දාස්පෙතියා
(Marigold) (Tagetes erects) කොම්පොසිටේ (Compositae) (සූරියකාන්ත) කුලයට අයත් බහුලව හමු වන වාර්ෂික (annual) පැළෑටියකි.
කඳ අකාෂ්ඨීය වේ. අඩි තුනක් පමණ උසට වැඩේ. සංයුක්ත පක්ෂවත් (pinnately compound) පත්‍ර වින්‍යාසයක් ඇති එක් පත්‍රයක පත්‍රිකා 11-17 අතර සංඛ්‍යාවක් හට ගනී. පත්‍රිකා පිහිටීම අසමපක්ෂ (imparipinnate) ය. පත්‍රිකාවක් සෙ.මී. 1-5ක් පමණ දිග ය. මි.මි. 2-10ක් පමණ පළල ය. පත්‍රිකා හැඩයෙන් ලංසාකාර (lanceolate) ය, පාදයන් සිහින් ය, පත්‍ර අග්‍රය තීව්‍ර (acute) හෝ අතිත්‍රීව්‍ර (acuminate) හෝ වේ. පත්‍ර දාරය දන්තුර (dentate) හෝ කර පත්‍රික (serrate) හෝ වේ. පත්‍ර දාරයේ දන්තාකාර කොටස්වල පාදයෙහි විශේෂ සඝන්ධවත් ද්‍රව්‍යයක් ශ්‍රාවය කරන ග්‍රන්ථි පිහිටා තිබේ. දාස්පෙති ශාකයේ සුවිශේෂ සුවඳට හේතු වන්නේ මෙම ශ්‍රාවයයි. වර්ණවත් කැපී පෙනෙන පුෂ්ප මංජරි සහිත ය. පුෂ්ප මංජරිය ශීර්ෂකයකි (Capitulum). ශීර්ෂකයේ පුෂ්ප මංජරී අක්ෂය (inflorescence axis) උත්තල මඬලක් බවට ක්ෂීණ වී ඇත. පුෂ්ප මංජරිය වෘන්තය සෙ.මි. 5-15ක් පමණ වේ. පුෂ්ප මංජරිය නිපත්‍ර වලයෙන් (involucre of bracts) වට වී තිබේ. ශීර්ෂකයේ පාදයේ පිහිටි මෙම නිපත්‍ර වලය සෙ.මී. 2ක් පමණ දිග ය. සෙ.මි. 4-7ක පමණ පරිධියෙන් යුක්ත ය, සංයුක්ත (fused) ඛණ්ඩ 5-8ක් පමණ ඇත. මේ එක් එක් නිපත්‍ර ඛණ්ඩයේ දාරය ඔස්සේ සඝන්ධවත් ද්‍රව්‍යය ශ්‍රාවය කරන ග්‍රන්ථි 6-7ක් පමණ පිහිටා ඇත.
පුෂ්ප මංජරියේ අංශු පුෂ්පිකා (ray-florets) හා මණ්ඩල පුෂ්පිකා (disc-florets) වශයෙන් පුෂ්ප වර්ග දෙකකි. මණ්ඩල පුෂ්පිකා පුෂ්ප මංජරියේ මධ්‍යගත ව පිහිටා ඇත. අංශු පුෂ්පිකා බාහිර වලයක් සේ පිහිටා ඇත. අංශු පුෂ්පිකා ජිහ්වල (ligulate) ය. ජායාංගී ශීර්ෂකයේ ඉතා ළපටි මල් මැදට වන්නටත් වඩා පරිණත මල් පිටතට වන්නටත් ඇත. අංශු පුෂ්පිකාවල පාදස්ථ කොටස නාලාකාර ය. මි.මි. 7ක් පමණ දිග ය. ජිහ්වලය ප්‍රත්‍යණ්ඩාකාර (obovate) ය, දිගින් මිලිමීටරයක් පමණ වන අතර පළලින් මි.මි. 13ක් පමණ වේ. අග්‍රය දෙකට බෙදී ඇත. දල ළා කහ, තද කහ, තැඹිලි යන වර්ගවලින් යුක්ත විය හැකි ය. මේ නිසා ම ගෙවතු අලංකාර කිරීම පිණිස ඈත අතීතයේ සිට ම ශ්‍රී ලංකාවේ මෙම ශාකය වවනු ලැබේ. අලංකාරය සඳහා විශේෂයෙන් වගා කරන ප්‍රදේශවල පුෂ්ප මංජරියේ මායිම් වටයේ පුෂ්පිකාවල අතිශය දීප්තිමත් රන් පැහැයෙන් යුතු ජ්හ්වලය ඛණ්ඩිකා හතරකට පමණ විභේදනය වී ඇත. එම ප්‍රභේදයේ අංශු පුෂ්පිකා දිගින් මි.මි. 5ක් පමණ ද පළලින් මි.මි. 3ක් ද වේ. නාලාකාර මණ්ඩල පුෂ්පිකාවේ මුකුට නාලය මි.මි. 1.3-1.5ක් පමණ දිගු ය, එහි නිදහස් දාරය මි.මි. 4ක් පමණ දිගැති ඛණ්ඩිකාවලට විභේදනය වී ඇත. මණ්ඩල පුෂ්පිකා බූ සහිත විය හැකි ය. එක් බීජයක් බැගින් පිහිටන සිප්සෙලාව (Cypsela) නමැති ඵලය පරිණත වීමේ දී කළු පැහැයට හැරේ. දිගින් මි.මි. 8-9ක් පමණ වේ.
මෙම ශාකයේ ජන්ම භූමිය වශයෙන් සැලකෙන්නේ මැක්සිකෝවයි. එහෙත් කැපී පෙනෙන අලංකාර පුෂ්ප මංජරිය හේතු කොට ගෙන ලෝකයේ බොහෝ නිවර්තන හා උපනිවර්තන කලාපීය රටවල ව්‍යාප්ත වී ඇත.
වර්ෂය පුරා පුෂ්ප පිපීම සිදුකරන දර්ශනීය ශාකයකි. නව විසිතුරු පැළෑටි අතර 'මේරි ගෝල්ඩ්' නමින් හඳුන්වන්නේ මෙම ශාකයේ ප්‍රභේදයකි. රත් පැහැය මිශ්‍ර මුකුටය සහිත නිසා ගෙඋයන් අලංකාර සඳහා එය අලුතින් සුලභ ව භාවිතයට පැමිණ ඇත.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)