උරස

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Thorax). මේ වූකලි මිනිසාගේ ද වෙනත් ක්ෂීරපායී සතුන්ගේ ද ශරීරයේ බෙල්ල හා උදරය අතර තිබෙන කොටසය. කණ්ටකයේ ඖරසික කශේරුකා (thoracic vertebrae) 12කින් ද පර්ශුක (ඉලඇට) යුගල 12කින් ද පර්ශුකීය කාටිලේජවලින් ද උරෝස්ථියෙන් (sternum) ද උරස දරා සිටිනු ලැබේ. පහළින් මහාප්‍රාචීරය එය සීමා කරයි. උරසේ අස්ථිමය සැකිල්ල පේශීවලින් ද මේදවලින් ද පටකවලින් ද කොපුවක් සේ වැසී ඇත. ප්ලූරාව, පෙණහැලි හා ඇතැම් වායු නළ, හෘදය හා ලොකු වාහිනී යනාදිය උරසෙහි ඇතුළත් වේ. එබැවින් ශ්වසනය හා රුධිර සංසරණය පිළිබඳ වූ ප්‍රධාන අවයව උරසෙහි ඇත.

ගැහැනු උරස පිරිමි උරසට වඩා වෙනස් වනුයේ මෙසේය: එහි විශාලත්වය අඩුය. ගැහැනු උරෝස්ථිය කෙටිය; එහි ඉහළ දාරය තෙවෙනි උරස් කශේරුකාවේ පහළ කොටස හා සම මට්ටමින් පවතී. එහෙත් පිරිමි උරෝස්ථියේ ඉහළ දාරය පවත්නේ දෙවෙනි කශේරුකාවේ පහළ කොටස හා සම මට්ටමිනි. ගැහැනු උරසේ ඉහළ ඉලඇට වඩා චලනය වනසුලුය. එහෙයින් එහි ඉහළ කොටසට වඩාත් ප්‍රසාරණය වීමට ඉඩ ලැබේ.

පක්ෂීන් හා මත්ස්‍යයන් වැනි පරිණාමය අතින් පහත් පෘෂ්ඨවංශීන්ගේ උරස් කුහරය වඩා පැහැදිලි නැත. සර්පයන්ගේ හා මත්ස්‍යයන්ගේ උරස පහළින් උරෝස්ථියකින් සම්පූර්ණ වී නැත. කෘමීන්ගේ උරස උන්ගේ ශරීරය බෙදී තිබෙන ප්‍රධාන කොටස් තුනෙන් මැද කොටස වේ. පූර්ව-උරස (prothorax), මධ්‍ය-උරස (mesothorax), පශ්චාද්-උරස (metathorax) යන ඛණ්ඩිකා තුනකින් එය සමන්විතය. මේ එක් එක් ඛණ්ඩිකාවෙහි පාද යුගලයක් ඇත. පරිණත කෘමියකුගේ අන්තිම උරස් ඛණ්ඩිකා දෙකේ සාමාන්‍යයෙන් එක එකක පියාපත් යුගලයක් බැගින් පියාපත් යුගල දෙකක් දක්නට ලැබේ. ක්රුස්ටාසෙයාවන්ගේ ද අරක්නිඩයන්ගේ ද උරස ශීර්ෂෞරසයක් (cephalothorax) සාදමින් හිස හා සමඟ සම්බන්ධ වී තිබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරස&oldid=9501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි