දිඹුලාගල
දිඹුලාගල
පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් මෙම ස්ථානය ප්‍රසිද්ධියක් උසුලයි. මේ සිද්ධස්ථානය පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. එය සංඝයා වහන්සේලා වාසය කළ වාස භවණයක් විය. මේ ස්ථානයට පොළොන්නරුවට සැතපුම් 12ක් ඔබ්බෙහි පිහිටා ඇති අතර එය කුඩා කඳු පර්වතයකි. පොළොන්නරුව-මඩකලපුව මාර්ගයේ මනම්පිටියන් හැරී සැතපුම් 5ක් පමණ දුරක් ආපසු ගමන් කළ විට මේ ස්ථානයට ළඟා විය හැකි වන්නේ ය.
පොළොන්නරු යුගයේ දී බෞද්ධ ශාසනයට සේවය කිරීම අතින් හා බෞද්ධ රජුන්ට අනුශාසනා ආදිය දීමෙන් ද මෙහි සිටි සංඝයා වහන්සේලා රටට මෙන්ම ආගමට ද සේවය කළේ ය. විශේෂයෙන් ම පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨතම රජු වශයෙන් සැලකෙන I පරාක්‍රමබාහු රජුගේ කටයුතුවල දී එතුමාට අනුග්‍රාහ ආදිය කළේ මෙහි වඩ සිටි භික්ෂුන් වහන්සේලා ය. දිඹුලාගල ආරණ්‍යයට ඉතා පැරණි ඉතිහාසයක් ඇති බව ලංකාවේ පැරණි මූලාශ්‍ර දෙස බැලීමෙන් වටහා ගත හැකි වන්නේ ය. මේ පිළිබඳව මහා වංශය වැනි මූලාශ්‍රත් දිඹූලාගල ඇති සෙල්ලිපිත් අපට බොහෝ ආධාර උපකාර වෙයි. මහාවංශයේ පණ්ඩුකාභය සමය දක්වන කොටසේ උදුම්බරගිරි, ධූමරක්ඛ පබ්බත යන නම්වලින් හැඳින්වෙන්නේ මේ පෙදෙස් යයි සලකනු ලැබේ. මෙයින් පසු බුදුසමය ලංකාවට පැමිණි පසු දේවානම් පියතිස්ස රජතුමා මහාවිහාරය කරවා ලංකාවේ බොහෝ තැන්වල සිද්ධස්ථාන ඉදිකළ බව දැක්වේ. ඒ සිද්ධස්ථාන අතුරෙන් එකක් ලෙස දිඹුලාගල ද සැලකෙන්නේ ය.
වළගම්බා රජ සමයේ පැවැති ද්‍රවිඩ ආක්‍රමණ හා රට තුළ වූ කැරලි කාලයේ දී ඒ රජු ද දිඹුලාගල සැගවී සිටි එය ආරක්ෂක ස්ථානයක් ලෙස ප්‍රයෝජනයට ගෙන සිටියේ ය. පසුව හෙතෙම ජයග්‍රහණය කොට නැවත අනුරාධපුරයේ රාජ්‍යත්වය ලබා ගැනීමෙන් පසු දිඹුලාගල පූජනීය පෙදෙස අංග සම්පූර්ණ කොට භික්ෂූන් වහන්සේලාට පූජා කොට එහි නඩත්තුව සඳහා ගම්බිම් ද පූජා කර ඇත. දිඹුලාගල මහ කඳුවැටියේ ඇති සොහොන් ගැබ් එහි විසූ රහතන් වහන්සේලාගේ යයි සාමාන්‍යයෙන් සැලකේ. මේ පෙදෙස පිළිබඳ වැදගත් තොරතුරු නැවත දක්නට ලැබෙන්නේ I විජයබාහු රජුගේ කාලයේ දී ය. මේ කාලය වන විට ලංකාවේ බුදු සමය පිරිහී ගොස් තිබුණ අතර උපසම්පදාව මුළුමනින් ම තුරන්ව තිබූ හෙයින් දිඹුලාගලට නුදුරු මහවැලි ගඟේ අත්තකින් උපසම්පදා කර්මය කළ අතර ඒ සඳහා රාමඤ්ඤ රටෙන් භික්ෂූන් ගෙන්වා ගත්තෝ ය.
මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී මේ විහාරය ඉතා උසස් තත්වයක තිබූ බවට සාක්ෂි ඇත. මේ කාලයේ දී පෙර නොවූ විරූ තරමේ ශාසනික සේවයක් දිඹුලාගල මුල් කොට ඇති විය දිඹුලාගල කාශ්‍යප හිමියෝ මෙම කාර්යයෙහි මුල් තැනක් ගෙන කටයුතු කළේ ය. එතුමාගේ ශාස්ත්‍ර හා ආගමික දැනුම ද විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ය. මේ රහතන් වහනසේගේ මූලිකත්වයෙන් විනය සංගායනාවක් ද කළේ ය.
මේ ස්ථානයෙන් ලැබුන සෙල්ලිපි දෙකක් ඇත. ඉන් එකක් බ්‍රාහ්මි අක්ෂරවලින් ලියවුණ එකකි. එය ඉතාමත් පැරණි සෙල්ලිපියක් වන අතර ඵුස්ස නම් ප්‍රධානියාගේ දියණිය වූ චිත්‍රා නම් උපාසිකාව සංඝයාට දෙන ලද පිදීමක් සම්බන්ධව කොටවා ඇත.
මේ ලෙන් ගුහා දෙකක ඉහලින් 11 සියවසට අයත් සෙල්ලිපි දෙකක් වේ. ක්‍රි.ව. (1111-1132) කාලයට අයත් වන සෙල්ලිපියක I වික්‍රමබාහු රජුගේ බිසව වූ සුන්දර මහා දේවිය විසින් පූජා කළ ලෙන් පිළිබඳ විස්තර දැක්වේ.
නිශ්ශංකමල්ල රජුගේ කාලයේ සහ ඉන්පසුව වූ නොයෙකුත් අභ්‍යන්තර අර්බුද නිසා දිඹුලාගල ශාසන සේවය ද ක්‍රමයෙන් පිරිහී ගියේ ය. පොළොන්නරු රාජධානියට කාලිංග මාඝගෙන් එල්ලවුණ පහරින් පසුව විනාශයට පත් වූ දිඹුලාගල ජරාවට පත් වී මෑතක් වන තුරුම වන ගහණ විය.
මේ ස්ථානය ආගමික වශයෙන් අනුරාධපුර රාජධානිය සමයේ දී මිහින්තලාව බෞද්ධ ශාසනයට කරන ලද සේවයට සමාන සේවයක් පොළොන්නරු යුගයේ දී බෞද්ධ ශාසනයේ දියුණුව සඳහා ඉටු කළේ ය. මෙහි වැඩ සිටි රහතන් වහන්සේලාගේ සංඛ්‍යාව අප්‍රමාණ විය.
බෞද්ධ ආගමික කටයුතු අතරින් එකල පැවැති අරියවංශ සූත්‍රය මේ ස්ථානයේ දේශනා කළ බව රසවාහිනියේ සඳහන්ව ඇත්තේ ය. එවකට පැවැති ජනප්‍රිය ධර්ම දේශනාවක් වූ අරියවංශ සූත්‍රය දේශනා කිරීම මහාදාඨික මහානාග රජුගේ කාලයේ දී හමසකට වරක් සිදු වූ බවත් ඒ ඇසීම පිණිස දිඹුලාගල අවට සිව් යොදුනක සිට ජනයා පැමිණි බවත් එහි සඳහන් වේ.
මෑතක, එනම් ක්‍රි.ව. 1962 වැනි කාලයක නැවත දිඹුලාගල ප්‍රතිසංස්කරණය වූ බව දක්නට ලැබේ. මෙහි පැරණි නටබුන් නැවත පිරිසිදු කොට සම්බන්ධ වූයේ මේ යුගයේ දී ය. පසුව මෙහි විසූ භික්ෂූන්ගේ අනුග්‍රහය ද ඇතිව මේ අවට ජනාවාස ඇති කිරීමේ කටයුතු යෙදිණ.
(කර්තෘ: ජී.එච්. ආරියසේන)
(සංස්කරණය නොකළ)
දිඹුලාගල
පොළොන්නරුවෙන් සැතපුම් 15කට ඔබ්බෙහි මඩකලපුව අතට වන්නට පිහිටා තිබේ. මූදු මට්ටමේ සිට අඩි 1,700ක් පමණ උස් ය. මඩකලපු පාරේ මනම්පිටියෙන් හැරී ගොඩ අතට සැතපුම් තුන හතරක් ගිය විට මේ පර්වතය හමු වෙයි.
මහාවංසයේ පණ්ඩුකාභය කුමාර කථාවේ එන 'දූම්රක්ගල'යි, මේ. 'තුම්බිරියංගණ' විල ද පර්වයට පෙනේ.
මුලින් මේ පර්වතය 'දුඹුලාගල' නමින් හැඳින්වූයේ විය යුතු ය. එහි ඇති ශිලා ලේඛනයක් ද මේ නම් ඇත. 'දුමරකාබ පබ්බත' නමින් මහාවංස කතුතුමන් පාලියට නැගුයේ දුඹුලාගල විය හැකියි. පසුව එය දිඹුලාගල වන්නට ඇත.
මලියදේව රහත් හිමි ද එහි විසූ වග සද්ධර්මාලංකාරයේ මේඝවර්ණ වස්තුවෙහි එයි. මහා පරාක්‍රමබාහු යුගයේ මෙහි බොහෝ ශික්ෂාකාමී උගත් භික්ෂූහු වූහ.
මහපැරකුම්බා නිරිඳුන් කැරවූ ශාසන ශෝධනයෙහි ප්‍රධාන වූ මහා කාශ්‍යප හිමි එහි වී.
මහ පැරකුම්බාවන් කැරවූ කතිකාවතෙහි 'උදුම්බගිරි' නමින් සඳහන් වූයේ මේ පර්වතයයි.
දාගැබ හා විහාරය නටබුන් ව ඇත. මේවා ඇත්තේ පර්වතයේ පාමුලට ළංවන්නට ය. ඊට ඉහළින් පර්වතයේ අනික් අතට වන්නට 'සඳමහ ලෙන', 'ගිරිමහ ලෙන' නමින් ගුහා දෙකකි. මේ ගුහා දෙකට ළංවන්නට ඇති මාර්ගයෙහි දුෂ්කරතාව මඟ හැරවීම පිණිස මහ විජයබාහු නිරිඳු පුත් වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වූ සුන්දර මහා දේවිය විසින් පඩි පෙළක් කැරවූ වග සඳහන් ශිලා ලේඛනයක් ද එහි ඇත.
උදුම්බරගිරියේ 'චන්ද්‍රමුඛ' නම් ගල් ලෙනක මලියදේව රහත් හිමි විසූ වග රසවාහිනියේ සඳහන් වෙයි. දැනට 'සඳ මහ ලෙන' නමින් හැඳින්වෙන්නේ මේ 'මෘදු මුඛ ගුහාව' විය හැකියි. දිඹුලාගල අසල තවත් කුඩා කඳු ගැටයක පැරණි සිතියම් සහිත ගල් ගෙයක් ඇත්තේ ය.
පුරාවිද්‍යා අධිකාරීතුමාගේ අදහස මේ චිත්‍ර ලක්දිව පැරණි චිත්‍ර අතර ඉතා උසස් තැනක් ගන්නා බව ය. සීගිරි චිත්‍ර හා සමකාලීන විය හැකි ය. පොළොන්නරුවේ බිතුසිතුවම්වලට වඩා මේ සිතියම් පැරණි ය.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)
(සංස්කරණය නොකළ)