දිසාපතිවරු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලක්දිව ප්‍රධාන ප්‍රදේශ හතරට සිව් මහා දිසාව යයි කියන ලදි. පොළොන්නරු දඹදෙණි කාලවල මහදිශාවලින් වෙන් කරන ලද දිශාවෝ සොළසක් වූහ. මහදිශාවල් සමහර අවදිවල රාජ කුමාරයන් විසින් ද පාලනය වූ බව පෙනේ. දිසාවන්හි සීමාවන් වරින් වර වෙනස් කරනු ලැබූ බව පෙනේ. මේ දිශාවල් පාලනය කරනු ලැබූ නිලධාරීන්ට දඹදෙණි යුගයේ දී දිසානායක යයි නම් කරන ලදි. මහනුවර සමයෙහි අදිකාරම්වරුන්ට දිසාපතිකම් ද පවරා තිබුණේ ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සමයෙහි ප්‍රදේශ නොහොත් පළාත් දොළසක් දිසාපතිවරු දොළොස් දෙනෙකු විසින් පලනය කරන ලද්දේ ය. ඩොයිලි මහතාගේ විස්තරයේ හැටියට ඒ දිසාවල් දොළස මෙසේ ය.

1. හතර කෝරළේ

2. හත් කෝරළේ

3. ඌව

4. මාතලේ

5. සබරගමුව

6. තුන් කෝරළේ

7. වළපනේ

8. උඩ පළාත

9. නුවරකලාවිය

10. වෙල්ලස්ස

11. බිම්තැන්න

12. තමන්කඩුව යනුයි.

මේ පළාත් පාලනය කළ නිලධාරියා දිසාව නම් විය. දිසාපති කෙනෙකුට විශාල බලතල තිබුණේ ය. තමා විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයෙන් රජයට ලැබිය යුතු ආදායම නොයෙක් නම්වලින් හැඳින්වෙන සුළු නිලධාරීන් ලවා අය කොට රාජ භාණ්ඩාගාරයට හෙවත් මහ අරමුදලට එකතු කිරීම දිසාපති කෙනෙකුට අයත් රාජකාරිය විය. සමහර ගම්වලින් බදු අය කර ගන්නවා වෙනුවට වැඩ කරවා ගැනීමට ද නියමවා තිබුණේ ය. දැකුම, වාහල, කද, යකඩ, වානේ, ලුණු, තෙල්, දී, මී ඉටි, බුලත්, හකුරු ආදිය ද බදුවලට අයත් වේ. දැකුමට මුදල් ප්‍රමාණයක් හෝ සාදන ලද ගිරා, කැති, පිහියා, කඩු ආදී භාණ්ඩ ද අයත් වේ. වාමල කද යනු ද එවැන්නකි. පොළොවෙන් ඉපැයෙන මැණික් වර්ග හා මුහුදෙන් සැපයෙන මුතු ද රජුට අයත් ය. බදු ප්‍රමාණය දිශාවට අයිති පළාතේ තත්ත්වය අනුව වෙනස් වේ. අදිකාරම්වරුන් විසින් අවුරුදු පතා මහා ගබඩාවට රිදී සියය බැගින් ගෙවන ලදි. අතපත්තුකාරයෝ ද, හේවාවසම්කාරයෝ ද කටුපුල්ලේ අය ද මහා ගබඩාවට දැකුම් ඔප්පු නොදුන්හ. නියමිත ගම්වලින් හාල් සේරු දොළසකින් හා පොල් ගෙඩි අටකින් යුක්තව වාර්ෂික වශයෙන් බඳනා ලද කදට වාහල කද යයි කියන ලදි. ගම් වැසියෝ මහ වාසලට මෙන් ම දිසාපතිවරුන්ගේ වලව්වටත් වාර්ෂික කත් බැන්දෝ ය. ඒවාට වලව් කත් යයි කීහ. සමහර වැසියෝ බදු නොගෙවා ඒ වෙනුවට කර්මාන්ත කළෝ ය. අලුත් ගොඩනැගිලි සෑදීම, පරණ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම, ඒ ඒ වුවමනාවන් සඳහා ලී දඬු සැපයීම, පාලම් තැනීම, වැව් බැදීම යනාදිය ඒ කර්මාන්තයන් අතුරෙන් සමහරෙකි. යුද්ධයක් ඇති වූ විට සිය දිසාවේ භටයන් සමඟ ගොස් සටන් කිරීමත් දිසාපති කෙනෙකුගේ සේවයයි. මහ දිසාපතිවරු හත් කෝරළය ආදී විශාල ප්‍රදේශයක් පාලනය කළෝ ය.

ලක්දිව ඉංග්‍රීසීන්ගේ පාලනයට පත් වුණාට පසු ආණ්ඩුවේ ඒජන්තවරුන් විසින් ප්‍රධාන පලාත් පාලනය කරන ලදි. පළමුවෙන් ම දිසාපති නාමය ලැබූ ඉංග්‍රීසි නිලධාරියා වූයේ ජෝන් ඩොයිලි මහතා ය. එකල පටන් ලක්දිව පළාත් නමයකට බෙදනු ලැබූ පසුත් පළාත්වල ප්‍රධාන ඒජන්ත තැනට මහ දිසාපති කියා ද දිස්ත්‍රික්කයක් පාලනය කළ උපඒජන්තවරුන්ට උපදිසාපති යයි ද ව්‍යවහාර කරන්ට පටන් ගන්නා ලදි. උපඒජන්ත හෙවත් උපඒජන්ත යටතේ රාජකාරිය කරන රටේ මහත්වරුන්ට ද උඩරට ගම් වැසියන් විසින් දිසා මහත්තයෝ, දිසා හාමුදුරුවෝ යයි කියන්ට පුරුදු වූහ. රටේ මහත්වරු දිසා හාමුදුරුවෝ යයි ගම්වැසියන් ලවා කියවා ගන්ට ගිජු වූවෝ ය. ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාත ව සේවය කළ ප්‍රධානීන්ට නම්බුනාමයක් වශයෙන් දිසාපති නම් පිරිනැමීමෙන් දිසාපතිකම නිල නොලත් නම්බුනාමයක් බවට පත් විය. රජයට සේවයකුත් නොකොට නිලධාරීන් සතුටු කිරීමෙන් දිසාපති නම්බුනාමය ලැබුවෝ ද උඩරට ජනයා අතර සිටිත්. මෙපරිද්දෙන් අදිකාරම් නාමය ද උඩරට සමහර ප්‍රධානීන්ට ඉංග්‍රීසි රජය විසින් පිරිනමා ඇත. එමතු ද නොවෙයි. රටේ මහත්කම, කෝරාළ ආරච්චි ආදී තනතුරු නාම නම්බුනාම වශයෙන් නොයෙක් දෙනාට ප්‍රදානය කොට තිබේ.

(කර්තෘ: පී.ඇම්.පී. අබයසිංහ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිසාපතිවරු&oldid=5063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි