උරුවේලා නුවර
ලක්දිව පළමුවෙන් ම පිහිටුවන ලද ඉන්දු - ආර්ය ජනපදයකි. වංසකථාවන්හි එන එක් පුරාවෘත්තයකින් එය විජය කුමරුන්ගේ ඇමතියකු විසින් පිහිටුවන ලදැයි ද තවත් පුරාවෘත්තයකින් භද්දකච්චානා කුමරියගේ සොහොවුරකු විසින් පිහිටුවන ලදැයි ද පැවැසෙයි.
උරුවේලා නුවර පෙර පටන් ම පටුනක් වශයෙන් ප්‍රසිද්ධව පැවතිණ. එය පිහිටියේ අනුරාධපුරයට යොදුන් පහක් (සැ. 40ක් 50ක් පමණ) බටහිරින් යයි වංසකථාවල දැක්වේ. පුරාණයේ අනුරාධපුරයේ සිට උරුවේලාව දක්වා ප්‍රධාන මාවතක් වැටී තිබිණ. එය මුතුපර සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් දැරූ බව මහාවංසයේ එන දුටුගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161-137) පිළිබඳ විස්තරයෙන් හෙළි වේ. මහ සෑය ඉදිකරන අවස්ථායෙහි දී දුටුගැමුණු රජතුමාට උරුවේලා පටුනෙන් මුතු හා පබළු ලැබුණු බව එහි සඳහන් වෙයි. ඉන් පසු කාලයක දී සුභ රජු (ක්‍රි.ව. 60-67) විසින් උරුවේලාව අසල වල්ලි විහාරය පිහිටුවන ලදි. දැනට පුත්තලම්-පොම්පරිප්පු මාර්ගයේ 21 වැනි සැතපුම් කණුව අසල තිබෙන්නේ වල්ලි විහාරයේ නටබුන් බව ශිලාලිපියක ආධාරයෙන් හඳුනාගෙන ඇත. කලාඔය මුහුදට වැටෙන ප්‍රදේශය සමීපයේ උරුවේලා නුවර පිහිටි බව මේ කරුණු අනුව නිගමනය කළ හැකිය.
(සංස්කරණය: 1974)