උලු කැස්වටුවා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(රජවටුවා) (රොස්ට්රටුලා බෙන්ගලෙන්සිස් බෙන්ගලෙන්සිස් - Rostratula benghalensis benghalensis L.). මේ ලස්සණ කුරුල්ලා ලංකාවේ පාත රට හා වඩා උස් නොවූ ප්‍රදේශවල ජීවත් වේ. ඌ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ කුඹුරුවල හෝ ගොහොරුබිම්වලය. කුරුල්ලා අඟල් 10ක් පමණ ද කිරිල්ලී අඟල් 11ක් පමණ ද දිගය. රූපය හා හැඩය අතින් සාමාන්‍ය කැස්වටුවකුට (කැස්වටුවා බ.) සමානකම් දැක්වුව ද ව්‍යූහය අතින් ඌ බෙහෙවින් වෙනස්ය. උගේ දිග හොට කෙළවර තදය; මඳක් වක්‍රය. කැස්වටුවාගේ හොට මෙන් එය පහසුවෙන් නැමිය නොහැකිය. උලු කැස්වටුවාගේ පියාපත් පළල්ය. කැස්වටුවාට තරම් ශීඝ්‍රයෙන් ඌට පියාසර කළ නොහැකිය.

ජල කෘමීන් ද කුඩා ගොම්බෙල්ලන් හා පණුවන් ද ධාන්‍ය වර්ග ද උලු කැස්වටුවා ආහාර කොට ගනී. ඌ මේ ආහාර සොයාගන්නේ රෑ කාලයේ දීය. තරමක් දවල් වන තුරු ද ඌ ආහාර සොයා යයි. දවල් කාලයේ දී යම් කිසිවකට මුවා වී සැඟවී සිටී.

උලු කැස්වටුවාගේ පිහාටු ද සාමාන්‍ය කැස්වටුවාගේ පිහාටුවලට වඩා ලස්සණය. විශේෂයෙන් ම කිරිල්ලගේ පිහාටු ඉතා ලස්සණය. ඈට ඕනෑ කරන පිරිමි කුරුල්ලා ලබාගැනීමට තම වර්ගයේ වෙනත් කිරිල්ලන් සමග ඈ සටන් කරයි. පෙම් කෙළියෙහි ඈ උද්‍යෝගී ලෙස ක්‍රියා කරයි. බිජු රැකීම හා පැටවුන් බලාගැනීම ඈ කුරුල්ලාට පවරයි. එක් කිරිල්ලක කුරුල්ලන් කිහිප දෙනකු සේවනය කරතැයි සිතිය හැකිය.

උලු කැස්වටුවන්ගේ ප්‍රජනන කාලය නොවැම්බර් සිට මැයි දක්වාය. කුරුල්ලා වියළි තණකොළ හා වල් පැළෑටි ඔතා බිම කූඩුවක් සාදයි. කිරිල්ල එක් වරකට දුඹුරුපාට බිත්තර 4ක් එහි දමයි.

උලු කැස්වටුවා ග්රලෙ (Grallae) ගෝත්‍රයෙහි රොස්ට්රටුලිඩේ (Rostratulidae) ගෝත්‍රයට අයත්ය. ඌ බෙහෙවින් ව්‍යාප්ත වී ඇත. අප්‍රිකාව, ආසියාව හා ඕස්ට්‍රේලියාව යන රටවල ද ඌ දක්නට ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උලු_කැස්වටුවා&oldid=10482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි