උයන්ගොඩ පියසේන ඒකනායක
(1869-1942). ග්රන්ථ සංස්කාරකයකු, ප්රවෘත්ති පත්‍ර කර්තෘවරයකු හා ග්රන්ථ ප්‍රකාශකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ප්‍රාචීන පඬිවරයෙකි.
මාතර පෙදෙසට අයත් කරගොඩ-උයන්ගොඩ උපන් ඒකනායක කුමරා දෙමාපියන් විසින් පැවිදි කරවන ලද්දේ වැලිතර ඤාණතිලක පඬිහිමියන් වෙතින් මූලික අධ්‍යාපනයත් කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පරිවෙණාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමියන් වෙතින් උසස් අධ්‍යාපනයත් ලැබීය.
ශාසනය කෙරෙහි පහන් සිතින් පැවිදි ජීවිතයට පත් එතුමා ශරීරගත දුස්සාධ්‍ය රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමේ පහසුව සලකා නොකැමැත්තෙන් ම පැවිදි ජීවිතය අතහැර ගිහි ජීවිතයට ප්‍රවිෂ්ට විය. ඉන්පසු ‘ඒකනායක මහත්මයා’ නමින් හැඳින්වෙන්නට වන් එතුමා ලේඛක දෝෂයන්ගෙන් අශුද්ධව ගිය දහම් පොත් ශුද්ධියට පමුණුවා ප්‍රකාශ කිරීමේ අභිලාෂය ඇත්තේ කලක් පොත් වෙළඳාමෙන් සපයා ගත් මුදල යොදවා ශ්‍රී භාරතී යන්ත්‍රාලය නමින් අච්චු කන්තෝරුවක් පිහිටුවා පොත් පළ කරවීම ආරම්භ කෙළේය.
කාත්‍යායන වර්ණනා, විනය මඤ්ජුසා, ප්‍රේතවස්තු වර්ණනා, මිලින්ද ප්‍රශ්න, කඞ්ඛාවිතරණී ටීකා, තෙලකටාහ ගාථා, සාමණේර බණ දහම් පොත හෙවත් පැවිදි වත, සංස්කෘත වරනැඟිල්ල, විමානවත්ථු, පෙතවත්ථු, පාරාජිකා පාළි, සමන්ත පාසාදිකා යන මේවා ඒකනායක මහතා අතින් සකස් වී ප්‍රකාශයට පැමිණි පොත්ය.
‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙහි සංස්කාරක වශයෙන් කලක් කටයුතු කළ ඒකනායක මහතා 1915 සිදු වූ සිංහල-මුස්ලිම් කෝලාහලය සම්බන්ධයෙන් සිරබාරයට ගන්නා ලද ජන ප්‍රධානයන් අතරට ද අසුවිණ. සිරබාරයෙන් මිදුණු පසු යළිත් පුරුදු පරිදි කටයුතු කරගෙන ගිය ඔහු 1928 දී පමණ ‘සිංහල මිත්‍රයා’ නමින් සතිපතා පුවත් පතක් ඇරඹූ නමුත් වැඩිකල් එය පවත්වා ගත නොහැකි විය.
(සංස්කරණය: 1974)