සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල වර්ණමාලාවේ තෙළෙස්වන අක්ෂරයයි. එය පණකුරකි. ව්‍යඤජනාක්ෂරයකට එය ආරූඪ වූ බව දැක්වීමේ දී ගාත්‍රාක්ෂරයෙහි හල්භාවය දක්වන ලකුණ ඉවත් කොට අකුරට මුලින් කොම්බුවක් (නි. ක්+එ=කෙ) යොදනු ලැබේ.

එකාරය උගුරෙන් සහ තල්ලෙන් උපදින බැවින් කණ්ඨතාලුජාක්ෂරයක් වෙයි. ස්ථාන දෙකක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ද්විජාක්ෂරයක් ද වෙයි. සංස්කෘත භාෂාවෙහි එකාරයාගේ උච්චාරණය දීර්ඝ, ප්ලුත වශයෙන් දෙවැදෑරුම් වෙයි. පාලි භාෂාවෙහි එකාරය දීර්ඝ ස්වරයක් හැටියට හඳුන්වා ඇතත් සංයෝගයකින් පූර්වයෙහි හ්‍රස්වව උච්චාරණය කරනු ලැබේ. නි. එත්ථ; සෙට්ඨ.

පැරණි හා මධ්‍ය ඉන්දියානු යුගයෙහි දක්නා සියලු ම දීර්ඝ ස්වර සිංහලයට ඊමෙහි දී හ්‍රස්ව වී සිටීම සාමාන්‍ය රීතියි. මෙසේ සකු පාලි ප්‍රාකෘත භාෂාවන්හි දක්නා ඒකාරය සිංහලයෙහි එකාර වී සිටී. නිදසුන්: සං. ආක්ෂෙප, පා, අක්ඛෙප, ප්‍රා. අක්ඛෙව>අකෙව්; සං. ආලෙපන>අලෙව්; සං. ඒරණ්ඩ>එරඬු, එඬරු; සං. ප්‍රෙම>පෙම්; සං. පා. වෙදනා>වෙයින්. සකුවෙහි දක්නා ඓ යනු ද සිංහලයෙහි බෙහෙවින් 'එ'යි සිටී. නි. ඓරාවණ>එරවණ; කෛලාස>කෙලෙස්; ශෛවාල>සෙවෙල්. සකු පාලි වචනවල යෙදෙන අය-යනු ද නොයෙක් විට සිංහලයෙහි 'එ'යි සිටී. නි. විජයබාහු>විජෙබා. තවත් විවිධ නයින් සිංහලයට ආ 'එ' කාර භාෂාවෙහි දක්නට ලැබේ. උදා. පා. සොත්ථිය>සෙත්; සං. හොවාදි>බෙවැදි; සං. පඞ්ක්ති>පංති, පා. පන්ති>පෙත්; සං. ශාන්ති>සෙත්; සං. චාමර>සෙමෙර; සං. ඡායා>සෙය, සේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එ&oldid=10740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි