එපික්ටීටස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ක්‍රි.ව. 50 පමණ - 138 පමණ). ග්‍රීක ස්ටොයිකවාදී දාර්ශනිකයෙකි. මොහුගේ ඉගැන්වීම් මුල් යුගයේ ක්‍රිස්තියානි චින්තකයන් බොහෝ දෙනකුන්ගේ ප්‍රශංසාවට ලක් විය. ෆ්‍රිජියාවේ හයරැපලිස්හි උපන්හයි සැලකෙන මොහුගේ මුල් නාමය අප්‍රකටය. මොහු ළමා කාලයේ දී රෝමයේ වහලකු ලෙස සේවය කළේය. ක්‍රි.ව. 90 දී ඩොමීෂියන් අධිරාජයා විසින් මොහු ඇතුළු තවත් දාර්ශනිකයන් කීප දෙනෙක් රෝමයෙන් පලවා හරින ලදහ. මොහුගේ ජීවිතයේ ඉතිරි කාලය එපයිරස්හි ගත කළ බව පැවැසේ.

එපික්ටීටස්ගේ ඉගැන්වීම්වලින් වැඩි කොටසක් ම ආචාර ධර්මය හා සම්බන්ධය. දේපල ආදි බාහිර වස්තූන් කෙරෙහි වෛරාග්‍යය පුරුදු කිරීමේ අවශ්‍යතාව අවධාරණයෙන් කියා පෑ මොහු සැබෑ යහපත පවත්නේ කෙනකු ඇතුළත බව ද සදාචාරය සොයා යා යුත්තේ බාහිර දෑ මගින් හෝ ක්‍රියාවන් මගින් පවා හෝ නොව සම්පූර්ණයෙන් ම අප වසඟයේ පවත්නා එක ම දෙය වන චේතනාව පිරිසිදු කරගැනීමේ මාර්ගයෙන් බව ද ඉගැන්වීය. දැහැමි රජකු හා පියකු මෙන් ක්‍රියා කරන දෙවියන් වහන්සේ බාහිර කිසිවක් විසින් බල කළ නොහැකි, හරස් කැපිය නොහැකි ස්වේච්ඡා ශක්තියක් අපට දී ඇති බවත් අපට පහළ වන අදහස් ගැන අපට වගකිව නොහැකි වුව ද ඒවා ප්‍රයෝජනයට ගන්නා අන්දම ගැන අප සහමුලින් ම වගකිව යුතු බවත් හේ කියා සිටියේය. සෑම මිනිසා ම දෙවියන් වහන්සේගේ දිව්‍යමය පුත්‍රයකු හෙයින් මුළු මානව සංහතිය එක ම සහෝදර පිරිසක් බව ද හේ ප්‍රකාශ කළේය.

එපික්ටීටස් තම ඉගැන්වීම් කිසිවක් ලේඛනගත නොකෙළේය. එහෙත් ඔහුගේ දේශනා ඔහුගේ ශිෂ්‍යයා වූ ඇරියන් විසින් ආරක්ෂා කරන ලදි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එපික්ටීටස්&oldid=11050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි