උරාර්තු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Urartu). ආමීනියන් උස් සම භූමියෙහි පිහිටි පැරණි රාජධානියකි. බයිබලයේ අරරත් නමින් හැඳින්වෙන්නේ ද මෙපෙදෙසය. උරාර්තු යනු එයට ඇසිරියානුන් භාවිතාකළ නමය. මෙකල වෑන් නමින් හැඳින්වෙන පැරණි තුරුෂ්පා හෙවත් තුෂ්පාෂ් උරාර්තුහි අගනුවර විය.

වත්මන්හි ඛල්දියානු යන නමින් ද හැඳින්වෙන උරාර්තු ජාතිකයන් ක්‍රි.පූ. 13 වන ශත වර්ෂයේ සිට ඇසිරියානුන් හා සමඟ යුද වැදී සිටි බව කියති. ඔවුහු කලක් ඇනටෝලියාව, උතුරු සිරියාව හා ඒප්‍රාත් (යුප්‍රටීස්) නදිය දක්වා සිය බලය පැතිරවූහ. උරාර්තු රාජ්‍යය වැටී ගියේ බිහිසුණු රණකාමී වර්ගයක් වූ සිතියන්වරුන් 7 වන ශත වර්ෂයේ දී දුන් ප්‍රහාර නිසාය. ඉක්බිති පර්සියානු රණකාමී සයිරස් යටතට පත් වූ මේ ප්‍රදේශයේ පසුකාලයෙහි ආමීනියන්වරු පදිංචි වූහ.

ආගිස්ටිස් II ශ්‍රේෂ්ඨතම උරාර්තු රජය. ක්‍රි.පූ. 8 වන සියවස මුල දී විසූ ඔහුගේ කාලයේ දී යකඩ හාරා ග්‍රීසිය ආදි පිටරටවලට යැවීම නිසා උරාර්තුහි මහත් ආර්ථික දියුණුවක් ඇති විය. එසේ ම උසස් සංස්කෘතික දියුණුවක් ද දක්නට ලැබිණ. විශාල ගල් ගොඩනැඟිලි, ලෝකඩ ආභරණ, මල්භාජන ආදිය තැනීම ගැන ද එරට ප්‍රසිද්ධියක් ඉසුළුවේය. ගොවිතැන වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය විය.

උරාර්තු භාෂාව සෙමිටික් හෝ ඉන්දු-යුරෝපීය ගණයට අයත් නොවේ. පැරණි උරාර්තු සෙල්ලිපි ලියන ලද්දේ කීලාක්ෂරයෙනි. උරාර්තු වැසියන්ගේ ආගම ගැන වැඩි විස්තර සොයාගෙන නොමැත. බැබිලෝනියාවේ බලපෑම නිසා ඔවුන් දේශීය දෙවිවරුන් පිදූ බව පෙනී යයි.

උරාර්තු සභ්‍යත්වයට අයත් රන්පදක්කම්, ලෝකඩ භාණ්ඩ, ලෝකඩ සත්වරූප, ඉටි පහන් රුක් (ඇගෑ) වැනි අගනා පුරාවිද්‍යාත්මක ශේෂ තෝප්‍රක්කාලෙ නම් ස්ථානයෙන් 19 වන සියවස අග දී සොයාගෙන තිබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරාර්තු&oldid=9828" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි