උස්සිලියාතිස්ස

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලක්දිව ගෝඨාභය රජු දවස (253-266) අනුරාධපුර දකුණුගිරි වෙහෙර 'සාගලිය' නිකාය ආරම්භ කිරීමට මුල් වූ තෙරණුවෝය. වෝහාරතිස්ස (214-236) රජුගේ කාලයෙහි අභයගිරි වැසි ධම්මරුචි නිකායිකයෝ වෛතුල්‍ය පිටකය ගෙන "බුදුන් වදාළ ධර්මය මේ යයි" දැක්වූහ. මහ වෙහෙර භික්ෂූහු එය ධර්ම විනය හා සසඳා බලා "අධර්මවාදයෙකැ"යි බැහැර කළහ. වෝහාරතිස්ස රජ කපිල නම් උගත් ඇමතියකු ලවා විනිශ්චය කරවා බුද්ධභාෂිත නොවන බව දැන වෛතුල්‍යවාදය ගෙන්වා විනාශ කොට ඒ ගත් භික්ෂූන්ට ද නිග්‍රහ කොට සසුන් බැබළවීය.

නැවත ගෝඨාභය මහරජාණන්ගේ රාජ්‍ය සමයෙහි ද අභයගිරිවාසී ධර්මරුචි නිකායිකයෝ වෛතුල්‍යවාද ගෙන බුද්ධභාෂිත යයි දැක්වූහ. එකල එහි වුසූ මේ උස්සිලියාතිස්ස මහතෙරණුවෝ වෝහාරතිස්ස රජු දවස වෛතුල්‍යවාද ගත් භික්ෂූන්ට නිග්‍රහ කළ පරිදි අසා "නැවතත් විචාරවත් රජුන් දවස එලෙස වුවහොත් යහපතෙක් නොවෙයි; අපි ඔවුන් හා එක් නොවම්හ"යි භික්ෂූන් තුන්සියයක් දෙනා හැරගෙන දකුණුගිරි විහාරයට ගොස් ධර්මරුචි නිකායෙන් වෙන් ව විසූහ. ඒ භික්ෂූන් අතුරෙන් 'සාගල' නම් මහතෙර කෙනකුන් එහි ම වෙසෙමින් ආගම ව්‍යාඛ්‍යාන කළ බවත් ඔවුන් අතැවැසිව එහි වසන භික්ෂූන් එතැන් පටන් එම නමින් 'සාගලිය' නිකාය නම් වූ බවත් සඳහන් වෙයි. උස්සිලියාතිස්ස මහ තෙරණුවෝ ඔවුන් කෙරෙහි මාහිමි වූහ. සිව්වන මිහිඳු රජු (956-972) විසින් අනුරාධපුරයෙහි ජේතවන දාගැබ අසල පිහිටුවන ලද ශිලා ලිපියක (ලං.ශි.සං. III, 227 පිටුව) දක්නට ලැබෙන "සාගුලි මහහිමියන් නැමින් පාළ වූ... තිස් මහ තෙරනට් පිහිටි දෙනා රජමහ වෙහෙර්හි... " (= සාගලිය මාහිමියන් නමින් ප්‍රකට වූ... තිස්ස මහතෙරුන් සඳහා පිහිටියාවූ ජේතවන රජමහ වෙහෙරෙහි... ) යන්නෙන් ඒ බව හෙළි වෙයි. ගෝඨාභය රජහු පුත් මහසෙන් රජු (276-303) විසින් ජේතවන විහාරය කරවා දෙන ලද්දාවූත් පසුව අන්තිම වස්තුවෙන් චෝදනා ලැබ සිවුරු හරවන ලද්දාවූත් දකුණු ගිරිවෙහෙරවැසි කොහොන් (= කුහක) තිස්ස නම් මහතෙරුනුත් මේ උස්සිලියාතිස්ස මහතෙරුනුත් එක් ම කෙනකුන් වූ බව ද ඒ අනුව නිගමනය කළ හැකිය.

සාගලිය නිකායෙහි භික්ෂූහු මහසෙන් රජු දවස ජේතවන විහාරයෙහි ව්‍යාප්තව ගියහ. පසුව ජේතවන නිකාය (දෙනානක)යි ප්‍රසිද්ධ වූ ඒ සාගලිය නිකාය මහ පැරකුම්බා රජුගේ නිකාය සාමග්‍රිය දක්වා ලක්දිව නොසිඳී පැවැත්තේය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උස්සිලියාතිස්ස&oldid=9821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි