උස්ස වටුවා
ලංකාවෙහි පමණක් දක්නට ලැබෙන විශේෂ දෙකකට අයත් පක්ෂීහු දෙදෙනෙක් මේ නමින් හැඳින්වෙත්. ප්‍රමාණයෙන් පරෙවියකු තරම් වූ උන්ගේ පියාපත් හා පෙඳය පරෙවියාගේ පියාපත්වලට හා පෙඳයට වඩා කෙටිය.
ප්‍රන්කොලිනුස් පොන්ඩිවෙරියානුස් සිලෝනෙන්සිස් (Francolinus pondicerianus ceylonensis Whistler) නමින් හැඳින්වෙන උස්ස වටුවා පුත්තලමේ සිට යාපනය දක්වා වෙරළ ආසන්න ප්‍රදේශයට හා ඒ අසල තිබෙන දූපත්වලට පමණක් සීමා වේ. පැළඉනි වැටවල්, වන ලැහැබ් හා පඳුරු තිබෙන තැන්වල ඌ ජීවත් වේ. ඇවිදීමට හා දිවීමට ඌ ඉතා සමත්ය. ඌ පියාඹන්නේ ඉතා කලාතුරකිනි; එද සතුරන්ගෙන් ගැළවීම සඳහා පමණි. බිමට අඩි ස්වල්පයක් උඩින් පියාඹා වැඩිදුර නොගොස් ඌ නැවත බිමට බසියි. උදෑසන හා සවස් කාලයේ දී උස් හඬින් ශබ්ද කරමින් ඌ කෑගසයි. තෘණ ඇට හා විවිධ ධාන්‍ය වර්ග ද කුහුඹුවන්, වේයන් හා පලාගිරවු ද උස්ස වටුවාගේ ප්‍රධාන ආහාර වෙත්. කුරුල්ලාත් කිරිල්ලිත් පෙනුමෙන් එක සමාන වෙති. උන්ගේ ප්‍රජනන කාලය මැයි මාසයේ සිට අගෝස්තු මාසය දක්වායි. පඳුරකින් වැසුණු පොළොවේ නොගැඹුරු වළක් හාරා කිරිල්ල එහි ඇත්දත් පාට බිත්තර 4ක් පමණ දමයි.
අනික් උස්ස වටුවා ප්‍රන්කොලිනුස් පික්ටුස් වට්සෝනි (Francolinus pictus watsoni Logge) නමින් හැඳින්වේ. ඌව පළාතේ වියළි පතන්වල ඌ දක්නට ලැබේ. මාන පඳුරුවලින් හා උඳු කැළෑවලින් වැසී ඇති කඳුකර පෙදෙස ඌට හිතකරය. ඌ ඇවිදීමට හා දිවීමට ඉතා සමත්ය. අනික් උස්ස වටුවා මෙන් ඌ ද ටික දුරක් පියාඹන්නේ සතුරන්ගෙන් ගැළවීම සඳහාය. තෘණ ඇට හා රටහිඟුරු (ගඳපාන) ගෙඩිත් කුහුඹුවන්, වේයන් හා පලාගිරවුන් මේ උස්ස වටුවාගේ ප්‍රධාන ආහාර වෙත්. කිරිල්ල කුරුල්ලා තරම් ලක්ෂණ නැත. ඇගේ බඩ පැත්තේ පාට වෙනස්ය. පඳුරකින් ආවරණය වූ තැනක නොගැඹුරු වළක් හාරා කූඩුව සාදාගෙන කිරිල්ල එහි ඇත්දත් පාට බිත්තර 4ක් පමණ දමයි.
ලංකාවේ සිටින උස්ස වටුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව සිතිය හැකිය. උස්ස වටුවන්ගේ මාංසය ආහාරයට සුදුසු බැවින් මිනිසුන් උන් මරාගෙන කෑම උන්ගේ සංඛ්‍යාව අඩු වීමට එක් හේතුවකි. ඉඩෝර කාලයේ දී ඌව පළාතේ පතන්වලට මිනිසුන් ගිනිතබන හෙයින් උන්ගේ කූඩු බොහොමයක් ගින්නෙන් විනාශ වී යෑම තවත් හේතුවකි.
උස්ස වටුවා ගලිපෝමේස් (Galliformes) ගෝත්‍රයෙහි පසියානිඩේ (Phasianidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1974)