ඌන සේවා නියුක්තිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

'ඌන සේවා නියුක්තිය' යන්න සැඟවුණු සේවා වියුක්තියට කියන තවත් නමකි. සැඟවුණු සේවා වියුක්තිය යන සංකල්පය පළමුවෙන් ම ඉදිරිපත් කරනු ලැබුවේ ජෝන් රොබින්සන් මැතිණිය විසිනි. 1936 අග දී Essays on the Theory of Employment (සේවා නියුක්ති න්‍යාය පිළිබඳ ලිපි පෙළ) නමැති ඇගේ ග්‍රන්ථයෙන් මේ සංකල්පය ඉදිරිපත් වීමට පෙර, ආර්ථීක විද්‍යාඥයන් විසින් විග්‍රහ කරනු ලැබුවේ සේවා වියුක්ති වර්ග දෙකක් පමණකි. ඉන් ප්‍රධාන වූත්, බැරෑරුම් වූත් ප්‍රශ්නය නම් අනිච්ඡානුග සේවා වියුක්තියයි. යම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ බෙදාහැරීම යනාදි දේ පිළිබඳ රැකියාවල නිරතවීමට කැමැති, එවැනි රක්ෂා සොයමින්, එහෙත් එවැනි රැකීරක්ෂා ලබා ගැනීමට අපොහොසත්ව සිටින ජනකාය මේ ගණයට වැටේ. ළදරුවන්, පාසැල් සිසුන්, මහල්ලන් සහ රැකියා කළ නොහැකි අංග විකල වූවෝ යනාදි අය සේවා වියුක්ති ගණයට නොවැටෙත්. නිෂ්පාදන ශිල්පී ක්‍රම වෙනස්වීම් යනාදි 'ප්‍රවිධානික' වෙනස්වීම් නිසා වරින් වර තාවකාලිකව හටගන්නා සේවා වියුක්තිය දෙවැන්නයි. මේ සේවා වියුක්තිය නිෂ්පාදන විධි හා ක්‍රම යන මේවාට ආවේණික වූවක් බැවිනුත් අලුත් නිෂ්පාදන ක්‍රම ඇබ්බැහිව නිෂ්පාදනය යථාතත්වයට පැමිණි පසු විසඳෙන බැවිනුත් ප්‍රශ්නයක් ලෙස ගණන් නොගැනේ. අනික් අතට, 1930 ගණන්වල ආර්ථික පරිහානියේ දී ඇතිවුණු ප්‍රමාණයේ අනිච්ඡානුග සේවා වියුක්තියක් බරපතළ ප්‍රශ්නයක් විය හැකිය. මේ ප්‍රශ්නය කෙරෙහි දැක්වූ අවධානයේ ප්‍රතිඵලයක් වශයෙන්, අනිච්ඡානුග සේවා වියුක්තිය සම්බන්ධව ප්‍රථමයෙන් විග්‍රහයක් ඉදිරිපත් කරමින්, ජේ.ඇම්. කේන්ස් නමැති ආර්ථික විද්‍යාඥයාගේ The General Theory of Employment, Interest and Money (සේවා නියුක්තිය, පොලිය සහ මුදල් පිළිබඳ සාමාන්‍ය න්‍යාය) යන ග්‍රන්ථය බිහි වූයේය. මෙවැනි සේවා වියුක්තියක් සඵල ඉල්ලුමේ අඩුවීමක් නිසා ඇතිවන බවත්, ධනවාදී රටවල කලින් කල හටගන්නා බවත්, සඵල ඉල්ලුම යථාතත්ත්වයට ගෙන ඒමට මාර්ගෝපාය යෙදීමෙන් ඒ සේවා වියුක්තිය විසඳීමට හැකි බවත් ඔහු විසින් පෙන්වා දෙන ලදි. දියුණු රටවල හට ගැනෙන මේ සේවා වියුක්තිය ගැන ආර්ථික විද්‍යාඥයන්ගේ අවධානය බොහෝ සෙයින් යොමු වුවද, මීට අමතරව ඇතිවන, සමහර විට මීටත් වඩා බරපතළ ප්‍රශ්නයක් වන ඌන සේවා නියුක්තිය පිළිබඳව මෑතක් වන තුරු ඔවුන්ගේ අවධානය යොමු වූයේ නැත.

අස් කරන ලද සේවකයන් (පෙර කළ රක්ෂාවලට වඩා ඵලදායිතාව අතින්) පහළ වෘත්තීන්හි යෙදීම සැඟවුණු සේවා වියුක්තියය යනුවෙන් ඌන සේවා නියුක්තිය යන සංකල්පය ජෝන් රොබින්සන් මැතිණිය විසින් 1936 දී යොදන ලද්දේ පටු අර්ථයකිනි. 1930 වර්ෂවල ආර්ථික පරිහානිය නිසා රැකියා අහිමි වූ අයගෙන් සමහරකු, සපත්තු සෑදීම සහ දුම්රිය ස්ථානවල සිට හෝටල්වලට සූට්කේස් ගෙන යෑම යනාදි ඵලදායිතාවෙන් අඩු පහළ වෘත්තීන්හි යෙදුණු බව ඇත්තය. ධනවාදී දියුණු රටක සඵල ඉල්ලුම අඩුවීම නිසා සේවා වියුක්තියට අමතරව ඇති වූ මේ ඌන සේවා නියුක්තිය හැඳින්වීමට එකල මේ සංකල්පය සෑහිණ. එහෙත් ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල අධික ජනගහනය නිසා ම ඇති වී තිබෙන තත්ත්වය හැඟවීමට ඇගේ විග්‍රහය නොසෑහේ.

ලංකාව වැනි ඌන සංවර්ධිත රටවල අධික ජනගහනයක් ඇත. මේ ජනගහනයෙන් වැඩි කොටසක් කෘෂිකර්මයෙහි යෙදී සිටී. ජනගහනය අධික නිසා වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය හිඟය. එහෙත් අවශ්‍ය ගණනට වඩා අධික ශ්‍රමික සංඛ්‍යාවක් ඉඩම් වගාවේ යෙදී සිටිති. දැනට යොදනු ලබන ශිල්පීක්‍රම උඩ, අස්වැන්න අඩු කර නොගෙන, මේ ශ්‍රමිකයන්ගෙන් කොටසක් ඉවත් කිරීමට හැකිවීම ඌන සේවා නියුක්තියේ ලක්ෂණයක් හැටියට නුර්ක්ස (Nurkse) ආදි ආර්ථීක විද්‍යාඥයන් විසින් හඳුන්වා දී ඇත. නුර්ක්ස ඉදිරිපත් කරන ඌන සේවා නියුක්තිය, කාර්මික රටවල දක්නට ලැබෙන ඌන සේවා නියුක්තියට වඩා ලක්ෂණ අතින් වෙනස්ය. නුර්ක්ස විග්‍රහ කළ ඌන සේවා නියුක්තිය වැඩියෙන් දක්නට ලැබෙන්නේ ගැමි ආර්ථික ක්‍රමවල ඉඩම් වගා කරන පවුල් ශ්‍රමය යටතේය. ඉඩම් කැබැල්ලට අවශ්‍ය තරමට වඩා වැඩි ශ්‍රමිකයන් පිරිසක් එහි වගාවේ යෙදී සිටින නිසා සෑම දෙනා ම වැඩ කරන්නේ තමන්ට වැඩ කළ හැකි කාලයෙන් කොටසක පමණි. අනික් කාලය අලසකමින් ගතවන නිසා, ඒ තරමට සේවා වියුක්තියක් ඇති වේ. මේ ශ්‍රමිකයන් රැකියාවලින් තොර නුවූවත් ඔවුන්ගෙන් ලැබෙන ඵලදායි ශ්‍රම කාලය ටිකකි. ඒ නිසා මෙය ඌන සේවා නියුක්තිය යැයි හැඳින්වේ. මිර්ඩාල් (Myrdal) නමැති ආර්ථික විද්‍යාඥයා මේ තත්ත්වය (Asian Drama නමැති ග්‍රන්ථයේ තුන්වැනි කලාපයේ 2041) මෙසේ ප්‍රකාශ කරයි. "සමහර විධියේ ආර්ථික කටයුතුවල ඇත්ත වශයෙන් ම යෙදී සිටින ශ්‍රම බලය දවසක හෝ සතියක හෝ මාසයක හෝ වර්ෂයක හෝ කොටසක් තුළ අලසව සිටී; වැඩ කළ ද (එතරම්) ඵලදායී නොවේ. ඒ තරමට, ශ්‍රමිකයන්ගේ කාලය අප්‍රයෝජනවත් වනු පමණක් නොව අනවශ්‍ය ද වේ."

තත්ත්වය මෙසේ නම්, මේ ශ්‍රමිකයන්ගෙන් කොටසක්, අස්වැන්න අඩු නොවන පරිදි වෙනත් වැඩකට යෙදිය හැකිය. මෙසේ කෘෂිකර්මයෙන් ලැබෙන අස්වැන්න අඩු නොකොට, ශ්‍රමිකයන්ගෙන් කොටසක් ඉවත් කළ හැකි නිසා, මේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාව ශුන්‍ය යැයි මතයක් ද ඉදිරිපත් විය. මේ මතය සාවද්‍යය. අස්වැන්න අඩු නොකොට ශ්‍රමයෙන් කොටසක් ඉවත් කළ හැක්කේ කෘෂිකර්මයට ඕනෑවට වඩා ශ්‍රමයක් තිබෙන නිසා මිස, අස්කරනු ලබන ශ්‍රමයේ ආන්තික ඵලදායිතාව ශූන්‍ය නිසා නොවේ. ආන්තික ඵලදායිතාව ගණන් බැලීමේ දී අප සැලකිල්ලට ගත යුත්තේ ශ්‍රමිකයා නොව, (ශ්‍රමික පැයක් යනාදි වශයෙන් මිනිය හැකි) ශ්‍රම ඒකකයි. ශ්‍රමිකයන් ඕනාවට වඩා වැඩියෙන් සිටීම නිසා එක එක ශ්‍රමිකයා යොදන ශ්‍රම ඒකක ගණන් ස්වල්ප වේ. එහෙත් අන්තිම ශ්‍රම ඒකකයේ ඵලදායිතාව ශුන්‍ය නොවේ. වැඩිමනත් ශ්‍රමිකයන් ගණන අයින් කළ විට සිදුවන්නේ එක එක ශ්‍රමිකයා යොදන ශ්‍රම ඒකක ගණන වැඩිවීමය. එහෙත් යොදනු ලබන මුළු ශ්‍රම ඒකක ගණන වෙනස් නොවීම නිසා, මුළු අස්වැන්න වෙනස් නොවේ. ශිල්පීක්‍රමවල වෙනසක් නොවුවහොත් මින් ශ්‍රම ඒකකයේ ඵලදායිතාව වෙනස් නොවේ. සිදුවන්නේ එක ශ්‍රමිකයකු යොදන ශ්‍රම ඒකක ගණන වැඩිවීම නිසා එක ශ්‍රමිකයකුගේ ඵලදායිතාව වැඩිවීමය. එබැවින් ආන්තික ඵලදායිතාව පදනම් කොට නොගෙන, යම් ආර්ථික කටයුත්තක යෙදී සිටින ශ්‍රමිකයන්ගෙන් කොටසක්, පැරණි ශිල්පීක්‍රම උඩ ම ඉන් ලැබෙන නිෂ්පාදනය අඩුනොවන ලෙස ඉවත් කළ හැකි නම්, ඒ තත්ත්වය ඌන සේවා නියුක්තිය යැයි හැඳින්විය හැකිය. මීට හොඳ ම නිදසුන් දක්නට ලැබෙන්නේ ජනගහනය අධික ලංකාව වැනි කෘෂිකාර්මික ඌන සංවර්ධිත රටවලය.

මෙවැනි රටවල මේ ඌන සේවා නියුක්තිය නිසා දැනට ජීවන තත්වය ඉතා පහළ මට්ටමක තිබේ. ජනගහනය වැඩි වන විට ඉඩම් හිඟය වැඩි වේ. ඉඩම්වල තදබදය නිසා කෘෂිකර්මයෙන් ලැබෙන පලදාව අඩු වේ. වැඩිමනත් ශ්‍රමය ඉවත් කොට කුඩා ඉඩම් කැබලි ගොනු නොකොට වඩාත් කාර්යක්ෂම නිෂ්පාදන විධි හා යන්ත්‍රෝපකරණ යෙදීම උගහටය. අනික් අතට, ඌන සේවා නියුක්තියෙන් පෙළෙන වැඩිමනත් ශ්‍රමය කෘෂිකර්මයෙන් ඉවත් කළ හැක්කේ කෘෂිකර්ම අංශයෙන් පිටස්තරව රැකීරක්ෂා ගෙන දෙන කටයුතු තිබේ නම් පමණි. මෙවැනි කටයුතු ඌන සංවර්ධිත රටවල දැනට හිඟය. එවැනි කටයුතු වැඩිදියුණු කිරීම ඒ රටවල සංවර්ධන සැලසුමේ කාර්යයයි. කෘෂිකර්මයට පිටස්තරව සංවර්ධන කටයුතු ඇරඹිය හැකි නම්, වැඩිමනත් ශ්‍රමය ඒ කටයුතුවල යෙදවිය හැකිය. සාර්ථක ලෙස එසේ යෙදවීමට නම්, කෘෂිකර්මයේ රැඳෙන ජනතාවගේ පරිභෝජනය පෙරට වඩා වැඩිවීමට ඉඩ නොදිය යුතුය. කෘෂිකර්මයේ රැඳෙන ජනතාව පෙරට වඩා අඩුවීම නිසා ඔවුන්ගේ ඒක පුද්ගල නිෂ්පාදනය වැඩි වේ. එහෙත් පරිභෝජනය පෙරට වඩා වැඩි නොවුව හොත් ඒ තරමට ඉතිරියක් ඇති වේ. මේ ඉතිරිය අලුත් ව්‍යාපාරවල යොදවා ගනු ලබන ශ්‍රමිකයන්ගේ වැටුප් ගෙවීමට හරවා ගත හැකිය. නුර්ක්ස වැනි ආර්ථික විද්‍යාඥයන්, ඌන සේවා නියුක්ති ක්‍රමයේ සැඟවුණු ඉතිරියක් තිබේ යැයි මතයක් ඉදිරිපත් කර ඇත්තේ මේ නිසාය. සේවා වියුක්ති ප්‍රශ්නය විසඳා ගැනීමේ දී කෘෂිකාර්මික අංශයේ තදබදය අඩු කොට, ඌන සේවා නියුක්ති ජනකාය වෙනත් නිෂ්පාදන කටයුතුවලට අද්දවා ගැනීම මේ රටවල ක්‍රම සම්පාදනය මගින් විසඳිය යුතු ප්‍රධාන ගැටලුවකි.

(කර්තෘ: ඒ.ඩී.වී. ද ඇස්. ඉන්ද්‍රරත්න)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌන_සේවා_නියුක්තිය&oldid=10508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි