උළුවස්ස
ගොඩනැඟිල්ලක එසේ නැතහොත් පවුරකින් හෝ බිත්තිවලින් කොටු වූ වෙන යම් ස්ථානයක දොරටුවලට වද්දනු ලබන රාමුව උළුවස්ස නම් වෙයි. දොර සවි කෙරෙන්නේ මේ රාමුවටය.
උළුවස්ස ගෙයක අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින් එහි ඉතිහාසය වාස්තුවිද්‍යාවේ ඉතිහාසය තරම් ම පැරණිය. මිනිසා ගේදොර තැනීම ආරම්භ කළ අවස්ථාවේ සිට ශතවර්ෂ කිහිපයක් ගත වන තෙක් ම උළුවහු තැනීම සඳහා භාවිතා කරන ලද්දේ දැවය. පසුව ඒ සඳහා ගල් යොදාගනු ලැබීය. මතු දැක්වෙන පරිදි, ලෝකඩෙන් සහ කිරිගරුඬ ගලින් කළ උළුවහු ද ඇතැම් පැරණි ශිෂ්ටාචාරයන්ට අයත් ගෘහනිර්මාණයන්හි දක්නට ලැබේ. වර්තමානයෙහි උළුවහු තැනීම සඳහා දැව මෙන් ම වානේ ආදි ලෝහ වර්ග ද භාවිතා කෙරේ.
වාස්තුවිද්‍යාවේ මුල් කාලයට අයත් උළුවහු, උළුවහුකණු දෙකකටද ඊ මත යෙදුණු හරස්කඩකට හෙවත් උඩෙළිපතකට ද සීමා විය. ඇතැම් විට මේ හරස්කඩ උළුවහුකණු දෙකට වද්දවන ලද්දේ උළුවහුකණු දෙකේ මුදුනට මඳක් පහළිනි. ශිෂ්ටාචාරයේ දියුණුව හා සමග ප්‍රාසාද මන්දිරාදිය ඉදිකිරීම ආරම්භ වීමෙන් පසු ඒවායේ උළුවහුවලට වෙනත් අංග එක් වූයේය. පොළොව මට්ටමේ දී උළුවහුකණු දෙකට සම්බන්ධ වන එළිපත්ත හෙවත් පඩිකඳ ද හරස්කඩෙන් උඩ උළුවහුකණු දෙක අතරට සවි කෙරෙන බොහෝ විට කැටයමින් යුත් පුවරුවක් වන උත්තර ලෑල්ල ද ඊ මත වූ දෙවැනි හරස්කඩ ද මෙසේ පසුව එකතු වූ අංග තුනකි.
මන්දිරයක දොරටුව එහි අලංකාරයට බොහෝ සේ හේතු වන හෙයිනුත් මන්දිරයක් අබිමුවට එළඹෙන්නකුගේ නෙත් එක්වර ම දොරටුව වෙත ඇදී යන හෙයිනුත් සුවිසල් මන්දිරයන්හි උළුවහු සුදුසු පරිදි අලංකරණය කිරීමට ගෘහනිර්මාණ ශිල්පීන් උනන්දු වූ බැව් පෙනේ. ඒ ඒ දේශවාසීන්ගේ කලාකෞශල්‍යය ඒ අලංකරණයන්ගෙන් පිළිබිඹු වේ.
මිසරය
ක්‍රිස්තුවර්ෂාරම්භයට පෙර අවුරුදු තුන්දහසක් පමණ පැරණි මිසර ශිෂ්ටාචාරයට අයත් ගොඩනැඟිලිවල උළුවහු සිවුරැස් හරස්කඩවලින් යුක්ත වූ අතර උළුවහුකණු අතර පරතරය එළිපත්තේ දීත් හරස්කඩේ දීත් එක සමාන විය. උළුවහුකණුවල සාමාන්‍යයෙන් පිටතට මඳක් නෙරා සිටි පුළුල් වාටියක් වූයේය. හරස්කඩේ උස ප්‍රමාණය මේ වාටිවල පළලට වඩා අඩුය. ප්‍රධාන දොරටුවල හරස්කඩට උඩින් බණ්ඩි බොරදමක් (torus) ද ඊට උඩින් අවතල බොරදමක් (cavetto) සහිත මුදුන් ලීස්තරයක් (cornice) ද වෙයි. විශේෂයෙන් ම මිසරයෙහි මස්තාබා නමින් හැඳින්වෙන සොහොන් ගෙවල්හි උළුවහුවල හරස්කඩ උළුවහුකණුවලට වද්දා ඇත්තේ එම කණුවල මුදුනට මඳක් පහතිනි.
ග්‍රීසිය හා රෝමය
ක්‍රි.පූ. 5 වැනි සියවසෙහි වූ ග්‍රීක ශිෂ්ටාචාරයට අයත් ගොඩනැඟිලිවල උළුවහු බටහිර ලෝකයෙහි ගෘහනිර්මාණ ශිල්පීන්ට ආදර්ශ වූ බැව් පෙනේ. රෝම උළුවහුවලට ද ග්‍රීක ආභාසය බොහෝ සේ ලැබී ඇති අතර විට්රුවියස් (බ.) මේ උළුවහු ඩෝරික, අයෝනික සහ ඇටික හෙවත් කොරින්තියානු යනුවෙන් කොටස් තුනකට වර්ග කොට දක්වයි. විට්රුවියස් කරන විස්තරයට අනුව මේ උළුවහුවල හරස්කඩේ දී උළුවහුකණු අතර ඇති පරතරය පඩිකඳේ දී ඇති පරතරයට වඩා අඩුය. උළුවහුකණු ද පඩිකඳේ සිට හරස්කඩ දක්වා නියමිත ප්‍රමාණයකට ක්‍රමයෙන් සිහින් විය යුතුය. හරස්කඩේ උස ප්‍රමාණය උළුවහුකණු මුදුන්වල පළලට සමානය. හරස්කඩවල පබළුරටාව (astragal) සහිත උඩලීස්තරයක් වේ. ඊ මත පට්ටිකාවකි (frieze). එහි උස ද හරස්කඩේ උසට සමානය. පට්ටිකාව ද පබළු රටාව සහිත උඩලීස්තරයකින් යුක්තය. මේ සියල්ලට ම උඩින් ඇති උළුවස්සේ ශීර්ෂය (corona) ද එහි උඩලීස්තරය ද කැටයම් නොකළ යුතුය යනු විට්රුවියස්ගේ නියමයයි. උළුවහුකණු උඩ රැඳෙන හරස්කඩ දෙපස පේකඩ දෙකක් වෙයි.
ග්‍රීසියෙහි ඇතන්ස් නුවර පාර්තිනොන් සහ එරෙක්තියම් යන මන්දිරයන්හි උළුවහු ග්‍රීක නිර්මාණයන්ට ද ක්‍රි.ව. දෙවන සියවසට අයත්, රෝමයේ පැන්තියොන් මන්දිරයෙහි උළුවහු රෝම නිර්මාණයන්ට ද කදිම නිදසුන් වෙයි. එරෙක්තියම්හි උතුරුදිග දොරටුවේ උළුවස්ස කිරිගරුඬ ගලින් නිම වූ අතර පැන්තියොන්හි ප්‍රධාන දොරටුවේ උළුවස්ස නිම වී ඇත්තේ ලෝකඩවලිනි. මේ උළුවහුවල හරස්කඩ මත්තෙහි ජාලක සහිත උත්තර ලෑල්ලක් වූ අතර උළුවහුකණුවල බොරදම් යොදා ඇත. හරස්කඩ සිවුරැස් වේ.
එරෙක්තියම් මන්දිරයෙහි උතුරු දොරටුවේ උළුවහුකණුවල සහ හරස්කඩෙහි ලීස්තර බේරා ඇති අතර පබළුරටාව ද අලංකරණාංගයක් සේ යොදා ඇත. උළුවහුකණු දෙකෙහි ද හරස්කඩෙහි ද සමදුරින් නෙළන ලද රෝසපෙති රටා (rosettes) වේ. හරස්කඩ මුදුනෙහි ලණු සැරසිල්ලකි. උළුවස්සේ ශීර්ෂයෙහි මේ යුගයේ කලාශිල්පයනට ආවේණික වූ ලතාකර්මයකි. හරස්කඩ දෙපස පේකඩ ද කැටයමින් අලංකෘතය. පේකඩ දෙකෙහි මුඛයන්හි වනුයේ නිරන්තරයෙන් යෙදෙන සැරසිලි සංලක්ෂණයක් වූ ඇකැන්තස් ඉති දෙකකි.
ඉන්දියාව
දියුණු ගෘහනිර්මාණ ශිල්පයකට හිමිකම් කියන ඉන්දියාවෙහි ආගමික ගොඩනැඟිලිවල ද විසිතුරු අලංකරණයන්ගෙන් සැදි උළුවහු දක්නට ලැබේ. ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ගුරු පොතක් වූ මානසාරයෙහි උළුවහුවල අංගෝපාංගයන්හි දිග පළල කෙතෙක් විය යුතු ද යන්න විස්තර කෙරේ. ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන් දොරටු අලංකරණය කිරීමට දැක්වූ උනන්දුව ක්‍රි.පූ. තෙවැනි සහ දෙවැනි සියවස්වලට අයත් භර්හුත් හා සාංචි ස්තූපයන්හි දොරටුවලින් පැහැදිලි වේ.
ගුප්ත යුගයේ මහඟු නිර්මාණයක් වශයෙන් ගැනෙන දියෝඝර්හි විෂ්ණු දේවාලයෙහි ප්‍රධාන දොරටුවේ උළුවස්ස කලා විචාරකයන්ගේ සම්මානයට පාත්‍ර වූවකි. මෙහි උළුවහුකණු දෙකෙහි ද හරස්කඩෙහි ද ඉදිරියට නෙරා සිටින සේ බේරූ වාටියක් වේ. උළුවහුකණු දෙකෙහි යටභාගයෙහි දොරටුපාල රූපයක් බැගින් වේ. දොරටුපාල රූපයේ හිස මත උළුවහුකණුවේ වාටියෙන් ඇතුළු කොටසෙහි හිඳ සිටින රුවක් කැටයම් කොට ඇත. එයින් ඉහළට උළුවහුකණුවේ සිරස් අතටත් හරස්කඩේ තිරස් අතටත්, වාටියෙන් ඇතුළු කොටසෙහි ලතාකර්මයක් වන අතර වාටියෙහි වනුයේ ජ්‍යාමිතික රටාවකි. මේ පළමු වැනි උළුවහු රාමුව වටා මිථුන රූප සහිත වෙනත් රාමුවක් වෙයි. එහි කණු දෙකෙහි යට භාගයෙහි ද දොරටුපාල රූපය බැගින් වේ. මේ රාමු දෙකෙහි හරස්කඩ දෙක මධ්‍යයෙහි අනන්ත නාරජුගේ දරණවැළ මත හිඳගෙන සිටින විෂ්ණුහුගේ රූපය කැටයම් කළ සතරැස් පුවරුවකි. දෙවැනි රාමුව දෙපස කුඩ්‍යස්තම්භ (pilasters) දෙකකි. මේ දෙකෙහි යට භාගයෙහි ද දොරටුපාල රූපය බැගින් නෙළා ඇති අතර ඊට ඉහළින් ඇති කුලංගි ද්වයක මිනිස් රූප දෙක බැගින් වේ. කුඩ්‍යස්තම්භ දෙකත්, හරස්කඩත් මත කූඩු සහ වෙනත් සියුම් කැටයම් සහිත පුවරුවකි. මේ පුවරුවේ දෙකෙළවර කැටයම් කොට ඇති නාරී රූපද්වය ගංගා හා යමුනා නම් දෙව්දුන්ගේ රූප ලෙස බෙන්ජමින් රෝලන්ඩ් මහතා හඳුන්වයි. මේ රූප දෙකට පහළින් උළුවහු කණු දෙකට සමාන්තරව ලියකමින් කැටයම් කරන ලද කුඩ්‍යස්තම්භ දෙකකි. මේ ස්තම්භද්වයෙහි ඇති කැටයම 'ගංගායමුනා' රූ දෙකත් කූඩු සහිත පුවරුහිසත් වටා වාටියක් මෙන් දිවෙයි. පිටතින් වූ කුඩ්‍යස්තම්භද්වයෙහි පාදයෙහි ද දොරටුපාල රූපය බැගින් නෙළා ඇති නිසා මුළු දොරටුවෙහි ම ඇති දොරටුපාල රූප ගණන අටකි.
ගදාග් නුවරට නුදුරු ලක්කුන්දි නම් ස්ථානයේ පිහිටි කාශිවිශ්වේශ්වර දේවාලයෙහි ප්‍රධාන දොරටුවෙහි උළුවස්සේ කැටයම් විස්තර කරන ජේ. ෆ’ගසන් මහතා එය චාලුක්‍ය යුගයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස හඳුන්වයි.
ඉන්දියාවෙහි උළුවහු බොහොමයක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් නම් උළුවහුකණු දෙපස වූ කුඩ්‍යස්තම්භ සහ ඒවා මත රැඳුණු, කැටයමින් හෙබි, මුදුන් ලීස්තර ද වේ. මුදුන් ලීස්තරය හෝ හරස්කඩ මධ්‍යයෙහි ගජලක්ෂ්මී, බ්‍රහ්ම, විෂ්ණු, ශිව, පාර්වතී ආදි දෙවිදේවතාවුන්ගේ රූප කැටයම් කරන ලද්දේය. උළුවහු කණුවල යට භාගය දොරටුපාල රූපවලින් නිමියේය. උළුවහුවල කැටයම් අතර නාග නාගිනී රූප ද ඇත් හා සිංහ රූප ද ගණ රූප ද මල් ලියකම් ද වේ.
ලංකාව
ගෙයක උළුවහු තැබීම කෙතරම් වැදගත් කාර්යයක් වශයෙන් මෙරට ජනයා විසින් සලකන ලද්දේ ද යන්න උළුවහු පැනීම පිළිබඳව ඔවුන් අතර පවත්නා සිරිත්විරිත්වලින් පැහැදිලි වේ.
වෙනත් රටවල මෙන් ම ලංකාවේ ද වාස්තු විද්‍යාවේ මුල් කාලයේ දී ගොඩනැඟිලි දැවයෙන් කරන ලද නිසා ඒ කාලයට අයත් උළුවහු ශේෂ වී නැත. මෑත අතීතයට අයත් ගොඩනැඟිලිවල උළුවහු සෑහෙන ප්‍රමාණයක් දක්නට ලැබෙන නමුත් ඒවායේ කාලය නියම වශයෙන් නිශ්චය කිරීම අපහසුය. ඊට හේතුව පසුකාලවල කරන ලද ගොඩනැඟිලි සඳහා බොහෝ අවස්ථාවන්හි දී පැරණි ගොඩනැඟිලිවල වූ උළුවහු යොදා ගෙන තිබීමය.
මිහින්තලේ කළුදිය පොකුණ නම් ස්ථානයේ ඇති නටබුන් අතර දක්නට ලැබෙන උළුවහු සහ උළුවහුවල කොටස් ඈත කාලයකට අයත් ඒවා සේ සැලකිය හැකිය. ගලින් නිමවන ලද මේ උළුවහු, උළුවහුකණු දෙකකින් ද හරස්කඩකින් සහ පඩිකඳකින් ද යුක්තය. මේවායෙහි කැටයම් හෝ බොරදම් ආදියක් දක්නට නොලැබේ. හරස්කඩ සිවුරැස්ය. ඇතැම් දොරටුවල ඇති පඩිකඳන්හි දක්නා ලැබෙන තව්වලින් උළුවහුකණු මේවාට සවි වූ ආකාරයත් උළුවහුකණුවල ප්‍රමාණයත් ගැන අදහසක් ඇති කරගත හැකිය.
1894 දී අනුරාධපුරයේ නෂ්ටාවශේෂ ගැන සැලසුම් සහිත වාර්තාවක් සැපයූ ජේ.ජී. ස්මිදර් මහතා ථූපාරාමය, ලංකාරාමය, රුවන්වැලිසෑය සහ අනුරාධපුර දළදා මාළිගාව යන තන්හි වූ උළුවහු කිහිපයක් එහි ලා විස්තර කොට තිබේ.
ථූපාරාම දාගැබට නිරිතදිගින් පිහිටි ගොඩනැඟිල්ලෙහි වූ උළුවහු හතරක් සියුම් ලෙස බොරදම් කළ ගලින් නිම කොට තිබුණු බව ස්මිදර් මහතා සඳහන් කරයි. මෙතන්හි ම වූ දැවමුවා උළුවහු දෙකක හරස්කඩේ යටි පැත්ත එකිනෙකට සම්බන්ධ වූ වක දෙකක ආකාරයෙන් හෙවත් සූර්යවංක හැඩයෙන් යුතු වූ බව ද සඳහන් වේ. උළුවහුකණුවල සහ හරස්කඩවල බොරදම් යෙදුණු අතර මින් එක් උළුවස්සක ලියවැල් රටාවක් කැටයම් කොට තිබුණු බව ද සඳහන්ය. එම උළුවස්සේ අඩියක ගනකමින් ද අඩි 2කුත් අඟල් 1ක් උසින් ද යුතු තනි ලීයක් වූ හරස්කඩ කැටයම් කොට තිබුණු අයුරු ස්මිදර් මහතා විස්තර කරන්නේ මෙසේය. "(හරස්කඩ) මධ්‍යයෙහි ඉණ සිට දෙපතුල දක්වා වැටෙන සේලයක් හැඳි කාන්තාවකගේ රූපයකි. මේ රූපයේ උඩුකය නිරුවත්ය. තඹපතින් කළ අර්ධගෝල යුග්මයකින් පියයුරු නිරූපිතය. මේ අර්ධගෝල දෙක මැදින් යැවුණු රවුම් කුඩුම්බියක් සහිත ඇණ දෙකකින් ඒවා රූපයට සවි වෙයි. කාන්තාවගේ කොණ්ඩය හිසෙහි වම්පසින් දැක්වේ. කනෙහි පැලඳි ආභරණ හැරුණු විට සිරුරෙහි වෙනත් ආභරණ නොමැතිය. කාන්තාව දෑතින් ලියවැලක දණ්ඩක් ගෙන සිටියි. හරස්කඩින් වැඩි කොටස වැසෙන්නේ මේ ලියවැලෙනි. නාරීරූපය දෙපස ගෞරව සම්ප්‍රයුක්තව වැඳ සිටින මිනිසකුගේ රූපය බැගින් වේ. මේ රූප ප්‍රමාණයෙන් නාරිරූපයෙන් අඩක් පමණ වේ. මිනිසුන් දෙදෙනාගේ ඇඳුම් පැලඳුම් ඉණකඩකට පමණක් සීමා වන අතර ඔවුන් දෙදෙනා ද කොණ්ඩය බැඳ ඇත. මේ කැටයම සිහින් හුනු බදාමකින් වැසී ඇති බව පෙනේ. ඇතැම් විට එය සායම් ආලේප කිරීම සඳහා යොදන ලද්දක් විය හැකිය."
අටවැනි සියවසට අයත් ගොඩනැඟිල්ලක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්ගම බෝධිඝරයෙහි ගල් උළුවස්ස පැරණි ගෘහනිර්මාණ ශිල්පීන් තුළ වූ කැටයම් කිරීමේ කෞශල්‍යය විදහා දක්වන නිර්මාණයකි. උළුවහුකණු දෙකෙහිත් හරස්කඩෙහිත් පිට තීරුවෙහි වාටියත් මෙන් දිවෙන පලාපෙති රටාවකි. උළුවහුකණු දෙකේ පලාපෙති රටාවට යාව දොරට කිට්ටු පැත්තේ සිහින් කුලුනක රූපය බැගින් නෙළා ඇත. කුලුනු දෙකට යාව දොරට සම්බන්ධ වන ඊළඟ තීරයෙහි පාමුල වූ කුඩා සතරැස් කොටුවක වස්දණ්ඩක් පිඹින වාමනයකුගේ රුවකි. මේ කොටුවට උඩින් දොරටුපාල රූපයක් වේ. දොරටුපාල රුවෙහි උරහිස දක්වා එසවූ එක් අතක පුන්කලසකි. ඉණට දී ඇති අනික් අතින් උළුවහු කණුවේ සිරස් අතට දිවෙන ලියවැලක දණ්ඩ ගෙන ඇත. මේ ලියවැල හරස්කඩට මඳක් පහතින් අවසන් වන අතර එතැන් සිට හරස්කඩ තෙක් වූ කොටසෙහි අසරුවකුගේ රූපයක් කැටයම් කොට ඇත. පිම්මක් පැනීමට මෙන් පස්සා ගාත්වලින් නැගී සිටින අශ්වයාගේ බඩ යට ද මිනිසෙකි. උළුවහු කණුවේ මේ අසරු කොටුවට උඩින් හරස්කඩේ දෙපස ඇඳිලි බැඳ අඩදැණිව සිටින මිනිසකුගේ ද ඔහු පිටිපස පස්සා ගාත්වලින් හිටගත් සිංහයකුගේ ද රූප සහිත කොටුවක් බැගින් වේ. මේ කොටු දෙක අතර පලාපෙති වාටියට යටින් වූ හරස්කඩේ ඉතිරි කොටසෙහි කැටයම් කොට ඇත්තේ ලණු සැරසිල්ලකි.
14 වැනි සියවසේ සිට 18 වැනි සියවස දක්වා මධ්‍යකාලීන යුගය තුළ ගම්පොළ, කෝට්ටේ සහ විශේෂයෙන් ම මහනුවර සමයයනට අයත් උළුවහු රාශියක් දැනට ශේෂව පවතී. මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළට නුදුරු අළුදෙණිය විහාරයේ සහ ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තොට අසල ගලපාත විහාරයේත් ඇති උළුවහු දෙකක් ගම්පොළ සමයේ නිර්මාණයන්ට ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ උතුවන්කන්ද අසල අම්බුළුගල විහාරයේ උළුවස්ස කෝට්ටේ සමයේ නිර්මාණයන්ට ද නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මහනුවර දළදා මාළිගාව, දැනට කටුගෙය පිහිටුවා ඇති පල්ලේවාහල, අස්ගිරි හා මල්වතු විහාර යන තන්හි මහනුවර සමයට අයත් විශිෂ්ට නිර්මාණ දැක්ක හැකිය. මහනුවර දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථානවලින් ලබාගත් පැරණි උළුවහු සහ උළුවහුවල කොටස් සෑහෙන සංඛ්‍යාවක් කොළඹ ජාතික කෞතුකාගාරයට ගෙන ගොස් ඇත. කෑගලු දිස්ත්‍රික්කයේ හතර කෝරළයට සහ කෝරළ තුනට අයත් විහාර දේවාලයන්හි උළුවහු එච්.සී.පී. බෙල් මහතා සිය කෑගලු වාර්තාවෙහි ලා විස්තර කරයි. අම්බුළුගල, දිප්පිටිය, කප්පාගොඩ, දෙවනගල, දනගිරිගල, වට්ටාරම, දියසුන්නත, ලෙනගල යන තන්හි වූ විහාරවල උළුවහු ඒ මහතාගේ විශේෂ සැලකිල්ලට ලක් වී තිබේ.
ගම්පොළ සමයට අයත් යයි ඉහත සඳහන් කළ උළුවහු දෙකෙහි ම බෙරකාරයන්ගේත්, වෙනත් සංගීත භාණ්ඩ වාදනය කරන්නවුන්ගේත්, නැට්ටුවන්ගේත් රූප බොහෝ ගණනක් කැටයම් කොට තිබේ.
අළුදෙණියේ විහාරයෙහි දැව උළුවස්ස ගම්පොළ රජමාළිගාවට අයත් වූවකැයි සැලකෙන අතර එහි කැටයම් මහත් රාශියක් වේ. බෙන්තොට ගලපාත විහාරයේ ගල් උළුවස්සෙහි කැටයම් වින්‍යාසයෙහි විශේෂත්වයක් වෙයි. තනි ගලෙන් නිමවා ඇති මේ උළුවස්සෙහි උළුවහු කණු දෙකෙහි පාදයෙහි කාන්තා රූපය බැගින් වේ. මේ රූප දෙකෙහි හිසෙන් ආරම්භ වී හරස්කඩ මධ්‍යයේ දී එක් වන ලියවැල් දෙක වම්පසටත් දකුණුපසටත් මාරුවෙන් මාරුවට වක්‍රාකාරව නැමුණු රිකිලි විහිදුවමින් දිවෙයි. නැට්ටුවන්ගේත් බෙර, වස්දඬු ආදි සංගීත භාණ්ඩ වාදනය කරන්නන්ගේත් රූප කැටයම් කොට ඇත්තේ මේ රිකිලිකව තුළය.
මහනුවර සමයේ උළුවහු උතුරුලෑල්ල, බාපත් ලෑල්ල, හරස්කඩ, උළුවහුකණු, අගුල්කණුව, අගුල, පඩිකඳ සහ එළිපත්කඳ යන කොටස් අටකින් යුක්තය. බාපලෑල්ල වූකලි උතුරුලෑල්ලත් හරස්කඩත් අතර හරස් අතට යෙදෙන පුවරුවකි. දොරටුවේ ඇතුළු පැත්තට අඟල් කිහිපයක් නෙරා සිටින මේ පුවරුවට දොරපියනෙහි කෙළවර සිරස් අතට වූ ලී ඇණය සවි වෙයි. අගුල්කණුව නම් වනුයේ දොර අගුල සවි කිරීම සඳහා දොරටුව ඇතුළු පැත්තෙන් උළුවහුකණුවකට වද්දනු ලබන ලීයයි. උළුවහුකණු සවි කරන, දොරටුව පාමුල වූ ලීකඳ පඩිකඳ නම් වන අතර එහි සිට අඩියක් පමණ ඉදිරියට හරස් අතට පොළවට වැද්දූ පුවරුව එළිපත්කඳ නම් වෙයි.
දැවයෙන් කළ උළුවහු මෙන් ම ගලින් කළ උළුවහු ද මධ්‍ය කාලීන යුගයට අයත්ය. වඩා පැරණි උළුවහුවල හරස්කඩ සාමාන්‍යයෙන් සිවුරැස් වන අතර මෑත කාලයට අයත් උළුවහුවල හරස්කඩ යටිපැත්තෙහි තනි කවයක් හෝ එකිනෙකට සම්බන්ධ වූ කව දෙකක් කැපීම සිරිත වී තිබේ. තනි කවය චන්ද්‍රවංකය නමින් ද ද්විත්ව කවය සූර්යවංකය නමින් ද හැඳින්වෙයි. මේ කවයන්හි කෙළවර ද බොරදම් වේ. මේ උළුවහුවල සාමාන්‍ය සැරසිලි ක්‍රමය වනුයේ උළුවහුකණුවල සිරස් අතට ද හරස්කඩවල තිරස් අතට ද තීරු බෙදා ඒ ඒ තීරු පොදු සිංහල සැරසිලි සංලක්ෂණවලින් කැටයම් කිරීමය. මේ සංලක්ෂණ අතර පලාපෙති, ලියවැල, නෙළුම්මල, හතරපෙති සහ අටපෙති මල, සීනමල යන මල්ලියකම් ද අරිම්බු රටාව, කුන්දිරක්කන් රටාව, වක රටාව, බින්දු රටාව යන ජ්‍යාමිතික රටා ද ගැහැනු රූප හා පිරිමි රූප ද, ඇතා, සිංහයා, අශ්වයා සහ හංසයා යන සත්වරූප මෙන් ම වාමන රූප ද, සැරපෙන්දා, හේරුණ්ඩපක්ෂියා, කිබිහි මුහුණ, පංචනාරි ඝටය, නාරිලතා, නාරජ, ගජලක්ෂ්මී යන සංයුක්ත රූප ද, ලණුසැරසිල්ල, පුන්කලස හා බොරදම යන සංලක්ෂණ ද වේ. පොළොව මට්ටමේ සිට අඩියක් පමණ උඩින් උළුවහුකණුවල දොරට සම්බන්ධ වන තීරුවෙහි ආසන මෝස්තර ද ඒ මත්තෙහි ගැටලිය මෝස්තරය ද කැටයම් කොට එතැන් සිට උළුවහුකණුවල සිරස් අතටත් හරස්කඩයේ තිරස් අතටත් සිහින් ලීස්තරයක් බේරීම සිරිත වී තිබේ. මේ ආසන කැටයමත් පඩිකඳත් අතර ඉතිරි වන කොටුවෙහි බොහෝ විට සිංහයකුගේ හෝ ඇතරුවකුගේ හෝ දොරටුපාලයකුගේ රුවක් කැටයම් කොට ඇත. කැටයම් තීරුවල එක ම සංලක්ෂණ යෙදුණ ද එක් එක් උළුවස්සෙහි ඒවා නිරූපණය කොට ඇති ආකාරය විවිධය. සෑම උළුවස්සක ම වාගේ යෙදෙන ලියවැලත් පලාපෙති මෝස්තරයත් ඒ ඒ උළුවහුවල යෙදී ඇති ආකාරය සැලකීමෙන් මේ පොදු සංලක්ෂණ විවිධාකාරව යොදා ඇති අයුරු වටහා ගත හැකිය. උළුවහුකණුවල යෙදෙන රටාව ම හරස්කඩෙහි ද තිරස් අතට යෙදෙන අතර නාරිලතා, ගජලක්ෂ්මී, පංචනාරි ඝටය යනාදි රූප ද ඇතැම් උළුවහුවල හරස්කඩවල හෝ උතුරුලෑලිවල මධ්‍යයෙහි කැටයම් කොට ඇත. මහනුවර අස්ගිරි පන්සලේ උළුවහුවල හරස්කඩ උඩින් හංස පූට්ටුව සහ සිංහ පූට්ටුව යෙදී ඇති අතර ඒ උළුවහු හංස පූට්ටු හා සිංහ පූට්ටු උළුවහු නමින් හැඳින්වුණු බව පෙනේ. මහනුවර සමයේ උළුවහු වැඩි හරියක ශීර්ෂ වශයෙන් මකර රූපය කැටයම් කොට ඇත. මේ යුගයේ උළුවහුවල පඩිකඳන් පවා කැටයමින් සැරසීමට ශිල්පීන් ඇතැම් විට සැලකිල්ල දැක්වූ බව පෙනේ. නිදසුන් වශයෙන් දක්වතොත් දිප්පිටිය විහාරයේ උළුවස්සේ පඩිකඳෙහි දෙපස සැරපෙන්දාගේ රූප දෙකක් ද පඩිකඳ මැද නෙළුම්මල් මෝස්තරයක් ද යොදා ඇත්තේය. ආසන මෝස්තර ද ලියවැල් රටා ද පඩිකඳන්වල දක්නට ලැබෙන වෙනත් සංලක්ෂණ වේ. සිංහල කලාවට ආවේණික ලක්ෂණයක් නොවන කැටයම් බාහුල්‍යය මේ යුගයේ උළුවහුවලට පිවිසීමට හේතු වූයේ ද්‍රවිඩ රාජ්‍යය සමඟ පැවැති සමීප සම්බන්ධතාව නිසා ලැබුණු ද්‍රවිඩ කලාවේ ආභාසය බව පැහැදිලිය.
විසිතුරු කැටයමින් අනූන මේ යුගයේ උළුවහු අතර, චාම් බව නිසා කැපී පෙනෙන උළුවහු කිහිපයක් වෙයි. දෙවුන්දර ගල්ගේ ප්‍රධාන දොරටුවෙහි සහ ඇතුළු දොරටුවෙහි ගල් උළුවහු දෙක ද කෑගල්ල දිස්ත්‍රික්කයේ අලුත්නුවර විහාරයේ සහ ගණේගොඩ විහාරයේ ඇති ගල් උළුවහු දෙකක් ද මීට නිදසුන් වේ. මේවායේ කැටයම් අල්ප වුව ද සිත්ගන්නා සුලුය.
කැටයම් කළ ඇත්දත් පුවරු එබ්බවීමෙන් උළුවහු අලංකරණය කිරීමට පැරණි ශිල්පීන් තුළ වූ දක්ෂතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයෙහි දේවාලයේ ගබඩා කාමරයෙහි දැව උළුවස්සෙන් පිළිබිඹු වේ. මෙහි උළුවහු කණු දෙකේ පාදයෙහි නළඟනකගේ රූපය බැගින් වේ. උළුවහුකණු දෙකේ සිරස් අතටත් සූර්යවංක හරස්කඩේ තිරස් අතටත් තීරු දෙකක ලියවැල් රටාවෙන් ද පලාපෙති රටාවෙන් ද යුත් ඇත් දත් පුවරු ඔබ්බවා තිබේ. හරස්කඩ මුදුනේ පංචනාරි ඝටයකි. ඒ දෙපස සිංහරූපය සහිත පුවරුව බැගින් වේ. මේ සියලු ම කැටයම් ඉතා සියුම්ව නිමවා ඇත. කළුවර ලීයෙන් කළ මේ උළුවස්සෙහි ඔබ්බන ලද ඇත්දත් කැටයම් නිසා මෙය අතිශයින් දැකුම්කලු වේ.
19 සියවසේ සිට ඉදිකෙරෙන නූතන ගොඩනැඟිලිවල උළුවහු අලංකරණාංගයන්ගෙන් වියුක්තය. නූතන ගෘහනිර්මාණ ශිල්පයෙහි ගොඩනැඟිලිවල අංගෝපාංගයන්හි විචිත්‍රතාවට වඩා ගොඩනැඟිලිවල ආකෘතියට මුල්තැනක් ලැබීම මීට මූලික හේතුව සේ සැලකිය හැකිය.
පොත්පත්
චාල්ස් ගොඩකුඹුරේ - සිංහල උළුවහු
(සංස්කරණය: 1974)