ඓරාවණ
(ඓරාවත). ඉන්ද්ර දෙවියන්ගේ හස්ති තෙමේ ක්ෂීර සමුද්ර මථනයෙහි දී පහළ වූ බැවින් “සමුද්රයෙන් හෙවත් ජලයෙන් පහළ වූ” යන අර්ථයෙන් ඓරාවණ හෙවත් ඓරාවත නම් වෙයි. හෙතෙම පෘථිවි භාරය උසුලන දිග්ගජ නමින් හඳුන්වනු ලබන හස්තීන් අට දෙනා අතුරෙන් ඉන්ද්ර දෙවියන් අයත් පූර්ව දිශාව ආශ්රිත හස්තියායි. ඔහුගේ භාර්යාව අභ්රමු යන නමින් දන්නා ලැබේ. මේ හස්ති තෙමේ සර්වාංගධවල වූයේ යයි මහාභාරතයෙහි සඳහන් වෙයි. හෙතෙම අභ්රමාතංග (වලා ඇත්), අර්කසෝදර (හිරු සොවුරු) ආදි නම්වලින් ද හැඳින්වෙයි.
බෞද්ධ සාහිත්යයෙහි ඓරාවණ (පා. එරාවණ) යන නමින් හැඳින්වෙන්නේ ශක්ර (පා. සක්ක) දෙවියන්ගේ හස්තියායි. පාලියෙහි ‘සක්ක’ (ශක්ර) ශබ්දයත් ‘ඉන්ද’ (ඉන්ද්ර) ශබ්දයත් සමානාර්ථවාචී හෙයින් ඓරාවණ පිළිබඳ පැරණි හින්දු ආගමික සංකල්පය බොහෝ දුරට බෞද්ධ සාහිත්යයට ද පිවිසගෙන ඇති බව පෙනේ. එහෙත් බෞද්ධ සාහිත්යයෙහි සඳහන් වන ඓරාවණ කෙරෙහි ඇතැම් විශේෂතා දක්නට ලැබේ. හෙතෙම සර්වප්රකාරයෙන් ම අන්ය දිව්යපුත්රයන් හා සම වුව ද දෙව්ලොව තිරිසන් සතුන් නැති හෙයින් ශක්ර දෙවියන් උයන් කෙළියට නික්මෙන කල තමාගේ ප්රකෘති ආත්මභාවය හැරපියා කුඹු තෙතිසකින් සැදුම් ලත්, දිගින් එක්සිය පනස් යොදුන්, උසින් අනූ යොදුන්, බොලින් පනස් යොදුන් ඇත් වෙසක් මවාගන්නේය. ඔහුගේ තෙතිස් කුඹු අතුරෙන් එක් එක් කුඹෙහි සත් සත් දළ වෙයි; එක් එක් දළෙහි සත් සත් පොකුණු වෙයි; එක් එක් පොකුණෙහි සත් සත් පියුම්ගස් වෙයි; එක් එක් පියුමෙහි සත් සත් පෙති වෙයි; එක් එක් පෙත්තෙහි සත් සත් දෙවඟනෝ නටත්. මධ්යයෙහි තිස් යොදුන් පමණ සුදර්ශන නම් කුඹෙහි පිහිටි දොළොස් යොදුන් පමණ රුවන් මඩුව මැද යොදුන් පමණ මිණි පලඟෙහි තුන් යොදුන් පමණ රුවන් සේසත් යට ශක්ර දෙවියෝ හිඳිති. දෙපස දෙතිස් කුඹුවල පිහිටි රුවන් මඬුවල සෙසු දෙතිස් දෙවියෝ හිඳිති. ශක්ර දෙවියන්ගේ සුධර්මා, සුජාතා, නන්දා, චිත්රා යන භාර්යාවෝ සිවුදෙන සිවුපස්හිත් වල්ලභ වූ තෙයානූ දහසක් දෙව්දූහු හාත්පස්හිත් හිඳිති. නොයෙක් දහස් ගණන් අප්සරාවෝ ඔවුන් පිරිවරා සිටිති. ඔවුන් පිරිවරාගත් නොයෙක් දහස් ගණන් අප්සරාවෝ නටති; නොයෙක් දහස් ගණන් අප්සරාවෝ වයති.
ශක්ර දෙවියන් පූර්ව ජන්මයෙහි මඝ නම් මාණවකව ඉපිද තවත් දෙතිස් දෙනකු හා එක්ව කුසල් කරන සමයෙහි මගධ රට රජු විසින් ඔවුන්ට ප්රසාද වශයෙන් දුන් හස්තියා ද ඔවුන් හා සමග කුසල් කොට තවුතිසා දෙව්ලොව ඉපිද ඓරාවණ දිව්ය පුත්රයා යි ප්රසිද්ධ වූ බව ද බෞද්ධ සාහිත්යයෙහි සඳහන් වෙයි.
පොත්පත්
අමාවතුර (සතළොස්වන පරිච්ඡේදය)
බුත්සරණ (සවන පරිච්ජේදය - ලෝකවිදු වර්ණනා)
(සංස්කරණය: 1974)