ජෝජ් එලියට්
(1819-1880). ඉංග්‍රීසි නවකථා කතුවරියකි. මේරි ඈන් එවන්ස් හෙවත් මේරියන් එවන්ස් යනු ඇයගේ නියම නමයි. ජෝජ් එලියට් යන්න පසු කාලයෙහි දී යොදා ගන්නා ලද ව්‍යාජ නාමයකි. 1819 දී වොරික්ෂයර් කෝරළයේ උපන් ඕතොමෝ සතළොස් හැවිරිදි විය තෙක් සාමාන්‍ය අධ්‍යාපනයක් ලැබුවාය. 1836 දී ඇයගේ මව කලුරිය කළ හෙයින් ගෙදරදොර බලාකියා ගැනීම තමා වෙත පැවැරුණ ද ඕතොමෝ සිය විවේක කාලයෙහි දී ජර්මන් හා ඉතාලි භාෂාවන් ද සංගීතය ද හදාරමින් මහත් අභිරුචියකින් සාහිත්‍ය පොත්පත් කියැවීමට පටන් ගත්තාය. මේ අවධියෙහි දැඩි ආගම භක්තියක් ඇතිව සිටි ඕතොමෝ දෙවිසි වියෙහි දී අලුත් මිතුරු පිරිසකගේ බලපෑම හේතු කොටගෙන ආගම පිළිබඳ ආධානගාහීභාවයෙන් මිදී එවක මහත් විපර්යාසයක් ඇති කළ චින්තන ක්‍රමයක් වූ බුද්ධිවාදය (rationalism) මුලින් ම පිළිගත්තවුන් අතුරෙහි එක් තැනැත්තියක් වූවාය. එහෙත් යුතුකමට අවනත වීම උගන්වන්නා වූත් පව් පල දීම පිළිගන්නා වූත් ආචාරධර්මයන් පිළිබඳ තදින් මුල් බැසගත් අදහස් ඇය කෙරෙහි සෑම විට ම නොනැසී පැවති බව ඇයගේ කෘතිවලින් මොනවට හෙළි වෙයි.
ජෝජ් එලියට් (එකල මේරියන් එවන්ස්) ස්වකීය සාහිත්‍ය ජීවිතය ඇරඹුවේ ‘ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය’ නමැති ජර්මන් ග්රන්ථයෙහි පරිවර්තනයකිනි (1846). 1849 දී ඇයගේ පියා පරලෝ සැපත් වූ පසු ස්වකීය ජීවිකාවට තරම් වූ ආදායමක් ඇයට නොලැබුණු හෙයින් ඕ තොමෝ Westminster Review (වෙස්ට්මින්ස්ටර් රිව්යු) නමැති පුවත්පතෙහි සහකාර කර්තෘ තනතුරකට පත් වූවාය. මේ හේතු කොටගෙන එකල සිටි වැදගත් ලේඛකයන් බොහෝ දෙනකු දැනහඳුනාගැනීමට ඇයට අවස්ථාව ලැබිණි. ඔවුන් අතුරෙන් ජෝජ් හෙන්රි ලුවිස් (Lewes) නමැති පුවත්පත් කලාකරුවා හා නොබෝ කලකින් ජෝජ් එලියට්ගේ දැඩි කුලුපගබවක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕතොමෝ එකල ස්වකීය භාර්යාව කෙරෙන් වෙන්ව ඇයගෙන් දික්කසාද වීමට නොපිළිවන්ව සිටි ලුවිස් හා එක්ව ජීවත් වන්නට පටන් ගත්තාය. ඔවුන් දෙදෙනාගේ මේ සහවාසය සර්වප්රකාරයෙන් ම ඵලදායී වූයේය. එතෙක් බුද්ධිවාදී දර්ශනය කෙරෙහි යොමුව පැවති ඇයගේ සිත නවකථා රචනය කෙරෙහි යොමු කරවන ලද්දේ ලුවිස් විසිනි. ඇය ලිවූ මුල් කෙටිකථා තුනක් Scenes of Clerical Life (පූජක ජීවිතයෙහි ජවනිකා) යන නමින් 1858 දී පළ කරවන ලදි. ඉක්මනින් ජනප්‍රිය වූ මේ කෘතිය චාල්ස් ඩිකන්ස් (බ.) ආදි වැදගත් ලේඛකයන්ගේ ප්‍රශංසාවට භාජන වූ හෙයින් දක්ෂ නවකථා කතුවරියක වශයෙන් ඇයගේ අනාගතය දීප්තිමත් බව පැහැදිලිව පෙනෙන්නට වන. මෙයින් දිරි ගන්වන ලද ඇය විසින් තමාට හොඳින් හුරුපුරුදු ගැමි පරිසරය පසුබිම් කොටගෙන ලියන ලද Adam Bede (ඇඩම් බීඩ්, 1859), The Mill on the Floss (ෆ්ලොස් ගඟබඩ මෝල, 1860), Silas Marner (සයිලස් මානර්, 1861) යන නවකථා තුනින් ඇයගේ කුශලතා මොනවට හෙළි වූයේය. මානවභක්තියෙන් පිරිපුන් මේ නවකථාවලින් දැක්වෙන්නේ නින්දා අපහාසයට ලක්ව නිවටනියාලුබවට පත් වූවන් කෙරෙහි ඇය දැක්වූ අධිකතර දයාවයි. මේ නවකථාවල එන ස්ත්‍රීපුරුෂ චරිතවල ජීවන මාර්ගයන් ඔවුන් මුහුණ පානා අවස්ථාවන්ට අනුව නිශ්චය කරනු ලැබෙතත් ඔවුන් විසින් තම තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් දැරිය යුතු වගකීමත් ආචාරධර්ම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ම ගත යුතු තීරණත් හුවා දැක්වීම ඇයගේ මූලික අභිප්‍රායයක් වූ බව පෙනේ. විද්යාපුනරුදය අවධියෙහි ෆ්ලොරන්ස් නගරය පසුබිම් කොටගත් ඓතිහාසික නවකථාවක් වූ Romola (රොමොලා, 1863) ලිවීමට පෙර ජෝජ් එලියට් දෙවරක් ඉතාලියට ගොස් එම කථාවෙහි එන පසුබිම් පරිසරය හා ඓතිහාසික අවධිය හදාළාය. එතෙකුදු වුවත් එය ඇයගේ මුල් නවකථා මෙන් ප්‍රාණවත් නොවේ. 1866 දී පළ කළ Felix Holt the Radical (ෆීලික්ස් හෝල්ට් නම් රැඩිකල්වාදියා) ඇය ලිවූ එක ම දේශපාලන නවකථාවයි. ඇයගේ විශිෂ්ටතම කෘතිය ලෙස සලකනු ලබන Middlemarch (මිඩ්ල්මාච්) 1871-72 දී පළ කරවන ලදි. ඇයගේ මුල් නවකථාවල ආර යළිත් මේ නවකථාවෙහි දක්නට ලැබේ. මුළු ජනසමාජයක ජීවිතය සියුම් ලෙස නිරූපණය කරන එහි ප්‍රධාන කථාවස්තු දෙකක් ඉතා දක්ෂ අයුරෙන් එකට ගළපා ඇත. 1876 දී පළ කරන ලද Daniel Deronda (ඩැනියල් ඩිරොංඩා) ඇයගේ අවසාන නවකථාවයි. ඇයගේ හොඳ ම චරිත නිරූපණය දක්නට ලැබෙන්නේ මේ නවකථාවෙහි බව විචාරකයෝ සලකති. ලුවිස්ගේ අභාවයෙන් (1878) පසු ඔවුන් දෙදෙනාගේ කුලුපග මිතුරකු වූ ජෝන් ඩබ්ලිව්. ක්‍රොස් නමැත්තා හා 1880 දී විවාහ වූ ජෝජ් එලියට් එම වර්ෂයෙහි ම අවසානයෙහි කලුරිය කළාය. ක්‍රොස් විසින් ඇයගේ ලියුම් හා දිනපොත් ආශ්රයෙන් ජෝජ් එලියට්ගේ චරිතකථාව සංස්කරණය කොට 1885-86 දී කාණ්ඩ තුනකින් පළ කරවන ලදි.
තාත්වික වීමට - විශේෂයෙන් ම ගැමි ජීවිතයෙහි යථාස්වභාවය හා එහි දක්නා ලැබෙන විවිධ අවස්ථාවන් පිරික්සා බැලීමට - ඇය දැක් වූ උනන්දුව හේතු කොටගෙන වර්තමාන නවකථාවෙහි විකාසයට ජෝජ් එලියට්ගෙන් විශාල සේවයක් සැලසිණි. කුඩා ජනසමාජයක ජීවත් වන මිනිසුන්ගේ අන්‍යෝන්‍ය සමාශ්රය ඇති වන අයුරු විග්රහ කිරීමටත් ඔවුන්ගේ අභිප්රායයන් අගය කිරීමටත් සාමාජික ආකල්පයන් පුද්ගලව්යක්තිය කෙරෙහි ඇති කරන සංකිර්ණ ප්‍රතිඵල සලකා බැලීමටත් ඇය දැක්වූයේ අනුපම කුශලතාවකි. ඇය මනෝවිද්‍යා-සමාජවිද්‍යා විෂයක නවකථා ලිවූ මුල් ම වැදගත් ලේඛකයන් අතුරෙහි උසස් තැනක් හිමි කරගෙන ඇති බව කිව යුතුයි.
(සංස්කරණය: 1974)