ඩෝෆිනේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රංශයේ ඓතිහාසික සහ සංස්කෘතික ප්‍රදේශයකි. ප්‍රංශයේ පැරණි ඩෝෆිනේ යන පළාතට මේ ප්‍රදේශය සමාන්තරව පවතී. ප්‍රංශයේ ඉසියර්, හෝට්ස් ඇල්ප්ස් සහ ඩ්‍රෝටෙ යන පාලන කොටස් ඩෝෆිනේ ප්‍රදේශයට අයත් ය.

පැරණි ඩෝෆිනේ පළාතේ නාභිය වූයේ වියනොයි යන සිටුවරයාට අයත් ප්‍රදේශයයි. මුල් කාලයේ දී මෙය ආර්ල්ස් රාජධානියේ කොටසක් ද රෝමන් අධිරාජ්‍යයේ කොටසක් ද විය. එහෙත් 1929 දී වියනෝයි ප්‍රදේශයේ දකුණු කොටස, ඇල්බොත්වල සිටුවරයා වූ I වන ගුයීගේට අයත් පාලන කොට්ඨාසයට ඈඳා ගන්නා ලදි. ඔහු, ආල්ස් රාජධානියේ තවත් ප්‍රදේශ කිහිපයක් ද එකතු කරගත්තේ ය. 1132-1142 දක්වා කාලයේ දී මුණුබුරකු වූ IV වන ගුයිගේ යන සිටුවරයා 'ඩෝෆින්' යන නාමය ප්‍රථම වරට දැරූ තැනැත්තා විය. 1162 දී එම ආධිපත්‍යය ඇලිබන් පවුලේ සිට බර්ගන්ඩි පවුලට හිමිවිය. 1282 වන විට එය අයත් වූයේ ලා ටූර් ඩි පින් යන පවුලට ය.

13 වන සියවස අවසානයේ දී වියනොයි යන පාලන තන්ත්‍රයට සාම්ප්‍රදායික ව පැවති ඩෝෆින් යන නාමය, නම්බු නාමයක් බවට පරිවර්තනය වී තිබිණි. එම පවුල විසින් අත් කරගෙන තිබූ පාලන කොට්ඨාස ඩොෆිනේ යන නමින් ප්‍රකට විය.

ලා ටූර් ඩි පින් යන පෙළපතට අයත් ඩෝෆින්වරු තම ආධිපත්‍යය ව්‍යාප්ත කරගනිමින් රාජ්‍ය හා අධිකරණ කටයුතු වර්ධනය කර ගත්හ. එහි විසූ II වන හ්‍රම්බර්ට් ඔහු සතුව තිබූ මූල්‍ය සම්පත් ක්ෂය වීමෙන් 1349 දී ප්‍රංශයේ පස්වන චාල්ස් යන අනාගත රජතුමාට ඩොෆිනේ ආධිපත්‍යය විකුණුවේ ය.

තමන්ගෙන් පසු ඔටුන්න හිමි අයට ගිවිසුමකින් ඩෝෆිනේ භාරදීම සඳහා ප්‍රංශ රජවරුන් අනුගමනය කළ පුරුද්ද ආරම්භ කළේ V වන චාල්ස් රජු ය. පසු කලෙක දී XI වන ලුවී වූ II වන ලුවී යන ඩෝෆින්වරයා 1453 දී ඩෝෆිනේ පිළිබඳ උසාවියක් (Court of Dorphine) පිහිටුවී ය. ඔහුගේ පියා වන VII වන චාල්ස් රජු සමඟ ඇති කරගත් අඩදබරවල දී තම භූමි ප්‍රදේශවල අර්ධ නිදහස් තත්වයෙන් ඵල ප්‍රයෝජන ගැනීමට ලුවී තැත් කළේ ය. අවසානයේ දී ඩෝෆිනේ ප්‍රදේශය ප්‍රංශයට ඈදා ගැනීමට සමත් වූයේ 1457 දී ය.

1628 දී ප්‍රංශ රජය ඩෝෆිනේවලට අයත් දේපොල අත්හිටවා එය තුළ ප්‍රදේශීය පාලනය ද දුර්වල තත්වයකට ගෙන ඒම සඳහා වැදගත් රාජකීය නිලධාරියකු එම ප්‍රදේශය භාරව ක්‍රියා කිරීමට පත් කළේ ය. 1788 ප්‍රංශ විප්ලවයට මූලික හේතුවක් වූ 'ස්ටේට්ස්-ජෙනරල්' කැඳවීම ඒ හා සම්බන්ධ සිද්ධියකි. 1788 දී ග්‍රීනෝබල් යන ස්ථානයේ දී පැවැත් වූ රැස්වීමෙන් පසු විසියෙල් අවට ඇති දේපොල නීති විරෝධී ව එකතු කිරීම නිසා ස්ටේට්ස් ජනරාල් කැඳවීම ආසන්න හේතුව විය. 1789 දී ප්‍රංශ විප්ලවය ආරම්භ වීමට මෙය බලපෑවේ ය.

භූ රූප විද්‍යාත්මක වශයෙන් ඩෝෆිනේ ප්‍රදේශය සමන්විත වන්නේ ප්‍රංශයේ ග්‍රිනොබල් නගරයට නැගෙනහිරින් පිහිටි බිහිකඳුකරයයි. එය යුරෝපයේ ඇල්ප්ස් කඳුවල බටහිරින් ම පිහිටි බිහි කන්දකි. ඩෝෆිනේ ප්‍රදේශයේ බටහිර මායිම රෝන් ගංගා නිම්නය වන අතර එයට දකුණින් ප්රෝවෙන්ස් පළාත ය. ඉසියර් පළාතේ ගතානුගතික ගොවිපලවල් ගලින් නිම වූ ඒවා ය. ඒවායේ වහල පැති හතරකින් යුක්ත ය. එහි ගලා බසින ඉසියර් ගංගාව හා ඩ්‍රෝමෙ ගංගා නිම්න දිගේ තනා ඇති ෂාලේ යන කුඩා ගෙවල් (Chalets) ද ගලින් තැනුනු ඒවා ය.

තැනින් තැන ප්‍රොතෙස්තන්ත ප්‍රදේශ තිබුණ ද ඩෝෆිනේ රෝමානු කතෝලික ප්‍රදේශයකි. ගම්පළාත් පුරා දේශන ශාලා පිහිටුවා තිබේ. විශේෂ අනතුරු සහිත ස්ථානවල කුරුස ඉදිකර තිබේ. දකුණු ඉසියර්හි පිහිටි අයිගිල් කඳුකරය, ඩෝෆිනේවල පුරාවෘත්ත පුදුම හතෙන් එකකි.

ප්‍රදේශයේ ආහාර සඳහා ගනු ලබනුයේ කේජු, මාලු, පොකිරිස්සන්, අර්තාපල්, හතු සහ පළතුරු ය. ශාන්ත මාසෙලන්වල එළුවන් හා එළදෙනුන්ගෙන් ලබා ගත් කිරිවලින් කේජු නිෂ්පාදනය කෙරේ. චාට්‍රියුස්වල පිහිටි කර්මාන්තශාලා 130ක මත්පැන් පෙරීම කරනුයේ 16 වන සියවසේ අනුගමනය කළ ක්‍රමයට අනුව ය.

(කර්තෘ: එස්මි ජී. ද සිල්වා)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩෝෆිනේ&oldid=6003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි