දිගාමඩුල්ල
පාලි වංසකථාවන්හි හා අටුවාවන්හි දීඝවාපී මණ්ඩල, දීඝවාපිරට්ඨ යන නම්වලින් ද පැරණි සිංහල පතපොතෙහි හා අභිලේඛනයන්හි දිගාමඩුලු, දිගාමඩුල්ල යන නම්වලින් ද හැඳින්වෙන මෙම ප්‍රදේශය වර්තමානයෙහි හැඳින්වනුයේ ගල්ඔය නිම්නය යනුවෙනි. මෙම ප්‍රදේශය මණ්ඩල, ජනවු, වග සහ කුලිය යන අතුරු කොටස්වලට බෙදී තිබුණු හෙයින් එහි රට්ඨ යන නමින් හැඳින්වුණු දිස්ත්‍රික්කයක් නොව පළාතක් වූ බව පෙනේ. වර්තමානයෙහි ගල් ඔය නමින් දන්නා ගල්හොයි හෙවත් ගල්හ ගංගාවෙහි ඉවුරු දෙකෙහි ම එම පළාත පැතිර පැවැත්තේ ය.
ගෞතම බුදුරදුන්ගේ තෙවැනි ලංකා ගමනයේ දී උන්වහන්සේ දීඝවාපියට ද වැඩ (මතු) චෛත්‍යය පිහිටන ස්ථානයන්හි ද සමාපත්තියට සමවැදුණු බව දීඝවංස, මහාවංස යන ග්‍රන්ථ දෙක්හි ම සඳහන් වෙයි. එම සම්ප්‍රදායට අනුව දීඝවාපිය ලක්දිව බෞද්ධයන් විසින් සොලොස්මස්ථානයන්ගෙන් එකක් ලෙස සලකනු ලැබෙයි.
දීඝවාපී යන්නෙහි අර්ථය දිග වැව හෙයින් එම ස්ථානය හඳුනා ගැනීමෙහි උනන්දුවක් දැක් වූ ඇතැම් විද්‍යාර්ථීහු එම ප්‍රදේශයේ ප්‍රධාන ලක්ෂණය දිග වැවක් වශයෙන් සලකා එබන්දක් සෙවීමට යත්න දැරූහ. ඔවුන්ගෙන් එක් අයකු වූ එච්. පාකර් මහතා උහනට සැතපුම් 6ක් පමණ නිරිත දිගින් ඇති මහකණ්ඩිය වැව දීඝවාපිය වී යයි අදහස් කළේ ය. කෙසේ වුව ද දීඝවාපී නම් වූ වැවක් බැඳවීම ගැන පැරණි පොතපතෙහි කිසිවක් සඳහන් නොවන බවත් මධ්‍යකාලීන් යුගයේ ප්‍රස්තූත ප්‍රදේශය හැඳින්වීමට භාවිත කළ නාමයෙහි වාපි යන කොටසක් නොවූ බවත් පෙන්වා දෙන සී.ඩබලිව්. නිකොලස් මහතා එම පළාතහෙි වූ එක් වැවක් පළාතේ නමින් දීඝවාපී යනුවෙන් හැඳින්වෙන්නට ඇතැයි ද සිතිය හැකි යයි ද පවසයි. සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වූයේ භද්දකච්චානා කුමරිය හා සමඟ ලක්දිව් පැමිණි ඇගේ සොයුරන්ගෙන් කෙනෙකු වූ දීඝායු කුමරුවා විසින් පිහිටුවන ලද්දේ යයි මහාවංසයෙහි සඳහන් වන ජනාවාසය දීඝවාපිය වූ බවයි. ඒ මහතා එසේ නිගමනය කරන්නේ දිගාමඩුල්ල යන තන්හි දිගු යන රූපයක් දිගාමඩුලු යන තන්හි දිගා යන රූපයක් යන දෙක ම දීඝායු රූපයෙන් බිඳිණැයි සලකා ය.
දීඝවාපියෙහි සමුද්භාවය කුමක් වුව ද එය පැරණි රෝහණ රාජ්‍යයෙහි වැදගත් තැනක් බව වංස කථාවන්හි සඳහන් ඇතැම් තොරතුරුවලින් පෙනෙයි. කාකවණ්ණතිස්ස රජතෙමේ ජනපදය ආරක්ෂා කිරීම සඳහා තිස්ස කුමාරයා බලවාහන සහිතව දීඝවාපියෙහි රැඳ වූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. උතුරේ එළාර රජුගේ රාජධානියේ නැගෙනහිර දේශ සීමාව මහවැලි ගඟ වූ හෙයින් එම රජුගේ ප්‍රහාරයන් වැළැක්වීම සඳහා රෝහණ රාජ්‍යයෙහි ද මහවැලි ගඟ දිගට මහියංගනයේ සිට මුහුද දක්වා බලකොටු ඉදිකර තිබුණු බවත් එම දේශ සීමාවට ඉතා ඔබ්බෙන් පිහිටි දීඝවාපිය උතුරේ රාජධානියෙන් එල්ල වූ ප්‍රහාර වැළැක්වීමට සරිලන බල මධ්‍යස්ථානයක් වී යයි සැලකිය නොහැකි බවත් පවසන නිකොලස් මහතා මහාවංශයෙහි දැක්වෙන පරිදි දීඝවාපියෙහි ආරක්ෂා සංවිධාන යොදන ලද්දේ එළාර රජුගේ ප්‍රහාරයන් වැලැක්වීම සඳහා නොව තත්කාලීන ලංකාවේ රජු නාමය දරමින් ඒ ඒ ප්‍රදේශ යටත් කොට ගෙන විසූ ප්‍රදේශීය පාලකයන්ගෙන් රෝහණ දේශය ආරක්ෂා කර ගැනීම සඳහා ය යන අදහස ඉදිරිපත් කරයි.
දීඝවාපිය විශේෂයෙන් ම වැදගත් තැනක් ගෙන ඇත්තේ ආහාර නිෂ්පාදනය අරබයායි. කාකවණ්ණතිස්ස රජුගේ පටන් දුටුගැමුණු රජුගේ මරණ මොහොත දක්වා ම දීගවාපිය තිස්ස කුමරුගේ පාලනය යටතෙහි පැවැතීමෙන් එම ප්‍රදේශය රෝහණ රාජ්‍යයෙහි කෙතරම් වැදගත් තැනක් ගත්තේ ද යන බව හෙළි වෙයි.
තිස්ස කුමරු දීඝවාපියෙහි වාසය කරන කල්හි ඒ කුමරුගේ දෙටු පුත් ලජ්ජතිස්ස (ලඤ්ජතිස්ස) තෙමේ එහි කුම්භිල හෙවත් ගිරිකුම්භිල නම් විහාරස්ථානයක් ද කණිට් පුත් ථුල්ලක්ථන තෙමේ කන්දර නම් විහාරයක් ද කරවූ බව වංසකථාවන්හි සඳහන් වේ. මෙයින් පළමු කී විහාරය වර්තමාන බක්කි ඇල්ලෙහි දක්නා ලැබෙන නටබුන් අයත් ස්ථානයෙහි පිහිටි බව එහි ඇති සෙල්ලිපිවලින් හෙළි වී ඇත. අලකන්දර හා ලාකන්දර යන නම්වලින් ද හැඳින්වෙන දෙවනු කී විහාරය පිහිටි තැන තවමත් සොයා ගැනීමට පුලුවන් වී නැත. පාලි අටුවාවන්හි ලෝකන්දර, ලෝකුත්තර යන නම්වලින් හැඳින්වෙන්නේ මේ එකම විහාරය විය හැකි යයි නිකොලස් මහතා කල්පනා කරයි. ක්‍රි.පූ. 137 වැන්නේ දී රජ පැමිණි සද්ධාතිස්ස රජ තෙමේ දීඝවාපී චේතිය සහිත දීඝවාපී විහාරය කරවූයේ ය. දීඝනඩ, දීගානක යන නම්වලින් සිංහල වංසකථාවන්හි සඳහන් වන ඒ සෑය වසා එලන සත්රුවන් ඇවුණු සැට්ටයක් කරවූ බවත් රියසක් පමණ ඇති සිත්කලු රන්මල් කරවා ඒ දැල සන්ධියක් පාසා ඇවින වු බවත් මහාවංස කර්තෘ පවසයි. මෙම විහාරය පසු කලෙක පිළිසකර කරවූ බවක් හෝ එය අමුතුවෙන් අලංකාර කරන ලද බවක් ගැන වංසකථාවන්හි සඳහන් නොවේ. 18 වැනි සියවසේ මැද භාගයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතෙමේ නඛ චේතිය වැඳ පුදා ගැනීමට ගිය බව සඳහන් වුව ද එය දිඝවාපී චේතිය දැයි යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි ය. ඉරක්කාමම් අසල වේරගිඅඩි නම් ස්ථානයේ පිහිටි නටබුන් වූ ස්මාරකය නඛ වෙහෙර නමින් එම ප්‍රදේශවාසී ජනතාව විසින් හඳුන්වන ලද නමුත් 1924 වැන්න පමණ කාලයේ දී එම ස්ථානය සංඝාවාසයක් බවට යළිත් වරක් පත් වීමෙන් පසු දීඝවාපි චේතිය යනුවෙන් හඳුන්වනු ලැබෙන බවත් පැරණි දීඝවාපී චේතිය එය ම විය හැකි බවත් නිකොලස් මහතා අදහස් කරයි. දීඝවාපී ප්‍රදේශයට අයත් දිවුලාන වැවට නැගෙනහිර දෙසින් පිහිටි රාජගල හෙවත් රාස්සහෙළ නමින් දන්නා පර්වතය ආශ්‍රිතව බෞද්ධ ආශ්‍රම පදයක් පිහිටි බව එම පර්වතාතර ඇති කටාරම් සහිත ලෙන් සමූහයෙන් පැහැදිලි වේ. එම ලෙන් අතුරින් 20ක් පමණ ක්‍රි.පූ. 2 වැනි හා 1 වැනි සියවස්වලට අයත් අක්ෂරවලින් කොටන ලද ලිපි දැක්ක හැකි ය. එයින් ලිපි පහකින් පළ වන්නේ සද්ධාතිස්ස රජතුමාගේ පුතණුවන් දෙදෙනකු හා ඔවුන්ගේ භාර්යාවන් විසින් එම ලෙන් සඟ සතු කොට පූජා කරන ලද බවයි. එක් ලිපියක එන පර්වතයේ නාමය ධනතිගපවත යනුවෙන් අනුමානයෙන් කියවිය හැකි ය. ධාතුවංශයේ සඳහන් වන පරිදි සද්ධාතිස්ස රජුගේ මුත්තණුවන් වූ ගොඨාභය රජු විසින් දාන පබ්බත නමින් කරවන ලද විහාරය මෙහි ම වී දැයි යන්න මේ අනුව විමසා බැලිය යුත්තකි.
සද්ධාතිස්ස රජුගේ දෙටුපුත් ලඣ්ජතිස්ස රජතුමන් විසින් කරවන ලද කුඤ්ජරහීනක හෙවත් කන්දරහීනක විහාරය ද දීඝවාපියෙහි ම වී යයි සිතනු ලැබේ. එසේම පළමුවැනි සියවසට අයත් වූ පාචීනඝරක විහාරය ද දීඝවාපියෙහි නොවී නම් එහි ප්‍රත්‍යාසන්නයෙහි ඊට බටහිර දිගින් හෝ වයඹ දිගින් පිහිටියේ යයි සිතනු ලැබේ. එම මුල් යුගයේ දී දීඝවාපියෙහි සිට මහාගාම හෙවත් තිස්සමහාරාමය දක්වා දුර ප්‍රමාණය යොදුන් නවයක් වී යයි සලකන ලද බව පෙනේ. එම දුර ප්‍රමාණය සැතපුම් 70ක් හෝ 80ක් තරම් වේ. කෙසේ වුව ද ඒ පැරණි මාර්ගය කිනම් ප්‍රදේශයක් හරහා වැටී තිබුණේදැ'යි යන්න පැරණි පොතපතෙහි සඳහන් නොවේ.
ක්‍රි.පූ. 2 වැනි හා 1 වැනි සියවස්වලට අයත් නටබුන් සහිත ඓතිහාසික ස්ථාන කිහිපයක් ම දීඝවාපියෙහි දක්නා ලැබේ. දමන නම් ස්ථානයේ සිට ඊසාන දෙසට සැතපුමක් පමණ දුරින් පිහිටි පර්වතයක ශිලා ලේඛන සහිත ලෙන් හතක් දැක්ක හැකි ය. වටිනාගල නම් ගමෙහි ඉස්මත්තේ පිහිටි ගනේගම කන්ද නමින් දන්නා පර්වතයෙහි ද එබඳු ම ලෙන් සමූහයක් වේ. 53, 3/4 සැතපුම් කණුවට නුදුරුව පිහිටි සන්ගමන්කන්දෙහි ගල්කුලක නටබුන් වූ ස්තූපයක් දැක්ක හැකි ය. පාලමුනෙයි සමීපයෙහි මුල්ලිකුලම් මලෛ නම් ස්ථානයෙහි ද ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ලෙන් ලිපියක් හා ගිරි ලිපි දෙකක් වේ.
ක්‍රිස්තු වර්ෂාරම්භයෙන් මුල් සියවස්වලට අයත් වෙහෙර විහාර පිහිටි ස්ථාන කිහිපයක් ද ඒ ස්ථානයන්හි ඇති ශිලා ලේඛන අනුසාරයෙන් දත හැකිව තිබේ. කෝට්ටම අසල වේරපුදාව, උහනට සැතපුම් 6ක් දුරින් පිහිටි පොකුණු දෙක හා කොණ්ඩවට්ටවන් එබඳු ස්ථාන තුනකි. මෙයින් කොන්ඩවට්ටවන් නම් ස්ථානයෙහි ඇති පැරණිතම ශිලා ලේඛනය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ය. එම ස්ථානයෙහි ම ඇති, ක්‍රිස්තු වර්ෂාරම්භයෙන් මුල් සියවස්වලට අයත් ලිපි දෙකකින් එකක එම ස්ථානයෙහි වූ විහාරය හැඳින්වෙන්නේ අහලි අරබ විහර යනුවෙනි.
යට සඳහන් රාජගල හෙවත් රාස්සහෙල නමැති ස්ථානයෙහි දෙවැනි මිහිඳු රජුගේ රාජ්‍ය සමයට (777-797) අයත් ගිරිලිපි තුනක් වේ. එම ලිපිවලින් දැක්වෙන්නේ එකල අරිත්තරා වෙහෙර නමින් හැඳින්වුණු විහාරයකට ඈපායි දළස්වි (ආදිපාද දාඨාසිව), සෙන් හා වීරාංකුරා යන ප්‍රභූවරුන් තිදෙන විසින් ඉඩකඩම් පූජා කිරීමක් පිළිබඳ පුවතයි. (169-176)
දිගාමඩුලු ප්‍රදේශයෙන් ලැබුණු ශිලා ලේඛන අතුරින් කොණ්ඩවට්ටවන් නම් ස්ථානයේ වැවට නුදුරුව තිබුණු ටැම් ලිපියකින් 9 වැනි හා 10 වැනි සියවස්වල ලංකාවේ පැවැති සාමාජික හා ආර්ථික තත්ත්වයන් පිළිබඳ වටිනා තොරතුරු රැසක් හෙළි වෙයි. සිවුවන දප්පුල රජුගේ දස වැනි රාජ්‍ය වර්ෂයේ දී (934) පිහිටුවන ලද එම ටැම්ලිපිය වූ කලි එවක ඇරැගම් නමින් හැඳින්වුණු කොණ්ඩවට්ටවන් ග්‍රාමයේ පාලනය අරබයා පනවන ලද නීති මාලාවක් අඩංගු නිවේදනයකි. ( )
දිගාමඩුලු පළාත ඉතිහාසයෙහි අවසාන වරට වැදගත් තැනක් හිමිකර ගත්තේ I වැනි පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයේ (1153-1186) දී ය. පරාක්‍රමබාහු රජ තෙමේ රුහුණු රාජ්‍යය සතුව තුබුණු දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලබා ගැනීමටත් රුහුණු රාජ්‍යය නතුකර ගැනීමටත් කළ සටන්වලින් සෑහෙන සංඛ්‍යාවක් දිගාමඬුලු පළාතෙහි ද සිදු විය. චූලවංසයේ (74, 89-111, 179-182, 751-12) එන ඒ සටන් පිළිබඳ විස්තර දිගාමඩුල්ල රෝහණ රාජ්‍යයේ වැදගත් තැනක් ගත් බව තවදුරටත් සනාථ කරයි.
(කර්තෘ: ආර්.එච්.එම්. පියසේන: 1997)
(සංස්කරණය නොකළ)