උරුලෑවත්තේ ශ්‍රී ප්‍රියදර්ශි ධම්මසිද්ධි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයෙහි සියම් දේශයෙන් පැමිණි උපාලි හිමි ප්‍රමුඛ මහාසඞ්ඝයාවහන්සේ විසින් අධිශීලයෙහි පිහිටුවන ලද උරුලෑවත්තේ ශ්‍රී ප්‍රියදර්ශී ධම්මසිද්ධි හිමියන්වහන්සේට එම මහරජතුමන් විසින් අස්ගිරි විහාරයෙහි ආධිපත්‍යය පවරන ලදි. ඒ පිළිබඳ සංකේතය වූ වටාපත පිළිගැන්වූයේ වැලිවිට සරණඞ්කර හිමියන්ට සඞ්ඝරාජ පදවිය පිරිනැමූ අවස්ථාවේ මය. අස්ගිරි විහාර පාර්ශ්වයේ මුල් මහානායක පදවිය උන්වහන්සේට ලැබුණේ සරණඞ්කර සඞ්ඝරාජ හිමියන්ගේ ද අනුමතිය ඇතිව බව සඞ්ඝරාජ සාධු චරියාවෙහි සඳහන් වෙයි. අස්ගිරියේ මුල් මහානායක හිමිට උපසඞ්ඝරාජ පදවියක් ද වූ බව එහි ම සඳහන්ව ඇත්තේය. ධම්මසිද්ධි හිමියන් පිළිමතලව්වේ මහ අදිකාරම්තුමාගේ ඥාතිවරයකු බවත් අස්ගිරි මහාවිහාරයේ විජයසුන්දරාරාමය පිහිටා ඇත්තේ අදිකාරම්තුමාගේ පෞද්ගලික භූමියක බවත් එහි ඇති විහාර ගෘහද්වයෙන් පැරණි විහාරය කරවූයේ අධිකාරම්තුමා බවත් අලුත් විහාරය එතුමාගේ පුත්‍ර උරුලෑවත්තේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අග්‍රසේනාපතිතුමා කැරවූ බවත් එම විහාර සන්නස්වල සඳහන්ව ඇත්තේය.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය: 1974)