ඔත්මන් (උස්මාන්) ඉබන් අෆන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(574-656). මුස්ලිම්වරුන්ගේ තෙවන කාලිප්වරයා වූ ඔත්මන් එම පදවිය හෙබවූයේ සිය හැත්තෑ හැවිරිදි වියේ සිට මරණය දක්වාය. මහමත්තුමාගේ දියණි කෙනකුන් හා විවාහ වී සිටි ධනවත් වෙළඳකු වූ මෙතෙම සිය බිරියගේ ඇවෑමෙන් දෙවන වරට ද මහමත්තුමාගේ දියණි කෙනකුන් සරණ කොටගත්තේය. ඔහු උමයියද් රදලයකුවීමත් මහමත්තුමාගේ බෑනණු කෙනකුන් වීමත් කාලිප් පදවියට නම් කරනු ලැබීමේ දී බලපා ඇති බැව් පෙනේ. කාලිප්වරයා හැටියට ඔහු තමාට කලින් එම පදවිය දැරූ ඔමර් ගෙන ගිය ප්‍රතිපත්තිය අනුව යමින් සිරියාව, පර්සියාව, මිසරය දක්වා විහිද තිබුණු මුස්ලිම් අධිරාජ්‍යය කාබුල්, බාල්ක්, ටිෆ්ලිස් හා කළු මුහුද දක්වා ව්‍යාප්ත කළේය. එහෙත් ඔහුගේ අදූරදර්ශී ක්‍රියා නිසා අධිරාජ්‍යයේ නොයෙක් කොටස්වල කැරලි ඇති විය. මේ අතර කැරලිකාර මිසර කණ්ඩායමක් කාලිෆ් පදවියෙන් අස්වන ලෙස ඔහුගෙන් ඉල්ලමින් මෙදීනා නුවරට පැමිණියාහු තම ඉල්ලීම ඉෂ්ට නොවනු දැක මාළිගය වට කොට ඔහු මරා දැමූහ.

(සංස්කරණය: 1974)