උල්පත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භූගත ජලය වරින් වර හෝ නිරතුරුව හෝ ස්වාභාවිකව ගලා යන මාර්ගය උල්පත නම් වේ. ඇතැම් විටක වැසි දිය ආදියෙන් පොළොව තුළට කිඳා බස්නා ජලය පසාරු කොට යා නොහැකි යටිපස් තට්ටුවක් පවත්නා තන්හි රැඳී එම පස් තට්ටුවේ පිහිටීම හා බැස්ම ආදි භෞතික ලක්ෂණ අනුව භූගතව ගලා ගොස් කිසි තැනක දී පොළොව මතු පිටට පැමිණේ. භූගත ජල මට්ටම පොළෝ මතුපිට හා ගැටෙන යම් ස්ථානයක් වේ ද එතැන්හි උල්පත් හට ගනී. සමහර උල්පත්වල ජලය පොළෝ මතු පිටට යන්තමින් උනා එන නමුදු වේගයෙන් ජලය ගලා එන උල්පත් ද ඇත.

හුදෙක් යම් පෙදෙසක භූමි මට්ටම ඊට යාබද පෙදෙසෙහි ජල මට්ටමට පහළින් පිහිටි කල්හි එම භූජල මට්ටම හා භූමි මට්ටමෙහි සන්ධි සීමාව ආශ්‍රිතව උල්පත් ඇති විය හැකිය. තවත් සමහර විටක භූමියෙහි දැදුරු හෝ විවර හෝ ඔස්සේ භූගත වන ජලය හා සම්බන්ධ භූගත කුහර ඔස්සේ ගලා ගොස් අන් තැනක දී උල්පත් වශයෙන් පොළොව මතුපිටට පැමිණේ. හුනුගල් සහිත භූමියෙහි මෙවැනි උල්පත් බෙහෙවින් ඇති වේ. ප්‍රංසයේ පැරිස් ද්‍රෝණියෙහි ද කැලිෆෝනියාවේ සැන් බ'නාඩීනෝහි ද නව මෙක්සිකෝවේ ලාස් වේගාස්හි ද මේ උල්පත් බහුලව ඇත. ලංකාවේ යාපනේ අර්ධ ද්වීපයෙහි භූජල නිධිය වැඩි වශයෙන් එහි හුනුගල් සහිත භූමියෙහි කුහර ඔස්සේ භූගත වන ජලයෙන් පෝෂණය වේ. පුත්තූර්හි පත්ල නොපෙනෙන ළිඳට ජලය සැපයෙනුයේ ද එවැනි භූගත උල්පත් ආශ්‍රයෙනි. තවද කරදිය හා කිවුල් දිය සහිත වෙරළ බඩ පෙදෙස්හි පමණක් නොව ගොඩබිමට නුදුරු මුහුදේ වුව ද මිරිදිය මතු වන උල්පත් ඇත. මිරිදිය සහිත වූ පෙදෙසක පොළොව යටට වන් ජලය භූගත මාර්ගයන් ඔස්සේ ම වෙරළ බඩ පෙදෙස් කරා ගලා ඊමෙන් මෙවැනි උල්පත් ඇති වේ. යාපනයට නුදුරු කීරමලේ උල්පත මීට නිදසුනි. පර්සියන් බොක්කේ ද මිරිදිය උනා එන උල්පත් තිබේ. මිරිදිය කරදියට වඩා සැහැල්ලු හෙයින් එය කරදිය මතුපිටින් බුබුලක් සේ නැඟී එයි.

තවද අපූර්ව ආකාරයෙන් නියමිත කාල සීමාවන් අතරතුර දී වරින් වර ගලන උල්පත් සමහරක් ද ඇත. ග්‍රීෂ්ම සෘතුවේ දී වරකට මිනිත්තු 35 තත්පර 35ක් තිස්සේ ගලා මිනිත්තු 32 තත්පර 30ක් නැවතී යළිත් ගලන උල්පතක් පිරනීස් කඳුකරයේ ෆොන්ටෙසෝර්බ නම් ස්ථානයේ තිබේල. වෙස්ට්හිෆේලියාවේ බුලර්බෝන්හි කලක් පැවති මෙවැනි සවිරාම උල්පතකින් පැය හතරකට වරක් නික්මුණු දිය පහරින් ජලරෝද කීපයක් කරකැවීමට හැකි වීල. සයිපනයක ආකාරයෙන් පිහිටියා වූ භූගත කුහරයක උල්පත් දිය එකතු වී කිසියම් මට්ටමකට එහි දිය පිරුණු පසු එම දිය සයිපනයකින් මෙන් පිට වීම මෙවැනි සවිරාම උල්පත් ඇති වීමට එක් හේතුවක් විය හැකි බව සලකනු ලැබේ. සමහර අවස්ථාවන්හි දී භූමිවායුපීඩනයක බලපෑම අනුව ද මෙවැනි සවිරාම උල්පත් ඇති වන බව සොයා ගෙන ඇත. ස්කොට්ලන්තයේ බ'න් ප්‍රදේශයෙහි 'ඉංග්ලිෂ් වෙල්' නම් ස්ථානයේ උදයට හා සවසට පමණක් පැය කීපයක් ගලන උල්පත මෙසේ භූමිවායුපීඩනයක බල පැවැත්ම අනුව ගලන්නක් ලෙස සලකනු ලැබේ. හුදෙක් දිය සැපයෙන අන්දම අක්‍රමවත් නිසා ම සවිරාමව ගලන උල්පත් ද ඇත.

උල්පතක භූගත මාර්ගය ගැඹුරු වූත් දීර්ඝ වූත් තරමට එහි ජල ප්‍රමාණය අධික වන බව සාමාන්‍ය පිළිගැනීමයි. මිනිත්තුවකට වතුර ගැලුම් දසලක්ෂයක් පමණ උනන උල්පතක් කැනේඩියානු රොකී ප්‍රදේශයේ බැම්ෆ් නගරයෙහි තිබේල. උල්පතක් පොළොව උඩට මතු වන ස්ථානයට ඉහළින් ඊට ජලය සැපයෙන භූගත ජල නිධිය පිහිටියේ නම් සමහර විටක එය අධික වේගය සහිත ජල ප්‍රහාරයක් ලෙස ඈතට හෝ ඉහළට හෝ විදී මතු වෙයි. ප්‍රංසයේ සැංතේත්යෙන්හි අඩි 24ක් ඉහළට විදෙන උල්පතක් තිබේල. බොහෝ විට මෙසේ මතුවන උල්පත්වල මුව වටා අවසාදිත ද්‍රව්‍ය රැස් වීමෙන් මුවවිටක් තැනේ. රතු මුහුද බඩ මෝසෙස්ගේ උල්පත් (Springs of Moses) පිහිටි ස්ථානයෙහි වූ සෑම උල්පතක් වටා ම අවසාදිත ද්‍රව්‍යයන්ගෙන් සෑදුණු කේතුවක් ඇත. ඕස්ට්‍රේලියාවේ මහා ආටිසියන් ද්‍රෝණියෙහි මෙවැනි කේතුරූපාකාර මුවවිටි සහිත උල්පත් තිබේ.

උණුදිය උල්පත්

භූගත වන ජලය ගුරුත්වාකර්ෂණය, පසෙහි කේශික ආකර්ෂණය ආදී නොයෙකුත් සාධක අනුව පොළොව යටට බැස යයි; සමහර අවස්ථාවන්හි ජලය වාෂ්ප වන තරම් උෂ්ණ සහිත වූ භූගත පෙදෙස් කරා වුව ද කාන්දු වේ. සාමාන්‍යයෙන් යම් ස්ථානයකින් මතු වන උල්පතක ජලය ඒ අවට පසෙහි උෂ්ණත්වයට වඩා උණුසුම් වේ නම් එය උණුදිය උල්පතක් වශයෙන් ගැනේ. ලෝකයේ සුප්‍රසිද්ධ උණුදිය උල්පත් කීපයක පිහිටීම හා උෂ්ණත්වය පහත දැක් වේ:

ලංකාවේ ත්‍රිකුණාමලය කිට්ටුව කන්නියාහි තිබෙන උණුදිය උල්පත්වල සාමාන්‍ය උෂ්ණත්වය පැ. 107.6°කි. අපරට මඩ/මහඔයට නුදුරු උණු වතුර බුබුල, කුමනට නුදුරු මරන්ගල්ලවගාව, රිදියගම වැවට සැ. 3ක් පමණ උතුරෙහි වූ මහපැලැස්ස, ගෝමරන්කඩවලට නුදුරු රන්කිහිරිය, දිඹුලාගලට සැ. 5ක් ඊසාන දිග වූ ගල්වැව යන ස්ථානවල හා මඩ. 1 කපුරැල්ල විහාර භූමියට සමීපව ද උණුදිය උල්පත් ඇත. මින් රන්කිහිරිය, ගල්වැව යන දෙතන්හි උණුදිය උල්පත් හා සමඟ ම ඇල්දිය උල්පත් ද තිබේ.

ගීසර

සාමාන්‍යයෙන් උණුදිය හා වාෂ්ප විටින් විට විදාරණය වන උල්පත් විශේෂයක් යමහල් කාරකත්වය බහුල පෙදෙස්වල ඇත. ගීසර (geyser) නමින් හඳුන්වනු ලබන මෙම උණුදිය උල්පත් සමහරක් පොළොවේ සිට අඟල් කීපයකට වඩා උසට විදාරණය නොවතුදු සමහරක් අඩි සිය ගණන් උසට විදාරණය වේ. තවද සමහර ගීසර මිනිත්තු කීපයක් ද තවත් සමහරක් පැය කීපයක් එක දිගට ද විදාරණය වෙමින් පවතී. අයිස්ලන්තයේ මහා ගීසරය නමින් හැඳින්වෙන ගීසරයේ අභ්‍යන්තර උෂ්ණත්ව වී. ලෝටින් නමැත්තා විසින් ප්‍රථම වරට 1836 දී මනින ලදි. ඊට අවුරුදු දහයකට පමණ පසුව රොබට් විල්හෙල්ම් ෆොන් බන්සන්, ඒ.ඇල්.ඕ. දෙස්ක්ල්ටාසෝ (Descloizeaux) යන දෙදෙනා ගීසර පිළිබඳව කරුණු සෙවීමෙහි නිරත වූහ. ගීසරයක මුඛයේ සිට එය ඇතුළේ මුළු ගැඹුරින් අඩක් පමණ දක්වා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් වැඩි වන බව ද ඉන් ඔබ්බට උෂ්ණත්වයේ නැඟීම මද බව ද වරක් විදාරණය වීමෙන් පසුව යළිත් විදාරණය වන මොහොත දක්වා අභ්‍යන්තර උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වන බව ද ඔව්හු සොයා ගත්හ. ගීසරයේ අභ්‍යන්තරයේ සිට මුඛය කරා නැඟී එන උණුදිය හා එක් වූ හුමාලයේ වාෂ්ප බලය විදාරණය ප්‍රබල වීමට හේතු වේ යයි ද බන්සන් නිගමනය කෙළේය. බන්සන්ගේ මේ සොයාගැනීම අයිස්ලන්තයේ මහා ගීසරය සම්බන්ධයෙන් බොහෝ විද්‍යාඥයන් විසින් පිළිගන්නා ලද නමුදු පසු කාලයක දී (1880 දී පමණ) එච්.ඕ. ලැං නමැත්තා තවත් අදහස් පළ කෙළේය. ගීසරයක විදාරණය අවසන් වීමට එහි ඇතුළත උණු වී බුබුලු නඟන ජලය තරම් උණුසුම් නොවන වෙනත් ජල ප්‍රහාරයක් ඒ තුළට ගලා ආ යුතු බවත් එසේ නොවුව හොත් ගීසරය තුළ ජලය විදාරණය නොවී එය හුදෙක් වාෂ්ප පමණක් පිට කරන කුහරයක් විය හැකි බවත් ඉන් කියැවිණි. ගීසර පත්ලෙහි ජලය තාපාංකය දක්වා උණුසුම් නොවුව ද එම ජලයෙහි අන්තර්ගත නයිට්‍රජන්, අංගාරිකාම්ල, ඔක්සිජන්, ආගන් ආදි වායුවල සම්මිශ්‍රණයෙන් ඇතිවන බුබුල නිසා ම උණුදිය විදාරණය විය හැකි යයි තවත් මතයක් ටී. තෝර්කෙල්ස්සෝන් (Thorkelsson) 1940 දී ප්‍රකාශ කෙළේය.

විදාරණයට හේතුව කුමක් වුවත් ගීසර ලොව අද්භූත දැයින් එකක් යැයි කිව හැකිය. අයිස්ලන්තයේ හා නවසීලන්තයේත් ඇමරිකා එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යාන ප්‍රදේශයේත් ගීසර බහුල ලෙස දක්නට ලැබේ. මේ හැර ඇලස්කාව, ජපානය, ටිබැටය, මලයා අර්ධද්වීපය, දකුණු හා මධ්‍යම ඇමෙරිකාව, නෙවාඩා (ඇ.එ.ජ.) ජනපදය යන පෙදෙස්හි ද ගීසර ඇත. යෙලෝස්ටෝන් ජාතික උද්‍යාන ප්‍රදේශයෙහි ඇති උණුදිය උල්පත්වලින් 10%ක් පමණ ගීසරය. ගීසර නොවන උණු දිය උල්පත් 1800ක් පමණ ද එහි ඇත. එහි වූ ෆයර්හෝල් නිම්නය උණුදිය උල්පත් හා ගීසර වැඩි ගණනක් රාශීභූත වී ඇති ප්‍රදේශය වේ. ඕල්ඩ් ෆේත්ෆුල්, ග්රෑන්ඩ්, බීහයිව්, කාසල්, ග්‍රේට් ෆවුන්ටන්, එක්සෙල්සියර් යනාදිය මෙහි පිහිටි වඩාත් ප්‍රසිද්ධ ගීසරය. දළ වශයෙන් පැයකට වරක් මිනිත්තු පහක් පමණ කාලයක් තුළ විදාරණය වන ඕල්ඩ් ෆේත්ෆුල් ගීසරයෙහි දිය කඳ අඩි 100-150 ක් පමණ ඉහළට විහිදේ. ඉන් වරකට පිටවන ජල ප්‍රමාණය ගැලුම් 10,000ක් පමණ වේල. ග්රෑන්ඩ් ගීසරය දිනකට වරක් හෝ දෙවරක් හෝ නැවති නැවතී මිනිත්තු 15-60 තිස්සේ විදාරණය වේ. එහි දිය කඳ අඩි 160ක් පමණ ඉහළට විහිදේ. වරකට උණුදිය ඝ.අ. 9,000ක් පමණ ඉන් පිටවෙතැයි නිගමනය කර ඇත. අඩි 220-250ක් පමණ ඉහළට දිය විදෙන බිහයිව් ගීසරය නිතර විදාරණය නොවන්නකි. එක්සෙල්සියර් ගීසරයෙන් පැයකට දිය ගැලුම් 250,000ක් පමණ ෆයර්හෝල් ගංගාවට එක් වේ. භූමිය කම්පනය කරවමින් විදාරණය වන කාසල් ගීසරයෙන් එය විදාරණය වී පැය දෙක තුනක් ගත වන තුරුත් හුමාලය පිට වේ. ගීසර පමණක් නොව 'ඩෙවල්ස් පේන්ට් පොට්' නම් වූ ආවාටය වැනි අධික උෂ්ණත්වයෙන් යුක්ත වූ ද, එහෙයින් නිරන්තරයෙන් ම ජ්වලිත වන්නා වූ ද, එහෙයින් ම මොහොතින් මොහොත නොයෙකුත් පැහැගැන්වෙන්නා වූ ද බොර දිය හා මඩ සහිත මහා උණුදිය උල්පත් රැසක් ද ෆයර්හෝල් නිම්නයෙහි ඇත.

අයිස්ලන්තයේ ගීසර සමහරක් රේක්යාවීක් නගරයට සැතපුම් 30ක් පමණ උතුරෙහි වූ ප්‍රදේශයකටත් හෙක්ලා ගිනිකන්ද අවට ප්‍රදේශයටත් ප්‍රධාන වශයෙන් සීමා වී ඇත. ලොව අනෙක් ගීසරයන්ට ද 'ගීසර' යන නම භාවිත වීමට මුල් වූයේ අයිස්ලන්තයේ මහා ගීසරයයි.

නවසීලන්තයේ ගීසර වඩාත් බහුලව ඇත්තේ එහි උතුරු දිවයිනෙහිය. ටවුපෝ හා රොටෝරුවා විල් අවට ලොව ඉතා ම විශාල ගීසරයන්ගෙන් සමහරක් පිහිටා ඇත. මෙහි ඉතා ම විශාල ගීසරයෙන් වරකට අඩි 500ක් පමණ ඉහළට දිය විදාරණය වේ. එහෙත් මෙහි දිය ඉතා අපිරිසිදුය.

බොහෝ විට උල්පත් ජලය ඛනිජ සහිතය. වැසි දිය වුව ද පොළොව යටට කිඳා බස්නා විට පොළොවේ රැඳුණු සමහර ඛනිජ ද්‍රව්‍ය ඊට එක් වේ. කැල්සියම් හා මැග්නීසියම් උල්පත් ජලයෙහි වඩාත් බහුලව ඇති ඛනිජය. කැල්සියම් බහුල වූ ජලය සහිත උල්පත් අවට හුනු ද්‍රව්‍ය තැන්පත් වීමෙන් සමහර අවස්ථාවන්හි දැකුම්කලු භූලක්ෂණ ඇති වේ. ඇල්ජීරියාවේ හැමම් මෙස්කූටීන් (Hammam Meskhoutine) මෙසේ කේතුරූපාකාරව හුනු ද්‍රව්‍ය ගොඩගැසී අලංකාර වී ඇති උල්පත් රාශියකි. අයෝනියාවේ ද මෙවැනි ඛටිකාමය ද්‍රව්‍ය තැන්පත් ද වීමෙන් සෑදුණු අලංකාර ස්ථාන ඇත. සාමාන්‍ය ලුණු සහිත දිය ඇති උල්පත් ලොව බොහෝ පෙදෙස්වල තිබේ. බර්ලින්හි ෂ්පේරන්බුර්ක්, එංගලන්තයේ වෙෂයර් හා වෙල්ටනම්, සිසිලියේ ඇරතූසා යන ස්ථානයන්හි ලොව සුප්‍රසිද්ධ ලුණුදිය උල්පත් සමහරක් ඇත. යකඩ අඩංගු උල්පත් ජලය බොහෝ විට තිත්ත රසය. ප්‍රසියාවේ ලාංගෙන්ස්වාල්බාක්හි (Langenswalbach) ඇති උල්පත අධික සේ යකඩ අඩංගු ජලයෙන් යුක්ත වූවකි. ගෙන්දගම් ද උල්පත් දියෙහි නිතර දක්නට ලැබෙන ඛනිජයකි. ගෙන්දගම් සහිත උල්පත් ජලයෙන් බොහෝවිට කුණු වූ බිත්තරයක බඳු දුගඳක් නික්මේ. ඛනිජ සහිත උල්පත් දියෙහි රෝග නිවාරණ ශක්තියක් ඇතැයි විශ්වාස කෙරෙන හෙයින් එවැනි උල්පත් ඇති සමහර ස්ථානයන්ට දිනපතා ම පාහේ රෝගීහු පැමිණෙත්. යුරෝපයේ කාල්ස්බාඩ්, එක්ස්-ලේ-බෑං, බාත්, හැරොගේට්, බක්ස්ටන් හා ස්ට්රෑත්පෙෆර් ද ඇමෙරිකා එක්සත් ජනපදයේ සරටෝගා, මවුන්ට් ක්ලෙමන්ස්, හොට් ස්ප්‍රිංස් හා වෝකෙෂා ද සුප්‍රසිද්ධ ඛනිජ දිය උල්පත් සමහරකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උල්පත&oldid=10489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි