ඔක්සලික් අම්ලය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Oxalic acid). සන්තෘප්ත ප්‍රබල ඩයිකාබොක්සිලික් අම්ලයකි. එහි රසායනික සූත්‍රය C00H.C00H.2H 20 ය. අණුක භාරය 126.1ය. ඔක්සලික් අම්ලය වූකලි නිර්වර්ණ ස්ඵටික රූපී විෂ ද්‍රව්‍යයකි. ස්ඵටික ඒකානති (monoclinic)ය. ස්ඵටිකවල ද්‍රවාංකය සෙ. 101.5°ය. ඒවා ජලයේ හා ඇල්කොහොලවල ද්‍රවණය වේ. බොහෝ ශාකවල ඔක්සලික් අම්ලය තිබේ. නි. ඔක්සලික් අසෙටොසෙලා; රුමෙක්ස් අසෙටෝසා. සාමාන්‍යයෙන් මෙය ශාකවල තිබෙන්නේ ආම්ලික පොටෑසියම් ඔක්සලේට් හෝ කැල්සියම් ඔක්සලේට් වශයෙනි. ඔක්සලිඩාසේ කුලයට අයත් ඇතැම් ශාකවල මේ අම්ලය තිබෙන බැවින් එයට ඔක්සලික් යන නාමය දී ඇත.

මුල දී ඔක්සලික් අම්ලය කාර්මික ලෙස නිපදවනු ලැබුවේ ලී කුඩු, විශේෂයෙන් කේතුධර ශාකවල ලී කුඩු, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සමග වාතයේ සෙ. 220° දී පිලිස්සීමෙනි. දැන් මේ අම්ලය කාර්මික ලෙස නිෂ්පාදනය කරනු ලබන්නේ ක්ෂාරීය උත්ප්‍රේරකයක් ඇතිව සෝඩියම් පෝමේට් සෙ. 360°කට ශීඝ්‍ර ලෙස රත් කිරීමෙනි.

2 HCOONa 360°→(COONa)2, H2 .

මින් ලැබෙන සෝඩියම් ඔක්සලේට්වලින් අම්ලය සාදාගනු ලැබේ. විද්‍යාගාරයේ දී අම්ලය නිෂ්පාදනය කරනු ලබන්නේ කැල්සියම් ඔක්සලේට් සමග සල්පියුරික් අම්ලය ක්‍රියා කරවීමෙනි. ඉන් සෑදෙන කැල්සියම් සල්පේට් පෙරාහැර ඔක්සලික් අම්ලය වෙන් කරගනු ලැබේ. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකයක් වශයෙන් යොදා නයිට්රික් අම්ලයෙන් සුක්රෝස් ඔක්සිකරණය කිරීමෙන් ද ඔක්සලික් අම්ලය සාදාගත හැකිය.

C12 H22011+18[0] HNO/V205→6(COOH)2+ 5H2 0.

පුස් මගින් සීනි ද්‍රාවණ පැසවා ඔක්සලික් අම්ලය නිෂ්පාදනය කරන තවත් කාර්මික ක්‍රමයක් ද ඇත. සෙ. 360° දී කාබන් ඩයොක්සයිඩ් ධාරාවක සෝඩියම් රත් කළ විට සෝඩියම් ඔක්සලේට් සෑදේ. සෝඩියම් ලවණයෙන් අම්ලය සාදාගනු ලැබේ.

ඔක්සලික් අම්ල ස්ඵටික සෙ. 105°ට පමණ රත් කළ විට එහි තිබෙන ජලය පිට වේ. මීට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කළ විට අම්ලය වියෝජනය වී කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, පෝමික් අම්ලය හා ජලය සෑදේ.

(COOH)2 --→C02+H.C00H.

(COOH2) --→ C02+ C0,+H2O.

සල්පියුරික් අම්ලයත් සමඟ රත් කළ විට ඔක්සලික් අම්ලය වියෝජනය වී කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් හා ජලය සෑදේ.

(COOH)2 --→H2 SO4→C02+,+C0+ H20.

පොටෑසියම් ප’මැංගනේට් මගින් ඔක්සලික් අම්ලය ඔක්සිකරණය කෙරේ.

(COOH)2 +[O] --→2 C02 + H20

ඩයිමෙතිල් ඔක්සලේට් (COOH3)2 හා ඩයිඑතිල් ඔක්සලේට් (COOC2 H5)2 ඔක්සලික් අම්ලයෙන් සෑදෙන එස්ටර (බ)‍. දෙකකි. සින්ක් හා සල්පියුරික් අම්ලයෙන් ඔක්සලික් අම්ලය ඔක්සිහරණය කළ විට ග්ලයිකොලික් අම්ලය (CH2 OH. COOH) සෑදේ. ඊයම් හා රසදිය කැතෝඩවල ඔක්සලික් අම්ලය විද්‍යුත් විච්‌‌ජේද්‍ය ඔක්සිහරණයට භාජන කළ විට ද ග්ලයිකොලික් අම්ලය සෑදේ. ඔක්සලික් අම්ලය ද්විභාස්මික අම්ලයක් වන බැවින් එයින් ලවණ දෙවර්ගයක් සෑදේ. සෝඩියම් ඔක්සලේට් (COONa)2 පූර්ණ ලවණයකට නිදසුනකි. ආම්ලික සෝඩියම් ඔක්සලේට් (COOH COONa) ආම්ලික ලවණයකට නිදසුනකි. ඇතැම් ආම්ලික ලවණ අම්ල අණුවක් සමඟ ස්ඵටික බවට හැරේ. පොටෑසියම් ටෙට්රඔක්සලේට් [COOK. COOH. (COOH)2 මෙවැනි ලවණයකට නිදසුනකි. බර ලෝහවල ඔක්සලේට ජලයේ අද්‍රාව්‍යය. එහෙත් ඒවා ක්ෂාරීය ඔක්සලේට ද්‍රාවණවල දිය වේ. මීට හේතුව සංකීර්ණ සංයෝග සෑදීමය. නි. පොටෑසියම් ඔක්සලටෝ ක්රෝමේට් [Cr (C,04)3]3−K3,3+. මේ සංකීර්ණ සංයෝග ප්‍රකාශ සක්‍රියතාව (optical activity) දක්වයි.

පහත සඳහන් පරීක්ෂාවෙන් ඔක්සලික් අම්ලය අඳුනා ගත හැකිය. පරීක්ෂා නළයක රිසොසිනොල් (resorcinol) සමග ද්‍රාවණය රත් කොට සිසිල් වූ විට සල්පියුරික් අම්ල ස්තරයක් එකතු කරනු ලැබේ. ස්තර දෙක අතර නිල්පාට මුදුවක් සෑදේ නම් ද්‍රාවණය ඔක්සලික් අම්ලයයි.

ඔක්සලික් අම්ලයෙන් ගන්නා ප්‍රයෝජන බොහෝයි. ග්ලිසරෝල් හා ස්ටියරේට (stearates) වැනි රසායන ද්‍රව්‍ය ශුද්ධ කිරීම සඳහා මේ අම්ලය යොදනු ලැබේ. පිදුරු ආදිය විරංජන කිරීමට ද එය යොදනු ලැබේ. යකඩ සමග සංකීර්ණ පෙරොඔක්සලේට් අයනයක් සෑදෙන බැවින් රෙදිපිළීවලින් තීන්ත සහ මලකඩ ඉවත් කිරීම සඳහා එය ප්‍රයෝජනවත් වේ. තීන්ත සහ නොයෙක් සායම් වර්ග නිෂ්පාදනයෙහි ද හම් හා රෙදිපිළී කර්මාන්තවල ද ඔක්සලික් අම්ලය යොදනු ලැබේ. රසායනික ප්‍රතිකාරකයක් වශයෙනුත් මේ අම්ලය බෙහෙවින් පාවිච්චි කරනු ලැබේ. විඛාදන නිෂේධකයක කුඩා ප්‍රමාණයක් එකතු කරන ලද ඔක්සලික් අම්ලය මෝටර් රථවල යන්ත්‍ර සිසිල් කරන රේඩියේටරවල කොරල වැනි ව සෑදෙන මල ඉවත් කිරීමට යොදන ද්‍රව්‍යවල ප්‍රධාන සංඝටකයක් වේ.

ඔක්සලික් අම්ලය ශරීරගත වීමෙන් විෂක් ඇති වුවහොත් ඒ විෂ මැරීමට කිරි හුනු (milk of lime) හෝ රටහුනු හෝ දිය කොට පෙවිය යුතුය. ඊට පසු වස්ති කිරීමෙන් හෝ එරඬු තෙල් දීමෙන් මල පහ කැරැවිය යුතුය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔක්සලික්_අම්ලය&oldid=11953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි