උරුමය
කිසිවකුගේ අභාවයෙන් පසු ඔහු හෝ ඇය සතු දේපළ අන් අය සතු වීමේ පිළිවෙළ උරුමය පිළිබඳ නීතියෙන් විස්තර වේ. දේපළ උරුමය යම්කිසි නීතියකට අනුව සිදුවීමෙන් පරමාර්ථ කීපයක් ම ඉටු වන බව නීති විශාරදයන්ගේ අදහසය. අභාවයට පත් තැනැත්තා වෙත කෙසේ හෝ එක්තැන්ව තිබුණු දේපළ තව දුරටත් සුරැකිව තැබීම මෙයින් පහසු වේ. එමෙන් ම අභාවයට පත් අයගේ ණයකරුවන්ගේ හා ණයහිමියන්ගේ බැඳීම් හා අයිතිවාසිකම් පිළිබඳව සාධාරණ ලෙස ක්‍රියා කිරීමට ද ඉන් ඉඩ සැලසේ. ඉතිරි දේපළ එය ලැබිය යුත්තන් අතර නිසියාකාර බෙදී යෑමට සාධාරණ මඟක් ද ඉන් හෙළි වේ.
යමකු සතු දේපළ ඔහුගේ හෝ ඇයගේ මරණයෙන් පසු අන්සතු වීම දෙයාකාරයකින් එක් ආකාරයකට සිදුවිය හැකිය. තම දේපළ පිළිබඳව අන්තිම කැමති පත්‍රයක් කිසිවකු විසින් ලියා ඇත්නම් ඔහුගේ දේපළ සතු වන්නේ ඒ අන්තිම කැමති පත්‍රයෙහි නම් කරනු ලැබූ අයට එහි විස්තර කර ඇති පිළිවෙළටය. කෙනකු එසේ අන්තිම කැමති පත්‍රයක් ලියා නැත්නම් හෝ ලියා ඇති අන්තිම කැමති පත්‍රය නීතියෙන් ක්‍රියාත්මක නොකළ හැක්කක් නම් හෝ ඔහුගේ දේපළ පාරම්පරික උරුමය අනුව අන් අය සතුවේ.
අන්තිම කැමති පත්‍රයක් නැති විට
තම බූදලය පිළිබඳ අන්තිම කැමති පත්‍රයක් නොලියා කෙනකු මිය ගිය විට ඔහු හෝ ඇය සතු චංචල හා නිශ්චල දේපළ අන්සතු වන්නේ ඒ ඒ රටවල පවත්නා නීති ක්‍රම අනුවය. අන්තර්ජාතික පුද්ගලික නීතිය අනුව, මිය ගිය තැනැත්තකුගේ චංචල දේපළ අන්සතු වන්නේ මිය ගිය තැනැත්තා මිය යන විට යම් රටක පදිංචිකරුවකු ලෙස ඔහු පිළිගැනී සිටියේ නම් ඒ රටෙහි නීතිය අනුවය. ලාංකිකයකු ලංකාව අතහැර ගොස් එංගලන්තයෙහි පදිංචිකරුවකු ලෙස එංගලන්තයෙහි මිය ගියහොත් ඔහු සතු චංචල දේපළ අන් අයට උරුම වන්නේ එංගලන්තයෙහි නීතිය අනුවය. කෙනකු සතු නිශ්චල දේපළ අන් අයට උරුම වීම සම්බන්ධයෙන් බලපාන්නේ ඒ නිශ්චල දේපළ පිහිටි රටෙහි නීතියය.
අන්තිම කැමති පත්‍රයක් නැති බූදලයක් අන් අයට උරුම වීම පිළිබඳව ලංකාවේ නීති ක්‍රම කීපයක් ම වළංගු වේ. මේ සම්බන්ධයෙන් උඩරට වැසියන් කෙරෙහි බලපාන නීතිය උඩරට නීති ආඥාපනතෙහි ද යාපනයෙහි ද්‍රවිඩ ජනතාව කෙරෙහි බලපාන නීතිය යාපනයෙහි විවාහක අයිතිවාසිකම් හා උරුම ආඥාපනතෙහි ද මුස්ලිම් ජනතාව කෙරෙහි බලපාන නීතිය අන්තිම කැමති පත්‍රයක් නැති මුස්ලිම් බූදල් උරුම ආඥාපනතෙහි ද දැක්වෙයි. මේ විශේෂ පුද්ගලික නීති බල නොපාන සෙසු මහජනයා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන උරුම නීතිය විවාහක අයිතිවාසිකම් හා උරුම් ආඥාපනතෙහි සවිස්තරව දැක්වේ.
යම් කෙනකු තමාගේ යම් දේපළක් සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රයක් නොලියා මියගිය විටක එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටී නම් ඇයට හෝ ඔහුට ඒ දේපළින් අඩක් උරුම වේ. ඉතිරි අඩ ඒ අයගේ දරුවන් අතර සම සමව බෙදී යයි. දරුවන් කිසිවකු ජීවත්ව නොසිටින විටක හා ඒ දරුවන්ගේ දරුවන් ජීවත්ව සිටින විට ඒ මුනුබුරන් අතර එම දේපළ බෙදී යයි. මිය ගිය අයට දරු මුනුබුරන් කිසිවකු නැති විටක ඔහුගේ බූදලයේ එම අඩ උරුම වන්නේ ඔහුගේ මව්පිය දෙදෙනා ජීවත්ව සිටියහොත් ඒ දෙදෙනාටය. මව් පිය දෙදෙනාගෙන් එක්කෙනකු පමණක් ජීවත්ව සිටින විට ඒ අයට හිමි වන්නේ බූදලයෙන් අඩක් පමණි. ඉතිරි අඩ මිය ගිය තැනැත්තාගේ සොහොයුරන් හා සොහොයුරියන් අතර බෙදී යයි. මිය ගිය මවගේ හෝ මිය ගිය පියාගේ පාර්ශ්වයෙන් මිය ගිය අයගේ අර්ධ සහෝදරභාවයට පත්ව සිටින අය වෙතොත් ඔවුනට ද මේ අඩ කොටසින් උරුමකම් ලැබේ. මියගිය තැනැත්තා මිය යන විට මෙසේ පුර්ණ හෝ අර්ධ සහෝදරයන් කිසිවකු නොසිටිය හොත් මව්පිය දෙදෙනාගෙන් ජීවත්ව සිටින අයට මුළු බුදලය ම උරුම වේ.
මිය ගිය තැනැත්තාගේ මව්පිය දෙදෙනා ම ජීවතුන් අතර නැත්නම් මිය ගිය තැනැත්තාගේ බූදලයේ යට කී අඩ ඔහුගේ පූර්ණ හෝ අර්ධ සහෝදරයන් හා සහෝදරියන් අතරත් ඔවුන්ගේ දරුවන් අතරත් බෙදී යයි.
මෙබඳු සහෝදර සහෝදරියන් හෝ ඔවුන්ගේ දරු මුනුබුරන් කිසිවකු නැති විට මිය ගිය තැනැත්තාගේ බූදලයේ එම අඩ උරුම වන්නේ ඔහුගේ පියාගේ දෙමව්පියන්හට හා මවගේ දෙමව්පියන්හටය. ඒ දෙපක්ෂය අතර එය සම සමව බෙදේ. එබඳු කිසිවකු ද නැති විට මේ බූදලය මිය ගිය තැනැත්තාගේ දෙමව්පියන්ගේ සහෝදරයන් හා සහෝදරියන් අතර බෙදී යයි. එබඳු අය නැති විට ඔවුන්ගේ දරුවන්හට මේ බූදලය උරුම වේ.
මෙහි සඳහන් උරුමක්කාරයන් කිසිවකු නැති විට සම්පූර්ණ බූදලය මිය ගිය අයගේ ජීවත්ව සිටින භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට උරුම වේ. මිය ගිය අයගේ භාර්යාව හෝ ස්වාමිපුරුෂයා ජීවතුන් අතර නැති විට මුළු බූදලය ම ඔහුගේ දරුවන්හට සම සමව උරුම වේ.
ජාතක දරුවන්ට පමණක් නොව අවජාතක දරුවන්ට ද දේපළ උරුම වන බව සඳහන් කළ යුතුය. එහෙත් අවජාතක දරුවන්හට උරුම වන්නේ තම මවගේ දේපළ පමණි. පියාගේ දේපළ වත් මවයේ ඥාතීන්ගේ දේපළ වත් අවජාතක දරුවනට උරුම නොවේ. අවජාතක දරුවකු මිය ගිය විට ඒ අයගේ දේපළ උරුම වීමට භාර්යාවක හෝ ස්වාමි පුරුෂයකු හෝ දරුමුනුබුරන් නොසිටියහොත් ඒ අයගේ බූදලය මවට හෝ ඇගේ උරුමක්කාරයන්හට උරුම වේ.
කිසිම උරුමක්කාරයකු නැතිව කෙනකු මිය ගිය විට ඔහුගේ බූදලය රජයට උරුම වේ. දහවන පරම්පරාවෙන් එපිට හෝ යම් උරුමක්කාරයන් වෙතොත් බූදලය ඔවුනට අයත් වන බව නීතියේ සඳහන් වේ.
අන්තිම කැමති පත්‍රයක් නොලියා මිය ගිය කෙනකුගේ බූදලය උරුම වන හා බෙදී යන ආකාරය පිළිබඳව අපගේ විවාහක අයිතිවාසිකම් හා උරුම ආඥාපනතෙහි කරුණු සඳහන් නොවන විටක ඒ පිළිබඳව උතුරු ඕලන්දයෙහි පැවති රෝම-ලන්දේසි නීතිය අනුව ක්‍රියා කළ යුතු බව මේ ආඥාපනතෙහි දක්වා ඇත.
මෙරට උඩරට නීතිය බලපාන ජනයාහට දේපළ උරුම වන ආකාරය උඩරට නීති ආඥාපනතෙහි විස්තර වේ. 1939 ජනවාරි මස පළමුවන දින සිට වළංගු වූ මේ ආඥාපනත අනුව එදිනෙන් පසු අන්තිම කැමති පත්‍රයක් නොලියා මිය ගිය උඩරට වැසියකුගේ දේපළ උරුම වන්නේ මෙසේය:
මිය ගිය තැනැත්තාගේ වැන්දඹුව ජීවත්ව සිටී නම් ඔහු විසින් අත්කරගනු ලැබූ දේපළවල ප්‍රාණභුක්ති අයිතියකට ඈ හිමිකාරිය වන්නීය. ඒ දේපළ ඇයගේ නඩත්තුවට ප්‍රමාණවත් නොවේ නම් ඔහුගේ පරම්පරාගත පරවේණි දේපළවලින් ඇයගේ නඩත්තුව ලැබීමට ඇයට හිමිකම් ලැබේ. මිය ගිය තැනැත්තාගේ පළමු විවාහයකින් දරුවකු හෝ මුනුබුරකු ජීවත්ව සිටින විට වැන්දඹුවට ප්‍රාණභුක්ති අයිතිය ලැබෙන්නේ මිය ගිය තැනැත්තාගේ අත්කරගත් දේපළවලින් අඩකට පමණය. වැන්දඹු ස්ත්‍රිය ඇයට ලැබෙන ප්‍රාණභුක්ති අයිතියෙන් මිය ගිය සැමියාගේ දරුවන් ද නඩතු කළ යුතුය. එසේ අවශ්‍ය නොවන්නේ ඒ දරුවන් බාලවයස්කාරයන් නොවන විට හා ඔවුනට එවැනි නඩත්තුවක් වුවමනා නොවන විටත්, ඒ දරුවන් සඳහා සැමියාගේ සෑහෙන තරම් පරවේණි දේපළ තිබෙන විටත් පමණය.
වැන්දඹුව යළිත් දීග විවාහයක් කරගතහොත් මියගිය සැමියාගේ පරවේණි දේපළින් තව දුරටත් යැපීමට ඇයට අයිතියක් නොලැබේ. එහෙත් මේ දීග විවාහය නිසා ඇයට මියගිය සැමියාගේ අත්කරගත් දේපළින් යැපීමට ඇති අයිතිය නැති නොවේ.
අන්කිසි උරුමක්කාරයකු නොසිටි විටක මියගිය තැනැත්තාගේ පරවේණි හා අත්කරගත් යන සියලු දේට ම වැන්දඹු ස්ත්‍රිය උරුමක්කාරිය වේ.
මියගිය තැනැත්තාට නිත්‍යනුකූල විවාහ කීපයකින් දරුවන් සිටින විට ඒ දරුවන් සියලු දෙනාට ම ඔහුගේ බූදලය උරුම වන්නේ එක සමානවය. මිය ගිය තැනැත්තාගේ අවජාතක දරුවන් වෙතොත් ඔවුනට ඔහුගේ පරවේණි දේපළ කිසිවක් උරුම නොවේ. ඔහුට සුජාතක දරුවන් නොසිටි විටක වැන්දඹුවගේ අයිතිවාසිකම්වලට යටත්ව, ඔහුගේ අත්කරගත් දේපළ අවජාතක දරුවන්හට ද උරුම වේ.
අවජාතක දරුවන්හට ද සුජාතක දරුවන්හට මෙන් අත්කරගත් දේපළ උරුම වන අවස්ථාවක් ද වෙයි. යම් අවජාතක දරුවකුගේ උපත ලියාපදිංචි කරන විට ඒ දරුවා තමාගේ දරුවකු ලෙස මිය ගිය තැනැත්තා ලියාපදිංචිකර තිබිණි නම් හෝ මිය ගිය තැනැත්තා ජීවත්ව සිටිය දි යම් සුදුසු අධිකරණයක් විසින් ඒ දරුවා ඔහුගේ දරුවකු ලෙස විනිශ්චය කර තිබිණි නම් හෝ මෙසේ ඒ අවජාතක දරුවාට ද සුජාතක දරුවකුට මෙන් පියාගේ අත්කරගත් දේපළ උරුම වේ.
භාර්යාවක හෝ ස්වාමිපුරුෂයකු හෝ දරුමුනුබුරකු හෝ නැතිව යමකු මිය ගිය විටක මව්පිය දෙදෙනා හෝ ඒ දෙදෙනාගෙන් කෙනෙක් ජීවත්ව සිටිත් නම් ද ඔහුගේ සහෝදරයෙක් හෝ සහෝදරියක් හෝ එවැන්නකුගේ දරුමුනුබුරෙක් සිටී නම් ද ඒ දෙමව්පියන්හට හෝ ඒ දෙදෙනාගෙන් ජීවත්ව සිටින කෙනකුට ඔහුගේ අත්කරගත් දේපළවලින් ප්‍රාණ භුක්තිය උරුම වේ. යටකී සහෝදර දරුමුනුබුරාදිනට ඒ දේපළ උරුම වන්නේ එකී ප්‍රාණ භුක්තියට යටත්වය.
මියගිය අයගේ දෙමව්පියන් නැති විට ඔහුගේ අත්කරගත් දේපළ ඔහුගේ සහෝදරයන් හා සහෝදරියන් අතර සම සමව බෙදී යයි.
උඩරට නීතිය අනුව දීග හා බින්න යන ක්‍රම දෙක අනුව විවාහ වූ ස්ත්‍රීන්හට දේපළ උරුමවීම පිළිබඳව විශේෂ විධිවිධාන උඩරට නීති ආඥාපනතේ සලස්වා ඇත. එමෙන් ම චංචල දේපළ උරුම වීම පිළිබඳ විශේෂ විධිවිධාන ද මේ ආඥාපනතෙහි දක්නට ලැබේ.
මෙතෙක් දැක්වූ පරිදි ඒ ඒ ජනයාට දේපළ උරුමවන්නේ ඒ දේපළ සතුව සිටි තැනැත්තා තම දේපළ පිළිබඳව අන්තිම කැමති පත්‍රයක් නොලියා මියගිය විටය.
අන්තිම කැමති පත්‍රයක් ඇති විට
කෙනකු තම සම්පූර්ණ දේපළ හෝ ඉන් කොටසක් සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රයක් ලියා මියගිය විට ඒ දේපළ අන් අය සතු වන්නේ එම අන්තිම කැමති පත්‍රයෙහි දක්වා ඇති පරිද්දෙනි.
අන්තිම කැමති පත්‍ර ලිවීම මුලින් ම ඇරඹුණේ රෝම නීතියෙනි. අන්තිම කැමති පත්‍රයේ ප්‍රභවය අතීත රෝම නීතිය තෙක් යතත්, අද අප රට අන්තිම කැමති පත්‍ර පිළිබඳව බලපවත්නේ ඉංග්‍රීසි නීතිය හා ඒ අනුව මෙරට සම්පාදිත අණපනත් බව කිව යුතුය.
1540 දී එංගලන්තයෙහි පැනවුණු අන්තිම කැමති පත්‍ර ආඥාපනතින් අන්තිම කැමති පත්‍ර ලිවිය යුතු පිළිවෙළ පිළිබඳව නීති පනවන ලදි. එයින් පසු 1677 දී පැනවුණු වංචා ආඥාපනතින් මේ නීති තවදුරටත් සකස් වී විස්තර කැරිණි. 1837 දී අන්තිම කැමති පත්‍ර ආඥාපනත සම්මත වූවායින් පසුව අද දක්නට ලැබෙන පරිදි නීතිය සකස් විය.
ලංකාවේද 1840 පෙබරවාරි මස පළමු වැනි දින පැනවුණු වංචා වැළැක්වීමේ ආඥාපනතින් හා 1844 දෙසැම්බර මස විසිතුන්වන දින පැනවුණු අන්තිම කැමති පත්‍ර ආඥාපනතින් ලංකාවේ අන්තිම කැමති පත්‍ර පිළිබඳ විධිවිධාන සලස්වා ඇත. 1840 අංක 7 ආඥාපනත වශයෙන් සම්මත වූ වංචා වැළැක්වීමේ ආඥාපනත 1852 දීත්, 1896 දීත් සංශෝධිතව අන්තිමට 1947 අංක 60 පනතින් ද සංශෝධිතව 70 වන අධිකාරය වශයෙන් දැන් ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයට ඇතුළත්ව ඇත. 1844 අංක 21 ආඥාපනත වශයෙන් සම්මත වූ අන්තිම කැමති පත්‍ර ආඥාපනත 1852 දීත්, 1876 දීත්, 1921 දීත්, සංශෝධිතව දැන් 60 වන අධිකාරය වශයෙන් ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයෙහි දක්නට ලැබේ. මෙරට අන්තිම කැමති පත්‍රයක් ලියැවිය යුත්තේ මේ ආඥාපනත්වල විධිවිධාන අනුවය.
අන්තිම කැමති පත්‍රයක් යනු කුමක් දැයි සුප්‍රකට නීතිවේදීන් විසින් විග්‍රහ කර තිබෙන හෙයින් ඒ අනුව අන්තිම කැමති පත්‍රයක් හඳුනාගත හැකිය. අන්තිම කැමති පත්‍ර පිළිබඳ මුල් නීතිය පිළියෙල කළ රෝම නීතිවේදීන් එය හැඳින්වූයේ තෙස්තමේන්තුව යනුවෙනි. තෙස්තමේන්තුව (ලතින්-ටෙස්ටාටියෝ මෙන්ටිස්) වූකලි එය ලියන තැනැත්තාගේ හිතෙහි වූ අදහස ගැඹුරු ලෙස ප්‍රකාශ කිරීමක් වශයෙන් කල්පනා කරන ලදි.
"කෙනකු තමාගේ මරණයෙන් පසු යමක් පිළිබඳව කුමක් කළ යුතු දැයි කරන ප්‍රකාශය අන්තිම කැමති පත්‍රය හෙවත් තෙස්තමේන්තුවය"යී ජොහැන්නස් ෆුට් නමැති රෝම-ලන්දේසි නීති විශාරදයා විසින් විග්‍රහ කරන ලද්දේ වෙයි.
"තමාගේ මරණයෙන් පසු තම දේපළට කුමක් කළ යුතු දැයි තම අදහස දක්වමින් යම් තැනැත්තකු විසින් කරන ලද ප්‍රකාශය අන්තිම කැමති පත්‍රය"යි දකුණු අප්‍රිකාවේ සුවිශේෂ නීති විශාරදයකු වූ මාස්ඩෝප් විග්‍රහ කෙළේය.
අන්තිම කැමති පත්‍ර ගැන එංගලන්තයේ හෝල්ස්බරිගේ නීති සංග්‍රහයෙහි කර ඇති විස්තරය මෙසේය: "තම මරණයේ දී හෝ මරණයෙන් පසු කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳව නියමිත පිළිවෙළකට අනුව කෙනකු තම අදහස දක්වන ප්‍රකාශය අන්තිම කැමති පත්‍රයයි. තම බූදලයෙහි යම් කොටසක් පාලනය කිරීමට හෝ පාලනයෙහි සහාය වීමට බූදල් බලකරුවන් හෝ අනෙක් තැනැත්තන් පත් කිරීමේ කාර්යය සඳහා හෝ තම මරණයේ දී නැතහොත් මරණයෙන් පසු බලපැවැත්වෙන පරිදි දේපළ බෙදා හැරීමේ කාර්යය සඳහා හෝ තම මරණින් පසු තම දරුවන්ගේ භාරකාරයන් පත් කිරීමේ කාර්යය සඳහා හෝ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි යම් බලයක් පාවිච්චි කිරීම සඳහා හෝ මෙපරිදි පළමුව ලියන ලද අන්තිම කැමති පත්‍රයක් අවළංගු කිරීම නැතහොත් වෙනස් කිරීම සඳහා හෝ මේ හා සමාන යම් වෙන කාර්යයක් සඳහා හෝ මරණයේ දී හෝ මරණයෙන් පසු ක්‍රියාත්මක විය හැකි අන්තිම කැමති පත්‍රයක් සෑදිය හැකිය".
ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු විසි එකට අඩු පිරිමියකු හෝ වයස දහඅටට අඩු ස්ත්‍රියක විසින් සාදන ලද අන්තිම කැමති පත්‍රයක් නීත්‍යනුකූල නොවේ. එහෙත් මේ වයසට අඩු අය වුව ද ඔවුන් විවාහ වී සිටිතොත් හෝ වයස් පූර්ණත්වය පිළිබඳ බලපත්‍ර ලබා ඇතහොත් ඔවුන්ගේ අන්තිම කැමති පත්‍ර නීත්‍යනුකූල වේ.
වත්මන්හි සෑම අන්තිම කැමති පත්‍රයක් ම ලේඛනගත කළ යුතුය. එමෙන් ම එම ලේඛනයේ කෙළවර අන්තිම කැමති පත්‍රය සාදන අය විසින් හෝ ඔහුගේ නියමය පිට ඔහු ඉදිරිපිට දී ම වෙන කිසිවකු විසින් හෝ නම අත්සන් කළ යුතුය. අන්තිම කැමති පත්‍රය සාදන තැනැත්තා විසින් තම අත්සන තැබිය යුත්තේ නොතාරිස් කෙනකු හා සාක්කි කරුවන් දෙදෙනකු හෝ වැඩි ගණනක් ඉදිරියේය. නොතාරිස් කෙනකු නැති විට සාක්කිකරුවන් පස් දෙනකු හෝ වැඩි ගණනක් ඉදිරියේ තම අත්සන තැබිය යුතුය. සාක්කිකරුවන් ඒ අත්සන සහතික කළ යුතුය. අන්තිම කැමති පත්‍රය සාදන තැනැත්තාගේ නියමයෙන් ඔහු ඉදිරිපිට දී අන් කෙනකු තබන අත්සන ඉහත සඳහන් පරිදි සාක්කිකරුවන් ඉදිරියේ ඔහු විසින් පිළිගත යුතුය. එවිට සාක්කිකරුවන් එහි තම අත්සන තැබිය යුතුය.
අන්තිම කැමති පත්‍රයක් හා සමාන තවත් පත්‍රයකින් ද කෙනකුට තම මරණයෙන් පසු දේපළ උරුම වන ආකාරය විස්තර කළ හැකිය. එය 'කොඩිසිල්' පත්‍රය නමින් හැඳින්වේ. එහෙත් 'කොඩිසිල්' පත්‍රයකින් කළ හැක්කේ මුලින් අන්තිම කැමති පත්‍රයකින් කළ දෙයක වෙනස් කිරීම් පමණකි. 'කොඩිසිල්' පත්‍රයක් ද අන්තිම කැමති පත්‍රයක් පරිද්දෙන් ම ලියා අත්සන් කළ යුතු වේ.
කෙනකු විසින් ඉහත සඳහන් පරිදි සාදන ලද අන්තිම කැමති පත්‍රයක් හෝ කොඩිසිල් පත්‍රයක් හෝ ඉන් කොටසක් හෝ අවළංගු කළ හැක්කේ ද ඒ පිළිබඳව නීතියෙන් විධිවිධාන සලස්වා ඇති ආකාරයට පමණය. අන්තිම කැමති පත්‍රය සෑදූ තැනැත්තා එය සෑදීමෙන් පසු විවාහ වීමෙන් හෝ මුල් අන්තිම කැමති පත්‍රය අවළංගු කරන බව ප්‍රකාශ කරමින් එපරිද්දෙන් ම ලියා අත්සන් කළ වෙනත් අන්තිම කැමති පත්‍රයකින් හෝ එබඳු වෙනත් ලියවිල්ලකින් හෝ අන්තිම කැමති පත්‍රය අවළංගු කළ හැකිය. එමෙන් ම අන්තිම කැමති පත්‍රය සෑදූ තැනැත්තා විසින් හෝ ඔහුගේ නියමයෙන් ඔහු ඉදිරිපිට දී වෙනත් කෙනකු විසින් හෝ අන්තිම කැමති පත්‍රය අවලංගු කිරීමේ අදහසින් එය පිලිස්සීමෙන්, ඉරා දැමීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් විනාශ කිරීමෙන් ද අන්තිම කැමති පත්‍රය අවළංගු කළ හැකිය.
යමකු ලංකාවෙහි දී අන්තිම කැමති පත්‍රයක් තබා මිය ගිය විටක, ඒ අන්තිම කැමති පත්‍රය සතු තැනැත්තා විසින් තමා පදිංචි දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ අධිකරණයට (දිස්ත්‍රික් උසාවියට) හෝ අන්තිම කැමති පත්‍රකරු මිය ගිය දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ අධිකරණයට හෝ ඒ අන්තිම කැමති පත්‍රය හැකි තරම් ඉක්මනින් ඉදිරිපත් කළ යුතුය. ඔහු විසින් අන්තිම කැමති පත්‍රකරු මියගිය වේලාව හා ස්ථානය ද යම් අධිකරණයක අධිකරණ සීමාව තුළ දේපළ ඉතිරිකර මිය ගියේ නම් ඒ පිළිබඳ විස්තර ද ලංකාවේ දේපළ ඉතිරි කර නැත්නම් ඒ බව ද දිවුරුමකින් හෝ සහතික ප්‍රකාශයකින් අධිකරණයට කියා සිටිය යුතුය. මේ සම්බන්ධයෙන් නියමිත ආකෘතියක දිවුරුම් පත්‍රයක් ද ඔහු විසින් ඉදිරිපත් කළ හැකිය.
මෙසේ අන්තිම කැමති පත්‍රයක් ලැබූ තැනැත්තකු ඒ අන්තිම කැමති පත්‍රය අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු සැපයීම හෝ ඕනෑකමින් ම පැහැර හැරියහොත් ඔහු වරදකරුවකු බවට පත් වී රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට ද යටත් වන්නේය.
අන්තිම කැමති පත්‍රයෙහි බූදල් බලකරුවා වශයෙන් නම් කර ඇති තැනැත්තාට නියම ප්‍රදේශ අධිකරණයට අන්තිම කැමති පත්‍රය ඔප්පු කරවා ගැනීමට හා අන්තිම කැමති බලපත්‍රය (ප්‍රොබේට්) ලබාගැනීමට ඉල්ලුම් කළ හැකිය. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විටත් එවැනි ඉල්ලීමක් කැරුණත් නොකැරුණත් එම බූදලයේ වටිනාකම රුපියල් දෙදහස් පන්සියයකට වැඩි වූ විටත් බූදලය පිළිබඳ අන්තිම කැමති බලපත්‍රයක් බූදල් බලකරුවා වශයෙන් නම්කර ඇති තැනැත්තා වෙත අධිකරණයෙන් නිකුත් වේ. එවැන්නකු නැති වූ විට ඊට සුදුසු කෙනකු වෙත පරිපාලන බලපත්‍ර අධිකරණය විසින් නිකුත් කරනු ඇත. ඊට සුදුසු කෙනකු නොසිටින විටක ඒ පරිපාලන බලපත්‍ර අධිකරණයෙහි ලේකම්වරයා වෙත නිකුත් කරනු ලැබේ.
අන්තිම කැමති පත්‍රය අධිකරණය ඉදිරියෙහි ඔප්පු කරවා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් කරුණු විභාග කර බලා එයට විරුද්ධකරුවකු නැති විට බූදල් බලකරුවාට ප්‍රොබේට් බලපත්‍රය දෙමින් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කැරේ. ඒ සම්බන්ධයෙන් විරුද්ධකරුවන් ඇති විට ගැනෙන බූදල් නඩුවෙන් පසු අධිකරණය සුදුසු යයි සිතන අයකු වෙත මෙම බලපත්‍රය නිකුත් වේ. කෙසේ හෝ අධිකරණයෙහි තීන්දුවෙන් පසු අන්තිම කැමති බලපත්‍රය ලබන තැනැත්තා විසින් අන්තිම කැමති පත්‍රයෙහි සඳහන් පරිදි එම බූදලය බෙදා හැරීමට කටයුතු කළ යුතුය. අන්තිම කැමති පත්‍රකරුගේ ණයතුරුස් ගෙවීමාදිය ද මීට ම ඇතුළත්ය.
කෙනකු අන්තිම කැමති පත්‍රයක් නොලියා රුපියල් දෙදහස් පන්සියයකට වඩා වටිනා දේපළ මෙරට ඉතිරිකර මිය ගිය විට ද ඒ අයගේ මරණයත් දේපළ සම්බන්ධ තොරතුරුත් නියම ප්‍රදේශ අධිකරණය වෙත මරණයෙන් මසක් තුළ දැනුම්දීමට මියගිය අයගේ වැන්දඹුව හෝ ස්වාමිපුරුෂයා හෝ ළඟ ම නෑයා බැඳී සිටී. ඕනෑකමින් ම මේ කාර්යය පැහැර හරින තැනැත්තකු වරදකරුවකු වන අතර රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට ද යටත් විය යුතුය. එබඳු බූදලයක අධිකරණ කටයුතු නිමවූවායින් පසු එහි පරිපාලන බලපත්‍රය ලබන තැනැත්තා ඒ බූදලයෙහි කටයුතු කළ යුතුය. ඒ බූදලයෙහි දේපළ උරුම වන්නේ පාරම්පරික උරුම නීතිය අනුවය.
(කර්තෘ: කේ.ඩී.පී. වික්‍රමසිංහ)
(සංස්කරණය: 1974)