ජේ.ඩබ්ලිව්.සී. ද සොයිසා
මහා ධනකුවේරයකු හා දානපතියකු වූ මොරටුවේ චාර්ල්ස් හෙන්රි ද සොයිසා සහ කැතරින් ද සොයිසා ආර්යාවගේ දරුවන් දහ හතර දෙනා අතුරින් වැඩිමහලු ම දරුවා වූ ජෙරෝනිස් විලියම් චාර්ල්ස් ද සොයිසා 1865 වර්ෂයේ මැයි මස මොරටුවේ සොයිසා වලව්වේ දී උපත ලැබී ය. එකල ලංකාවේ ධනපති පන්තියේ ඉහළ ම තැනක් හිමි ව තිබූ පවුලක උපන් හෙයින් ඔහු අසීමිත සැප සම්පත් මැද වැඩුණේ ය.
කොළඹ ශාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාලවල දී මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්විද්‍යාලයට ඇතුළත් කරන ලදි. එහි දී බී.ඒ. උපාධිය ලැබූ හේ සිය පියාගේ මරණය ගැන අසා ලංකාවට පැමිණියේ සිය පවුලේ ව්‍යාපාර ආදිය බලා ගැනීම සඳහායි. දස වසරකට පසු නැවත එංගලන්තයට ගිය ඔහු එහිදී එම්.ඒ. උපාධිය ලබාගෙන ලංකාවට පැමිණියේ ය.
ඉතා සාර්ථක ලෙස සිය පවුලේ වතුපිටි පාලනය කරගෙන ගිය ඔහු සිය දැනුම යොදවා ඒවා තව තවත් දියුණුවට පත් කළේ ය. පසු කලක තමාගේ ම ව්‍යාපාර ඇරඹූ ඔහු අපනයන භෝග අක්කර දහස් ගණනක හිමිකරු විය. මේ වගාවන්හි පොල්, තේ, රබර් සහ කුරුඳු සාර්ථක ලෙස වගා විය. මේ හැර විශාල මිනිරන් ආකර ගණනාවක් ද මොහු සතුව තිබිණ. සිය ප්‍රධාන කාර්යාලය කොළඹ කොටුවේ රැජින වීදියේ පවත්වාගෙන ගිය ඔහු ආනයන හා අපනයන කටයුතු ද පවත්වා ගෙන ගියේ ය.
ඔහුගේ තේ වගාවන් මතුරට ආදී ප්‍රදේශවල පැවැති අතර කඩුගන්නාව හා රත්නපුර ප්‍රදේශවල රබර් වගාවන් ද පැතිරී තිබුණි. රටේ විවිධ ප්‍රදේශවල කුරුඳු අක්කර තුන් දහසක් පමණ ද ඔහු සතුව තිබිණ. ලංකාවේ සාර්ථක ලෙස කපු වගාව කරගෙන යා හැකි දැයි අත්හදාබැලීම් කළ ඔහු එයින් ලත් යහපත් ප්‍රතිඵලවලින් දිරිමත්ව මෙහි කපු වගාවන් ද ආරම්භ කළේ ය. ඔහු මෙහි නිපදවූ කපු ලංකාවේ නිෂ්පාදන සඳහා එකල පුළුල් ලෙස යොදා ගන්නා ලදි.
ධනය ඉපයීමෙන් සිය පුද්ගලික සුඛ විහරණය පමණක් ළඟාකර ගැනීමට නොසිතූ ඔහු සිය දෙමව්පියන් සේ ම තම ධනයෙන් කොටසක් ලෝකයාගේ හිත සුව පිණිස යෙදවීම ජීවිතයේ අනිවාර්ය අංගයක් සේ සැලකී ය. තමා භක්තිමත් කිතුනුවකු වුව ද ජාති, ආගම්, කුල ආදී කිසිදු භේදයකින් තොරව අවශ්‍ය සැමට ආධාර උපකාර කළේ ය. ජේ.ඩබ්ලිව්.සී. ද සොයිසා මහතාගේ ආධාර නොලැබූ ආයතනයක් හෝ උදව් පැතුවකු එකල මොරටුව ප්‍රදේශයේ නොවී ය.
සිය මෑණියන් ආරම්භ කළ ක්ෂුද්රප්රාණි පරීක්ෂණාගාරය, වික්ටෝරියා නයනාගාරය, ලුනාවේ රෝහල ආදී පොදු ආයතන පවත්වා ගෙන යෑම සහ වැඩි දියුණුව සඳහා මොහු විශාල ධනයක් පරිත්‍යාග කළේ ය. සිය පියා ආරම්භ කළ මොරටුව වේල්ස් කුමර විදුහලේ භාරකරු ලෙස වසර ගණනාවක් සේවය කළේ ය. මොරටුවේ ශුද්ධ වූ එම්මෑනුවෙල් දේවස්ථානයේ භාරකරු ලෙස ද ක්‍රියා කළේ ය. කොළඹ සහ මොරටුවේ අන්යොනාධාර සමිතිවල අනුග්‍රාහකයා වූයේ ද ඔහු ය.
මොරටුවේ ලුවීසා කුමරි රෝහල ඔහු විසින් අරඹන ලද අතර, එයට මුල් ගල තැබීමට ෂ්ලෙෂ්විග්-හොල්ස්ටීන්හි ලුවීසා කුමරිය පැමිණියා ය. 1897 දී රැජිනගේ දියමන්ති ජුබිලියට සහභාගී වන ලෙස ඔහුට ද ආරාධනයක් ලැබිණ. යුරෝපයේ පවා පාලකයන්ගේ ගෞරවාදරයට මොහු පාත්‍ර වී සිටි අයුරු මෙයින් පැහැදිලි වේ.
දක්ෂ අශ්වාරෝහකයකු වූ ඔහු 1890ට පෙර රේස් අසුන් ධාවනය ආරම්භ කළ අතර 1895 දී කීර්තිමත් ආණ්ඩුකාර කුසලාන දිනා ගැනීමෙහි පවා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලයෙහි ඉතා ක්‍රියාශීලී සාමාජිකයකු වූ ඔහුගෙන් එම මණ්ඩලයට මහත් සේවයක් ඉටු විය.
සොයිසා මහතාගේ ආධාර උපකාර ලැබුණේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොවේ. 1897 වර්ෂයේ ඉන්දියාවේ විශාල ප්‍රදේශයක දුර්භික්ෂයක් පැතිරී දහස් ගණන් ජනතාව මිය යන බව සවන් වැකුණු ඔහු එම ජනතාවගේ යහපත සඳහා විශාල ධනයක් පරිත්‍යාග කළේ ය. වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ ආදාහනය සඳහා සඳුන් දර විශාල ප්‍රමාණයක් සැපයී ය.
මේ කීර්තිමත් ව්‍යාපාරිකයාගෙන් රටට හා ජාතියට වූ සේවය අගය කළ ඉංග්‍රීසි රජය 1923 වර්ෂයේ දී මුළු රටට ම සාමාදාන විනිශ්චයකාර ධුරයක් මොහුට පිරිනමා සිය කෘතගුණ සැලකී ය.
(කර්තෘ: චාමින්ද සෙනෙවිරත්න)
(සංස්කරණය නොකළ)