ඒතදග්රපාලි
භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිවු පිරිස අතුරෙහි ඒ ඒ කරුණෙන් අගතැන් පැමිණි ශ්‍රාවක ශ්‍රාවිකාවන් සඳහා “එතදග්ගං භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං” යනාදීන් වදාළ දේශනා පාලියයි. මෙහි එන “අග්‍ර” ශබ්දය “කෙළවර”, “ශ්‍රේෂ්ඨ” යන අර්ථයන්හිය. ඒ ඒ අග්‍රස්ථාන ලැබුවාහු තම තමන් පැමිණි කරුණෙහි කෙළවරට ගියාහු නුයි ද එහි ශ්‍රේෂ්ඨ වූවාහු නුයි ද අග්‍ර නම් වූහ. ඒතදග්‍රයෙහි තැබීම කරුණු සතරකින් වෙයි. අථෝත්පත්ති වශයෙන්, භවයෙහි පුරුදු කළ හෙයින්, චීර්ණවශී හෙයින්, ගුණාතිරේක හෙයින් යනුවෙනි. මේ සතර අයුරින් එකකින් හෝ දෙකකින් හෝ තුනකින් නොයෙක් අය අගතැන් ලැබූහ. සැරියුත් තෙරණුවෝ කරුණු සතරින් ම අගතැන් ලැබූහ.
ඒ ඒ තැන්හි දී අග්‍රස්ථාන වදාළ සූත්‍ර සසැත්තෑවකි. ඒ සියල්ල එක් තැන් කොට සඞ්ගායනාවසරයෙහි අඞ්ගුත්තර නිකාය - ඒකක නිපාතයෙහි ලා සංග්‍රහ කරන ලද්දේය. එයින් ථෙරපාලියෙහි සූත්‍ර සූසාලිසෙකි. බුදුන් වෙතින් අග්‍රස්ථාන ලැබූ භික්ෂුහු ද එපමණ වෙති. මෙත්තාවිහාරීන් අතුරෙහි අග්‍රස්ථානය ලැබීමට සුදුසුව සිටි සකුලුදායී පිරිවැජියා කර්ම දෝෂයකින් බුදුන් වෙත පැවිදි විය නොහී ධර්මාශෝක රාජ කාලයෙහි පැළලුප් නුවර ඉපිද සසුන්හි පැවිදිව “අස්සගුත්ත” තෙරණුවෝ යයි ප්‍රසිද්ධව මෙත්තාවිහාරීන් අතුරෙහි අග්‍රව විසූහ (චූලසකුලුදායී අටුවා). ථෙරීපාලියෙහි සූත්‍ර තෙළෙසකි. අගතැන් ලැබූ භික්ෂුණීහු ද එපමණ වෙති. උපාසකපාලියෙහි සූත්‍ර දසයෙකි. අගතැන් ලැබූ උපාසකයෝ එකොළොසෙකි. තපස්සු, භල්ලික දෙදෙන එක් මැ සූත්‍රයෙක සංග්‍රහ වෙති. උපාසිකාපාලියෙහි සූත්‍ර නවයෙකි. අග්රස්ථානලාභිනීහු ද එතෙක් මැ වෙත්.
මේ පිළිබඳ විස්තර අඞ්ගුත්තර - ඒකක නිපාතයෙහි හා මනෝරඤ්ජනී අඞ්ගුත්තර නිකාය සිංහල අටුවාවෙහි එයි.
(සංස්කරණය: 1974)