ටාකානා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Tacaná). ගුවාතමාලාවේ (Guatemala) උතුරේ හා මැක්සිකෝවේ (Mexico) දකුණේ දේශ සීමා අතර සියෙරා මද්‍රෙ දෙ චියාපස් (Sierra Madre de Chiapas) කඳු පන්තියෙහි පිහිටි මී.4,060ක් (අඩි 13,320) උසින් යුත් මධ්‍යම ඇමෙරිකාවේ දෙවන උස ම කන්දයි. මැක්සිකෝවේ ටැකීනා යනුවෙන් ද හැඳින්වෙන මෙම යමහල අවසන්වරට විදාරණය වූයේ 1986 දී ය. වයඹ-ගිනිකොන දිශානුගත ව මධ්‍යම ඇමෙරිකාවේ පැසිපික් සාගර වෙරළට සමාන්තර ව කිමී.1,500ක් දුරට දිවෙන, කැරිබියානු භූ තැටියේ බටහිර අද්දර ඔස්සේ වැටී ඇති මධ්‍යම ඇමෙරිකානු යමහල් චාපයේ (Central America Volcanic Arc), නිවී, මන්දගාමී වූ යමහල් කලාපය (subduction zone) සක්‍රීය වීමෙන් ඇතිවූවකි. මෙම ගිනි කන්දට උතුරෙන් හා ඊසාන දිගින් පිහිටි කෘෂිකර්මාන්තයෙහි යොදවා ඇති මිටියාවත, යමහල් සුන්බුන්වලින් සැදි ඝන මඩ ගැල්මෙන් (lahar) වැසී ඇත. දිය බැස්ම ඇත්තේ ගුවාතමාලාවේ සිට මැක්සිකෝව හරහා පැසිපික් සාගරය කරා වන හෙයින් ඒ ගං දෑල, අනාගත යමහල් විදාරණයක දී සිදුවන මඩ ගැලීමේ තර්ජනයට නතු ය. මෙයින් අවට පදිංචි 250,000කට අධික ජනයා කෙරේ ඉහළ අවදානමක් ජනිත කෙරේ. මෙය, ගැඹුරු ලෙස විභේදිත, පෘථිවි පෘෂ්ඨයට යටින් පිහිටි ඝන වූ ආග්නේය පාෂාණමය (dissected plutonic) සහ විපරීත (metamorphic) භූමිභාගය වටකොට ඇති ස්තරීභූත (stratovolcano) හෙවත් සංගෘහිත (composite volcano) ගිනිකන්දකි. කිමී. 9ක පළලින් යුත් දැවැන්ත යමහල් විවරයක් (caldera) ද දිගට ඇදුණු කඳු මුඳුනේ පිහිටි ලාවා ශිඛර කිහිපයක් ද දකුණට බර වූ තවත් යමහල් විවර තුනක් ද මෙහි වේ. ටාකානාවේ සුළු භූගත විදාරණ කිහිපයක් සිදු ව තිබේ. එහෙත් ක්‍රි.ව. 70 දී පමණ සිදු වූ දැවැන්ත පිපිරීමේ දී යමහල් විදාරණය පවා සිදුවිය. එහෙයින්, ස්මිත්සෝනියන් ස්වාභාවික ඉතිහාස ජාතික කෞතුකාගාරයේ ලෝක ගිනි කඳු වැඩසටහනට ඇතුළත් කර ගනු ලැබිණි.

මධ්‍යම ඇමෙරිකානු ගර්භීය ගිනිකඳු දාමයේ (Central American Core volcanic chain) කොටසක් වන ටාකානා, සංස්කෘතික, විද්‍යාත්මක, ආර්ථික හා ජීව විද්‍යාත්මක වැදගත්කමින් යුතු බිඳෙනසුලු පරිසර පද්ධති හා පොහොසත් ජෛව විවිධත්වයක් ඇති කලාපයකි. උස් කඳු පරිසර පද්ධතීන්හි මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනේ. මෙහි භූ දර්ශනය හා යමහල විසින් සුවිශාල විද්‍යාත්මක හා කලාත්මක වටිනාකමකින් හෙබි භූ භෞතික විද්‍යාත්මක ලක්ෂණ නිරූපණය කෙරේ. ඒ අනුව, මිනිසා හා ජෛවගෝලය වැඩසටහන යටතේ යුනෙස්කෝ සංවිධානයේ ලෝක ජෛවගෝලීය රක්ෂිත ජාලයට ටාකානා ඇතුළත් කර තිබේ.

මාර්ග දෙකක් ඔස්සේ පැය 10ක පමණ කාලයකින් මෙම ගිනිකන්ද මුදුනට ළඟාවිය හැකි ය. ඒ ෆින්කා නැවිඩාඩ්හි සිට ගුවාතමාලාව පැත්තෙන් හා මැක්සිකෝ දේශසීමාවට සමාන්තර වශයෙනි. එය මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශයේ ඇති මනබඳිනා පාගමනක් ලෙස පිළිගැනීමට පාත්‍ර ව තිබේ. සාරවත් වැසි වනාන්තර, යැපුම් කෘෂි බිම්, ඉපැරණි මැග්මා ප්‍රවාහ, ගල් කුළු වසා ගත් සමශීතෝෂ්ණ කැලෑ ආදිය පසු කර පහළින් ම පිහිටි යමහල් විවරයට ළඟා විය හැකි ය. ඉන් ඔබ්බට ක්‍රමයෙන් ශාක ගහනය තුනී වී වලාකුළුවලට ඉහළින් නේත්‍රකාන්ත හාත්පස භූ දර්ශනය විවර වේ.

(කර්තෘ: රන්ජන දේවමිත්‍ර සේනාසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටාකානා&oldid=6610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි