එදිරිමානසිංහ
සිංහල විශ්වකෝෂය වෙතින්
යාපා පටුන පාලනය කළ රජෙකි. පෘතුගීසීන් සමග මිත්‍රභාවයෙන් විසූ පරරාජසේකර රජුගේ ඇවෑමෙන් ඔහු පුත් එදිරිමානසිංහ රාජ්‍යශ්‍රීයට පත්විය. වැඩි කලක් ගතවන්නට මත්තෙන් පරරාජසේකර රජුගේ බාල සොහොයුරා වූ සංකිලි විසින් එදිරිමානසිංහගේ නෙත් උපුටවා හේ බන්ධනාගාරයක සිරකරන ලදි. ඉන්පසු ජෙගරාජසේකර නමින් රාජ්‍යශ්‍රීයට පත් සංකිලි යාපා පටුනෙන් පෘතුගීසීන් නෙරපා දැමීමටත් කතෝලික ලබ්ධිය විනාශ කරලීමටත් බලවත් උත්සාහයෙන් කටයුතු කෙළේය. එයින් කෝපයට පත් පෘතුගීසි ආණ්ඩුකාරයා යාපනයට යුද හමුදාවක් යවා ජෙගරාජසේකර රාජ්‍යයෙන් පහ කොට එය අත්පත් කරගත්තේය. ඉන්පසු නෙත් උපුටා බන්ධනාගාරයෙහි සිරකර හුන් එදිරිමානසිංහ එයින් මුදා ආරක්ෂා සහිතව ගෝවට යවන ලදි.
(සංස්කරණය: 1974)