එපෙමෙරොප්ටෙරා
(Ephemeroptera). ඉන්සෙක්ටා වර්ගයට (class) අයත් කෘමි ගෝත්‍රයකි (order). සාමාන්‍යයෙන් මේ කෘමීහු මැයි මැස්සා (May fly) යන නාමයෙන් හැඳින්වෙත්. පරිණත මැයි මැස්සා පියාඹන සියුම් කෘමියෙකි. ඌ බොහෝ විට දක්නට ලැබෙන්නේ විල්, පොකුණු හා ගංගා අද්දරය. උතුරු ඇමෙරිකාවේ ඊරි විල අවට ප්‍රදේශයෙහි මේ කෘමීහු බහුල වෙති. සන්ධ්‍යා කාලයේ දී මේ ප්‍රදේශයේ මැයි මැස්සෝ අළුපාට වලාකුළු බඳුව සමූහ වශයෙන් පියාඹති. සාමාන්‍යයෙන් මිනිසාට උන්ගෙන් එතරම් හිරිහැරයක් නොවේ. මැයි මැසි විශේෂ 1,800ක් පමණ ලෝකයේ ඇත. ඇමෙරිකාව, යුරෝපය, අප්‍රිකාව හා ආසියාව යනාදි සෑම ප්‍රදේශවල ම මැයි මැස්සෝ දක්නට ලැබෙත්.
මැයි මැස්සන් පහසුවෙන් අඳුනා ගැනීමට උපකාරී වන ලක්ෂණ කිහිපයක් ඇත. උන්ගේ ස්පර්ශක (antennae) කෙටිය. උන්ට ත්‍රිකෝණාකාර පටලමය පියාපත් ඇත. පළමුවැනි පියාපත් ජෝඩුව ලොකුය. දෙවැනි ජෝඩුව ඊට කුඩාය. සමහර විශේෂයනට දෙවැනි පියාපත් ජෝඩුව නැත. නිශ්චලව සිටින වේලාවේ දී පරිණත මැයි මැස්සාගේ පියාපත් සමනලයාගේ පියාපත් මෙන් පිටට උඩින් සිරස් ලෙස ඇත. පසුපස පාද වඩා කුඩාය. සමහර විශේෂවල ඒවා ආකෘතිකය (rudimentary). උන්ගේ ශරීරයේ පෞච්ඡ (caudal) කෙළවරෙහි වල්ගා වැනි සූත්‍රිකා 2ක් හෝ 3ක් ඇත. නෙරා තිබෙන බදන (claspers) ජෝඩුවක් පිරිමි සතාට ඇත.
මේ ගෝත්‍රයට අයත් කෘමි විශේෂ බොහොමයක් බිත්තර දමන්නේ ජලය මතුපිටය. එහෙත් ඇතැම් විශේෂ ජලයේ ගිලී තිබෙන ද්‍රව්‍ය මත බිත්තර දමති. අපරිණත කෘමියා ජලජය. බොහෝ විශේෂවල අපරිණත කෘමියාගේ ආහාරය දිරාපත් වූ ශාක ද්‍රව්‍ය වේ. අපරිණත කෘමියාට අවුරුදු කිහිපයක් ජීවත්වන්නට පුළුවන. ශිශුවෝ (nymphs) මිරිදියෙහි දක්නට ලැබෙත්. ලුණු සහිත ජලයෙහිත් ඇතැම්හු ජීවත් වෙති. ශිශුවෝ නානාප්රකාරය. ඇතැම් විශේෂයක ශිශුවාගේ ජීවිත කාලය දවස් 15ක් පමණ කෙටි වූවක් විය හැකිය. එහෙත් බොහෝ විශේෂවල ශිශු ජීවිත කාලය හමසක සිට අවුරුද්දක් පමණ දක්වා වේ. මේ කාලය තුළ දී ඌ පිට සැකිල්ල 50 වරක් පමණ හළයි.
ශිශුවාගේ විකසනය සම්පූර්ණ වූ විට පියාපත් සහිත කෘමියා ගුවනට පියාඹා යයි. පියාපත් සහිත පළමු අවස්ථාව ලිඞ්ගික ප්‍රජනනය අතින් අපරිණතය. මෙයට උපශිශු (sub-imago) අවස්ථාව යයි කියනු ලැබේ. ඌ සැබෑ පිළිරුවට (imago) හෙවත් පරිණත කෘමියාට වෙනස්ය. මැයි මැස්සන්ගේ මේ උපශිශු අවස්ථාව අනන්‍ය සාධාරණ වූවකි. අපරිණත ලිංගිකත්වයෙන් යුත් උපශිශුවා සාමාන්‍යයෙන් විනාඩි ස්වල්පයක සිට දවස් 2ක් හෝ 3ක් දක්වා කාලයක් තුළ අක්‍රිය වේ. මේ කාලයේ දී උගේ සැකිල්ලේ හැළීම සිදු වේ. මෙය සිදුවන විට උගේ සම්පූර්ණ ශරීරයෙන් සියුම් ඡවිකාවක් (pellicle) හැළී පරිණත කෘමියා පිට වේ. පරිණත කෘමියා සාමාන්‍යයෙන් ජීවත්වන්නේ පැය 2කටත් වඩා කෙටි කාලයක් වුව ද සමහරෙක් දවස් 1ක සිට දවස් 3ක් පමණ කාලයක් දක්වා ජීවත් වෙති. පරිණත කෘමියාගේ මුඛයේ කොටස් රෝධනය වී ඇති නිසා ඌ ආහාරයක් නොගනියි. ස්වල්ප වශයෙන් ජලය ගනියි.
එපෙමෙරොප්ටෙරා ගෝත්‍රය ඉතා විශිෂ්ට වූ එකකි. ජීවමාන කෘමීන් අතුරෙන් උන්ට කිට්ටු නෑකම් දක්වන කෘමි ගෝත්‍රයක් නැතැයි කිව හැකිය. නෂ්ට වූ ගෝත්‍රයක් වන පැලෙයොඩික්ටියොප්ටෙරා (Paleodictyoptera) නමැති ගෝත්‍රය උන්ට කිට්ටු නෑකම් දැක්වූ බව පෙනේ.
(සංස්කරණය: 1974)