ඌරු තෙල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඌරාගේ තෙල් සහිත පටකවලින් ලබාගන්නා මේදයයි. ශුද්ධ කොට ගත් ඌරු තෙල් සිනිඳු, සුදුපාට, ඝන ද්‍රව්‍යයකි. එය ජලයේ අද්‍රාව්‍යය. එහෙත් ඇල්කොහොල්, ඊතර් හා ක්ලෝරොෆොම් වැනි ද්‍රාවකයන්හි එය ද්‍රවණය වේ. ඌරු තෙල් ලබාගැනීම සඳහා යුරෝපයේ හා ඇමෙරිකාවේ විශේෂ ඌරු වර්ග බෝ කරනු ලැබෙත්.

සංතෘප්ත හා අසංතෘප්ත මේද අම්ල දෙවර්ගය ම ඌරු තෙල්වල තිබේ. පාමිටික් අම්ලය (29.8%), ස්ටියරික් අම්ලය (12.7%) හා වෙනත් සංතෘප්ත මේද අම්ල (1%) ඌරු තෙල්වල තිබෙන සංතෘප්ත මේද අම්ල වේ. ඔලෙයික් අම්ලය (47.8%), ලිනොලෙයික් අම්ලය (3.1%) හා වෙනත් අසංතෘප්ත මේද අම්ල (5.6%) ඌරු තෙල්වල තිබෙන අසංතෘප්ත මේද අම්ල වේ. ඌරු තෙල්වල අයඩින් අගය 53 සිට 77 දක්වා විය හැකිය. එහි ද්‍රවාංකය සෙ. 33° සිට 46° දක්වා වෙනස් වන්නට පුළුවන.

නොයෙක් ආහාර වර්ග පිළියෙල කිරීමේ දීත් ඖෂධ වර්ග නිෂ්පාදනයේ දීත් ඌරු තෙල් බෙහෙවින් පාවිච්චි කරනු ලැබේ. එහි ස්ථායිතාව වැඩි කර ගැනීම පිණිස ඌරු තෙල්වලට ප්‍රතිඔක්සිකාරකයක් (anti-oxidant) එකතු කරනු ලැබේ. එක්සත් ජනපද රාජ්‍යයේ අවුරුද්දකට ඌරු තෙල් රාත්තල් කෝටි 250ක් පමණ නිෂ්පාදනය කරනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌරු_තෙල්&oldid=10705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි