බතූතා නම් දේශසංචාරකයා කියා ඇත්තේ එහි දී තමන් ඝන රනින් කළ පිළිමයක් දුටු බවයි. එතෙකුදු වුවත් සිංහල සන්දේශවල දැක්වෙන ලෙසට නම් දෙවුන්දර වූ උපුල්වන් දෙව්රුව නිල්වන් විය යුතුය. 1587 දී තොමේ ද සෞසා ආරොංචේස් නම් දුෂ්ට පෘතුගීසි සෙන්පතියා දෙවුන්දර දේවාලය විනාශ කරද්දී එහි වූ අනෙක් බොහෝ පිළිරූ හා සමග කිහිරි පිළිරුව ද නැසී ගියේ යයි සිතීමට ද පිළිවන. මෙකී විනාශයෙන් පසු දෙවුන්දර උපුල්වන් තෙමේ හින්දූන්ගේ විෂ්ණු දෙවියන් බවට මුළුමනින් ම පරිවර්තනය වූයේය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපුල්වන්&oldid=9462" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි