ඔඩෝරික්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1286-1331). ඉතාලි ජාතික පූජකවරයෙකි; සුප්‍රකට දේශාටකයෙකි. ඉතාලියේ ෆ්‍රීඌලි ප්‍රදේශයේ පෝර්දෙනෝනේ නගරය අසල විලා නුවෝවා නම් කුඩා ග්‍රාමයේ දී උත්පත්තිය ලැබූ මෙතෙමේ ෆ්රැන්සිස්කන් නිකායික පූජකවරයකු බවට පැමිණ දේශ සංචාරයෙහි යෙදෙන්නට වන.

සිය දේශයෙහි සංචාරය කිරීමෙන් පමණක් තෘප්තියට නොපත් ඔඩෝරික් පූජකතුමා 1316 වැන්නේ සිට 1330 පමණ දක්වා දේශාන්තරයන්හි ද සංචාරය කරන්නට පටන් ගත්තේය. පෙරදිග බලා ගමනාරම්භ කළ මෙතුමා ටබ්‍රිස්, සුල්තානියා, පර්සිපොලිස්, බග්දාද් ආදි නගර පසු කොට පර්සියන් බොක්කේ පිහිටි හෝර්මස් නගරයට පිවිසියේය. එහි දී ඉන්දියාව බලා නැව් නැඟ බොම්බාය අසල ථානා නම් නගරයට ගොඩබැස්සේය. 1321 සිට 1324 දක්වා ම මෙතුමා ඉන්දියාවෙහි සංචාරය කරමින් එහි වුසූ බව පැවැසේ. මෙතුමා ලංකාවට පැමිණ ඇත්තේ මේ කාලය තුළ දීය. ලංකාවේ නොයෙක් පෙදෙස්වල සංචාරය කළ එතුමාගේ ලංකා විස්තරයෙන් එවක ලක්දිව තොරතුරු රාශියක් එළිදරවු වෙයි. සුමාත්‍රා, ජාවා, බෝර්නියෝ යන රටවල හා කොචින් චීනයේ ද යම් යම් තැන් දැක බලාගත් ඉක්බිති එතුමා චීනයට පැමිණ එහි නොයෙක් නගර ග්‍රාමයන්හි සංචාරය කෙළේය. ලෝකයේ ශ්‍රේෂ්ඨතම නගරය ලෙස එවක දසදිග පතළ කීර්තියක් දැරූ හැංචව් නගරයේ ශ්‍රී විභූතිය ගැන එතුමා සවිස්තර වර්ණනයක් කරයි.

පීකිංහි අවුරුදු තුනක් වාසය කළ ඔඩෝරික් පූජකතුමා ආසියාව හරහා ආපසු එද්දි තිබ්බතයට හා ලාසා නගරයට පිවිසියේය. ලාසා නගරයට ගිය ප්‍රථම යුරෝපීයයා මෙතුමා යයි සැලකිය හැකිය. පසුව පර්සියාව හා සුළු ආසියාව ඔස්සේ වැනිසියට පැමිණි එතුමා ෆ්‍රීඌලි ප්‍රදේශයේ අගනුවර වූ ඌදිනේහි දී 1331 ජනවාරි 14 වැනි දා අභාවප්‍රාප්ත වූයේය.

මෙතුමාගේ චාරිකා කිහිපයකට ම අයිරිෂ් ජාතික ජේම්ස් පූජකතුමා ද සහභාගී වූ බව පැවැසේ. ඔඩෝරික් පූජකතුමා කී චාරිකා කථා සරල ලතින් බසින් සටහන් කරගන්නා ලද්දේ සොලඤ්ඤහි විලියම් නම් තවත් පූජකතුමකු විසිනි.

14 වැනි සියවසේ වුසූ සර් ජෝන් මැන්ඩවිල් නමැත්තා තමා ඉන්දියාවේ හා කැතේහි (චීනයේ) කරන ලදැයි කියන චාරිකාවල විස්තර වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ බොහෝ දුරට ඔඩෝරික් පූජකතුමාගෙන් සොරාගත් තොරතුරු බව පිළිගැනීමයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔඩෝරික්&oldid=11524" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි