ගැස්පාර් ද ෆිගේරා
පෘතුගීසි බලය ලංකාව තුල ස්ථාවර කිරීමේලා තනි පුද්ගලයකුගේ ශක්තිය යම්තාක් බලපෑවේ නම් ඒ ගැස්පාර් ද ෆිගේරාගේ ශක්තියයි. 1652 වර්ෂය වන විට පිරිහෙමින් පැවැති පෘතුගීසී පාලනය විනාශ කිරීම සඳහා එක් අතකින් ලන්දේසීනුත් අනික් පසින් දෙවැනි රාජසිංහ රජුත් පහර දුන් අතර, යුරෝපයේ එවක ඇති වූ දේශපාලන විපර්යාස නිසා පෘතුගීසීන් සිටියේ ලංකාව වැනි සිය යටත් විජිත ආරක්ෂා කර ගැනීම සඳහා බලය යෙදවිය හැකි තත්වයක නොවේ. මෙවැනි අවදානම් අවස්ථාවක පෘතුගීසි බලය තාවකාලිකව හෝ ශක්තිමත් කිරීමට ගැස්පාර් ද ෆිගේරාට හැකි විය.
ගැස්පාර් ද ෆිගේරා හෙවත් ගැස්පාර් ද ෆිගේරා සෙර්පාගෙන් පෘතුගීසි බල ව්‍යාප්තිය සඳහා වූ සේවය වස්කෝ ද ගාමා හෝ පෘතුගීසි පෙරදිග අධිරාජ්‍යයේ කර්තෘ වූ ඇල්බුකර්ක්ගෙන් සිදු වූ සේවයට සමාන කර තිබේ.
උඩරට රජු හා කළ සටන්වල දී සිය දස්කම් පෙන්වා එවක පෘතුගීසි ආණ්ඩුකාරයා වූ අසවේදෝ වෙතින් නම්බු නාම ලබා සිටි බර්තොලමියු ෆිගේරා මොහුගේ පියා විය. මව පහතරට සිංහල කාන්තාවක වූවා ය. තරුණ අවධියේ දී ම පෘතුගීසි හමුදාවේ සොල්දාදුවකු වශයෙන් සිය දිවිය ඇරඹූ ගැස්පාර් සිය දක්ෂතාව නිසා ම වසර 13ක් ඇතුළත සාමාන්‍ය සෙබලකුගේ තත්ත්වයේ සිට කපිතාන් මේජර් තනතුර දක්වා උසස්වීම් ලබා සිටියේ ය.
මීගමු ප්‍රදේශය ලන්දේසි ග්රහණයෙන් මුදා ගැනීමට කළ සටනේ දී මොහු කෙතරම් දක්ෂ ලෙස සටන් කොට ඉස්මතු වී ද යත්, ඊළඟ සටනේ දී කළු ගඟ මෝය ප්‍රදේශයේ ආරක්ෂාව මුළුමනින් ම මොහුට පැවරිණ. සීමිත භටයන් ගණනක් රැගෙන මාතර කොටුවෙන් පිටත් වී කොළඹ බලා එන අතරමඟ දී සබරගමු පළාතේ දිසාවන් ගණනාවක් ම ලන්දේසි ග්රහණයෙන් මුදා ගැනීමට මොහුට හැකි විය. වලවේ ගඟ අසබඩ දී කළ සටනක දී ලන්දේසීන් පරදා ඔවුන් සතුව තිබූ විශාල වස්තු සම්භාරයක් පැහැර ගැනීමත් ගාල්ල වක්වැල්ලේ දී ගැස්පාර් එල්ල කළ ප්‍රහාරයක් නිසා සිය ආයුධ ද දමා දිවීමට ලන්දේසීන්ට සිදුවීමත් නිසා යුද්ධයේ දී මොහුගේ දක්ෂතාවය ප්‍රකට වී තිබිණ.
පෘතුගීසි භට කණ්ඩායමක් සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා සිය ප්‍රධානීන්ට විරුද්ධව කැරැල්ලක් දියත් කොට පාලනයට විශාල අභියෝගයක් එල්ල කළ අවස්ථාව වන විට ගැස්පාර් සිටියේ විශ්‍රාම සුවයෙනි. මෙවැනි අවස්ථාවකට සාර්ථක ලෙස මුහුණ දිය හැකි එක ම පුද්ගලයා ඒ දිනවල මැණික්කඩවර විසූ ගැස්පාර් බව වටහාගත් ආණ්ඩුකාරයා මොහු නැවත සේවය සඳහා කැඳවී ය. භටයන්ගේ කැරැල්ල ක්‍රමයෙන් පැතිරී යන ප්‍රවණතාවක් තිබුණු බව වටහාගත් මොහු ඉතා උපක්‍රමශීලී ලෙස සියලු බාධක මැඬ පවත්වමින් කොළඹ දක්වා ගොස් නගරයේ අණසක තමා යටතට ගෙන නව ආණ්ඩුකාරයකු පැමිණ වැඩ භාර ගන්නා තුරු පාලනය තමා යටතට ගත්තේ ය. ක්‍රමයෙන් කැරැල්ල මර්දනය කරන ලදි. මේ සේවය නිසා මොහුට කපිතාන් මේජර් තනතුර පිරිනමන ලදි. යම් හෙයකින් මේ කැරැල්ල පැතිරී ගියේ නම් එය ම පෘතුගීසි බලය ලංකාවෙන් ඉවත්වන්නට හේතුවක් වන්නට තිබිණ.
උඩරට රජු හා කළ සටන්වල දී ඔහුගේ යුද දක්ෂතාව, උපක්රමශීලිබව හා කෲරබව කැපී පෙනිණ. අඟුරුවාතොට දී සිදු වූ සටන එය සනාථ කරයි.
1654 දී නැවත විශ්‍රාම සුවයෙන් සිටි ගැස්පාර් යළි සේවයට කැඳවනු ලැබී ය. ඒ පෘතුගීසින්ට විරුද්ධ ව යුද වැදී සිටි ඒකාබද්ධ සිංහල හා ලන්දේසී සේනාවන්ට සාර්ථකව මුහුණ දිය හැකි එක ම පුද්ගලයා ඔහු වූ බැවිනි. තමා කෙරේ තැබූ විශ්වාසය තහවුරු කළ ගැස්පාර් මල්වානේ දී රාජසිංහ රජු හා සටන් වැදී ප්‍රදේශ ගණනාවක් දිනා ගත්තේ ය. මාස 7, 1/2 තිස්සේ සිය පුද්ගලික ධනයෙන් යුද භටයන්ට තෑගි බෝග දෙමින්, සිය ධෛර්යය හා අත්දැකීම්වල උදව්වෙන් පෘතුගීසි බලය රැක ගත්තේ ය. අල්ලාගත් ප්‍රදේශවල ඉඩම්, ඒවා අල්ලා ගැනීමට දායක වූ භටයන්ට පවරාදීමෙන් ඔවුන්ගේ හොඳ හිත හා කැපවීම වර්ධනය කළේ ය.
පෘතුගාලයෙන් හෝ ගෝවෙන් ආධාර නොලැබී යාම නිසා සටන්වලට ඔරොත්තු දීමේ ශක්තිය නැතිවී පෘතුගීසි බලකොටු එකින් එක ලන්දේසි හමුදාවන්ට යටත් වෙද්දී, ලෙඩ රෝග හා ආහාර හිඟකම පැතිරී ගියේ ය. ගැස්පාර්ගේ ජනප්‍රියතාව ද ක්‍රමයෙන් පිරිහී ගියෙන් ඔහු සේවයෙන් ඉල්ලා අස්විය. කොළඹ කොටුව ලන්දේසීන් අතට පත්වූ විට මොහු ද සිරකරුවකු ලෙස සතුරා අතට පත්විය. ලන්දේසීන් හා එක්ව පෘතුගීසින් එළවා දැමීමට සහයෝගයෙන් ක්‍රියා කළ රාජසිංහ රජු තමාට ගැස්පාර් ලබා දෙන ලෙස ලන්දේසීන්ගෙන් ඉල්ලා සිටියේ සටන්වල දී ඔහු දැක් වූ කුශලතාවන් සිය දෑසින් ම දැක තිබූ හෙයිනි. මෙවැනි යුද්ධ දක්ෂයකු රජුට ලබා දුනහොත් එයින් අනාගතයේ දී තමාට ම ප්‍රශ්න ඇති විය හැකි බැව් දැනගත් ලන්දේසීහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට හැකි ඉක්මනින් ගැස්පාර් ඉන්දියාවට පිටත් කර යැවූහ.
ගැස්පාර් ඉන්දියාවේ දී ගත කළ අවසාන කාලය ගැන හෝ ඔහුගේ අඹු දරුවන් ගැන හෝ කිසිවක් සඳහන් නොවෙතත් සමකාලීන පෘතුගීසි ලේඛකයන්ගේ ගෞරවය හා ප්‍රසාදය නොඅඩුව ලැබිණ. ගැස්පාර් ද ෆිගේරා වැනි දක්ෂ, දුරදක්නා නුවණින් ද හදිසි තීරණ ගැනීමේ හැකියාවෙන් ද යුතු තවත් කීප දෙනකු සිටියා නම් පෘතුගීසි බලය ලංකාවෙන් තුරන් කිරීම මේ තරම් පහසු නොවනු ඇත.
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)