එප්පාවල

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර නුවරගම් පළාතේ එප්පාවල කෝරළයේ පිහිටි ගමකි. මහනුවර සිට අනුරාධපුරයට යාම සඳහා තලාව හරහා තනා ඇති මහා මාර්ගය ද මෙම ග්‍රාමය හරහා වැටී තිබේ. මහා විද්‍යාලයක් ද තැපැල් කන්තෝරුවක් ද ආරෝග්‍යශාලාවක් ද ඇති මෙහි මෑත දී පොස්පේට් පෝර නිධියක් සොයා ගැනීමෙන් පසු සමුපකාර සමිතියක් මගින් එය රැස්කිරීම වාණිජ වශයෙන් අරඹා ඇත.

දසවන හෝ එකොළොස්වන සියවසට අයත් යයි සැලකෙන ශිලා ලිපි දෙකක් 1890 පමණේ දී මෙහි තිබී හමුවීම නිසා එතැන් පටන් එය ඓතිහාසික වටිනාකමක් ඇති පෙදෙසක් හැටියට සැලකෙන්නට විය. අනුරාධපුර පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ කාර්යාලයට අයත් භූමියෙහි තැන්පත් කර තිබුණු මේ ශිලාලිපි දෙක පසු කාලයෙහි ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ලංකා ශිලාලේඛන සංග්‍රහයෙහි (තුන්වන කාණ්ඩයේ) පළ කරවන ලදි. එහි අකුරු කිතු වසින් දශවන ශතකයේ ද්විතීයාර්ධයට අයත් බව පරණවිතාන මහතාගේ නිගමනයයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එප්පාවල&oldid=11053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි