ඔර්ලෙයොං ආදිපාද ෂාර්ල්
සිංහල විශ්වකෝෂය වෙතින්
(1391-1465). ප්‍රංසයේ ඔර්ලෙයොංහි ලුවී නම් වූ ඈපාගේ දෙටු පුත් මෙතෙම 1407 දී සිය පියාගේ ඇවෑමෙන් එම ආදිපාද පදවියට පත් විය. ඔර්ලෙයොංහි ෂාර්ල් ආදිපාදවරයා ප්‍රංසයේ විසූ දක්ෂ කිවියකු හැටියට ප්‍රසිද්ධය.
1415 දී ඉංග්‍රීසීන් ප්රංසය ආක්‍රමණය කළ අවස්ථාවේ දී එම සතුරු සේනාවට විරුද්ධව ඇජින්කෝට් නම් ස්ථානයේ සටන් කළ ප්රංස හමුදාවේ අණදෙන නිලධාරියා හැටියට ඔහු ක්‍රියා කළේය. එහි දී ඉංග්‍රීසීහු මොහු සිරභාරයට ගෙන එංගලන්තයට ගෙන ගියහ. පුරා පස්විසි වසක් එංගලන්තයේ සිරභාරයේ විසූ ෂාර්ල් ඈපා එහි දී උසස් සමාජයෙහි ගැවසෙමින් විනෝද ක්‍රීඩාදියෙහි මෙන් ම කාව්‍ය රචනාවෙහි ද යෙදුණේය. 1440 දී හේ නිදහස ලබා සියරට පැමිණියේය.
පසු කාලයේ දී ලුවී XII නමින් රජබව ලත් පුත්‍රයා උපදින විට ඔර්ලෙයොංහි ෂාර්ල් ඈපාගේ වයස 71ක් විය.
(සංස්කරණය: 1974)