එම්බ්‍රොයිඩරි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වියා නිම කරන ලද වස්ත්‍රයක් මතුපිට ඉදිකටු නූලින් හැඩවැඩ දමා ගෙත්තම් කිරීම මෙනමින් හැඳින්වේ. මේ ශිල්පය ප්‍රාකෘතික ජනයා අතර මෙන් ම දියුණු ජනයා අතර ද ව්‍යවහාරයෙහි පවතින්නකි. නොයෙක් පාට නූලින් නොයෙක් රටා යොදා නිම කළ එම්බ්‍රොයිඩරි ගෙත්තමින් සරසන ලද රෙදිපිළි, ඇතිරිලි, පලස් යනාදිය විශේෂයෙන් පෙරදිග රටවල දක්නට ලැබේ. මුලින් පරම්පරාගත ගෘහකර්මාන්තයක් ලෙස පැවති එම්බ්‍රොයිඩරි ගෙත්තම් කිරීම දැන් වඩාත් දියුණු යාන්ත්‍රික කර්මාන්තයක් බවට පත් වී තිබේ.

එම්බ්‍රොයිඩරි කර්මාන්තය දීර්ඝ ඉතිහාසයක් ඇත්තකි. පැරණි මිසරවාසීහු දක්ෂ එම්බ්‍රොයිඩරි ගෙත්තම්කරුවෝ වූහ. ඩැමියෙටා වරාය බද ප්‍රදේශයෙන් 1898-99 දී සාරාගන්නා ලද පස්වන සියවසට අයත් එම්බ්‍රොයිඩරි ගෙත්තමක් ලන්ඩන් නුවර වික්ටෝරියා හා ඇල්බට් කෞතුකාගාරයෙහි දක්නට ලැබේ. රනින් හා හණ නූලින් එම්බ්‍රොයිඩර් කිරීම පිළිබඳ දීර්ඝ විස්තරයක් ශුද්ධ වූ බයිබලයේ නික්මයාම නම් පොතේ (39 : 3-31) සඳහන්ය. ක්‍රි.පූ. 4 වන ශතවර්ෂයට අයත් එම්බ්‍රොයිඩරි රටා රැසක් ග්‍රීක සොහොන්වල තිබී සම්භ වී ඇත. පැරණි රෝමයේ ප්‍රචලිතව පැවැති අත්‍යලංකාර එම්බ්‍රොයිඩරි ගෙත්තම් ගැන වර්ජිල්, ඔවිඩ්, ප්ලිනි ආදි ලේඛකයන්ගේ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. එම්බ්‍රොයිඩරි ගෙත්තම් බැබිලෝනියානු, ප්‍රිජියානු, ඇටලික යයි කොටස් තුනකට ප්ලිනි විසින් බෙදා දක්වන ලදි.

ඉතා පුරාණ කාලයේ පටන් රාජකීය ඇඳුම්, මැති ඇමතිවරුන්ගේ ඇඳුම්, පූජකයන්ගේ ඇඳුම්, විශේෂ උත්සව අවස්ථාවන්හි අඳිනා ඇඳුම් ආදි ඇඳුම් වර්ග එම්බ්‍රොයිඩරි ගෙත්තමින් අලංකාර කරන ලදි. ජනයාගේ එදිනෙදා පරිහරණය සඳහා වූ ඇඳුම්වල හා වෙනත් රෙදිපිළී වර්ගවල ද බොහෝ විට එතරම් සංකීර්ණ රටා ආදියෙන් යුක්ත නොවූවත් අලංකාරයෙන් නොඅඩු වූ එම්බ්‍රොයිඩරි ගෙත්තම් යොදන ලදි. වැඩවසම් යුගයේ දී නානා කර්මාන්ත සඳහා ශ්‍රේණි ඇති වූ කල එම්බ්‍රොයිඩරි ගෙත්තම් කිරීම වැදගත් කර්මාන්තයක් බවට පත්විය. විශේෂයෙන් ම රාජකීය ඇඳුම්, මාළිගාවන්හි භාවිත වූ වෙනත් රෙදිපිළී, කොඩි ආදිය සඳහා මේ අවදියේ කරන ලද ඇතැම් එම්බ්‍රොයිඩරි ගෙත්තම් චිරකාලීන කලාත්මක වටිනාකමින් යුත් කෘතිය. ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයෙහි අධිරාජයන් විසින් ශතවර්ෂ හයක් පමණ කල් අභිෂේකය සඳහා භාවිතා කළ එම්බ්‍රොයිඩරි ගෙත්තමින් අලංකාර කරන ලද අභිෂේක සළුව පෙරදිගින් පැමිණි ශිල්පී පරපුරක කර්මාන්තකරුවන් විසින් නෝර්මන් ආක්‍රමණිකයන්ගේ ප්‍රයෝජනය සඳහා නිමවන ලද්දකැයි සැලකේ. 1134 දී සිසිලියේ රාජකීය කර්මාන්ත ශාලාවෙහි දී එය තනා නිමවන ලද බව එහි වාටියක අරාබි අකුරෙන් සටහන් කොට ඇත. ෂාල්මේන් රජුගේ සංඝාටිකය තවත් ඓතිහාසික වටිනාකමක් ඇති යුරෝපීය එබ්‍රොයිඩරි ගෙත්තමකි. බොහෝ යුරෝපීය එම්බ්‍රොයිඩරි රටා පෙරදිග රටවල ප්‍රභවය ලැබ බයිසන්ටයින් අධිරාජ්‍යයේ බලපෑම යටතේ ඉතාලියට හා ස්පාඤ්ඤයට වැද යුරෝපයේ පැතිර ගිය බව විශ්වාස කරනු ලැබේ. මධ්‍යතන යුගයට අයත් ඉතා ප්‍රසිද්ධ එම්බ්‍රොයිඩරි ගෙත්තම බය' ටැපස්ට්‍රි (Bayeux tapestry) යන්නයි. 11 වැනි ශතවර්ෂයේ පසු භාගයේ දී නෝර්මන්වරුන්ගේ එංගලන්ත ජයග්‍රහණය සිහිවීම සඳහා කරන ලදැයි සැලකෙන මෙම විසිතුරු වටතිරය ජයග්‍රාහක විලියම් රජුගේ මෙහෙසිය වූ මැටිල්ඩා දේවිය විසින් හෝ I වැනි හෙන්රි රජුගේ මෙහෙසිය වූ මැටිල්ඩා රැජිනිය විසින් හෝ කරන ලදැයි කල්පනා කරනු ලැබේ. අඩි 231ක් දිග රෙද්දක වර්ණ අටකින් මසා නිම කරන ලද මෙම එම්බ්‍රොයිඩරි ගෙත්තම ප්‍රංසයේ බය' කෞතුකාගාරයෙහි තැන්පත් කොට තිබේ. පළමුවන එලිසබත් රැජිනගේ සමයේ දී එංගලන්තයේ එම්බ්‍රොයිඩරි කලාව මහත් දියුණු තත්වයකට පත්ව තිබුණු බව පෙනේ. 17 වැනි ශතවර්ෂයේ නිම කරන ලද ඉංග්‍රීසි එම්බ්‍රොයිඩරි ගෙත්තම්වල පෙරදිග බලපෑම පැහැදිලිව දක්නට ලැබේ. ලොම් රෙදිවල එම්බ්‍රොයිඩරි ගෙත්තම් කරන ලද සුපුෂ්පිත වෘක්ෂ රටාවන්හි ඉන්දියානු ආභාසයක් ඇතැයි සැලැකේ. මධ්‍යතන යුගයේ දී ප්‍රංසයේ ද අලංකාර එම්බ්‍රොයිඩරි ගෙත්තම් බිහි විය. පසු කාලයේ දී විවිධ බලපෑම්වලට හසුවෙමින් එරට එම්බ්‍රොයිඩරි කලාව දියුණු විය. පැරණි ස්පාඤ්ඤ එම්බ්‍රොයිඩරි ගෙත්තම්වල මුස්ලිම් බලපෑම පැහැදිලිය. රටා නිර්මාණවල නිරතුරුව දක්නට ලැබුණු නවතාවක් නිසා ඉතාලි එම්බ්‍රොයිඩරි රටා ප්‍රචලිත විය. 15 වැනි ශතවර්ෂයේ දී නෙදර්ලන්තයේ ඇති වූ ශ්‍රේෂ්ඨ චිත්‍ර සම්ප්‍රදායයන් දෙකක බලපෑම එරට එම්බ්‍රොයිඩරි කෘතිවල දක්නට ලැබේ. ජර්මනියේ හා ස්කැන්ඩිනේවියානු රටවල පැවතුණේ චාම් එම්බ්‍රොයිඩරි කලාවකි. ඊජියන් දූපත්වල ගොවිජනයාගේ එම්බ්‍රොයිඩරි කලාවක් වර්ධනය වී මහත් දියුණු තත්වයකට පැමිණි බව පෙනේ.

ඉන්දියානු එම්බ්‍රොයිඩරි කර්මාන්තය ද ඉතාමත් පුරාණ කාලයේ පටන් පැවතුණකි. එම්බ්‍රොයිඩරි ගෙත්තම් කරන ලද ඇඳුම් ගැන ඉපැරණි ග්‍රන්ථයන්හි සඳහන් වී තිබේ. පංජාබයේ හා රාජපුතානාවේ ජත් ස්ත්‍රීන් විසින් අඳිනු ලබන ඵුල්කාරිය එම්බ්‍රොයිඩරි ගෙත්තමින් අලංකාර වූවකි. රතුපාට ගොරෝසු රෙද්දක මල් හා වෙනත් රටා සුදු හෝ කහ වර්ණයන්ගෙන් ගෙත්තම් කිරීමෙන් එය අලංකාර කරනු ලැබේ. පංජාබ්, රාජපුතානා, කුච් ආදි ප්‍රදේශවල දම්වැල් මැස්මෙන් කරන ලද විශිෂ්ට එම්බ්‍රොයිඩරි ගෙත්තම් දක්නා ලැබේ. ශිෂදාර් නමින් හැඳින්වෙන එබඳු එම්බ්‍රොයිඩරි ගෙත්තම් වර්ගයකට කුඩා කැඩපත් වීදුරු කැබලි එක්කොට තිබේ. පංජාබයේ එම්බ්‍රොයිඩරි කෘති අතර බුමුතුරුණු සුප්‍රසිද්ධය. අලංකාරය සඳහා බිත්තිවල එල්ලන ජවනිකා රෙදි ජයපුරයේ නිෂ්පාදනය කරනු ලැබේ. කතියවාඩ් ප්‍රදේශයේ දීප්තිමත් වර්ණයන්ගෙන් ගෙත්තම් කරන ලද සායවල් හා ළමයින්ගේ පාවිච්චිය සඳහා වූ මුදුනෙන් එල්ලෙන වල්ගයක් සහිත හිස්වැසුම් ද බෙංගාලයේ ඩෙකාහි කසිඩා ගෙත්තම් ද සුප්‍රසිද්ධය. ලක්නව්හි චිකන් එම්බ්‍රොයිඩරි වූකලි සංකීර්ණ වූත් එසේ ම සියුම් වූත් ගෙත්තම් කර්මාන්තයකි. ඇත්සැට්ට, උඩුවියන් ආදිය සඳහා රන්හුයෙන් එම්බ්‍රොයිඩරි වැඩ දැමීම ද ඉන්දියාවේ ප්‍රචලිතය.

සිංහල එම්බ්‍රොයිඩරි

අලංකාර එම්බ්‍රොයිඩරි ගෙත්තම් සිංහල ජනයා විසින් ද කරන ලද බවට සාක්ෂ්‍ය ඇත. තමාට මුලින් ම සිංහල එම්බ්‍රොයිඩරි ගෙත්තමින් අලංකාර කරන ලද පසුම්බියක් හමු වූ සැටි ද එම කලාව එකල ද අභාවයට ගොස් තිබුණු සැටි ද එතල් කුමාරස්වාමි මැතිනිය 1906 දී ලියූ ලේඛනයක සඳහන් වේ. සමහර විට සිංහල එම්බ්‍රොයිඩරි ගෙත්තම් ඇඳුම් මහන්නන් වූ සන්නාලි කුලයේ අය විසින් දක්ෂ ලෙස නිමවන ලදැයි සිතිය හැකිය. ඔවුන් රජවරුන්ගේ අනර්ඝ වූත් සාටෝප වූත් ඇඳුම් තැනූ බව ඩේවි සඳහන් කරයි. දේවාල හා විහාරගම් භුක්ති විඳීම හේතුකොටගෙන ඔවුන් විසින් විහාර, දේවාල ආදියේ කොඩි, සේසත්, තිර, ඇඳුම් ආදිය සෑදිය යුතු විය. අලංකාර එම්බ්‍රොයිඩරි ගෙත්තමින් ඒවා සරසන ලදි. මේ හැර නින්දගම් වැසියන් වශයෙන් ඔවුන් විසින් රදලවරුන්ගේ පච්ච හැට්ට හා තොප්පි, කුලීන කාන්තාවන්ගේ සැට්ට ආදිය ද තැනිය යුතු විය. මේ සෑම ඇඳුමක් ම අලංකාර ලෙස එම්බ්‍රොයිඩරි ගෙත්තමින් සරසන ලද බව පෙනේ.

ඉහත සඳහන් සන්නාලින්ගේ ගෙත්තම් ඉන්දියානු ගෙත්තම් අනුකරණය කිරීමෙන් කළ ඒවා බව හැඟේ. වඩාත් සිංහල යයි කිව හැක්කේ රජක කුලයේ අය විසින් කරන ලද එම්බ්‍රොයිඩරි ගෙත්තම්වලට බව ආනන්ද කුමාරස්වාමි මහතා විශ්වාස කරයි. ඔවුන් විසින් රෙදි සේදීම පමණක් නොව, තොප්පි සෑදීම, රැළි පාලම් සෑදීම, බුලත් පයි ගෙත්තම් කිරීම, සැට්ට, ලේන්සු ගෙත්තම් කිරීම ආදිය ද කරන ලද බව ඒ මහතා සඳහන් කරයි.

සාමාන්‍යයෙන් එම්බ්‍රොයිඩරි ගෙත්තමින් අලංකාර කරන ලද්දේ බුලත්පයි, ලේන්සු, ඉස්පයි, හැට්ට, කොට්ට උර, පලස්, පචිසි රෙදි ආදියයි. ඉතා අනර්ඝ සිංහල එම්බ්‍රොයිඩරි කර්මාන්තය ලෙස කුමාරස්වාමි මහතා හඳුන්වන්නේ බුලත්පයියයි. ඉණේ රඳවාගැනීමට හැකි තරමේ සිට අඩි හතරක් පමණ දික් වූ බුලත්පයි විශේෂ දක්නට ලැබිණි. මුල් බුලත්පයි නිල් පැහැ වූ නමුත් පසු කාලයේ රතු පැහැ බුලත්පයි ද විය. ඒ සියල්ල ම අලංකාර ලෙස එම්බ්‍රොයිඩරි ගෙත්තමින් සරසන ලදි. බුලත්පයියේ දෙපැත්තේ ම සුදු හා රතු නූලින් මසන ලද එම්බ්‍රොයිඩරි ගෙත්තම් විය.

ගොවිකුල කාන්තාවන්ගේ සැට්ටවල ලියවැල්, මල්, ගිරා ආදි මෝස්තර ගෙත්තම් කරන ලදි. සබරගමුවේ හා පහතරට යක් තොවිල්කාරයන්ගේ සැට්ටවල ද එම්බ්‍රොයිඩරි ගෙත්තම් දක්නට ලැබේ. කොඩි හා කොට්ට උර ඇප්ලිකේ (appliqué) වැඩ දමා අලංකාර කරන ලදි. ඉඳුල් කඩ හා උර මාල ද එම්බ්‍රොයිඩරි ගෙත්තමින් අලංකාර කරන ලද වෙනත් දේය.

මේ ගෙත්තම් වැඩි හරියක් කරන ලද්දේ දම්වැල් මැස්මෙනි. මේ ගැන කරුණු දක්වන ආනන්ද කුමාරස්වාමි මහතා මෙසේ කියයි: “පසුතලය නිල් පාට නම්, මෝස්තරය සුදු හා රතු පාටින් දම්වැල් මැස්මෙන් යොදන ලදි. මෙහි දී රතුපාට ඇතුළින් ද සුදුපාට පිටතින් ද යෙදේ. ද්විත්ව බාහිර රේඛාව විශේෂ ලක්ෂණයකි. බුලත්පයිවල වාටි මෝස්තර එකිනෙක වෙන් වන්නේ ද දම්වැල් මැස්මේ පේළි තුනකිනි; සුදු පේළි දෙකක් මැද රතු හෝ නිල් පේළියකි. මේ මැස්ම ඇතැම් විට රතු හෝ නිල් නූල් යෙදීමෙන් කරන ලදි.” පත්තැ මැස්ම නම් වූ සංකීර්ණ මැස්මක් ද තිබිණි. බොත්තම් කාස මැස්ම ද එම්බ්‍රොයිඩරි ගෙත්තම් සඳහා යොදාගන්නා ලදි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එම්බ්‍රොයිඩරි&oldid=11208" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි