දකුණු ඉන්දීය සභාව
මෙය වර්ෂ 1947 සැප්තැම්බර් 27 වන දින මදුරාසියේ සාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේ දී ස්ථාපනය කරන ලදි. කොන්ග්රිගේෂනලීය හා ප්රෙසිබිටීරියානු සභාවලින් යුත් 'දකුණු ඉන්දීය එක්සත් සභාවේ' දස ලක්ෂයකට ආසන්න සාමාජිකයන් පිරිසකගේත් මෙතෝදිස්ත සභාවේ දකුණු ඉන්දීය ප්රාදේශිකයේත් ඉන්දීය, බුරුම හා ලංකා එංගලන්ත සභාවට අයත් දකුණු ඉන්දිය පදවිවලත් ඒකාබද්ධවීමෙන් එලෙස ස්ථාපනය කරන ලදි. එහි ප්‍රථම පරිපාලක වශයෙන් තේරී පත්වුණේ එම්. හෝලිස් රදගුරුතුමා ය. රදගුරුවරුන් නොමැති සභාවන් ඓතිහාසික රදගුරු සංඝය හා බැඳුණු සභාවන් සමඟ මුල්වරට එක්තැන් කරමින් ‘දකුණු ඉන්දීය සභාව’ සාසන එකමුතුව පිණිස සුවිශේෂත්වයක් දරයි. තමන් සතු කොන්ග්රිගේෂනලීය ප්‍රෙස්බිටීරියානු හා එපිස්කෝපලීය සම්ප්‍රදායන් පවත්වා ගන්නට මෙම සභාව වෙහෙස දරතත් මේ එක සම්ප්රදායක් හෝ අඛණ්ඩ ව රැගෙන යාමක් පමණක් ඉන් අදහස් නොකෙරේ. ‘දකුණු ඉන්දීය සභාව’ පිහිටුවනු ලැබූ දින සිට ම බැප්තිස්ත හා ලුතරාන සභාවන් සමඟ එක් වී නොමැත. ‘දකුණු ඉන්දීය සභාව’ ස්ථාපනය කිරීමේ සාකච්ඡා ඇරඹුණේ 1706 වසරේ ප්‍රථම පෙන්තකොස්ත ධර්මදූතවරුන් ඉන්දියාවට ගොඩබට ස්ථානය වූ ත්රන්කබාර්හි දී 1919 මැයි මස පැවති සමුලුවක දී ය. නිල ඒකාබද්ධ කමිටුවක් 1920 දී වැඩ කටයුතු ආරම්භ කළ අතර එකමුතුවේ පදනමක් ව්‍යවස්ථාවක් 1941 දී නිකුත් කරන ලදි. මේ එකමුතුව මූලික වශයෙන් ඇති කර ගන්නා ලද්දේ 1888 ‘ලැම්බත් සිවපාක්ෂිකයෝ’ නියමයන් අනුසාරයෙනි. පළමු කරුණු තුන සම්බන්ධයෙන් දුෂ්කරතාවක් පැන නොනැඟුණමුත් ඓතිහාසික රදගුරු සංඝය පිළිබඳ සිව්වැනි කරුණ දීර්ඝ සාකච්ඡාවකට භාජනය විය. රදගුරුවරුන් මඟින් ම අභිෂේක කෙරෙන රදගුරු සංඝය පිළිගන්නටත් එහෙත් එහි අර්ථය පිළිබඳ කිසිදු න්‍යායයක් ගෙන හැර නොපෑමටත් එකඟතාවකට එළැඹිණ. සිටියා වූ එංගලන්ත සභා රදගුරුවරුන් පස්නම පිළිගන්නා ලද අතර අමතර රදගුරුවරුන් නව නමක් අභිෂේක කරන ලද්දේ එකමුතුවන ඒ ඒ සභාවන්ගෙන් නියෝජිතයන් ද ඇතුළුව ය. මෙම 14 දෙනාගෙන් 6 දෙනෙක් ඉන්දියානුවෝ ය. 8 දෙනෙක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ය.
ඒකාබද්ධ වන සමයේ එලෙස එකමුතු වූ සභාවන්හි සියලු ම සාමාජිකයන් ‘දකුණු ඉන්දීය සභාවේ’ පූර්ණ සාමාජිකයින් ලෙසින් බාරගන්නා ලද අතර එම සභාවල සියලු ම දේවගැතිවරුන්ට වැඩිදුර පූජකවරයකින් තොරව පූර්ණ නිලයක් දානය කරන ලදි. කෙසේ වෙතත් රදගුරු අබිසෙස් නොලද පූජකතුමකු පිළිගන්නට ස්ථානීය සැදැහැ සංඝයකට බල නොකෙරෙන අතර එකමුතුවෙන් අනතුරුව 'දකුණු ඉන්දීය සභාවට' පිවිසෙන සියලු ම දේවගැතිවරු රදගුරුතුමන්ලා මඟින් අභිෂේක කරනු ලබති. 1955 ලැම්බත් සමුලුව මේ එකමුතුව සම්බන්ධයෙන් විශේෂ නියමයන් ඉදිරිපත් කළේ රදගුරුතුමන්ලා මගින් අභිෂේක නොකෙරුණු දේවගැතිවරුන් පිළිගැනීම නිසා ය. එහෙත් අන්තර් සාංඝිකත්වයේ සීමිත ස්වරූපයකට එමඟින් අනුමැතිය ලැබිණි. ලෝකයේ වෙනත් ස්ථානවල ද අදා සභාවල මව් සංවිධාන අතරේත් ‘දකුණු ඉන්දීය සභාවේ’ මේ සැලැස්ම නිසාත් වෙනත් තැන්වලත් මෙලෙස එකමුතුවේ අවකාශ දකින අන් අය අතරේත් පුළුල් සාකච්ඡාවනට මෙම ‘දකුණු ඉන්දීය සභාවේ’ මෙවන් විකාශයක් තුළින් මඟ සැලසී ඇත. වෙසෙසින් ම මෙබඳු සමාන තත්වයන් යටතේ එකමුතුව පතා වෙහෙසෙන අනෙකුත් යොවුන් සභාවනට ද ‘දකුණු ඉන්දීය සභාව’ ආදර්ශයක් දී තිබේ.
දකුණු ඉන්දියාව තුළ දැරෙන එකමුතු වෑයමට බෙහෙවින් මුල්වූයේ වඩාත් ප්‍රබල දහම් සේවාවක් සලසා දීමේ අභිලාෂයයි. අපරදිග සභාවන් හා ධර්ම ප්රචාරක සමාජයන්ගෙන් වැඩි ස්වාධීනත්වයක් ලැබ තමන්ගේ ම අවශ්‍යතාවනට ඔබින සභා පැවැත්මක් සොයා යෑම ඉන්දීය කිතුණුවන් විසින් අරඹන ලද්දේ වැඩෙන ජාතිකාභිමානයකින් යුතුවයි.
ආශ්රිත ග්රන්ථ
Significance of South India - එම්. හෝලිස් (1996)
Church of South India - බී. සුන්ඩ්කලර් (1954)
(කර්තෘ: බෙනඩික්ට් ජෝශප් පියතුමා)
(සංස්කරණය නොකළ)