ඔලිඳ කෙළිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඔලිඳ ඇටවල ආධාරයෙන් කෙරෙන පැරණි ගම්බද ජන ක්‍රීඩාවකි. ඔලිඳ කෙළිය පැරණි ක්‍රීඩාවක් බව ඒ පිළිබඳ ජනකවිවලින් පෙනේ. නවීන ගෘහ ක්‍රීඩා දියුණුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනික් බොහෝ ජාතික ක්‍රීඩාවන් මෙන් මේ ක්‍රීඩාව ද අභාවයට යමින් පවතී.

ඔලිඳ කෙළියට ගන්නා ප්‍රධාන උපකරණයට ඔලිඳ පෝරුව නොහොත් ඔලිඳ කොළොම්බුව යයි කියති. ඔලිඳ කෙළිය රජවාසල බිසෝවරුන් අතර පැවතිණැයි ද ඔවුන් ඔලිඳ ඇට වෙනුවට මුතු ඇට පාවිච්චි කළ හෙයින් ඔලිඳ පෝරුව මුතු පෝරුව නමින් හැඳින්වුණු බව ද කියැවේ. බොහෝ ගම්බද ගෙවල්වල දක්නට ලැබෙන ඔලිඳ පෝරුව සමහරු විවිධ විසිතුරු මල්කමින් කැටයම් කර අලංකාර කර ගනිති. සාමාන්‍යයෙන් අඟල් 10-14 පමණ දිගැති අඟල් 6-8 පළලැති ලෑල්ලක එක් පැත්තක හත බැගින් සිටින සේ දිග දෙපැත්තේ සෑරූ කුඩා වළවල් දෙපේළියක් ද ඒ පේළි අතර පුවරුවේ දෙකොණ එකක් අඟල් 2x2 පමණ තරමේ දිග පළලින් යුත් වළවල් දෙකක් ද වේ. කුඩා වළවල් දහහතර ක්‍රීඩාව සඳහා ද දෙකොණ චතුරස්‍රාකාර වළවල් දෙක ක්‍රීඩකයන් දෙදෙනා දිනා ගන්නා ඇට පිරවීම සඳහා ද වේ. එක වර ක්‍රීඩා කළ හැක්කේ දෙදෙනකුට පමණි. බිම පැදුරක් මත වාඩි වී පෝරුව ක්‍රීඩිකාවන් දෙදෙනා අතර තබාගනු ලැබේ. දෙපිලෙහි අනික් අය අවට රැස්ව ක්‍රීඩාවෙහි යෙදෙන්නවුන් ධෛර්‍ය්‍යවත් කෙරෙති. ඒ සමඟ ම විනෝද වෙති.

සාමාන්‍යයෙන් එක් වළකට සතර බැගින් වැටෙන සේ පෝරුවේ වළවල් දහහතරෙහි ඔලිඳ ඇට පනස් හයක් “වපුරති”. වපුළ ඔලිඳ “ඉසීම” ඉන් පසු පටන් ගැනේ. එක් ක්‍රීඩිකාවක් තම පේළියේ මුල් වළේ ඇට අතට ගනී. ඊට “ඔරවනවා” යයි කියති. එරවූ ඇට වළකට එක බැගින් ළඟ ම ඇති වළවල්වලට පිළිවෙලින් දමා යළිත් ඊළඟ වළේ ඇති ඇට සියල්ල ඔරවා පළමුසේ ම ළඟ ඇති වළවලට පිළිවෙළින් දමයි. තම පැත්තේ මෙන් ම විරුද්ධ පැත්තේ වළවලට ද මේ ඇට දමනු ලැබේ. මෙසේ ඇට ඉසිමින් යන අතර අතේ ඇට අවසන් වීමත් සමඟ හිස් වළක් හමුවුවහොත් ඊට එහා වළේ ඇති ඇට සියල්ල ඇට ඉසිමින් සිටි ක්‍රීඩිකාවට හිමි වේ. ඒ ඇට ගැනීමට “කනවා” යයි කියති. පිළිවෙළින් හිස් වළවල් දෙකක් හමු වී නම් තුන් වැනි වළේ ඇට කෑමට ඈට බලයක් නැත. එසේ වූ විට “පුස්සක්” යයි කියනු ලැබේ. එවිට ක්‍රීඩා වාරය අනෙක් තැනැත්තියට හිමි වේ.

පෝරුවේ එක් පැත්තක ඇට සියල්ල අවසන් කිරීම “පුහුලකපනවා” යයි දනිති. වැඩිම ඇට ගණනක් ලබා ගත් අය ජයග්‍රහණය කරයි. ඔලිඳ කෙළියට ම සීමා වූ තවත් වචන ඇත. “ඉන්ටිය” යනු තනි ඇටයයි. “පුතා” යනු හිස් වළවල් දෙකක් අතර වළක ඇති තනි ඇටයයි. “දුව” යනු එබඳු වළක ඇති ඇට දෙකයි.

ඔලිඳ කෙළිය පිළිබඳව රචිත ජනකවි බොහෝය. ක්‍රීඩාවේ යෙදෙන්නවුන් අවස්ථානුරූප පරිදි කියන මේ කවිවලින් ඔලිඳ කෙළියෙහි උපත හා වෙනත් විස්තර දැනගත හැක.

ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ

ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ

ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ

ගෙනත් සදන්නේ සිංහල දේසේ

ආදි කවිවලින් මෙහි උත්පත්තිය බංගලි දේශයේ බවත් ලංකාවට ආවේ එකී දේශයෙන් බවත් සිතා ගත හැකියි. ඔලිඳ කෙළිය පත්තිනි දෙවියන්ගේ ක්‍රීඩාවක් බව සාමාන්‍ය විශ්වාසයයි.

කපට පළමු පත්තිනි දෙවියන් නේ

ඔපට දෙපිල දෙවියන් වැඩ ඉන් නේ

රුවට සඳේ මැද සාව අඳින් නේ

යසට එහිමි සිට ඔලිඳ කෙළින් නේ

ආදි වූ ඔලිඳ කෙළිය ආශ්‍රිත ජනකවිවලින් ද පත්තිනි දෙවියන් හා පැවති සම්බන්ධය පෙනේ.

තුන් ඉන්ටි සෙල්ලම, පුස්සට සෙල්ලම, කොටු බන්ධන සෙල්ලම ආදි වශයෙන් ඔලිඳ කෙළියේ ප්‍රභේද කිහිපයක් සඳහන් වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිඳ_කෙළිය&oldid=11528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි