ජෝජ් ඕවල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1903-1950). ඉංග්‍රීසි නවකථාකාරයෙකි, නිබන්ධකයෙකි. උපතින් එරික් ආතර් බ්ලෙයාර් නම් වූ හෙතෙම පසුව ජෝජ් ඕවල් යයි නම වෙනස් කෙළේය. ඉන්දියාවේ ඉපදී එංගලන්තයේ ඊටන් විද්‍යාලයෙහි අධ්‍යාපනය ලබා ඉන්දියානු අධිරාජ්‍ය පොලිස් සේවයට බැඳී 1922-1927 අතර කාලය තුළ බුරුමයෙහි සේවය කළ හෙතෙම 1927 දී යුරෝපයට ගොස් මුලින් පැරිස් නුවරත් පසුව ලංඩන් නුවරත් පදිංචි වී දුක සේ කල් ගෙවීය. Down and Out in Paris and London (පැරිසියේ හා ලංඩනයේ අයට වැටී, 1933) නමැති ඔහුගේ ප්‍රථම කෘතියෙන් මේ කාලයෙහි අත්දැකීම් විස්තර කරනු ලැබේ. ඔහුගේ මුල් නවකථා අතුරෙන් පළමු වැන්න වූ Burmese Days (බුරුම රටේ ගත කළ දවස්, 1934) යන්න ඔහු “මහ ම මගඩියක් ලෙස සැලැකීමට පුරුදු වී සිටි අධිරාජ්‍යවාදයට” පහර දී ලියන ලද වැදගත් කෘතියකි.

වාමාංශික ලේඛකයකු වූ ඕවල් 1936 දී සමූහාණ්ඩුවාදීන් හා එක්ව ස්පාඤ්ඤ අභ්‍යන්තර යුද්ධයෙහි සටන් කිරීමෙන් කොමියුනිස්ට්වාදයත් එම වැඩපිළිවෙළත් ගැන තමා ලත් අත්දැකීම් Homage to Catalonia (කැටලෝනියාට උපහාර, 1938) නම් කෘතියෙන් විස්තර කෙළේය. එහෙත් එම අත්දැකීම් නිසා හෙතෙම කොමියුනිස්ට්වාදය කෙරෙහි කළකිරිණ. Animal Farm (සත්ව ගොවිපළ, 1946), Nineteen Eighty Four (එක්දහස් නවසිය අසූහතර, 1949) යන කෘති දෙක ඔහුගේ ඉතා ප්‍රකට නවකථායි. චරිත නිරූපණයෙහි ලා ඔහු ඉතා දුර්වල නවකථාකාරයකු වුව ද Animal Farm වූකලි ඉංග්‍රීසි භාෂාවෙන් දක්නට ලැබෙන ඉතා ශ්‍රේෂ්ඨ උපහාසාත්මක දේශපාලන උපමා කථාවකි. ස්ටාලින් යටතේ රුසියාවේ පැවැති සමාජ හා දේශපාලන ජීවිතය ඉන් අවඥාවට ලක් කරනු ලැබේ. Nineteen Eighty Four නමැති නවකථාවෙන් යාන්ත්‍රිකමය වූත් ඒකාධිපතිවාදී වූත් ලෝකයක ජීවත් වන මිනිසාගේ මිනිස් ගතිගුණ නැති වී යන අයුරු විස්තර වෙයි. නිබන්ධකයකු වශයෙන් ඔහුට ප්‍රසිද්ධිය ලබා දුන් කෘති අතර Dickens, Dali and Others (ඩිකන්ස්, ඩාලි හා වෙනත් අය, 1946) ද Shooting an Elephant (ඇතකු වෙඩි තැබීම, 1950) ද සඳහන් කළ මනායි.

තමා විස්තර කළ සමාජ තත්ත්වයන් යටතේ වුවමනාවෙන් ම ජීවත් වූ එක ම සමකාලීන ලේඛකයා වීමෙන් මිනිසකු වශයෙනුත් ලේඛකයකු වශයෙනුත් තමාගේ දැඩි අවංකකම හෙළි කළ ඕවල් පුහු නිසරු දේශපාලන අදහස්වලින් හිස් උදුම්මාගත් ඊනියා බුද්ධිමතුන්ට නිර්දය ලෙස පහර දුන්නේය. ඔහුගේ හැම කෘතියකින් ම තමාගේ කාලයෙහි සාමාජික හා දේශපාලන තත්වයනුත් විශේෂයෙන් ම මිනිස් නිදහස පිළිබඳ ප්‍රශ්නයත් සැලැකිල්ලට භාජන කර ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෝජ්_ඕවල්&oldid=12115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි