ඩොමිනිකන් ජනරජය
ඩොමිනිකන් ජනපදය
කැරිබියානු මුහුදේ පිහිටි හිස්පැනියෝලා දූපතෙහි නැගනහිර භාගයෙහි ඇති 2/3ක භූමි ප්‍රමාණය ඩොමීනිකන් ජනපදය යනුවෙන් හැඳින්වේ. ඉතිරි 1/3ක භූමි ප්‍රමාණය 'හයිටිය' නම් ස්වාධීන ජනපදය වේ. මහා ඇන්ටිලීස් දූපත් වළල්ලේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දූපත වන්නේ හිස්පැනියොලාවයි. එය බටහිරින් කියුබාවෙන් ද නැගෙනහිරින් පියුටේ රිකෝ දූපතින් ද මායම් වන අතර ප්ලොරිඩාවේ සිට සැතපුම් 600 ගිණිකොනින් ද කොලොම්බියාවේ සහ වෙනිසියුලාවේ සිට සැතපුම් 310ක් උතුරින් ද පිහිටා ඇත. අත්ලාන්තික් සාගරය ඩොමීනිකන් ජනපදයේ උතුරු වෙරළයි. කැරිබියානු එහි දකුණු වෙරළයි. 'මෝනා පැසේජ්' යනුවෙන් හැඳින්වෙන ඇල දූපතේ නැගෙනහිර අන්තයේ සිට පියුටේ රිකෝ දක්වා දිවෙයි. ඩොමීනිකන් ජනරජයේ භූමි ප්‍රමාණය ව.සැ.18,658 (ව.කි.මී.48,323)කි. මෙහි අගනුවර සන්තෝ දොමින්ගෝ යනුවෙන් හැඳින්වේ. එය එහි විශාලතම නගරය ද වෙයි. යුරෝපය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැනමා ඇළ දක්වා ඇති ප්‍රධාන මුහුදු මාර්ගය මේ රට හරහා වැටී ඇති නමුදු ඩොමීනිකන් ජනපදය කුඩා නොදියුණු රාජ්‍යයක් ලෙස හැඳින්විය හැක. මෙහි ජනසංඛ්‍යාව 4,696,800 (1975)කි.
ස්වභාවික පිහිටීම
මෙහි භූ දර්ශනය සංකීර්ණය, විවිධ ය. රටේ වයඹ දිග සිට ගිනිකොණ දිග දක්වා දිවෙන උස් භූමින් 5කි. මධ්‍යම කඳුකරය ඉන් එකකි. එහි ඇති අඩි 10,417 (මී.3,175) උසැති පිකෝ දුවාර්තේ කන්ද බටහිර ඉන්දියා දූපත්වල පිහිටි උස ම කන්ද වේ. මුහුදු වෙරළට සමාන්තර ව දිවෙන කුඩා කඳුවැටියක් වයඹදිග ද ඊටත් වඩා කුඩා කඳුවැටි දෙකක් නිරිත දිග ද වේ. ඊසාන දිග ප්‍රදේශයේ ඇති කුඩා කඳුගැට සහිත ප්‍රදේශය නැගෙනහිර උස් භූමිය (Cordillera Oriental) යනුවෙන් හැඳින්වෙයි. වයඹ දිග හා නිරිත දිග ප්‍රදේශ අන්තයන්හි පොළව වියළිය. පහත්ය. කාන්තාර වැනිය. ගිනිකොණ දිග ප්‍රදේශය පහත් භූමීන්ගෙන් යුක්තය. මධ්‍යම කඳුකරයේ සිට දකුණු දෙසට ගලා එන රියෝ යාක් දෙල් සූර් (Rio yaque del sur)) ගංගාව නීබා බොක්කට වැටේ. උතුරු කඳු බෑවුම්වලින් ගලා එන රියෝ යාක් දෙල් නෝර්ට් (Rio Yaque Del Norte) මොන්ටි ක්‍රිස්ටි බොක්කට වැටේ. රියෝ යූනා (Rio yuna) නම් ගංගාව දිවයිනේ නැගෙනහිර ප්‍රදේශය හරහා ගලා ගොස් සමානා බොක්කට වැටෙයි. එම ප්‍රදේශය හරහා ගලන රියෝ ඔසාමා (Rio Ozama) නම් අනෙක් ගංගාව සන්තෝ දොමින්ගෝ අසලදී මුහුදට වැටේ. නිරිතදිග ප්‍රදේශයේ හයිටි මායිම අසල පිහිටි සැතපුම් 23ක් දිග සැතපුම් 11ක් පළල එන්රික්විලෝහි ලුණුවිල ප්‍රදේශ සලකුණක් ලෙස විශේෂ තැනක් ගනී. මෙරට භූමි ප්‍රදේශයන්හි ඇති පස් වර්ග වෙනස්කම්වලින් යුක්තය. පහත් බිම්වල පස අළුත ඇති වූ ඇලුවියළු මූලාරම්භයකින් යුක්තය. එහෙත් ගිනිකොණ දිග සැවානා භූමින්හි පස අළුතින් මුහුදු ආශ්‍රිතව ඇති වූ අවසාදිත තැන්පතුවලින් යුක්ත ය. නිරිත දිග ප්‍රදේශ භූමි අන්තයේත් පෙඩර්නේල්ස් ප්‍රදේශයේත් හැරුණු විට සාමාන්‍යයෙන් මෙරට පස සාරවත් ය.
දේශගුණය, වෘක්ෂලතාදිය හා සත්ව ජීවිතය
ඩොමීනිකන් ජනපදය ඝර්ම කලාපීය රටකි. භූමියේ උස් බව නිසාද වසර පුරා අත්ලාන්තික් සාගරයේද හමා එන ඊසාන දිග වෙළද සුළං (North East Trade Windo) නිසාද මෙහි ඇති උණුසුම් දේශගුණය බොහෝ ප්‍රදේශවල සමනය වෙයි. වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබෙන්නේ ඊසාන දිග ප්‍රදේශයටයි. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 100කි. එහෙත් වෙළද සුළං නොයෙක් කඳුවැටි උඩින් හමා ඒම එහි ඇති නිසා තෙත ගතිය ක්‍රමයෙන් හීන වී යන බැවින් හයිටි මායිම දිගේ ඇති බටහිර දිග ප්‍රදේශයට ලැබෙන වාර්ෂික වැසි ප්‍රමාණය අගල් 30 වඩා යන්තම් වැඩි ය. අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා මධ්‍ය අත්ලාන්තික් සාගරයේ ඇති වී හමා එන ඝර්ම කලාපීය කුණාටු සහ සුළිසුළංවලින් මෙම දිවයින නිතර ආන්තරාවට භාජනය වී ඇත. ප්‍රදේශයක් ප්‍රදේශයක් පාසා සුළු දේශගුණික වෙනස්කම් තිබුණ ද සාමාන්‍යයෙන් මෙහි දේශගුණය සෞම්‍යය ය. සිත් ගන්නාසුලු ය. මෙරට අවම උෂ්ණත්වය පැ.770 (සෙ.250)කි. උෂ්ණත්වය පැ.900 (සෙ.320) වඩා ඉක්මයන්නේ කලාතුරකිනි. මධ්‍යම කඳුකරයේ උසම කන්දේ වුව ද අවම උෂ්ණත්වය පැ.690 (සෙ.210)කි. ඉතාම සීතල දේශගුණයක් ඇත්තේ ම නැත. මෙහි වෘක්ෂලතාදිය සෑහෙන වෙනස්කම්වලින් යුක්ත ය. ෆයින් ගස්වලින් යුත් වනාන්තරවලින් කඳු ප්‍රදේශය ගහණ ය. පසුගිය ශතවර්ෂයේ දී වෙළෙඳ කටයුතු සඳහා කැපීම නිසා පහත් බෑවුම් ප්‍රදේශවල කැලෑ බොහොමයක් එළිපෙහෙළි කොට ඇත. වියළි ප්‍රදේශ වඩාත් නොඋස් පඳුරුවලින් ගහණ ය. ස්වභාවික වෘක්ෂලතාදිය වෙනුවට දැන් නොයෙක් වර්ගයේ වැවිලි හා බෝග වර්ග වවා ඇත. මේවා විශේෂයෙන් උස් මිටියාවත්හි සහ පහළ කඳුබෑවුම්හි දැකිය හැකි ය. ඇතැම් මුහුදුබඩ ප්‍රදේශ වගුරු බිම්වලින් යුක්ත ය. සුන්දර වෙරළ තීරයන්ගෙන් උතුරු මුහුදුබඩ අලංකාර වී ඇත. ආදි ස්පාඤ්ඤ ජනපදවාසීන් තණබිම්වල හා කාන්තාර ප්‍රදේශවල හරකුන්, එළුවන් ඇති කරනු ලැබුව ද, වනසත්ව ජීවිතය එතරම් පුළුල් නොවේ. කුරුලු වර්ග බහුල ය. ගංගා මෝයවල කිඹුලන් ඇත. ඉස්සන්, කකුළුවන් හා මාලු ඇත ද, වෙළෙඳාම සඳහා යොදාගෙන නැත.
පාරම්පරික ප්‍රදේශ
20 වන සියවස තෙක් ඩොමිනිකන් ජනපදයේ වැසියන්ට ජාතික එක්සත්කම පිළිබඳ හැඟීමක් ඇති වූයේ නම් ඒ මඳ වශයෙනි. අතීතයේ ද ඔවුහු පාරම්පරික ප්‍රදේශවලට හා ප්‍රදේශ නායකයින්ට වඩා පක්ෂපාතීකම් දැක්වූහ. මෙරට සිඩාඕ නම් ප්‍රදේශයෙහි වැඩි ජනගහන ඝනත්වයක් ඇත. මධ්‍යම කඳුකරයෙන් දකුණට වන්නට ඇති ඇලුවියල් සානුවල සහල් වවනු ලැබේ. අසුවා (Azua) හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකාරයෝ කැනේරි දූපත්වලින් මෙහි පැමිණ පදිංචි වූවෝ ය. සන්තෝ දොමිංගෝ අවට ප්‍රදේශ 'කැපිටල්' නැතහොත් අගනුවර වශයෙන් හැඳින්වේ. අගනුවර වාසීහු වෙනත් සංස්කෘතියක් හා චරිත ලක්ෂණ ඇති පිරිසක් ලෙස සළකනු ලැබේ. එහෙත් 1970 මුල් භාගයේ සිට ගම්බද ප්‍රදේශවල සිට නගරබද ප්‍රදේශවලට ඇදී එන විශාල ජනකාය නිසා මේ අදහස වෙනස් වෙමින් පවතී. නැගෙනහිරබද සැවානා ප්‍රදේශවල උක් වගාව විශාල වශයෙන් කරනු ලැබේ. මෙහි පදිංචි වී සිටින ජනයා ප්‍රධාන වශයෙන් හරක් බලාගැනීම සඳහා මෙහි පැමිණි යුරෝපීය මූලාරම්භයක් ඇති පරම්පරාවලින් පැවත එන අය වෙති. කෙසේ වෙතත් නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල කළු ජාතිකයෝ වාසය කරති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් හයිටිවලින් උක් වගාවන්හි ද වරායේ ද මෝල්වල ද තාවකාලික සේවය සඳහා මෙහි පැමිණි පිරිස් ය. ලෝකයේ නාගරිකත්වය කරා පියනගන රටවල් අතුරෙන් ඩොමිනිකන් ජනපදය ද මුල් තැන ගන්නා රටක් බව මෑතක සිට පෙනී යයි. අගනුවර වන සන්තෝ දොමින්ගෝ බෙහෙවින්ම නාගරික ය. එය කර්මාන්ත, සෙසු නිෂ්පාදන, අධ්‍යාපනය සහ රජයේ කටයුතුවල මූලස්ථානය වේ. දෙවෙනි විශාලම නගරය සන්තියාගෝ ය.
ජනතාව
අනෙක් භාෂාවන් ව්‍යවහාර වුවද ස්පාඤ්ඤ භාෂාව මෙහි ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ. මේ හැර විවිධ යුරෝපීය භාෂාවන් මෙහි නිතර කථා කෙරේ. හයිටි වලින් මෙහි පැමිණ ඇති පිරිස් ප්‍රංශ බස කථා කරති. මෙහි ජාතීහු මෙස්ටිසෝ හෙවත් මිශ්‍ර වර්ගයාගෙන් පැවත එන්නාහ. සුළු පිරිසක් යුරෝපීයයන්ගෙන් පැවත එන බවද ඊටත් වඩා සුළු පිරිසක් කළු මිනිසුන්ගෙන් පැවත එන බවද කියති. සුදු මිනිසුන් ඉහළ පෙළේ රැකියාවන්හි යෙදී සිටින අතර කළු මිනිස්සු සුළු රැකියාවල නිරත වී සිටිති. මෙයට අමතරව ජර්මන් යුදෙව්වන්ගේ ජනපදයක් ඇත. තවද ජපන් ජාතික සුළු පිරිසක් කොන්ස්ටන්සා නිම්නයෙහි ගෙවිතැනේ යෙදී සිටිති. 19වැනි සියවසේදී විශාල පිරිසක් මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ සිට විශේෂයෙන් ලෙබනන්හි සිට මෙරටට සංක්‍රමණය වී ඇත. මෙම ජනතාව රටේ අනෙක් ජනයා සමඟ සංස්කෘතික හා සමාජීය වශයෙන් මිශ්‍රව සිටිති. ස්පාඤ්ඤ ජාතිකයන් මෙම දූපත අත්පත් කොට ගත් මුල් යුගයේ මෙහි මුල් පදිංචිකරුවන් වූ තායිනෝ (අරවක්) ඉන්දියානුවන් වධ හිංසාවන්ට භාජනය කොට විනාශ කොට දමා ඇතැයි විශ්වාස කරනු ලැබේ. එහෙත් ඩොමිනිකානු ජනතාව තුළ මුල් තායිනෝ ඉන්දියානුවන්ගේ ලේ මිශ්‍රව ඇතැයි සිතිය හැක. ජනතාවගෙන් 95%ක් පමණ රෝමානු කතෝලිකයෝ ය. කතෝලික සභාවේ බලපෑම ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය කෙරෙහි බොහෝ දුරට බලපා ඇත. ප්‍රොතෙස්තන්ත්‍ර ආගමිකයෝ 20%ක් පමණ වෙති. ඉතිරි 3% යුදෙව්වන් සහ සෙසු ඇදහිලි ඇති අය ය. 1969 දී උපත් ප්‍රමාණය දළ වශයෙන් 1000ට 39කි. එය 1960 දී 1000ට 49කි. මරණ ප්‍රමාණය මේ කාලසීමාව තුළ 1000-14 සිට 1000-7 දක්වා අඩු වී ඇත. මේ නිසා ජනගහනයේ ස්වාභාවික වැඩි වීමක් දැකිය හැක. ජනගහනය බෙහෙවින් තරුණයන්ගෙන් යුක්ත බව කැපීපෙනෙන ලක්ෂණයකි. 1970දී ජනගහනයෙන් 47%ක් අවුරුදු 15ට අඩු පිරිස් වූහ.
ජාතික ආර්ථිකය
ආර්ථිකය බොහෝදුරට පදනම් වී ඇත්තේ ගොවිතැන මත ය. විදේශ විනිමයෙන් 90%ක් පමණ රටට ලැබෙන්නේ ගොවිපලවල් හා තණබිම්වලිනි. ප්‍රධාන අපනයනයන් වන්නේ සීනි, දුම්කොළ, කොකෝවා, කෝපි, පලතුරු සහ තක්කාලි කල්කය යන ඒවායි. ආහාර ද්‍රව්‍ය හා සාදා නිම කරන ලද භාණ්ඩ ආනයනය කරනු ලැබේ. රටේ දළ ජාතික නිෂ්පාදිතය හා ඒකපුද්ගල ආදායම පහළ මට්ටමක තිබේ. දළ ජාතික නිෂ්පාදිතයෙන් 22% කෘෂිකාර්මික නිෂ්පාදිතයන්ගෙන් ද 18% වෙළෙඳාමෙන් ද 17% නිෂ්පාදිතයන්ගෙන් ද 12% රජයෙන් ද 31% අනෙක් අංශ වලින්ද ලැබේ. 1961 ටෘජිලෝගේ වැටීමත් 1965 අභ්‍යන්තර යුද්ධයත් නිසා ඇති වූ දේශපාලන ව්‍යාකූල තත්වයෙන් මෙරට ආර්ථිකය හිස ඔසවන්නට වූයේ 1970 ගණන්වල මුල් භාගයෙන් පසුව ය.
ඛණිජ සම්පත්
ඛනිජ ද්‍රව්‍ය කීපයක් ම මෙහි ඇති බව සොයාගෙන තිබුණ ද බොක්සයිට්, යපස්, ජිප්සම්, නිකල් හැරුණු විට අනෙක් ඛනිජ ද්‍රව්‍යයන් වාණිජ වශයෙන් දියුණුකොට නැත. ලාගෝ එන්රික්විලෝ නම් විල අසබඩ ප්‍රදේශය ලුණු තැන්පතුවලින් පොහොසත් ය. එය වෙළෙඳාමට සුදුසු ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදනය කරනු ලැබේ. මුහුදු වතුර වාෂ්ප කර හරිනු ලැබීමෙන් ලුණු නිපදවීම මොන්ටික්‍රිස්ටිහි සුළු ප්‍රමාණයකට කරනු ලැබේ. දියුණුකොට ආර්ථික වාසි ලබාගත හැකි අනෙක් ඛණිජ ද්‍රව්‍යයන් නම් සල්ෆර්, ගල් අඟුරු, මොලිබ්ඩෙනම්, කොබෝල්ට්, ටින්, තෙල් සහ තුත්තනාගම් ය.
උද්භිද සම්පත්
ප්‍රයෝජනයට නොගෙන ඇති උද්භිද සම්පත් විරල ය. එහෙත් නියම අන්දමින් පාලනය කළ හොත් ගොවිබිම්, කැළෑ හා තණබිම්වලින් මෙයට වඩා වැඩි නිෂ්පාදනයක් කළ හැකි ය. අසබඩ මුහුදේ විකිණිය හැකි මසුන් සාපේක්ෂ වශයෙන් හිඟ බැවින් ධීවර කර්මාන්තය විශාල වශයෙන් සීමා වී ඇත. 1970 මුල භාගයේ සිට දකුණු මුහුදු බොක්කෙහි විශාල මසුන් ඇල්ලීමෙන් ද සංචාරක කර්මාන්තයේ ද ප්‍රයෝජන ගැනීමට කටයුතු කරනු ලැබේ.
ජලවිදුලි සම්පත්
දැනට වගා කොට ඇති බිම්වලින් විපුල ප්‍රයෝජන ලබාගැනීමටත් නව ප්‍රදේශ ගොවිතැන් සඳහා යොදා ගැනීමටත් වාරිමාර්ග ක්‍රමය මහත් සේ දියුණුවට පත්කළ යුතුව ඇත. 1970 ගණන්වලින් පසු ජලවිදුලි වේලි දෙකක් ඉදිකොට තිබේ. තවේරා හී වේල්ල (Presa De Tavera) ජලවිදුලි බලය සපයනවා පමණක් නොව සිපාඕ ප්‍රදේශයේ වාරිමාර්ග සඳහා අවශ්‍ය ජලයද සම්පාදනය කරයි. රියෝ නිසාඕ හී වොල්ඩේෂියා වේල්ල නිරිතදිග වියළි ප්‍රදේශයට ජලපහසුකම් ලබා දෙන අතර සන්තෝ දොමිංගෝ හා ඒ අවට ප්‍රදේශවලට විදුලිබලය සපයයි.
ආර්ථිකයේ පාලනය පොදු හා පෞද්ගලික අංශ
1930 සිට 1961 දක්වා පැවති ටෲජිලෝ පාලන සමය තුළ කෘෂිකර්මය හා කර්මාන්ත පාලනය කළේ ටෲජිලෝ පවුල විසිනි. 1961 සිට ටෲජිලෝ ව්‍යාපාර රජයේ පාලනය යටතට පැවරී ඇත. ඒවායේ පාලනය සඳහා සංස්ථා දෙකක් ඇත. පළමුවැන්න 1960දී ඇරඹූ කර්මාන්ත සංවර්ධන සංස්ථාවයි. එමගින් සීනි කම්හල් හැරුණ විට ටෲජිලෝ කර්මාන්ත ව්‍යාපාර සියල්ල පාලනය කෙරේ. 1966 දී මෙම සංස්ථාව වෙනුවට ඩොමීනිකානු රාජ්‍යය ව්‍යාපාර සංස්ථාව ඇති විණි. රාජ්‍යය සීනි මණ්ඩල රටේ සීනි කම්හල් පාලනය කරයි. 1965 සිට ඇමරිකා එක්සත් ජනපදය මෙහි කාර්මික දියුණුව වේගවත් කිරීමට ආදාර ණය මුදල් දී තිබේ. ආනයනය කරන ඇතැම් භාණ්ඩ වෙනුවට රෙදිපිළි සපත්තු, කමීස, හිස්වැසුම් රටතුළ ම නිෂ්පාදනය කිරීම අරඹා ඇත. මෙහි ඇති බොහෝ කර්මාන්ත කුඩා ය. මේවා අතර ගෘහභාණ්ඩ, සබන්, ඉටිපන්දම්, කඹ, ආහාර හා බීම වර්ග පිළියෙළ කිරීම (Processing) උළු හා කොන්ක්‍රීට් බ්ලොක් නිෂ්පාදනය වේ. බැංකු ක්‍රමය දියුණු ය. රක්ෂණ සමාගම් බොහෝමයක් විදේශිකයන් සතු ය. 1970 ගණන්වල මුල භාගයේ දී රජයේ ආදායමෙන් 40% පමණ ආනායන බදුවලින් ලැබී ඇත. විකුණුම් බදු, රථවාහන බලපත්‍ර බදු, පාර බදුවලින් රජයට ආදායම ලැබේ. 1961න් පසු කම්කරු ව්‍යාපාරය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. ඇමෙරිකානු හා ඩොමීනිකානු වෙළෙඳ මණ්ඩලය, හරක් ඇතිකරන්නන්ගේ සංගමය, සීනි නිෂ්පාදකයන්ගේ සංගමය, තක්කාලි වවන්නන්ගේ සංගමය වැනි සේව්‍ය සංගම් කීපයක් වේ. මෙහි සේවකයන්ට ගෙවන වැටුප් සුළු ය. සීනි වගාවන්හි නුපුහුණු කම්කරුවන්ට දිනකට සත 90 පමණ ගෙවනු ලැබේ. උපාධිධාරි කාර්යාල නිලධාරීහු සාමාන්‍යයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 600 සිට 700 මුදලක් උපයති. ජීවන වියදම සාමාන්‍යයෙන් අධික ය.
ආර්ථික හා සමාජ බෙදීම්
බුද්ධිය හා ආර්ථික මට්ටම අතින් සමාජයේ ඉහළ පන්තියේ සිටින සුළු පිරිසක් වේ. ඔවුන්ගේ ප්‍රමාණය 5%කි. මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන්නන්ගේ පන්තියක් වර්තමානයේ පෙනෙන්නට තිබේ. ජනගහනයෙන් වැඩිම කොටස පහළ මට්ටමේ ආදායම් ලබන ජනයාගෙන් සමන්විත ය. ඩොමීනිකානු ජනරජයේ සමාජ තත්වය සෙසු නොදියුණු ඇමරිකානු ජාතිකයන්ගේ සමාජ තත්වයට හුරුය. සුළු ගොවියෝ පාරිභෝගික භෝග (Subsistence Crop) වවති. ඊට අමතරව අත්කම් විකිණීම ආදිය කරනු ලැබේ. ඔවුන්ගේ ගෘහ කර්මාන්ත අතර වට්ටි සෑදීම, වළං කර්මාන්තය, පිදුරු තොප්පි විවීම, කෑම වර්ග සෑදීම, පැද්දෙන පුටු තැනීම ආදිය වේ.
සංස්කෘතික ජීවිතය හා ආයතන
ඩොමීනිකානු වශයෙන් හැඳින්විය හැකි සංස්කෘතික දායාදයන් හිඟ ය. ස්පාඤ්ඤ, අප්‍රිකානු හා මැදපෙරදිග සංගීතයෙහි ආභාෂය ඔවුන්ගේ සංගීතයෙහි දැකිය හැක. ගිටාරය මෙහි ජනප්‍රිය ම සංගීත භාණ්ඩයයි. බටනලාව ගම්බද ප්‍රදේශවල ජනප්‍රිය ය. ජාතික ඇඳුම යනුවෙන් දෙයක් නැත. බේස්බෝල් ක්‍රීඩාව මෙහි ජනප්‍රිය ම ක්‍රීඩාවයි. ගම්බද පළාත්වල කුකුළන් කෙටවීම පැරණි හා ජනප්‍රිය ක්‍රීඩාවකි. සියවසකට පමණ ආසන්න කාලයක් පැවති ජනප්‍රිය සාහිත්‍ය සංගම් කිහිපයකි. 1969 දී දිනපතා පුවත්පත් හයක් ප්‍රකාශයට පත්විය. 1972 දී තවත් දිනපතා පුවත්පත් කීපයක් මුද්‍රණය කිරීම අරඹන ලදී. මේවායින් බොහෝමයක් සන්තෝ දොමින්ගෝහි ප්‍රකාශනය වෙයි. ගුවන් විදුලිය තරම්ම නොවූවත් රූපවාහිනිය ද මෙහි සංස්කෘතික ජීවිතය කෙරෙහි බොහෝදුරට බලපා ඇත.
ගමනාගමනය
සන්තෝ දොමින්ගෝ ගමනාගමන කටයුතුවල මූලස්ථානය වේ. සාමාන්‍යයෙන් මාවත් ක්‍රමය යහපත් ය. එහෙත් මධ්‍යම කඳුවැටි හරහා යැවෙන මාවත් ප්‍රමාණවත් නොවේ. සන්තෝ දොමින්ගෝහි සිට ප්‍රධාන මාවත් තුනක් රටේ විවිධ ප්‍රදේශ කරා යැවෙයි. මෙම මාවත්වලින් අතුරු මාර්ග බෙදී යයි. බස් විරල ය. නගරය තුළත්, නගරයෙන් පිටතත් ගමනාගමනය සඳහා සීඝ්‍රයෙන් දිවෙන වැඩි වියදම් නැති කුලී රථ සේවයක් ඇත. බොහෝ භාණ්ඩ වෙළෙඳපළවල් කරා ගෙන යැවෙන්නේ ලොරිවලිනි. ලා වාගා (La Vaga)හි සිට සිබාඕහි නැගෙනහිර ප්‍රදේශය පසුකොට සැන්ෂේ වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයකි. මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කෙරුණු මේ දුම්රිය ප්‍රවාහන සේවය සැන්ෂේ වෙළෙඳ වරායක් ලෙස පිරිහීමට පත් වූ පසු අත්හිටුවා ඇත. සන්තෝ දොමින්ගෝ සිට සැතපුම් 15ක් නැගෙනහිරින් මෙහි එක ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇත. කුඩා ගුවන් යානයන් සඳහා තවත් ගුවන් තොටුපළක් සන්තියාගෝහි ඇත. රටේ අභ්‍යන්තර ගමන් සඳහා ගුවන් බිම් 15ක් පමණ විවිධ ප්‍රදේශයන්හි ඇත. භාණ්ඩ වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේත් ආනයනය කෙරෙන්නේත් මුහුදු මාර්ගයෙනි. මුළු කැරිබියානු ප්‍රදේශයේ ම ඇති විශාල ම ස්වභාවික හා අගනා වරාය බහියා ද සමනා (Bahia De Samana) වෙයි. දකුණු දිග ප්‍රදේශයේ සීනි වගාව වර්ධනය වීමත් සමඟ සන්තෝ දොමිනගෝ සැන් පේඩ්රෝ ද මකෝරිස් හා ලා රොමානා වරායන් වැදගත්කමින් වැඩි වී ඇත. සාමාන්‍ය බඩුවලින් බොහෝමයක් සන්තෝ දොමින්ගේ වරායෙන් අපනයනය කරනු ලැබූව ද සීනි සාමාන්‍යයෙන් අපනයනය කරනු ලබන්නේ අනෙක් වරායන් දෙකෙනි. දුම්කොළ, කෝපි සහ කොකෝවා පියුටෝ ප්ලාටා වරායෙන් ද බොක්සයිට්, ජිප්සම් හා ලුණු බරාහෝනා වරායෙන් ද අපනයනය කරනු ලැබේ.
අධ්‍යාපනය
ගම්බද හා ඈත පළාත්වල අධ්‍යාපන පහසුකම් හීන ය. ප්‍රාථමික අධ්‍යාපනය සාමාන්‍යයයෙන් හය අවුරුද්දකට සීමා වී ඇත. අන්තර් මධ්‍යම පාඨශාලා අධ්‍යාපනය දෑවුරුද්දකි. ද්විතීය අධ්‍යාපනය සිව් වසරකි. ඉන්පසු ඩිප්ලෝමා සහතිකයක් දෙනු ලැබේ. ධනවත් ළමෝ ආගමික නිකායන් මඟින් පවත්වනු ලබන පුද්ගලික පාසල්වල ඉගෙනීම ලබති. කෘෂිකාර්මික හා කාර්මික පුහුණුව ලබාදෙන පාසල් තිබුණ ද එම පහසුකම්වලින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ජනගහනයෙන් සුළු පිරිසකට පමණි. මෙරටේ විශ්ව විද්‍යාල තුනකි. ඉන් දෙකක් සන්තෝ දොමින්ගෝහි ද එකක් සන්තියාගෝහි ද වේ. සන්තෝ දොමින්ගෝහි ඇති 'ද යුනිවර්සිඩැඩ් ඔටෝනොමෝ ද සන්තෝ දොමිංගෝ' එම විශ්ව විද්‍යාල තුනෙන් ම විශාල ම එක වන අතර එය ස්වාධීනව පාලනය වන්නකි. එය රජයේ හා ආගමික නිකායවල පාලනයෙන් නිදහස්ව කටයුතු කරයි. සන්තෝ දොමිංගෝහී ඇති අනෙක් විශ්වවිද්‍යාලයට කතෝලික සභාවේ හා වෙනත් පුද්ගලික ත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය ද රජයේ ආධාරය ද ලැබෙයි. සන්තියාගෝ විශ්වවිද්‍යාලය ද එසේ ම ය.
සෞඛ්‍යය
ගම්බදවත් නගරබදවත් දුප්පත් මිනිසුන් අතර සෞඛ්‍ය සේවාවන් සතුටුදායක නොවේ. මේ නිසා බෝවන රෝග පැතිරෙන අතර ළදරු මරණ සංඛ්‍යාව ද අධික ය. රෝහල් ඇත්තේත් පුහුණු වූ වෛද්‍ය සේවකයන් සිටින්නේත් විශාල නගරවල ය. ගම්බද ව දේශීය පිළියම් හා වෛද්‍ය ක්‍රම මාර්ගයෙන් සෞඛ්‍ය ආරක්ෂා කෙරේ. පුද්ගලික වෛධ්‍යවරුන් විසින් පවත්වා ගෙන යනු ලබන කුඩා චිකිත්සාගාර, මාතෘ නිවාස හා සාත්තු සේවා නිවාස ඇත.
නිවාස
නිවාස ප්‍රශ්නය මෙහි ඇති උග්‍ර ම ප්‍රශ්නයන්ගෙන් එකකි. 1962 සංඛ්‍යාලේඛනවලට අනුව, දැනට තිබෙන නිවාසවලින් 65%ත තත්වය සතුටුදායක නොවේ.
ආණ්ඩු ක්‍රමය
සෙනේට් මන්ත්‍රී මණ්ඩලයක් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් ද තිබේ. සෙනෙට් මණ්ඩලයට සෑම ප්‍රදේශයකින් ම හා සෑම දිස්ත්‍රික්කයකින් ම නියෝජිතයා බැගින් එවනු ලැබේ. ජන ප්‍රමාණය අනුව තෝරාගත් නියෝජිතයෝ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වෙති.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මානව අයිතිවාසිකම් තහවුරු කරන අතර රාජ්‍ය බලය බෙදිය යුතු අන්දම පෙන්වා දෙයි. වයස 18 වැඩි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාට ම ඡන්ද බලය ඇත. රාජ්‍ය නියෝජිත පදවිය අවුරුදු හතරක කාලයකට සීමා වේ. එහෙත් තවත් අවුරුදු හතරකට එය දීර්ඝ කළ හැක.
පළාත්පාලනය
ඩොමීනිකානු ජනපදය ප්‍රදේශ 26ක් ද එක් දිස්ත්‍රික්කයකට ද බෙදා ඇත. ජනාධිපති විසින් පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරු මධ්‍යම රජයේ පාලනය මේවායෙහි ක්‍රියාත්මක කරති. සෑම ප්‍රදේශයක ම ද්වි මණ්ඩල ජාතික සභාවට නියෝජිතයන් තෝරාපත් කොට යවයි. අභ්‍යන්තරික වශයෙන් සෑම ප්‍රදේශයක් ම නාගරික කොටස්වලට යළි බෙදා ඇත. මෙම නාගරික කොට්ඨාශ තමන්ගේ ම පාලන මණ්ඩල පත්කරගන්නා අතර ප්‍රදේශීය මට්ටමෙන් සෑහෙන භුක්ති විඳියි. එහෙත් මහජන මතය නියෝජනය වන නියම නියෝජිත රජයක් ඇතිවීමට සෑහෙන කලක් ගතවෙනු ඇත. ඩොමීනිකානු දේශපාලනයෙහි ඇමෙරිකා එක්සත් ජනපදය හා එහි හවුල්කරුවන් සෑහෙන වැදගත් සාධකයක් වෙයි. බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ ආර්ථික සෞභාග්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය හා සම්බන්ධ වීමෙන් ලබා ගත හැකි බවයි. අසල්වැසි කියුබාවේ සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් ඇතිවීමත් සමඟ ඩොමීනිකන් ජනපදයේ දේශපාලන කටයුතු ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් දරන්නට පටන්ගෙන ඇත.
අධිකරණය නීති ක්‍රමය නැපෝලියන්ගේ නීති පද්ධතිය පදනම් කොට සකස් වී ඇත. සෙනේට් මන්ත්‍රී මණ්ඩලය විසින් පත්කරන නඩුකාරයෝ රජයේ වෙනත් නිලතල නොදරති. ඉඩම් හා වාණිජ උසාවි හැරුනවිට අනෙක් උසාවි විසින් සිවිල් හා අපරාධ නඩු විභාග කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරයන් නවදෙනකුගෙන් සමන්විත ය.
යුද හමුදාව
පාබල, නාවික හා ගුවන් හමුදා ඒ අංශ භාර නායකයන් යටතේ පවතියි. යුද හමුදවේ සහාය නොමැතිව කිසි ම රජයකට වැඩි කාලයක් බලයේ සිටින්නට නොහැකි බව පැහැදිලිව පෙනෙන කරුණකි.
(කර්තෘ: කේ.බී. සෝමරත්න)
(සංස්කරණය නොකළ)
ඩොමිනීකන් ජනරජය
(Dominican Republic)
පිහිටීම
ඩොමිනීකන් ජනරජය යනු බටහිර ඉන්දීය කොදෙව් අතර ඇති හිස්පැනියොලා (Hispaniola) දූපතේ නැගෙනහිර දිග තුනෙන් දෙකක කොටසක පැතිරී ඇති රාජ්‍යයකි. හිස්පැනියොලාවේ බටහිර තුනෙන් එකක කොටසේ හයිටි (Haiti) යන රාජ්‍යය පිහිටියේ ය. කැරිබියන් මුහුදේ මහා ඇන්ටිලීස් දූපත් වළල්ලේ පිහිටි දෙවන විශාලතම දූපත හිස්පැනියොලා ය.
හිස්පැනියොලා පිහිටා තිබෙන්නේ බටහිරින් කියුබාවටත් නැගෙනහිරින් පෝටෝ රිටෝ දූපතටත් මැදිව ය. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා අර්ධද්වීපයේ සිට කිලෝ මීටර 960ක් ගිණිකොන දෙසින් ද දකුණු ඇමරිකාවේ කොලම්බියා සහ වෙනිසියුලාවල සිට කිලෝ මීටර 491ක් උතුරින් ද වේ.
ඩොමිනීකන් ජනරජ භූමි ප්‍රදේශය වර්ග කිලෝ මීටර 48,734ක ප්‍රමාණයකින් යුක්ත ය. එහි ප්‍රමාණය නැගෙනහිර සිට බටහිරට කිලෝ මීටර් 388ක් ද උතුරේ සිට දකුණට කිලෝ මීටර 274ක් ද වේ. 2001 දී එහි ජනසංඛ්‍යාව 8,693,000ක් පමණ විය. ඩොමීනිකාවේ භාවිත වන මුදල් ඒකකය පෙසෝ ය. අගනගරය සන්තො දොමින්ගෝ ය.
සංවර්ධනය නොවූ කුඩා රටකි. එහෙත් එහි යුද්ධෝපායමය පිහිටීම අනගි ය. එක්සත් ජනපදය හා යුරෝපයේ සිට පැනමා ඇළ දක්වා එන මුහුදු මාර්ගය ඩොමීනිකන් දූපත ඔස්සේ විහිදේ. එහි උතුරු වෙරළ අත්ලාන්තික් සාගරයෙන් ද දකුණු වෙරළ කැරිබියන් මුහුදෙන් ද වට වී තිබේ. එහි ඊශාන දිග කොටසක් පොටෝ රිකෝ අතරත් මැදින් 'මෝනා පැසේජ්' යන ඇළක් විහිදෙයි.
භෞතික භූ දර්ශනය
ඩොමිනීකන් රජ්‍යයේ භූ රූප විවිධ ය. වයඹ සිට ගිණිකොන දිග අක්ෂයක විහිදෙන උස් බිම් පහක් වේ. බටහිර ඉන්දියානු කොදෙව්වේ උස ම කූටය වූ පිකෝ ඩු ආටේ මීටර 3,175ක් උස ය. එය ඩොමීනිකන්හි ඊශාන දිග කොටසේ පිහිටි උස් බිමකි. එහි වයඹ දිග වෙරළට සමාන්තර ව විහිදෙන කෝඩිලේරා සෙප්ටෙන්ට්‍රියනල් නම් උස් බිම ය. ඊටත් වඩා අඩු උන්නතාංශයකින් යුත් වැටි දෙකක් ඩොමිනීකන්හි නිරිත දිග වෙරළ ආසන්නයේ වෙයි. අනෙක් උස් බිම කෝඩිලේරා ඔරියන්ටල් නමින් යුත් නැගෙනහිර උස් බිම ය. වයඹ දිග සහ නිරිත දිග කෙලවර භූමිය ඉතා භූමිය ඉතා පහත් ය. ගිණිකොන දිග භූ විෂමතාව රැළි තැනනකි.
ජල වහනය
මධ්‍යම කෝඩිලේරාව හරහා රියෝ යාකේ ඩෙල් සුර් ගඟ ගලා විත් බාහියා ඩ නිභා බොක්කට පිවිසෙයි. උතුරු දිග බෑවුම් හරහා ගලන රියෝ යාකේ ඩෙල් නොටේ නදිය බාහියා ඩ මොන්ටික්‍රිස්ටි බොක්කෙන් අවසන් වේ. දූපතේ නැගෙනහිර කොටස, බාහියාද සටානා බොක්කට ගලන රියො යුනා සහ රියෝ ඔසාමා ගංගාවලින් ජලාශ්‍රිත වේ. හයිටි දේශ සීමාව ආසන්නයේ නිරිත දිග පිහිටි සෝල්ට් විල කැපී පෙනෙන ලක්ෂණයකි.
ඩොමිනීකන් භූමියේ විවිධ පස් වර්ග ව්‍යාප්තව ඇත. උස් බිම්වල පස අවසාදිත හා විපරීත පාෂාණවලින් ව්‍යුත්පන්න වූ ශේෂ පසකි. පහත් බිම්වල පස මෑත යුගයේදී දියළුව සම්භවයක් ඇති ඒවා ය. එහෙත් ගිණිකොන දිග සැවානා පස මෑතක දී සමුද්‍රීය සම්භවයක් ඇති අවසාදිතවලින් සමන්විත ය. නිරිත දිග කොටසේ පස හැරෙන්නට අනෙක් පස් සාමාන්‍යයෙන් සාරවත් ය.
දේශගුණය
නිවර්තන අතර පිහිටි ඩොමිනීකන් රටේ සාගරික බලපෑම නිසා හිතකර දේහගුණ තත්වයක් පවතී. සාමාන්‍ය උෂ්ණත්වය 250ක් වුව ද 320ක් දක්වා උෂ්ණත්වය ඉහළ නැඟීම කලාතුරකින් සිදු වේ. කඳුකර ප්‍රදේශවල උන්නතාංශය නිසා 210ක් දක්වා පමණ උෂ්ණත්වය අඩු වේ. උෂ්ණත්වය සමනය කිරීමට උන්නතාංශය දිවයිනක් ව පිහිටීමෙන් සාගරික බලපෑම ලැබීමත් වසර මුළුල්ලේ ම අත්ලාන්තික් සාගරය පිසගෙන එන ඊශාන දිග වෙළෙඳ සුළඟත් හේතු වී තිබේ. සුළං මුහුණතේ ඇති දූපතේ ඊශාන දිග කොටසට අධිකතම වර්ෂාපතනයක් ලැබේ. එනම් වසරකට මිලි මීටර 2,500කට අධික වර්ෂාපතනයකි. ඊශාන දිග වෙළෙඳ සුළං කඳු වැටි හරහා හමා හයිටි දේශ සීමාවට ලඟා වන විට ඒවායේ තෙතමනය අඩු බැවින් එහිදී ඒවා වියළි සුළං වේ. එම ප්‍රදේශයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 750ක් පමණ ය. ඩොමිනීකන් ඇතුළු මේ කොදිව් නිරන්තරයෙන් ම කුණාටුවල තර්ජනයට මුහුණපා සිටිති. හරිකේන් නම් සුළිසුළං අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ දී මධ්‍යම අත්ලාන්තික් ප්‍රදේශයෙන් ආරම්භ වී තද කුණාටු ලෙස හමයි.
ශාක හා සත්ව සම්පත්
තද දැව සහිත නිවර්තන වනාන්තර දිවයිනේ ඊශාන දිග ප්‍රදේශයේ ඇත. අධික වර්ෂාපතනය කැලෑ ඇති වීමට හේතුවයි. පයින් වනාන්තර ද බහුල ය. කඳුකර ප්‍රදේශවල පහළ බෑවුම්වල කැලෑ කැපීම නිසා පාංශු ඛාදනය අධික ලෙස සිදුවේ. නිරිත දිග වියළි ප්‍රදේශයේ මිටි පඳුරු සහිත ලඳු කැලෑ වේ. සමානා අර්ධද්වීපික කොටසේ සැවානා තෘණබිම් ය. සාරවත් උස්බිම්වල ස්වභාවික වෘක්ෂලතා විනාශ කර බෝග වගාව සඳහා යොදා ගෙන ඇත. ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල කඩොල් වගුරු දක්නට ඇති අතර උතුරු දිග වෙරළේ වැල්ලෙන් වැසුණු වෙරළ ය. වනසතුන්ගෙන් ගහණ රටක් නොවන ඩොමීනිකන්හි ස්පාඤ්ඤ ජාතිකයින් තෘණබිම්වල ගව බැටළු ආදී සතුන් ඇති කිරීම ආරම්භ කරන ලදී. යාකෙ ඩෙල් නොටෙ සහ ඩෙල් සූර් ගංගා මුවදොරවල කිඹුලෝ වෙසෙති. තාරාවන් ඇතුළු විවිධ කුරුලු වර්ග ද එහි වෙසෙති. මසුන් ඇල්ලීම ව්‍යාපාරික වශයෙන් නොදියුණු තත්වයක පවතී.
ඛනිජ සම්පත්
බොක්සඩිට්, ජිප්සම්, යපස් සහ නිකල් කැනීම ව්‍යාපාරික වශයෙන් දියුණු කර ඇති ඛනිජ ය. ලේගො එන්රිකල් විල් ප්‍රදේශයේ ලුණු නිධි තැන්පත් ව ඇත. වියළි දේශගුණයක් සහිත මොන්ටික්‍රිස්ටිවල මුහුදු ජලය වාෂ්පීකරණයට හැර ලුණු නිපදවීම කරනු ලැබේ. අනාගතයේදී සල්ෆර්, ගල් අඟුරු, කොබෝල්ට්, මොලිබ්ඩිනම්, ටින් සහ තුත්තනාගම් ද දියුණු කිරීමට විභවතා ඇත. බටහිර අර්ධ ගෝලයෙන් ම උසස් ගුණයෙන් යුත් ඇම්බර් (amber) ඛනිජය ලබාගත හැකි නිධියක් මෙහි තිබේ. ඒවා ස්වදේශීය වාසීන්ට හා සංචාරකයන්ට ආභරණ සෑදීමට උපයෝගී කෙරේ.
ආර්ථිකය
ඩොමිනීකන් රජයට ලැබෙන විදේශ විනිමයෙන් 90%ක් පමණ කෘෂිපාදක ද්‍රව්‍යවලින් ලැබේ. මෙහි පවතින නිවර්තන දේශගුණය නිවර්තන භෝග වගාවට උපකාරී වී ඇත. ප්‍රධාන භෝග වනුයේ වී, උක්, දුම්කොළ, ඇවකාඩෝ, කෙසෙල්, අඹ සහ දොඩම් ය. පාවුල් කඳු ප්‍රදේශවල කෝපි සහ කොකෝවා වතු ය.
වැඩකරන ගොවින්ගෙන් අඩක් පමණ ඉඩම් හිමියෝ හෝ අඳ ගොවියෝ වෙති. ඇතැම් විශාල වතු හිමියන්ගෙන් ඉඩම් බද්දට ගෙන වගා කෙරෙති. විශාල උක්, කෝපි, කොකෝවා වතු ධනවත් ඩොමිනීකන්වරුන් හෝ රජය සතු ය. සැවානා තෘණබිම් ගව හා එළුවන් ඇති කිරීමට ගෙන ඇත.
කෘෂිකාර්මික ද්‍රව්‍ය සකස් කිරීම ප්‍රධාන කර්මාන්තය වී තිබේ. උක්වලින් සීනි කර්මාන්තය හා එහි අතුරුඵලවලින් මධ්‍යසාර පෙරීම කෙරේ. සීනිවලින් 75%ක් ම එක්සත් ජනපදයට යැවේ. සිමෙන්ති හා රෙදිපිළි කර්මාන්ත, ආහාර ද්‍රව්‍ය සැකසීමේ කර්මාන්ත දියුණු තත්වයකින් පවතී. සීනි හැරුණු විට අනෙකුත් අපනයන ද්‍රව්‍ය නම් දුම්කොළ, කොකෝවා, කෝපි, පළතුරු, තක්කාලි මිශ්‍රණ සහ හම් ය. කුඩා පරිමාණයේ කර්මාන්තශාලාවල සබන්, ඉටිපන්දම්, කඹ, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඇමුණුම් කටු නිපදවේ. ඩොමිනීකන් රජයේ ආනයනය කරන ද්‍රව්‍ය නම් කාර්මික භාණ්ඩ සහ ආහාර ය. දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම් පහත් තත්වයක පවතී. දළ ජාතික නිෂ්පාදිතයෙන් කෘෂිකර්මය 22%කින් ද කර්මාන්ත 17%කින් ද රජයෙන් 12%කින් ද අනෙකුත් අංශවලින් 31%කින් ද ව්‍යාපාරික අංශයෙන් 18%කින් ද දායක වෙති.
එම රටේ ඇති ජෛව සම්පත්වලින් වැඩි කොටසක්ම උපයෝගී කරගෙන ඇත. කෘෂිකර්මය, වනාන්තර සහ සත්ව පාලනය හරියාකාරව කළමනාකරණය කළහොත් නිෂ්පාදිතය වැඩි කිරීමට හැකි වනු ඇත. විශාල පරිමාණයෙන් ධීවර කර්මාන්තය කිරීමට හැකි වුව ද ඩොමිනීකන් අවට මුහුදේ විකුණාගත හැකි මත්ස්‍යයන් විරල ය. එහි වෙරළේ සහ කඳුකර ප්‍රදේශවල සංචාරක කර්මාන්තයට විභවතා තිබේ.
ජලවිදුලි බලය ඩොමිනීකන්හි කෘෂිකාර්මික භූමි උපයෝගී කිරීමට ජල සම්පාදනයේ අවශ්‍යතාව ද ඇත. 1970 දී ජලවිදුලි බල යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කරන ලදී. ඒවා නම් ප්‍රෙසා ඩි ටැවරා සහ ප්‍රෙසා ඩි වැල්ඩේසියා ය. සිබෑවෝ ප්‍රදේශයට ජල සම්පාදනය සහ ජල බලය සැපයෙන්නේ ප්‍රෙසා ඩි ටැවාරා යෝජනා ක්‍රමයෙනි. නිසාඕ ගංගාව හරහා බැඳි වේල්ල ආශ්‍රිත යෝජනා ක්‍රමයෙන් වියළි නිරිත දිග ප්‍රදේශයට ජල සැපයුමත් සන්‍තො දොමින්ගෝ අවට පරිසරයට ජලවිදුලියත් සැපයේ.
ආර්ථික කළමනාකරණය
ටිරුජීලෝ ජනාධිපතිගේ යුගයේදී (1930-1961) ඩොමිනීකන් කෘෂිකර්මය සහ කර්මාන්ත පාලනය කෙරුනේ එම පවුල මගිනි. 1961 පසුව එය රජය යටතේ සංස්ථා මඟින් පාලනය වේ. විදේශීය සමාගම් සීනි කර්මාන්තයේ ආයෝජන ප්‍රධාන තැන ගනි. ආහාර හා බීම වර්ග සකස් කිරීම මැනවින් දියුණු වි තිබේ. රෙදිපිළි, ඇඟලුම්, පාවහන්, ඝන කමිස දේශීය කර්මාන්තශාලාවල නිපදවේ. ණය දෙන බැංකු සමාගම්, රක්ෂණ සමාගම් බෙහෙවින් දියුණු ව ව්‍යාප්ත ව පවතී.
රජයේ ආදායමින් වැඩි ම කොටස ලැබෙන්නේ ආනයන බදුවලිනි. වෙනත් ආදායම් වනුයේ වෙළෙඳ බදු, වාහන බලපත්‍ර හා මහාමාර්ග බදු ආදියයි.
ට්රුජිලෝ ජනාධිපතිගේ කාලයේ දී වෘත්තීය සමිතිවලට වැදගත්කමක් තිබුණේ නැතත් 1961 පසුව කම්කරු ව්‍යාපාර අන්තර්ජාතික ඒවා සමඟ ද සම්බන්ධකම් පවත්වා ගැනීම තෙක් දියුණු විය.
ප්‍රවාහනය
ඩොමිනීකන්හි අගනගරය වූ සන්තො දොමින්ගෝ ප්‍රවාහන පද්ධතියේ නාභිය වෙයි. මෙතැන් සිට රාජ්‍යයේ සියලු ම ප්‍රදේශවලට ජනතාව සහ භාණ්ඩ ප්‍රවාහනය ව්‍යාප්ත ය. එහෙත් මධ්‍යම කඳුකර ප්‍රදේශය හරහා සම්බන්ධතා ප්‍රමාණවත් නැත. සන්තො දොමින්ගෝවල සිට ප්‍රධාන මහාමාර්ග තුනක් ද ඒවායේ සිට ද්වීතියික මාර්ග ද විහිදේ.
බස් රථ, දුම්රිය, පෞද්ගලික ටැක්සි රථ මඟින් කෙරෙන ප්‍රවාහනය ලාභදායී මෙන්ම සීඝ්‍රයෙන් ද සිදුවේ. වෙළෙඳ පොළ මධ්‍යස්ථානවලට භාණ්ඩ පරිවහනය කෙරෙන ට්‍රක් රථ ද ඇත. රජය සතු දුම්රිය මාර්ගයක් සැන්චෙස් නැව්තොට සිට ලාවේගා තෙක් මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත.
ඩොමිනීකන් රාජ්‍යයේ එක ම අන්තර්ජාතික ගුවන් තොටුපොළ පන්ටා කෝසිඩෝ ය. සන්තො දොමින්ගෝ සිට කිලෝ මීටර 22ක් නැගෙනහිරින් පිහිටි එහි නූතන ජෙට් යානා නැවතීමට පහසුකම් ද තිබේ. කුඩා ජෙට් යානා සඳහා සන්තියාගෝවල තවත් ගුවන් තොටුපළක් ඇත. පෞද්ගලික ගුවන් යානා ගොඩබස්නා තීර 15ක් පමණ ද දිවයිනේ තිබේ. මගී ප්‍රවාහනය සඳහා ගුවන් යානා ද භාණ්ඩ ප්‍රවාහනය සඳහා නැව් ද උපයෝගී කර ගැනේ.
ඩොමිනීකන් රාජ්‍යයේ බාහියා ඩි සමානා කැරිබියන් ප්‍රදේශයේ ප්‍රථම ස්වභාවික වරායයි. සීනි අපනයනය කෙරෙන්නේ සැන් පේඩ්රෝ ඩි මකෝරිස් සහ ලා රොමානාවලින් ය.
ජනසංඛ්‍යාව
20 වන සියවස තෙක්ම ඩොමිනීකන්හි ජනතාව තුළ ජාතික වශයෙන් එක්සත් වීමේ ආකල්පය වර්ධනය වී තිබුනේ මඳ වශයෙනි. එයට හේතුව ප්‍රදේශීය ප්‍රධානීන් සහ සම්ප්‍රදායයන් කෙරෙහි තිබුණු දෘඩ භක්තියයි. එහි වඩා ප්‍රබල සාම්ප්‍රදායික ප්‍රදේශ ස්වභාවික පාරිසරික කලාප හා අනුරූප වේ.
අධික ජනගණත්වයක් ඇති ප්‍රදේශයකි, සිබාඕ. ඊසාන දිග ප්‍රදේශයේ සමානා අර්ධද්වීපයට උතුරින් ද නැගෙනහිර හා මධ්‍යම කඳුකරයට උතුරින් ද සෙප්ටන්ට්‍රිෂනල් වැටියේ දකුණේ සිට වයඹ දිග මොන්ටි ක්‍රිස්ටි දක්වා ප්‍රදේශය ද අධික ගණත්ව ඇති ප්‍රදේශයි.
මධ්‍යම කෝඩිලේරා වැටියට දකුණින් පිහිටි වී වගා කෙරෙන දියළු තැන්නේ අධික ජන සංඛ්‍යාවක් වෙසෙන්නේ සැන් ජුවන් ඩි ලා මැග්නානාවල ය. මෙහි වාසිකයින්ගෙන් වැඩි දෙනෙක් කැනරි දූපත්වලින් සංක්‍රමණය වූ අය වෙති.
ඩොමිනීකන්හි අගනගරය වූ සන්තො දොමින්ගෝ අවට ප්‍රදේශයෙහි ඊට ආවේනික වූ සංස්කෘතියක් වැඩුණ ද නාගරික සංක්‍රමණය නිසා එම ලක්ෂණ නැතිවී යන බවක් ද පෙනේ. මෙහි ද අධික ජන සංඛ්‍යාවක් වෙසෙති.
උක් වගා කෙරෙන නැගෙනහිර සැවානා ප්‍රදේශය යුරෝපීය ජාතිකයින් පදිංචි වූ ප්‍රදේශයකි. සත්ව පාලකයන් හා සත්ව ගොවිපළවල් ආරම්භ කළ අයගෙන් පැවතෙන්නෝ මෙහි වෙසෙති. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ, බටහිර ඉන්දීය කොදෙව්වලින් පැමිණි කළු ජාතිකයෝ එහි උක් වතු හෝ සීනි මෝල්වල හෝ නැව් තටාකවල හෝ වැඩ කිරිම සඳහා පැමිණි අය වෙති.
1970 දී ඩොමිනීකන් ජනරජයේ ජන සංඛ්‍යාව 4,012,000ක් විය. 1991 දී එය 7,312,000ක් දක්වා වැඩිවී 2001 වන විට එය නවත් ලක්ෂ 13කින් වර්ධනය විය. වර්ග කිලෝ මීටරයට ජන ඝනත්වය 147 දෙනෙකි. සැන්ටො ඩොමින්ගෝවල ජනසංඛ්‍යාව 1,313,000කි.
ආරම්භයේ දී ග්‍රාමීය ජන සංඛ්‍යාව වැඩි වුවත් 1950 සිට නාගරීකරණ ප්‍රවණතාවේ වැඩි වීමක් දක්නට ලැබිණි. වර්තමානයේ 60%ක නාගරික ජනසංඛ්‍යාවක් ද 40%ක ග්‍රාමීය ජනසංඛ්‍යාවක් ද වෙසෙති. අගනුවර වූ සන්තො දොමින්ගෝහි කර්මාන්ත හා ව්‍යාපාර දියුණු ය. දෙවන විශාලතම නගරය සැන්තියාගෝ ය.
ජනතාව
ඩොමිනීකන් ජනතාව අතර ස්පාඤ්ඤ ජාතිකයෝ බහුලයහ. යුරෝපයෙන් පැමිණි වෙනත් ජාතීන් හා මිශ්‍ර වීමෙන් මෙස්ටිසෝ යන වාර්ගික මිශ්‍රණ වූ ජන කොටසක් ද සිටිති. කළු ජාතික සුළු ජන කොටසක් ද එහි වෙසෙති. ජනවාර්ගික කොටස් අනුව ආර්ථික හා සමාජ තත්ව හැඩගැසී තිබේ. සුදු ජාතිකයන් ඉහළ පෙළේ ද කළු ජාතිකයන් පහළ ස්තරවල ද වශයෙනි. යුදෙව් ජාතිකයන්ගෙන් සමන්විත ජනාවාසයක් ද ඇති වී තිබේ. ජපන් හා ලෙබනන් ජාතිකයන් ද සුළු සංඛ්‍යාවක් එහි වෙසෙති.
ඩොමිනීකන් රාජ්‍යයේ ආදිවාසික ඇරවක් ඉන්දියන්වරුන් ස්පාඤ්ඤ ආක්‍රමණවල දී මරුමුවට පත්කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. එම වාසිකයන්ගෙන් පැවත එන්නන් ද සුළු සංඛ්‍යවක් වෙසෙති. ජනතාවගෙන් 95%ක් රෝමානු කතෝලික ලබ්ධිකයන් වන හෙයින් සංස්කෘතික ජීවයේ ඉමහත් බලපෑමක් ඇති කරනු ලැබ ඇත.
සංස්කෘතිය
අද්විතීය ඩොමිනිකානු සංගීතය හා නැටුම් සෑම මට්ටමක ම සමාජ උත්සවවල දී වැදගත් ය. ස්පාඤ්ඤයෙන් හා මැදපෙරදිගින් ලැබුණු තාල සහ ජන ගී වැදගත් ය. එහි ප්‍රකට නැටුමකි, බොලීරො. ගිටාරය හා බටනලාව ජනප්‍රිය ය.
ඩොමීනිකන් ජාතිකයනට උරුම වූ ජාතික ඇඳුමක් නැත. ස්පාඤ්ඤ මෝස්තර අනුව සකස්වුණු ඇඳුම් විශේෂයක් එහි ධනවත් කාන්තාවෝ අදිති.
ඩොමීනිකන්හි සංස්කෘතික ජීවිතයෙහි එක් වැදගත් උත්සවයක් වනුයේ ක්‍රිස්තුභක්තිකයන්ගේ උපවාස සමයට පෙර පවතින උත්සවයයි.
බේස්බෝල් එහි ජනප්‍රිය ක්‍රීඩාවකි. ගම්බද ප්‍රදේශවල කුකුල් පොර පැවැත්වීම ද කෙරේ. කලාවන් අතර චිත්‍රශිල්පය හා සාහිත්‍යය ජනප්‍රිය ය.
නිවාස සහ සෞඛ්‍ය පහසුකම්
එහි නිවාස ප්‍රශ්නය උග්‍ර ය. 1960 ගණන්වල පැවති නිවාසවලින් බොහොමයක් පහත් තත්වයේ ඒවා විය. දිවයිනේ දකුණේ උක් වතුවල කම්කරුවන්ගේ නිවාස, බැරැක්ක හා සමාන ය. නිත්‍ය සේවයේ යෙදෙන අය සඳහා කුඩා ගෙවල් සාදා දී ඇත. ඒවා සෑදීමට පොල් අතු උණබම්බු ආදිය උපයෝගී කර ගෙන තිබේ. සාපේක්ෂ වශයෙන් තරමක් සෞභාග්‍යමත් සිබාඕ කලාපයේ නිවාස ශක්තිමත් ලෙස සාදා තිබේ.
නගරවල අල්ලාගත් ඉඩම්වල කුඩා පැල්පත් ය. 'ගෙටෝස්' නමින් හැඳින්වෙන මේවා සාදා ඇත්තේ කාඩ්බෝඩ්, ටින් කෑන්, රබර් ටියුබ් ආදියෙනි. බොහෝ ගෙවල්වල බලයේ සිටින ජනාධිපතිගේ පිංතූරයක් පුදපූජා සහිතව තබා ගනී. අනෙක් අතට නව ව්‍යාපාර හා කර්මාන්තවල යෙදී ඇති විශිෂ්ට ඉහළ පැලැන්තියේ අය නවපන්නයේ නූතන නිවාසවල වෙසෙති.
සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්තව ඇත්තේ විශාල නගරවල ය. දුප්පත් ජනතාව අතර පෝෂ්‍ය හා සෞඛ්‍ය පහත් තත්වයක පවතී. ළදරු මරණ සංඛ්‍යාව ද ඉහළින් පවතී. ගම්බද ප්‍රදේශවල පාරම්පරික දේශීය බෙහෙත් වර්ග සහ අත්බෙහෙත් භාවිතා වේ. ධනවත් අය සඳහා පෞද්ගලික සායන, සාත්තු නිවාස, මාතෘ නිවාස ආදිය ඇත. ආරෝග්‍යශාලාවල නැවතීමට මුදල් අය නොකෙරේ.
සමාජ තත්වය
ඩොමිනීකන් රාජ්‍යයේ ද සමාජ තත්වය සංවර්ධනය වෙමින් පවතින ඇමරිකානු රටවල් හා සමානය. සුළු ගොවියෝ ඉතා වෙහෙස මහන්සි වී වගා කෙරෙන දෑ අතරමැදියන්ට විකුණති. ගම්බද ප්‍රදේශවල කුඩ විවීම, වළං සෑදීම, ඉදිකොළ තොප්පි ගෙතීම වැනි අත්කම්වල යෙදී ජීවිකාව කරන අය ද සිටිති.
කම්කරුවන්ට ඉතා අඩු කුලියට වැඩ කිරීමට සිදුව ඇත. ජීවන වියදම අධික ය. ජන සංඛ්‍යාවෙන් බහුතරයට ලැබෙන්නේ අඩු ආදායමකි. එනම් ගොවියන්, කෘෂි කම්කරුවන්, ගෘහ සේවකයන් සහ නුපුහුණු කම්කරුවන්, ගෘහ සේවකයන් සහ ඉදිකිරීම් වැඩවල යෙදෙන්නන් ආදීන්ට ය.
පරිපාලනය හා ආණ්ඩු ක්‍රමය
ජාතික ව්‍යවස්ථාදායකය සාමජිකයන් 27 දෙනෙකුගෙන් යුත් සෙනෙට් මණ්ඩලයකින් ද සාමාජිකයන් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (චෙම්බර් ඔෆ් ඩෙපියුටීස්) ද සමන්විත ය. ජනතාව ජනාධිපතිවරයෙකු සහ ව්‍යවස්ථාදායකය තෝරා පත් කරති. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය නම් කරයි. වයස අවුරුදු 18ට ඉහළ පුරවැසියන් ඡන්දය දී පත් කෙරෙන විධායකය හා ව්‍යවස්ථාදායකය වසර හතරක් සේවයේ සිටී. සෙනට් මණ්ඩලයට එක් පළාතකින් එක් නියෝජිතයෙකු ද ජාතික දිස්ත්‍රික්කයෙන් එක් නියෝජිතයෙකු බැගින්ද තෝරාපත් කෙරේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට එක් පළාතකින් දෙදෙනෙකු ද ජාතික දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු ද තෝරා පත් කෙරේ.
ප්‍රදේශීය පාලනය
ඩොමිනීකන් රාජ්‍යය පළාත් 26කටත් ජාතික දිස්ත්‍රික්ක එකකටත් බෙදා ප්‍රදේශීය පාලනය සිදු කෙරේ. මධ්‍යම ආණ්ඩුව ජනාධිපති විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් මඟින් පළාත් ආණ්ඩු මෙහෙයවයි. සෑම පළාතක් ම ජාතික ද්වීමණ්ඩල ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත් කර ඇත.
පළාත් නාගරික සභා වශයෙන් නැවතත් බෙදී එම සභාවල නිලතල දරණ අය තෝරා පත්කරගනු ලබති.
මෑතක සිට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ එම රාජ්‍යයේ දක්නට ලැබේ. එහෙත් ඇතැම් ආර්ථික සහ සමාජයීය සංවිධාන ප්‍රජාතන්ත්‍රීකරණයට පටහැනි ලක්ෂණ පෙන්නුම් කරයි. නූගත් අය තම රැකියා නැතිවෙන බිය නිසා හෝ තීරණ ගැනීමට අදාල වන තොරතුරු නොලැබෙන නිසා හෝ තම ඡන්දය සේවායෝජකයන්ගේ අණ පරිදි පාවිච්චි කරති. එහෙත් මෑතක සිට පහළ ආදායම් ලබන අය දේශපාලන වශයෙන් දැනුවත්ව සිටිති. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර රටවල පක්ෂපාතිත්වය ඩොමිනීකානු දේශපාලන ජීවිතයේ ඉතා සැලකිය යුතු කොටසක් රඟපෑමට ඉඩ තිබේ.
අධිකරණය සහ හමුදාවන්
ඩොමීනිකන් රජයේ නීති පද්ධතිය නැපෝලියන් නීති සංග්‍රහය මත පදනම් ය. සෙනෙට් මණ්ඩලය මඟින් නම් කරන ලද විනිශ්චකරුවන් මඟින් සිවිල් හා අපරාධ නඩු විනිශ්චය කෙරේ.
1916 සිට 1924 තෙක් ඇමෙරිකා එක්සත් ජනපදයට යටත්ව සිටි කාලයේ දී නූතන හමුදාව සංවිධානය කෙරිණි. වර්තමානයේ දී හමුදා වෙන ම සංවිධානය වී තිබේ.
ට්රුජිලෝගේ රාජ්‍යතන්ත්‍ර කාලය තුළ දී හමුදාව ආඥාදායකය පවත්වාගෙන යමින් බලය හා තත්වය ඉසිලූහ. හමුදාවන්ගේ පක්ෂපාතිත්වය නොමැතිව කිසි ම රජයකට බලයේ රැදීසිටීමට නොහැකි බව වර්තමානයේ පැහැදිළි වූ කරුණකි.
ඩොමිනීකන් රාජ්‍යයේ ඉතිහාසය
ඩොමිනීකන් රාජ්‍යය පිහිටි හිස්පැනියෝලා දූපත ප්‍රථමවරට සොයාගනු ලැබුවේ 1492 දී කොළොම්බස්ගේ ප්‍රථම මුහුදු ගමනේ දී ය. එහි පළමු යුරෝපීය ජනපද වැසියෝ ස්වදේශිකයන් විසින් මරුමුවට පත් කරන ලදහ. කොළොම්බස් නැවත වතාවක් එහි පැමිණ දෙවන ජනපදයක් පිහිටුවී ය. දකුණුදිග ප්‍රදේශයේ රන් ආකර ගැන පුවත ඇසූ එම පිරිස ඒ ජනපදය අතහැර දමා සන්තො දොමින්ගෝහි ජනාවාසය පිහිටුවී ය.
එවක් පටන් හිස්පැනියෝලා දූපත කෙරෙහි ස්පාඤ්ඤ යටත්විජිත ප්‍රතිපත්ති යොමු විය. එහි ප්‍රතිඵල වශයෙන් ඉතා පැරණි දෙව්මැදුරත් පූජකවාසයත් ආරෝග්‍යශාලාවත් එහි පිහිටුවිණ. රෝමානු කතෝලික පල්ලියේ අධිකාරිය තදින් ම එල්ලවුණි. වහලුන් පිරි සමාජයක් ද එහි බිහිවුණ අතර නව ලෝකයේ පළමුවන කැරැල්ල ද එහි වාර්තා විය. ස්පාඤ්ඤයන්ගේ අණසක යටතේ එම දූපත ධනයෙන් පිරී ගියේ ය. ස්පාඤ්ඤය සතු ඇමෙරිකානු අධිරාජ්‍යයේ මධ්‍යස්ථානය ද එය විය. එහෙත් පසු කාලයේ දී පේරු හා මෙක්සිකෝවෙන් වඩා ලාභ ප්‍රයෝජන ගැනීමට හැකි බව පෙනී ගිය හෙයින් වෙනත් දකුණු ඇමරිකානු රටවල රන් හා රිදී ලැබුණු හෙයින් 1550 වන විට ස්පාඤ්ඤයන් විසින් මේ ප්‍රදේශ අත්හරින ලදී. එයට පසු උදා වූ සියවස් තුන ඇතුළත එම ප්‍රදේශයට දිළිඳු රටක් ලෙස සැලකිල්ලක් යොමු නොවුණි. බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ලන්දේසි යන ජාතීන්ගේ කොල්ලකෑම්වලට ද ලක්විය. කල් යෑමේ දී ප්‍රංශ ජාතිකයෝ දූපතේ බටහිර කොටස වූ හයිටි අල්ලා ගත්හ. 1795 වන විට යුරෝපයේ ඇති වූ ප්‍රංශ විප්ලවවාදී යුද්ධවල ප්‍රතිඵලයක් වශයෙන් ස්පාඤ්ඤය ඩොමීනිකන් රාජ්‍යයට අයත් කොටස ද ප්‍රංශයට ම භාර දුන්නේ ය. සමානත්වය පිළිබඳ විප්ලවකාරී අදහස්වලින් අභාසය ලැබීමෙන් ද වහලුන්ට විදීමට සිදුවූ අමානුෂික තත්වය ද නිසා හයිටිවල වහලුන්ගේ කැරැල්ලක් හටගත්තේ ය. ඔවුහු දූපතේ ස්පාඤ්ඤය සතු කොටසට ද පැමිණ වතුයායවල් අවුළුවමින් පාලන බලය හිමි සුදු රදළ පන්තිය ද බියගැන්වූවෝ ය. 1809 දී බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ආධාර ඇතිව ඩොමිනීකන් ප්‍රදේශයට පැමිණි හයිටි වැසියෝ නෙරපා දමන ලදහ. එම ජනපදය ස්පාඤ්ඤය සමඟ නැවත එක්සත් කෙරුණ ද එය පැවතියේ ටික කලකට පමණි. 1821 දී ඩොමිනීකන් රාජ්‍යය නිදහස ප්‍රකාශ කළේ ය. එයට පසුව නැවතත් හයිති වැසියෝ මුළු දිවයිනේ ම පැතිර ගියහ. එහෙත් ජීන් පියර් යටතේ ඔවුහු වහලුන් නිදහස් කළහ. 1830 දී ඩොමීනිකන් රාජ්‍යයේ නිදහසේ පියා වශයෙන් සැලකෙන ජුවන් පැබ්ලෝ ඩුආටේ හයිටිවාසිකයන් හා යුද වැදීමට රහස් සමාජයක් සංවිධානය කළේ ය. 1844 දී එය සාක්ෂාත් කර ගැනීමට හැකි වුව ද ඔවුන් රටින් පිටුවහල් කරන ලදි. එහෙත් නව රාජ්‍යය නැවතත් අයහපත් පාලකයන් අතට පත්විය. 1844-1899 දක්වා කාලය තුළ දී ඩොමිනීකන් රාජ්‍යයේ ඒකාධිපති ආඥාදායකයන් කිහිපදෙනෙකු බලය අල්ලා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය මතුවීම වළක්වන ලදි. ඔවුන් අතුරින් කැපී පෙනෙන පුද්ගලයන් දෙදෙනෙකු වූයේ පෝදෝ සැන්ටානා සහ බාඑස් ය.
දේශාපාලන අස්ථාවරභාවය නිසා රටේ ආර්ථිකය බිඳවැටී තිබුණු 1916 වර්ෂයේ දී මේ දේශයෙහි පාලනය ඇමෙරිකා එක්සත් ජනපදයට යටත් විය. 1916-1924 දක්වා කාලයේ දී ඇමෙරිකානු පාලනය ඩොමිනීකන් ජනරජයේ නව මහාමාර්ග, පාසල්, සෞඛ්‍ය ආයතන, ඉදිකිරීම් ආදිය කෙරුණු නමුදු හමුදා පාලකයෝ තම බලය අනිසි ලෙස පාවිච්චි කළහ.
1924 දී ඩොමිනිකාවේ පැවති මැතිවරණය ඇමෙරිකා එක්සත් ජනපදයේ අධීක්ෂණය යටතේ සිදු විය. එයින් තෝරා පත් වුණු ජනාධිපති වූ හොරේෂියෝ වැස්කුවේගේ දූෂිත පාලනය හේතුවෙන් වෙළෙඳ පොළ බිඳ වැටිණි. 1930 දී කැරැල්ලක් ඇති විය. එකළ රෆෙල් ට්රුජිලෝ යටතේ තිබූ හමුදාව බලය රඳවාගෙන සිටියහ. ඔවුන් රජයට විපක්ෂ වීමෙන් විප්ලවය ජයගත්තේය. එයට පසුව හමුදා නායක ට්රුජිලෝ ආඥාදායකයා විය.
1930සිට 1961 දක්වා පැවති ඔහුගේ පාලනය එහි සිට ආඥාදායකයින් අතරින් දීර්ඝතම මෙන්ම කුරිරුතම පාලනය ද විය. ඔහුගේ අධික බලය උපයෝගී කර ගෙන ආර්ථිකය දියුණු කිරීමට තැත් කළේ ය. එය නූතන සමාජයක් බවට පරිවර්තනය විණි. එහෙත් 1961 දී ට්රුජිලෝ මරුමුවට පත් කිරීමෙන් පසුව පැමිණි පාලකයන්ට ද වැඩි කලක් බලයේ සිටීමට හැකි වූයේ නැත.
1963 දී ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික ලෙස පත් වුණු රජයේ පාලකයා වූයේ ජුවන් බොෂ් ය. එහෙත් මාස හතකට පසු ඔහු ද බලයෙන් පහකැරුණි. අනතුරුව පාලකයින්ගෙන් කිසි සහනයක් නොලැබූ සමාජය ඉච්ඡාභංග තත්වයට වැටී තිබුණි. 1965 දී ඩොමිනිකන් රටේ ප්‍රජාතාන්ත්‍රීය සමාජවාදී විප්ලවයක් ඇති විය. දෙවන කියුබාවක් ඇති වීම වැළැක්වීමට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් එවූ හමුදා ආක්‍රමණයෙන් විප්ලවය මැඩ පැවැත්විණි.
1966 දී ඩොමිනිකාවේ නව මැතිවරණයක් පැවැත්වීමෙන් යොකීන් බලගුවේර් ජය ගත්තේ ය. ඔහු යටතේ මානව හිමිකම් උල්ලංඝනය මධ්‍යයේ වුව ද ආර්ථික හා සමාජීය වෙනස්කම් ඇති කරමින් රට ස්ථාවරත්වයට පත්කැරුණි. 1970 දී ඔහු නැවතත් තේරී පත්විය. 1971 දී ඇති වූ කුමන්ත්‍රණය මැඩ පැවැත්වීමට ඔහුට හැකි විය. 1996 දී බලයට පත් වූ ලියොන් ෆර්නැන්‍ඩේ යටතේ ආර්ථිකය තවත් ශක්තිමත් විය. 2000 වර්ෂයේ දී හිපොලිටෝ මෙජියා ජනාධිපති ලෙස තේරී පත්වුණි. ඒ අනුව ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මෙහි ඇති වූ බව කිව හැකි ය.
කුඩා රටක් වූ ඩොමිනිකන් ජනරජයට සාම්ප්‍රදායානුකූල සංස්කෘතියක් නැත. එහි වැසියෝ යුරෝපයට හෝ ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට කැමැත්තක් දක්වති. රටේ ප්‍රගතියට බාධක වී ඇත්තේ සමාජ සංවිධාන ය. ට්රුජිලෝ යටතේ පැවති අත්තනෝමතික පාලනය ජනතාවගේ සිත්සතන් තුළ පවතී. ඔහුගේ මරණින් පසු ආර්ථිකය වැටිණි. වැසියෝ තම නිදහස නැති වුව ද සාමයෙන් ජීවත්වීමට ප්‍රිය කරති. ජන සංඛ්‍යාවේ පීඩනය තිබුණත් දුප්පතුන්ට ආර්ථික වාසි ලබා දීම සිදු කෙරේ.
(කර්තෘ: එස්මි ජී. ද සිල්වා)
(සංස්කරණය: කේ.එන්.ඕ. ධර්මදාස)