එඩ්වඩ් VII
(1841-1910). මහා බ්‍රිතාන්‍යයේ ද අයර්ලන්තයේ හා මුහුදින් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් ප්‍රදේශයන්හි ද රජපදවියත්, ඉන්දියාවේ අධිරාජ පදවියත් දැරූ එඩ්වඩ් VII වික්ටෝරියා රැජිනගේ හා ඇල්බට් රාජවල්ලභ කුමාරයාගේ දෙවැනි දරුවාය; පුතුන් අතර වැඩිමලාය.
1842 දී වේල්ස්හි කුමාර පදවිය සමග බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමාරයා බවට ද පත් වූ ඇල්බට් එඩ්වඩ් කුමරා 1863 දී කෝන්වෝල්හි ආදිපාදයා හැටියට සාමි මන්ත්‍රී මණ්ඩලයේ අසුන් ගත්තේය. එම වර්ෂයේ දී හේ ඩෙන්මාර්ක්හි ක්‍රිස්තියන් IX රජුගේ දියණි වූ සුරූපි ඇලෙක්සැන්ඩ්‍රා (බ.) කුමරිය සමග විවාහ විය.
15 වැනි වියේ සිට ම පිටරට සංචාරය ඇරඹූ එඩ්වඩ් විදේශ සංචාරය අතිශයින් ප්‍රිය කෙළේය. මෙම ගමන් නිසා විදේශ කටයුතු පිළිබඳ මනා අවබෝධයක් ඔහු ලද්දේය. 1869 දී ඔහුගේ මිසර සංචාරය ද 1875 දී ඉන්දියා ගමන ද ඉතා වැදගත් කොට සලකනු ලැබේ. ඉන්දියාවේ මාස හතරකට අධික කාලයක් සෑම ප්‍රදේශයක ම සංචාරය කළ එඩ්වඩ් වේල්ස් කුමාරයා එම වර්ෂයේ දී ලංකාවට ද පැමිණියේය. කොළඹ වරායේ බ්‍රේක්වෝටර් බැම්මට මුල් ගල තැබුයේ මොහුය.
1901 දී වික්ටෝරියා අධිරාජිනිය මියගියෙන් එඩ්වඩ් VII සිංහාසනාරූඪ විය. ජාත්‍යන්තර සමගිය ද බ්‍රිතාන්‍ය හා විදේශ අතර සම්බන්ධයේ දියුණුව ද පිණිස ක්‍රියා කළ ඔහුට සිය දේශාටනයන්ගෙන් ලබා තිබූ විදේශ දැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය. බ්‍රිතාන්‍යය ප්‍රංසයත් රුසියාවත් සමග මිත්‍ර ගිවිසුම් ඇති කරගැනීම ද ස්පාඤ්ඤ, පෘතුගීසි ජාතීන් සමග මිත්‍රත්වය ඇති කරගැනීම ද නිසා එකල ජර්මන්වරු බ්‍රිතාන්‍යය හා සැකයෙන් විසූහ. එහෙත් 1909 දී එඩ්වඩ් VII රජ තම රැජන ද සමඟ ජර්මනියේ කයිසර් II රජු වෙත මිත්‍ර ගමනක යෙදීම හේතුකොටගෙන මෙම සැක බිය බෙහෙවින් තුනීව ගියේය.
මේ රජුගේ කාලයේ දී එංගලන්තයේ ලිබරල් පක්ෂයේ ලොයිඩ් ජෝජ්ගේ අයවැය ලේඛනය සාමි මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා බලවත් ආණ්ඩු අර්බුදයක් ඇති විය. එය සමථ කිරීමට ක්‍රියා කරමින් සිටිය දී 1910 දී එඩ්වඩ් රජ හෘදයාබාධයකින් මිය ගියේය.
එඩ්වඩ් VII රජුත් එම රැජනත් සිය රටවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ ද විදේශ කටයුතු පිළිබඳ මනා දැනුමකින් යුත් වූ ද සාමය ප්‍රිය කළ අය වූහ. රජු සිය අමාත්‍ය මණ්ඩල හා සාමයෙන් හා සහයෝගයෙන් කටයුතු කළ අතර නිතර ම ක්‍රියා කෙළේ සිය අමාත්‍යවරුන්ගේ උපදෙස් පරිදිය. ඔහුගේ කාලයේ දී මහා බ්‍රිතාන්‍යය ලොව සැම රටක ම සම්මානයට පාත්‍ර විය.
එඩ්වඩ් VII රජුට දරුවෝ 5 දෙනෙක් වූහ. වැඩිමහල් පුත්‍රයා 1894 දී මිය ගියෙන් රජු ඇවෑමෙන් දෙවැනි පුත්‍රයාට (ජෝජ් V) සිහසුන උරුම විය.
(සංස්කරණය: 1974)