එහළමුරුවා
(ඇහැළඹුරුවා) (හරෙන්ගුලා ඕවාලිස් - Harengula ovalis Bennett). වෙරළාසන්න මුහුදේ ජීවත් වන මේ මත්ස්‍යයා අඟල් 5ක් පමණ දිගය. උගේ හොට දුඹුරුපාටය. ශරීරයේ උඩුපැත්ත තද කොළපාටය; දෙපැත්ත රිදීපාටය. කහපාට පාර්ශ්වික තීරයකින් ශරීරයේ උඩු කොටස යටි කොටසෙන් වෙන් කෙරේ. මුඛය ලොකුය; හනු දෙක එක හා සමානය. කම්මුල් විහිදී යන විලේඛ (striae) සහිතය. දත් ඇත්තේ ස්වල්පයකි. හලාස්ථියේ (vomer) දත් නැත. කොරපොතු තුනීය; පේළි පේළි වශයෙන් තිබේ. පිධානයට (operculum) පිටිපසින් දීප්තිමත් තැඹිලි පාට තිත් දෙකක් ඇත. පෘෂ්ඨීය වරලේ කෙළවර කහපාටය. අනික් වරල් සුදුපාටය. පෘෂ්ඨීය හා ගුද වරල්වල කටු නැත. අංශ රේඛාවක් ද නැත.
එහළමුරුවා සාඩින් නමැති මත්ස්‍යයාට තරමක් සමානය. ලංකාව අවට මුහුදේ මේ මත්ස්‍යයෝ විශාල සමූහ වශයෙන් දක්නට ලැබෙත්. අන්දමන් හා නිකොබාර් දූපත් අසල ද මලයාව අවට මුහුදේ ද මේ මත්ස්‍යයා සුලභ දර්ශනයකි. එහළමුරුවා ක්ලුපෙයිපෝමේස් (Clupeiformes) ගෝත්‍රයෙහි ක්ලුපෙයිඩේ (Clupeidae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1974)