ඌරු ගෙඳ
සිංහල විශ්වකෝෂය වෙතින්
(පෝටුලකා ටුබෙරෝසා - Portulaca tuberosa Roxb.). මේ බහුවාර්ෂික පැළෑටිය සාමාන්‍යයෙන් වැවෙන්නේ මුහුදු වෙරළ අසල තිබෙන ගල් අතරය. මෙහි මුදුන් මුල ලොකුය; ඝනය; තර්කුරූපීය (fusiform). බිම දිගේ දුවන අතු කීපයක් මේ පැළෑටියට ඇත. මේවා මාංසලය; සිනිඳුය. කොළ ඒකාන්තරය; තරමක් මාංසලය. උපපත්රවත් (stipular) උපාංග ඇත. මල් තනි තනිව හටගනී. ඒවා කහපාටය; නිර්වෘන්තය (sessile). කුඩා ඵලය ස්ඵෝටිකාවකි.
පෝටුලකාසේ කුලයට අයත් මේ පැළෑටිය සාමාන්‍යයෙන් වැවෙන්නේ ලංකාව, ඉන්දියාව, පාකිස්තානය ආදි රටවලය.
ආයුර්වේද මතය
ශීතවීර්‍ය්‍ය ඇත්තේය. ව්රණ ශෝධනය හා රෝපණය කෙරෙයි. සම්පිට පීඩාවන්ට හිතකරය. මුහුණෙහි හටගන්නා රක්ත කුෂ්ඨයට ඌරුගෙඳ කොළ සිනිඳුව අඹරා ආලේප කරනු ලැබේ. මූත්රදාහය නැසීමට ද මෙය විශිෂ්ට ඖෂධයකි.
(සංස්කරණය: 1974)