ඔගාතා කෝරින්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1658-1716). ජපන් ජාතික චිත්‍ර ශිල්පියෙකි. කොරෙතොමි යනු මොහුගේ පෞද්ගලික නාමය විය. ඔගාතා සෝකෙන් නම් චිත්‍ර ශිල්පියාගේ පුත්‍ර වූ මෙතෙමේ කියෝතෝහි උපත ලද්දේය. තෝකියෝහි සෝකෙන් යමාමොතෝ හා කානෝ යසුනොබු යටතෙහි චිත්‍රශිල්පය උගත්තේය. ඔගාතාගේ මුල් චිත්‍ර පවා එක්තරා ස්වාධීනතාවක් පිළිබිඹු කරයි. ඔගාතා ශෛලිය නමින් පසුව හැඳින්වෙන්නට වූ, ඔහුට ම ආවේණික ශෛලියේ මූල බීජ එම චිත්‍ර කෙරෙන් ඉස්මතුව පෙනේ. ඔගාතා කෝරින් පසුව තෝසා සම්ප්‍රදායයට අයත් කෘතීන් කෙරෙහි තම අවධානය යොමු කළ බව පෙනේ. මේ බව ඔහුගේ බොහෝ කෘතිවලින්, විශේෂයෙන් ඉසේ මොනොගතරි සහ හෙයිකේ මොනොගතරි යන වෘත්තාන්තයන්හි දර්ශන නිරූපණය කෙරෙන චිත්‍රවලින් පැහැදිලි වෙයි. කෝරින්ගේ චිත්‍ර වැඩි සංඛ්‍යාවකින් ම පිළිබිඹු වන පරිදි ඔහු ස්වභාව ධර්මය සියුම් ලෙස නිරීක්ෂණය කළ කෙනෙකි. ලාක්ෂා සිත්තරකු ද වූ කෝරින් පිඟන් භාණ්ඩවල හා රෙදිපිළීවල මෝස්තර සැලසුම්කරුවකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ඉසිලීය. ඔහුගේ කලා නෛපුණ්‍යය පිළිගැනීම් වශයෙන් හොක්යෝ යන ගරු නාමය ද ඔහුට පිරිනමනු ලැබීය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔගාතා_කෝරින්&oldid=11408" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි