ඩේරි ඉසැඩ්-සෝ
(Deir ez-Zor or Dayr az-Zawr). නැගෙනහිර සිරියාවේ පිහිටි නගරයකි. විශාලත්වය අනුව එරටේ හත් වන නගරයයි. මෙනම් දරන පළාත් පාලන ඒකකයේ අගනුවරයි. ජනගහනය 271,800කි (2018). ජනගහනයෙන් බහුතරය අරාබි මුසල්මානුවෝ වෙති. අර්මේනියානු සහ ඇසිරියානු පවුල් කිහිපයක් ද වෙයි. යුප්‍රටීස් නදියේ දකුණු ඉවුරේ ඉපැරණි අසුආරා (Azuara or Auzara) නුවරට යාබද ව පිහිටියේ ය. එකී පැරණි නගර නාමයෙන් වත්මන් නාමය සම්භව වූහයි මතයෙකි. එහි අරුත වනාහි 'වන අරණේ ආරාමයයි'. ඔටෝමන් පාලනය යටතේ 1867 දී මෙනුවර පිහිටුවන ලද්දේ එඬේර ජන සංක්රමණයෙන් මෙකී නදී ප්‍රදේශය රැකගනු පිණිස ය. ඔටෝමන්වරුන් විසින් එය එකී ප්‍රදේශයේ ප්‍රධාන නගරය බවට පත් කෙරිණි. ආණ්ඩුකාර මන්දිරය පිහිටියේ මෙහි ය. මෙනුවරින් පිටත පිහිටි බල කඳවුරු ආධාරයෙන් අවට ප්‍රදේශ පාලනය කෙරිණි. 1918 දී ඔටෝමන් පාලනය අවසන් වීමෙන් පසු පළමු ෆයිසාල් රජුගේ පාලනයට නතුව තිබුණ ද 1921 දී මෙහි ප්රංසය ආධිපත්‍යය පැතිරවී ය. 1941 දී ආක්ෂික සංධානයේ හමුදා ආධිපත්‍යයට සිරියාව සහ ලෙබනනය නතුවීමට නොදී රැක ගනු පිණිස බි්රතාන්ය හමුදා විසින් එකී ප්‍රදේශ අල්ලා ගනු ලැබිණි. 1946 දී මෙය සිරියානු ජනරජයේ කොටසක් බවට පත්විය.
අලේපෝ-මසූල් සහ ඩමස්කස්-මසූල් නගර අතර මාර්ගයන්හිත් කාන්තාර මැදින් දිවෙනා කුඩා මාර්ග කිහිපයකත් පිහිටි වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයකි. ගොඩබිම් මෙන්ම ගංගා නාවික ගමනාගමන කේන්ද්‍රයකි. මෙහි ජාත්‍යන්තර ගුවන් තොටක් තිබේ. කපු වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසත් ප්‍රසිද්ධියක් උසුලයි. සීනි ද ඇතුළු ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා ද කඩදාසි සහ ඉන්ධන රසායනික කර්මාන්ත ශාලා ද පොහොර, ගෘහභාණ්ඩ, වීදුරු, සිමෙන්ති, ඇඳුම් සහ පාවහන් කර්මාන්ත ද මෙහි පිහිටා තිබේ. බැටළුවන් ඇතුළු සත්ත්ව පාලනය ද ධාන්‍ය සහ කපු වගාව ද කෙරේ. එරටේ බොරතෙල් කැණීම් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයකි. සංචාරක මධ්‍යස්ථානයකි. 1924 දී ප්රංස ජාතිකයින් විසින් යුප්‍රටීස් නදිය හරහා ඉදිකරන ලද සංගිලි පාලම මෙහි ප්‍රධාන සංචාරක ආකර්ෂණයයි. දියලුණු ආකර ද පිහිටා තිබේ. ඉන්ධන නිෂ්පාදන ක්ෂේත්රයේ සැපයුම් මධ්‍යස්ථානයක් වශයෙන් ද එම සේවකයින්ගේ විවේකස්ථානයක් වශයෙන් ද ප්‍රකට ය.
මෙහි විශ්වවිද්‍යාලයක් ද චිත්‍ර, මූර්ති, නාට්‍ය, ජන නැටුම් යන කලාංග පුහුණු කෙරෙන සංස්කෘතික මධ්‍යස්ථානයක් ද ටෝල් බිරැක් (Tall Birak), බ’ක්රස් (Buqrus), ටෝල් ලේලාන් (Tall Leilan), අශාරා (Ashara) යන ස්ථානයන්හි සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් අනාවරණය කර ගැනුණු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයට තබා ඇති කෞතුකාගාරයක් ද වේ. 1980 දශකයේ දී මිදුල් සහිත කේවල නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි.
2011 මාර්තු මාසයේ දී සිරියානු ආණ්ඩුව බලයෙන් පහ කිරීමේ අරමුණින් විරෝධතා ව්‍යාපාර පැනනැඟුණු පළමු නගරයකි. 'ඉරාකයේ සහ ලෙවාන්ට්හි ඉස්ලාමික රාජ්‍යය සංවිධානය' විසින් අත්පත් කරගෙන සිටි මෙම නගරය, 'උතුරු සහ නැගෙනහිර සිරියාවේ ස්වයං පරිපාලනාධිකාරියට' අයත් 'සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා' විසින් 2019 දී යළි අත්පත් කර ගනු ලැබිණි. සිවිල් යුද්ධය නිසා මෙම නගරයට මහත් අලාභහානි සිදුවිය.
කර්තෘවරු: රන්ජන දේවමිත්ර සේනාසිංහ, හොසේයින් මොහන්නද්
(සංස්කරණය නොකරන ලද-2022)