ඔපියොග්ලොසාලේස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ophioglossales). මේ පර්ණාංගී (මීවන) ගෝත්‍රය පිලිකිනෙ (Filicineae) වර්ගයෙහි එවුස්පොරාංගියාටේ (Eusporangiate) උපවර්ගයට අයත්ය. සරු ශූකියක් වන ප්‍රසරයක් මත බීජාණුධානි දරන හෙයින් මේ ගෝත්‍රය පිලිකිනෙ වර්ගයට අයත් වෙනත් ගෝත්‍රවලින් වෙනස් වේ. මේවායේ පත්‍රයක පත්‍ර තලය හා නටුව සන්ධි වන ස්ථානය සමීපයෙන් සරු ශූකිය අභ්‍යක්ෂ ලෙස (adaxially) ඉහළට නෙරා සිටියි. මේ ගෝත්‍රය පර්ණාංගී පැළෑටි ගණ (genera) හතරකින් සමන්විතය. ඔපියොග්ලොසුම් (Ophioglossum) හෙවත් එක්පෙති පියුම්, බොට්රිකියුම් (Botrychium), හෙල්මින්තොස්ටකිස් (Helminthostachys) සහ රයිසොග්ලොසුම් (Rhizoglossum) මේ ගණ හතරය. ඔපියොග්ලොසුම් විශේෂ 28කි. බොට්රිකියුම් විශේෂ 23කි. හෙල්මින්තොස්ටකිස් විශේෂ එකකි. ඔපියොග්ලොසාසේ (Ophioglossaceae) නමැති තනි කුලයෙහි මේ ගණ තබා ඇත. මේ ගෝත්‍රයට අයත් පොසිල ශාක එකක්වත් තව ම ලැබී නැත. ඔපියොග්ලොසුම් හා බොට්රිකියුම් විශේෂ ලෝකයේ සෑම නිවර්තන හා සෞම්‍ය ප්‍රදේශවල ම පාහේ දක්නට ලැබේ. එහෙත් හෙල්මින්තොස්ටකිස් ගණය දක්නට ලැබෙන්නේ ඉන්දු-මලයා ප්‍රදේශවල පමණි. තනි විශේෂයකින් පමණක් සමන්විත රයිසොග්ලොසුම් ගණය දක්නට ලැබෙන්නේ දකුණු අප්‍රිකාවේ පමණි.

මේ ගෝත්‍රයට අයත් ශාක ප්‍රමාණයෙන් කුඩා වූ හෝ තරමක් ලොකුවට වැවෙන බහුවාර්ෂික පැළෑටිය. සාමාන්‍යයෙන් මේ ශාකවල කොටස් තරමක් මාංසලය. මේ ශාක බොහොමයක් ශුෂ්ක ශාක වේ. ඔපියොග්ලොසුම් විශේෂ දෙකක් අපිශාක වේ. කෙටි ඍජු රෛසෝමයක් තිබීම මේ ගෝත්‍රයෙහි ලක්ෂණයකි. දෙබෙදුම (dichotomy) වැනි සැබෑ ශාඛනයක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඔ. පෙන්ඩුලුම් (O. pendulum) ශාකයේ රෛසෝමය සෘජු නොවේ. සැබෑ පර්ණාංගයන්ගේ රෛසෝමවල දක්නට ලැබෙන දෘඪස්තර පටක මේ ශාකවල නැත. සනාල කලාපවල ව්‍යූහය ඉතා සරලය. ශාකයක මුල් ඇත්තේ ඉතා ස්වල්පයකි. ඒවා ඝනය, මාංසලය. ඒවායේ මූලකේශර නැත. මුලේ ස්ථූණය (stele) එක්කොන් (monoarch) හෝ දෙකොන් (diarch) හෝ විය හැකිය. රෛසෝමය මත පිළිවෙළින් පත්‍ර කිහිපයක් ඇති වේ. විශේෂ බොහොමයක එක් වර්ධක ඍතුවක දී සෑදෙන්නේ එක් පත්‍රයක් පමණි. සාමාන්‍යයෙන් ශාකය වශයෙන් දක්නට ලැබෙන්නේ පොළොවෙන් ඉහළට තිබෙන තනි පත්‍රයයි. අනික් පර්ණාංගවල පත්‍ර මෙන් මේ ශාකවල පත්‍ර ලොකු නැත. හැඩය හා ව්‍යූහය අතින් පත්‍ර විවිධාකාරය. පත්‍රය සාමාන්‍යයෙන් අභ්‍යක්ෂ (adaxial) හෙවත් උදරීය සරු ඛණ්ඩයකට ද අවාක්ෂ්‍ය (abaxial) හෙවත් පෘෂ්ඨීය නිසරු ඛණ්ඩයකට ද බෙදී ඇත. ඔපියොග්ලොසුම්වල පත්‍රය සරල හෝ ඛණ්ඩිකීය (lobed) හෝ විය හැකිය. ඔ. පෙන්ඩුලුම්වල පත්‍රය රේඛීය වේ. එය මීටර් 1 සිට 2 දක්වා දිගය. බොට්රිකියුම් පත්‍රය සාමාන්‍යයෙන් පර්ණාංගී පත්‍රයක් වැනිය. එය පක්ෂවත් ලෙස සංයුක්තය. හෙල්මින්තොස්ටකිස් පත්‍රය ත්‍රිත්ව ලෙස (ternately) සංයුක්තය.

ඔපියොග්ලොසාලේස්වලත් පරම්පරා ප්‍රත්‍යාවර්තනයක් සිදු වේ. තනි පත්‍රවලින් යුත් සාමාන්‍ය පැළෑටි ඒවායේ බීජාණුශාක (sporophytes) වේ. ඇතැම් ඔපියොග්ලොසුම් විශේෂවල බීජාණුශාකයෙහි වර්ධක ප්‍රජනනය සිදු වේ. මුල්වල අංකුර ඇති වී ඒවායින් නව පැළෑටි සෑදේ. අනික් ගණවල වර්ධක ප්‍රජනනයක් දක්නට නොලැබේ. ඔපියොග්ලොසුම්වල බීජාණුධානි දරන සරු ඛණ්ඩය සරල හා රේඛීය වේ. සමහන් වූ (coalescent) බීජාණුධානි පේළි දෙකක් ඇත. බොට්රිකියුම්වල සරු ඛණ්ඩය පක්ෂවත් ලෙස සංයුක්තය. හෙල්මින්තොස්ටකිස්වල කෙටි සරු ඛණ්ඩිකා බොහොමයක් ප්‍රධාන අක්ෂයෙහි දරනු ලැබේ. මේ ගණ තුනේ ම බීජාණුධානි ලොකුය; මහත් බිත්ති සහිතය. බීජාණුධානි සුබීජාණුධානිකය (eusporangiate). බීජාණුධානියක විශාල බීජාණු සංඛ්‍යාවක් තිබේ. බීජාණුවලින් ඇතිවන ප්‍රාක්තලස (prothalli) පස් යට වර්ධනය වේ. ඒවා ලිකොපෝඩියම් (Lycopodium) ප්‍රාක්තලසට බෙහෙවින් සමානය. ඒවා මාංසලය; දිලීරක මූලය (mycorrhirza) සහිතය; අළුපාට, කහපාට හෝ දුඹුරුපාට විය හැකිය. සමහර විශේෂවල ප්‍රාක්තලස මූලාභවලින් (rhizoids) වැසී ඇත. ඔපියොග්ලොසුම් ප්‍රාක්තලසයේ මූලාභ නැත. සාමාන්‍යයෙන් මේ ප්‍රාක්තලස පස් යට වර්ධනය වුවත් ඒවා පස් මතු පිට ද දක්නට ලැබේ. හිරු එළිය වැටෙන තැනක වැඩෙන විට ඒවායේ ක්ලොරෝෆිල් ස්වල්පයක් සෑදෙන්නට පුළුවන. ඔපියොග්ලොසුම් ප්‍රාක්තලස හැඩයෙන් අණ්ඩාභ හෝ රේඛීය හෝ තාරකාකාර හෝ විය හැකිය. සිලින්ඩරාකාර ඒවා ප්‍රකටය. ඔ. වුල්ශාටුම්වල ප්‍රාක්තලස සෙමී.6ක් පමණ දිගය. බොට්රිකියුම් ප්‍රාක්තලස මිමී.2 සිට 20 දක්වා දිගය. එය සිලින්ඩරාකාර හෝ අණ්ඩාභ හෝ පැතළි නලයක් වැනි හෝ විය හැකිය. හෙල්මින්තොස්ටකිස් ප්‍රාක්තලස මීට වඩා හැඩයෙන් සංකීර්ණය. එය ඍජු සිලින්ඩරාකාර දේහයකි. එහි පහළ කොටස අනියම් ලෙස බෙදී ඇත. මේ ජන්මාණුශාකවල ලිංගික ඉන්ද්‍රියයෝ බොහොමයකි. සිලින්ඩරාකාර තලසවල මුළු පෘෂ්ඨයෙහි ම ලිංගික ඉන්ද්‍රියයන් පිහිටා තිබෙනු පෙනේ. පැතලි ප්‍රාක්තලසවල ඒවා පිහිටා ඇත්තේ උඩු පැත්තේ පමණි. බොට්රිකියුම් ප්‍රාක්තලසය ඒකගෘහීය (monoecious). අනික් ගණවල ප්‍රාක්තලස බොහොමයකත් ලිංගික ඉන්ද්‍රියයන් දෙවර්ගය ම ඇත.

මේ ගෝත්‍රය ගැන සලකා බලන විට අපට වැටහෙන්නේ බොට්රිකියුම් ආදි ගණය ලෙසත් ඔපියොග්ලොසුම් වඩා දියුණු ගණය ලෙසත්ය. පෙනෙන හැටියට මේ ගණ හතර අසමාන වුවත් ඒවා කිට්ටු සබඳකම් දක්වයි. ඇතැම් ලක්ෂණ අතින් ඔපියොග්ලොසාලේස් කුලය අනික් පර්ණාංග කුලවලට වඩා වෙනස්ය. එබැවින් ඒවා වෙන ම ගෝත්‍රයක තබනු ලැබේ. පර්ණාංග අතර මේ ශාක ඉතා ආදි කාණ්ඩයකට අයත් බව නිසැකය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔපියොග්ලොසාලේස්&oldid=11697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි