එපිඩෝරස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රීසියේ පැරණි නගර කිහිපයක් මෙනමින් හැඳින්වේ. එයින් පෙලොපනීසස්හි ආගොලිස් දිස්ත්‍රික්කයට අයත් එපිඩෝරස් නගරය ඓතිහාසික වටිනාකමින් ප්‍රධාන ස්ථානයක් ගනී. සමුද්‍රාසන්න තැනිතලා පෙදෙසක පිහිටි මෙම නගරයෙහි ස්වාභාවික වරායක් ද වෙයි. ක්‍රි.පූ. අටවන හා සත්වන ශතවර්ෂවල එපිඩෝරස් ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක් විය.

එපිඩෝරස් අසල පිහිටි ඇස්ක්ලීපියස් (බ.) දේවස්ථානය ග්‍රීසියේ ප්‍රධාන ශුද්ධස්ථාන අතුරෙන් එකකි. 1881 හා 1928 අතර වර්ෂවල දී ග්‍රීක පුරාවිද්‍යා සංගමය මගින් මෙම ස්ථානය කැනීමේ දී ක්‍රි.පූ. 4 වන සියවසට පමණ අයත් දේවමන්දිර, රංගමණ්ඩප, ස්නානාගාර, මලලක්‍රීඩා මණ්ඩප ආදි ගොඩනැඟිලි රාශියක නටබුන් සොයාගත හැකි විය.

ක්‍රි.පූ. සතරවැනි ශතවර්ෂාරම්භයේ දී ඩොරික් (Doric) සම්ප්‍රදාය අනුව තනවන ලද ඇස්ක්ලීපියස් දෙව්මැදුර තියොඩෝටස් නමැති ගෘහනිර්මාණ ශිල්පියාගේ කෘතියකි. තිමෝතියස් නමැති මූර්ති ශිල්පියා විසින් කරන ලද මූර්ති, කැටයම් ආදියෙන් මන්දිරය අලංකාර විය. රනින් හා ඇත්දතින් නිම වූ ඇස්ලීපියස් දේවප්‍රතිමාව උසස් කලා කෘතියකි. ආටෙමිස් (බ.) දෙව්දුව වෙනුවෙන් කැප කරන ලද දේව මන්දිරයක් ද මෙහි නටබුන් අතර විය.

එපිඩෝරස්හි උසස් ම ගොඩනැඟිල්ල වන්නේ ක්‍රි.පූ. සතරවැනි සියවස අවසාන භාගයේ දී තනවන ලද එළිමහන් රංගමණ්ඩපයයි. නරඹන්නන් 14,000කට අසුන් ගත හැකි ප්‍රේක්ෂාගාරය තවමත් අවිනෂ්ටව පවතී. කවාකාර වේදිකාවක් මැදි කොට චාම් සැලැස්මක් අනුව තනවන ලද මෙම රංගමණ්ඩපයෙහි අද දක්වා විවිධ ප්‍රසංග හා නාට්‍ය රඟ දැක්වීම් පවත්වනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එපිඩෝරස්&oldid=11051" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි