ජයන්ත වීරසේකර
(1895.01.14-1949). සිංහල පුවත්පත් සඟරාවනට නව ජීවනයක් ලබා දුන් පුවත්පත් කලාවේදයෙකි, සිංහල පඬිවරවන්ගේ ප්‍රසාදයට පත් බහුශ්‍රැත විචාරකයෙකි, භාෂා ප්‍රේමියෙකි. පෙර'පර දෙදිග භාෂා, දර්ශන, සාහිත්‍ය, සමය විෂය ක්ෂේත්‍ර රැසක් ඉහළ ම කුසලතා පළ කළ අද්විතීය පඬිවරයෙකි. කුමරතුඟු මිනිදසුන් කළ ශාස්ත්‍ර සංග්‍රහයනට පර්යේෂණාදියෙන් සහාය ලබා දුන් මොහු මුනිදසුන්ගෙන් පසු හෙළ හවුලෙහි නායකත්වයට පත්විය. සිංහලයෙහි සිරිසුදු නීතිරීති පාදාගෙන ඒ අනුව ලිවීමෙන් සිංහලයෙහි පණවත් බව ඔදවත් බව බලවත් බව උලුප්පා පෙන්වා අන් අය ද ඊට අභ්‍යාස කරවාලී ය.
කොස්ගොඩ අහුංගල්ල ප්‍රදේශයෙහි දී උපත ලද ජයන්ත වීරසේකර ගල්වෙහෙර ගමෙහි පාසලෙහි පස්වන පන්තිය අවසානය දක්වා සිංහල අධ්‍යාපනය ලබා පසුව කොස්ගොඩ රාජපක්ෂ විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබී ය. ඉන්පසු කොළඹ ශාන්ත ජේසප් විද්‍යාලයට ඇතුළත් ව වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලද ඔහු පෙරදිග භාෂාව අධ්‍යයනයට ද යොමු විය. ඒ සඳහා කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණාධිපති ව වැඩ විසූ ගරු කහවේ රතනසාර මාහිමියන් ඇසුරෙහි පෙරදිග භාෂාඥාන දියුණු කර ගත්තේ ය. ඒ අතර ත්‍රිපිටක ධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් රතතසාර මාහිමියන් වෙතින් ලැබී ය. තව ද ගරු අරංගල සිරිධම්ම හිමියන් (බ.) වෙතින් අභිධර්මය හැදෑරූ ජයත්න වීරසේකර ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ද ලබා ගති. තව ද වංග, හින්දි, ද්‍රවිඩ ආදි භාෂා රීති ද ස්වෝත්සාහයෙන් ම ඉගෙන ගත්තේ ය. ඉන්පසු රාජ්‍ය සේවයට බැඳී කාලයක් සේවය කළ ඔහු පසුව නිදහස් දිවිපෙවතක් අපේක්ෂාවෙන් ඉන් ඉවත් ව පත්‍ර සංස්කාරකත්වයට පත් විය.
'සිංහල ජාතිය' පත්‍රයේ සංස්කාරක මණ්ඩලයට පත් වීරසේකර මහජන ප්‍රසාදයට පත් ලේඛකයෙක් විය. අනතුරුව මෝනිං ලීඩර්, සරස්වතී, ලක්වැසියා යන පුවත්පත්හි සංස්කාරකත්වයන් දැරූ ඔහු එකල පුවත්පත් මඟින් කැරුණු වාදවිවාද යහමග හසුරුවාලීමෙන් ද කාලෝචිත ලිපි ලිවීමෙන් ද මුද්‍රණයේ සැලැස්ම සිත්ගන්නා අයුරින් යොදාලීමේ ද සිංහල පුවත්පත් කලාවට නව ජීවයක් ලබා දුනි. එයින් ප්‍රතිඵලයක් ලෙස විද්වත් ජනයාගේ සැලකිල්ල ඔහු වෙත ඇදී යාම ය. ජේ.ඩී. ප්‍රනාන්දු සහ සමාගමයේ (ග්රන්ථ ප්‍රකාශ) මුද්‍රණාලයේ අධිකාරී බවට පත් ජයන්ත වීරසේකර වෙතින් ග්රන්ථ ප්‍රකාශය නම් සඟරාව ද පෝෂණය විය. එබැවින් ම එය උසස් ශාස්ත්‍රීය සංග්‍රහයක් බවට පැමිණිණ.
මේ අවධියෙහි පළ කැරුවුණු සුභාෂිත විවරණයේ ඇතුළත් කරුණු ගැන වීරසේකරයන් පැවැසූ අදහස්වලින් පහන් වූ කුමරතුඟු මුනිදස් තමා කරන සාහිත්‍ය සේවයට සහායට එන්නැයි වීරසේකරයන්ට ආරාධනා කළේ ය. එය පිළිගත් ඔහු සිය දිවි කෙළවර දක්වා කුමරතුඟු මුනිදසුනට සහාය ව සිට ඒ මහතා නිපැයූ ඇතැම් ග්‍රන්ථයන්ගේ සංඥාපන, විවරණ ලියා දුන්නේ ද වී. එසේ කරන ලද සංග්‍රහ හුදී ජන ප්රබෝධයට ඉවහල් වෙමික් පවතින්නේ ය. කුමරතුංග මුනිදාසයන්ගේ සංස්කාරකත්වයෙන් ඇරැඹි 'ලක්මිණි පහන' පත්‍රයෙහිත් 'සුබස' සඟරාවෙහිත් සංස්කරණය ද වීරසේකරයන් අතින් සිදු විය. කුමාරතුංග මුනිදාසයන්ගේ නායකත්වයෙන් ඇරැඹූ හෙළහවුල කුමාරතුංගයන්ගෙන් පසුව ශක්තිමත් බවට පැමිණ වූ වීරසේකරයන් එහි අසහාය කීර්තිමත් නායකයෙක් විය. ඉතිහාස, භූගෝල, ගණිත, මිණිත, වෛද්‍ය, නක්ෂත්ර, සංගීතාදි විෂය ක්ෂේත්‍ර රැසක සිය ප්‍රතිභාව පළ කළ ජයන්ත උසස් ස්මරණ ශක්තියකින් යුක්ත වූයේ ය. ඒ අතර ඔහු සමකාලීන දේශපාලන, අධ්‍යාපන, සාහිත්‍ය, කලා ක්ෂේත්රයන්හි ඉහළ ම ප්‍රභූන් සමීපව නිරතුරුව ඇසුරු කළේ ය. එකල දේශපාලනය තුළ ද ඔහු කැපී පෙනෙන චරියතයක් බවට පත් වී සිටියේ ය.
ප්‍රසිද්ධ වේදිකා, ගුවන්විදුලිය, ලක්සරසවිය ආදියෙන් විජේසේකරයන් ඇස් වූ ඉතා වැඩදායක කථා රාශියෙකි. ආර්ථික තත්ත්වයෙන් පිරිහී සිටිය ද ඒ බව කිසිවිටෙක අන්‍යයන්ට නොහැඟෙන සේ අභිමානවත් ජීවිතයක් ගත කළේ ය. තිදරු පියෙකු වූ මෙතුමා හසිදි හෘදයාබාධයකින් කළුරිය කළේ ය.
එතුමාගේ මළගම වෙනුවෙන් 'ඥානාර්ථ ප්‍රදීපය' පත්‍රයෙහි මෙසේ පළ විය. "ව්‍යාකරණ, කාව්‍ය, නාටක, ඡන්දෝලංකාර, තර්ක න්‍යාය, ගණිත, ජ්‍යෝතිෂ දියෙහි ද අද්විතීය ස්ථානයට පැමිණ සිටි වීරසේකර මහතා ශබ්දෝත්පත්ති විද්‍යා ආදියෙහි ද මනා ශූරයෙකි. සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, ප්රාකෘත, වංග, හින්දි ආදී පෙරදිග භාෂාවන්හි අතිදක්ෂයකු වූ ඒ මහතා ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක්, ජර්මන් ආදි අපරදිග භාෂාවන්හි ද උසස් දැනුමක් ලබා සිටියේ ය. විශේෂයෙන් ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔහුගේ ඒ තරම් දැනීම බොහෝ ඉංග්‍රීසි උගතුන්ගේ මහත් පුදුමයට හේතු විය". (ඥානාර්ථ ප්‍රදීපය, 1949 ජුනි 26)
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1958)
(සංස්කරණය නොකළ)