ගමල් අබ්දෙල් නසර්
(1918-1970). (Gamal Abdel Nasser). යුදහමුදා නිලධාරියෙකි. 1956 සිට 1970 දක්වා ඊජිප්තුවේ ජනාධිපති ධූරය හෙබවී ය. මේ දශක 1,1/2ක කාලය තුළ දී මැද පෙරදිග සමස්ත අරාබි ජනතාවගේ ම අසීමිත ගෞරවය දිනා ගැනීමට හෙතෙම සමත් විය. මේ අයුරු අරාබි ජනතාවගේ පිළිගැනීමට ලක් වූ වෙනත් නූතන අරාබි ජන නායකයකු නොමැත. ඊජිප්තුව කෙරෙහි අතිශයින් බලපෑ තීරණාත්මක සටන් දෙකකින් පරාජය වුව ද ඔහුගේ ජනප්රියභාවය කිසිසේත් අඩු නොවී ය. විදේශීය ආධිපත්‍යයට යටත් ව වහල් ජාතියක් ව සිටි ඊජිප්තුවට නැවත පෙර ගෞරවනීය තත්ත්වය ලබා දුන්නේ නසර් බව අරාබි ජාතීන්ගේ මතයයි. වසර දහස් ගණනකට පසුව ඊජිප්තුව පාලනය කළ ප්‍රථම ඊජිප්තියානු ජාතිකයා වූයේ ද නසර් ය. කෙසේ වෙතත් එක්සත් අරාබි රාජ්‍යයක් ගොඩනැගීමට ඔහු තුළ වූ අපේක්ෂාවන් ඉටු නොවී ය. එමෙන් ම ඔහුගේ මරණයට පෙර සෝවියට් දේශයේ යුද්ධාධාර හමුවේ ඊජිප්තුවේ නිදහස යම් පමණකට කැප කරන්නට ද ඔහුට සිදු විය.
අඩි 6කට වඩා උස් වූත් රාත්තල් 200කට වඩා බර වූත් නසර් ප්‍රබල පෞරුෂයකින් යුක්ත ජන නායකයකු විය. ප්‍රසිද්ධ ජීවිතයේ දී දැඩි විප්ලවකාරියෙකු වුව ද පෞද්ගලික ජීවිතයේ දී පැරණි සාරධර්ම ගරු කළ චාම් ගති පැවතුම්වලින් යුත් පුද්ගලයෙක් විය.
නසර් 1918 ජනවාරි 15 දින ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ බාකොස් කොටසේ දී උපත ලැබී ය. එහෙත් නසර් ඊජිප්තියානු ගැමියකු සේ හුවා දක්වන්නට වෑයම් කළ රාජ්‍ය ප්‍රකාශන වසර ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ කළේ ඔහු බනීමර් නම් ගම්මානයේ දී උපත ලැබූ බවයි. ඔහුගේ පියා ප්‍රදේශීය තැපැල් කාර්යාලයේ ප්‍රධානියා විය. නසර් මූලික අධ්‍යාපනය ලැබුවේ අල්-කටාටිබාහ් ගම්මානයේ පාසැලෙනි. පසුව ඔහු කයිරෝ නගරයේ විසූ ඥාතියකු හා වාසයට ගියේ ය. බ්‍රිතාන්‍ය සිර කඳවුරකින් නිදහස ලැබූ මේ ඥාතියා ජීවත් වූයේ යුදෙව් පවුල් කිහිපයක් ද විසූ ගොඩනැගිල්ලකයි. බොහෝ විට ඉංග්‍රීසි ගුරුවරුන් සමඟ අරගල ඇති කරගත් නසර් බ්‍රිතාන්‍ය විරෝධී පෙළපාලිවල ද උද්යෝගීමත් සාමාජිකයකු බවට පත් විය. ද්විතීය අධ්‍යාපනයෙන් පසු මාස කිහිපයක් නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නසර් ඉන් ඉවත්ව රාජකීය හමුදා විද්‍යාලයට (Royal military academy) බැඳුණි. දෙවන ලුතිනන්වරයකු ලෙස පත්වීම ලත් නසර් යුද හමුදාවේ කෙටි කලක් සේවය කිරීමෙන් අනතුරුව හමුදා විද්‍යාලයේ කථිකාචාර්ය පදවියකට පත් විය.
පසුව සුඩානයේ ඊජිප්තියානු හමුදාවේ සේවය කරන කාලය තුළ දී ඔහුට පසුකාලීන ඊජිප්තු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑ පුද්ගලයන් තිදෙනකු හමුවීමේ අවස්ථාව උදාවිය. (පසු කලෙක එක්සත් අරාබි ජනරජයේ උපජනාධිපති ධූරයට පත් වූ ෂාකාරියා මොහිදීන්, පසු කලක හමුදාවේ ෆීල්ඩ් මාෂල් තනතුරට පත් වූ අබ්දෙල් හකීම් ආමිර්, නසර්ගෙන් පසු ජනාධිපති ධූරයට පත් අන්වර් සදාත්). දැඩි දේශප්‍රේමීන් වූ මොවුහු නිදහස් නිලධාරීන් (Free Officers) නම් වූ විප්ලවකාරී රහස් සංවිධානයක් බිහි කළහ. මේ සංවිධානයේ අරමුණු වූයේ ඊජිප්තියානු රාජකීය පවුලත් බ්‍රිතාන්‍ය බලයත් ඊජිප්තුවෙන් පලවා හැරීමයි. 1948 දී නව ඊශ්‍රායෙල් රාජ්‍යයට විරුද්ධව කළ බරපතල සටනේ දී නසර් බරපතල තුවාල ලැබී ය. මේ යුද්ධයෙන් පසුව ‘නිදහස් නිලධාරීන්’ සංවිධානය තවත් ශක්තිමත් විය. පාලන තන්ත්රයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද ඇරඹිණි.
1952 ජූලි 23 දින නසර් තවත් නිදහස් නිලධාරීන් 89ක් හා එක්ව ලේ නොසෙල්වූ කුමන්ත්‍රණයක් මඟින් රාජාණ්ඩුව පෙරළා දැම්මේ ය. සදාත්ට හා සෙසු නායකයන්ට හාරුක් රජු ප්‍රසිද්ධියේ මරා දමන්නට අවශ්‍ය වූ නමුත් නසර් රාජකීය පවුලට ඊජිප්තුවෙන් පිටව යන්නට අවසරදිනි. පසුකාලීනව රාජ්‍ය නායකයකු ලෙස ඔහු දැක් වූ විචක්ෂණභාවයේ මූල අවස්ථාවක් ලෙස මේ සිද්ධිය දක්වනු ලැබේ. රටේ පාලනය මේ වන විට ලෙෆ්ටිනන්ට් කර්නල් තනතුරක් දැරූ නසර් ප්රමුඛ නිලධාරීන් 11කින් සමන්විත විප්ලවකාරී අණදෙන මණ්ඩලයකට පැවරිණි. මේජර් ජෙනරාල් මොහොමඩ් නජීබ් නව විප්ලවකාරී ආණ්ඩුවේ අගමැති හා ජනාධිපති ලෙස නම් කරනු ලැබී ය. නියෝජ්‍ය අගමැති හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති පදවි නසර්ට හිමි විය. නජීබ් නව ආණ්ඩුවේ රූකඩ පාලකයා වූ අතර නියම නායකයා වූ නසර් පුරා වසරක් තම සැබෑ තත්ත්වය විදේශිකයන් ගෙන් වසන් කර ගැනීමට සමත් විය. 1954 දී කුමන්ත්‍රණ කිහිපයක් මෙහෙය වූ නසර්, නජීබ් බලයෙන් පහකොට නිවාස අඩස්සියේ තබා රාජ්‍ය බලය ලබා ගති. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැවති ජන හමුවක දී නසර් මරා දැමීමට මේ වසරේ දී ම මුස්ලිම් සහෝදරත්වය විසින් දරන ලද උත්සාහයක් ව්‍යර්ථ විය. පසුව නසර් මේ අන්තවාදී ආගමික සංවිධානය විනාශ කිරීමට කටයුතු සැලැස්වී ය.
1956 ජනවාරි මස නසර් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊජිප්තුව ඒකීය පක්ෂ ක්‍රමයකින් යුක්ත ඉස්ලාමීය, අරාබි සුභසාධක රාජ්‍යයක් බවට පත් විය. ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ එකම අපේක්ෂකයා වූ නසර් 5,000,000ක් වූ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 99.948%ක් ලබා ගැනීමට සමත් විය. ඔහුගේ ව්‍යවස්ථාවට ඡන්දදායකයන් 99.8%ක සහාය ලැබිණි. නසර්ගේ නායකත්වය යටතේ ඊජිප්තුවේ අනාගතය සුභදායක බව පෙනෙන්නට විය. ඔහු යුද උපකරණ ලබා ගැනිම සඳහා චෙකොස්ලොවෙකියාව සමඟ රහස් ගිවිසුමක් ද ඇති කරගති. නසර් සැලසුම් කළ අස්වාන් වේල්ල ව්‍යාපෘතිය සඳහා ඩොලර් 270,000,000ක් යෙදවීමට ඇමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය එකඟ විය. එහෙත් 1956 ජූලි 20 දින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මේ ප්රදානය ඉවත් කරගති. පසු දින බ්‍රිතාන්‍යය ද ඒ හා එක් විය. ඉන් දින පහකට පසු නසර් සූවස් ඇල ජනසතු කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙළේ ය. වසර පහක් තුළ ඉන් උපයන ආදායමින් අස්වාන් වේල්ල නිම කිරීම තම අරමුණු බව ඔහු පළ කෙළේ ය. අස්වාන් වේල්ල ව්‍යාපෘතියෙන් ඉවත් වීම මැද පෙරදිග ඇමෙරිකානු බලපෑම අවසාන වීමේ ආරම්භය ලෙස සනිටුහන් වේ. මේ තත්ත්වය නිසා ඊශ්‍රායල හමුදා සිනායි අර්ධද්වීපයට පහර දුන් අතර ඉන් දින දෙකකට පසු ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා ද එයට එක් විය. ඊශ්‍රායලය සිනායි අර්ධද්වීපය යටත් කරගත් නමුදු ඊජිප්තියානු ගුවන් හමුදාව විනාශ වූ නමුදු ඊජිප්තුව තුළ නසර්ගේ බලය අඩු වූයේ නැත.
නසර් ලියූ 'Philosophy of the revolution' 1954 දී පළ විය. ඒ අනුව පළමුව 55,000,000ක් වූ අරාබීන්ගේ ද පසුව 224,000,000ක් වූ අප්‍රිකානුවන්ගේ ද 420,000,000ක් වූ සමස්ත ඉස්ලාම් අනුගාමිකයන්ගේ ද ප්‍රධානියා වීම ඔහුගේ අරමුණ බව ප්‍රකාශ විය. 1958 දී ඊජිප්තුව හා සිරියාව ඒකාබද්ධ කරමින් බිහි වූ එක්සත් අරාබි ජනරජය පිළිබිඹු කරන්නේ ඔහුගේ මේ අධ්‍යාශයයි. මුළු අරාබි ලෝකය ම මේ රාජ්‍යය තුළ ඒකරාශී කිරීම නසර්ගේ අරමුණ වුවත් 1961 දී සිරියාව මේ සන්ධානයෙන් ඉවත් විය. ඊජිප්තුව, සිරියාව දෙවැනි ස්ථානයේ ලා සැලකීම මේ සන්ධානය බිඳ වැටීමට හේතුව විය.
ඊජිප්තුව තුළ නසර්ගේ සංවර්ධන කටයුතු ද ක්‍රමවත් විය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ආධාර ලබා ඉදි කළ අස්වාන් වේල්ල 1968 දී නිෂ්පාදන ක්‍රියාවලියට එක් විය. විසි වන සියවසේ ජීවන රටාව බොහෝ ඊජිප්තියානු ගම්වලට හඳුන්වා දෙනු ලැබිණි. කාර්මීකරණ සැලසුම් කඩිනම් කරන ලදි. ඉඩම් ප්‍රතිසංස්කරණයට අනුව කිසි ම පුද්ගලයකුට ෆෙඩාන් 100කට (අක්කර 104) වඩා අයිති කර ගැනීම තහනම් විය. දූෂණයට එරෙහිව දියත් කළ ව්‍යාපාරය ද යම් සාර්ථකත්වයක් හිමි කරගති. කාන්තාවන්ට එතෙක් නොවූ අයිතිවාසිකම් රැසක් භුක්ති විදීමේ අවස්ථාව සැලසිණි. එමෙන් ම නව මධ්‍යම පන්තියක් දේශපාලන හා ආර්ථික ක්ෂේත්රයේ ඉස්මතු වනු ද දක්නට ලැබිණි. පෙර මේ අංශ ඉතාලි, ග්‍රීක්, ප්‍රංශ, බ්‍රිතාන්‍ය වැනි විදේශිකයන්ගේ මෙහෙයවීම් යටතේ ක්‍රියාත්මක විය. මොවුන්ගේ බලය සීමා කොට රටින් පිටකරන්නට නසර් කටයුතු සැලැස්වී ය. මේ සියල්ලට ම වඩා ඔහුගේ දූරදර්ශී රාජ්‍ය ඥානය ප්‍රකට වනුයේ කොමියුනිස්ට්වරු, යුදෙව් ජාතිකයන්, පැරණි දේශපාලන පක්ෂ, ප්‍රතිවාදී හමුදා නිලධාරීන් හා නජීබ්ගේ අනුගාමිකයන්, ඉඩම් අහිමි වූ වංශවතුන් වැනි ප්‍රබල විරුද්ධවාදීන් හමුවේ වුව ද අයෝමය පාලනයක් ගෙන යාමට සමත් වීමෙනි.
මේ සමඟ ම ඊජිප්තුව පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමේ චෝදනාව ද ඔහුට එල්ල වෙයි. ලිපි ලේඛන විවෘත කිරීම, ජනමාධ්‍ය පාලනය කිරීම, ප්‍රධාන පුවත්පත් ජනසතු කිරීම, දුරකථන අවහිර කිරීම, අමුත්තන්ගේ කාමර සෝදිසි කිරීම වැනි දෑ නිතර සිදු විය. බටහිර අර්ථයේ ප්රජාතන්ත්රවාදය ඊජිප්තුව තුළ දක්නට නොවී ය. දේශපාලන විරුද්ධවාදීන් වධ කඳවුරුවලට ගෙන යන ලදි. ජීවන තත්ත්වය වුව ද අපේක්ෂා කළ අයුරු වර්ධනය නුවූවේ උපත් අනුපාතිකයේ ඉහළ මට්ටම පාලනය කළ නොහැකි වූ හෙයිනි. ඊශ්‍රායලය පිළිගැනීමට ඔහු දැක්වූ අකමැත්තත් 1956 දී ලත් පරාජයත් නිසා යුද කටයුතුවලට මුදල් යෙදවීමට සිදුවීමෙන් ඔහුගේ සංවර්ධන වැඩ පිළිවෙල අඩාල විය.
විදේශ සම්බන්ධතාවල දී නසර් යුගෝස්ලාවියාවේ ටිටෝ හා ඉන්දියාවේ ජවහර්ලාල් නේරු අනුව යමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නට වෙරදැරී ය. 1956 බැංඩු සම්මේලනයේ දී ද නසර් ලෝක නායකයකු ලෙස කැපී පෙනිණි. 1962 වර්ෂයේ ඇරඹි යේමන් සිවිල් යුද්ධයේ දී ඊජිප්තියානු හමුදා රිපබ්ලිකන් පක්ෂයට ආධාර දුන්න ද 1967 ඊශ්‍රායලය සමඟ හටගත් යුද්ධය නිසා යේමනයෙන් ඉවත් වන්නට සිදු විය. මේ යුද්ධය ආරම්භ වූයේ ගාසා තීරයෙන් හා ෂාම් එ ෂාක් ප්‍රදේශයෙන් එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට ඉවත් වීමට නියෝග කිරීමත් ඊශ්‍රායල නැව්වලට අකබා බොක්ක වසා දැමීමත් නිසා ය. ඊජිප්තියානු ගුවන් හමුදාව විනාශ වීමත් පාබල හමුදාවන්ට සූවස් හරහා පසුබසින්නට සිදු වීමත් නිසා නසර් ඉල්ලා අස්වන්නට තැත් කෙළේ ය. එහෙත් ජනතා උද්ඝෝෂණත් ජාතික මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ විශ්වාසය පළ කිරීමේ යෝජනාවත් නිසා තම තනතුරේ රැඳී සිටින්නට ඔහුට සිදු විය. යුද්ධයෙන් වූ හානි සමනය කර ගැනුම සඳහා සෝවියට් දේශයේ ආධාර ලැබිණි. මේ යුද්ධය නිසා නසර් විරෝධීන්ගේ විරෝධතා උග්‍ර විය. පෙර ඔහුගේ සමීප හිතවතකු වූ ෆීල්ඩ් මාෂල් අබ්දෙල් හකීම් අමිර් විසින් කුමන්ත්‍රණයක් ද දියත් කරන ලදි. එහෙත් මේ විරුද්ධතා මැඩලීමට ඔහු සමත් විය.
1970 සැප්තැම්බර් 24 දින හෘදයාබාධයකින් නසර් මිය යන විට ඊශ්‍රායලය සමඟ සාම සාකච්ඡාවලට මඟ පාදන ඇමෙරිකානු සැලැස්මකට ඔහුගේ අවධානය යොමු වී තිබූ බව ද පැවසේ.
(කර්තෘ: ගාමිණී වේරගම)
(සංස්කරණය නොකළ)