දිළිඳු මායිම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතිහාසයේ ආරම්භයේ සිට ම සමාජයේ දිළිඳු සහ ධනවත් යන දෙකොටසක් ජීවත් වූ බවත් බොහෝ අවස්ථාවල දී වත්කම් ඇති අය නැති අයට උදව් උපකාර කළ බවත් පෙනේ. එහෙත් සීමිත අවශ්‍යතා කීපයකට පමණක් සීමා වූ සරල ජීවිතයක් හමුවේ දිළිඳුබව සමාජයේ බරපතල ප්‍රශ්නයක් නොවී ය. එහෙත් කාර්මික විප්ලවය හේතුවෙන් ක්‍රමයෙන් සංකීර්ණ වූ සමාජයේ දිවිය පහසු කරවන, දිවියේ ගුණාත්මක ලක්ෂණ වැඩි කරවන, වඩා සුඛෝපභෝගී ජීවිතයකට මඟ පාදන සොයා ගැනීම් දිනෙන් දින වෙළෙඳපලට එකතු වන සමාජයක ඒවා ලබා ගැනීමට හැකි හා නොහැකි මට්ටම් දෙකක් ඇති වී, නිරන්තරයෙන් ඒ මට්ටම්වල පරතරය වැඩි වන සමාජයක දිළිදුකම යනු මුළු මහත් සමාජයේ ම ප්‍රශ්ණයක් සහ වගකීමක් බවට පත් වී තිබේ. ජාතියක ආර්ථික ශක්‍යතාවය අබියස දිළිඳුකම යනු සමාව දිය නොහැකි තත්වයක් බව අද සැලකේ.

දිළිඳුබව යනු සමාජයක වගකීමක් නම් දිළිඳුබව සමාජයෙන් තුරන් කිරීම අවශ්‍ය ය. මේ සඳහා අවශ්‍ය සැලසුම් පිළියෙළ කිරීමටත්, සහන ආදිය සැලසීමටත් දිළින්දන් යනු කවර කොටසක් දැයි නිශ්චය කර ගැනීම අවශ්‍ය වේ. ඉතා ධනවත් ජන සංඛ්‍යාවකගේ සිට ක්‍රමයෙන් ඉතා ම දිළිඳු මට්ටමක ජීවත් වන ජන සංඛ්‍යාවක් දක්වා විහි දී යන ආර්ථික ශක්‍යතා රටාවක් වර්තමාන ලෝකයේ සෑම රටක ම පවතී. මේ හේතුව නිසා දිළිඳු අය දිළිඳු නොවන අයගෙන් වෙන් කර ගන්නා මායිම් තලයක් අවශ්‍ය වී ඇත. මේ තලය දිළිඳු මායිම සේ සැලකේ.

රටක දිළිඳු මායිම් තීරණය කිරීම ඉතා සංකීර්ණ කාර්යයක් වන අතර මෙය මුළු ලෝකය දක්වා ව්‍යාප්ත කොට මිණුමක් සැපයීම ඊටත් අසීරු කරුණකි. දිළිඳු මායිමක් තීරණය කිරීමේ නිගමනයක් ප්‍රථම වරට ඇති වූයේ 18 වැනි සියවසේ එංගලන්තයේ ය. මුල දී පැවැති ස්වයංපෝෂිත සමාජය බිඳ වැටී මතු වී ආ කාර්මික සමාජයේ දිළින්දන් වැටී තිබුණු අසරණ තත්වය මුළුමහත් සමාජයට ම දැනෙන්නට වූයෙන් ඔවුන් සඳහා සුභසාධන සහ පුනරුත්පථාන වැඩපිළවෙල සම්පාදනය කිරීම අවශ්‍ය විය. 18 වැනි සියවසේ දෙවැනි භාගයේ ආතර් යංග් සහ සර් ෆ්‍රෙඩ්රික් ඊඩ්න් සමාජයේ දිළිඳු ප්‍රමාණය තීරණය කිරීමේ සමීක්ෂණයක යෙදුණෝ ය. 1880 දී එක්සත් ජනපදයේ චාල්ස් බූත් සහ සීබොම් රවුන්ට්‍රී ද මෙවැනි ම සමීක්ෂණයක යෙදුණෝ ය. 19 වැනි සියවස අග එංගලන්තයේ හා ඇමෙරිකාවේ දිළිඳුකම පිළිබඳ වාර්තා සෙවීම වැඩි විය. ආදායම, ජීවන වියදම, රැකියා වියුක්තිය, පරිභෝජන වියදම්, නිවාස හා ඒවාගේ තත්වය පිළිබඳ සමීක්ෂණ කෙරිණ. 1965 දී ඇමෙරිකාවේ මොලී ඕර්ෂන්ස්කි පවුල්වල ජන සංඛ්‍යාව අනුව දිළිඳු බවේ මායිමට අයත් නොවීමට අවශ්‍ය ආදායම් මට්ටම් අනුව සමාජයේ කෙතෙක් දිළිඳු පවුල් සිටී දැයි වාර්තාවක් පිළියෙල කළා ය. අද ලොව පුරාම සංවර්ධිත හා සංවර්ධනය වන රටවල රජයයන් සිය රටවල දිළිඳු ප්‍රමාණය තීරණය කිරීම සඳහා සමීක්ෂණ සිදු කොට ඇත.

දිළින්දන් වශයෙන් සමාජයේ කවර කොටසක් ගැනේ දැයි තීරණය කිරීමේ දී ඒ සඳහා කවර මිණුම් දණ්ඩක් භාවිතා කළ යුතු ද යන්න විමසුමට ලක් විය යුතු විය. දිළිඳුකම යනු ධනය අහිමි බවයි. ජේ.එච්. හොලන්ඩර් නම් ආර්ථික විශ්ලේෂකයාට අනුව වත්කමක් හෝ ආදායමක් නැති බව, ආදායම් බෙදී යාමේ විෂමතාවය, අනුන්ගෙන් යැපීමට සිදු වීම, ප්‍රමාණවත් තරම් ආදායමක් නැතිකම දිළිඳු බවේ ලක්ෂණයි. මෙහි දී ආදායමේ ප්‍රමාණවත් බව විනිශ්චය කිරීමේ මායිම කුමක්ද? මිනිසා ජීවත් වන පරිසරය ඔහුගේ මානසික පරිසරය අනුව මෙය විශාල පරාසයක විසිරී යා හැකි මට්ටමකි. මිනිසාගේ දැනීම, අවබෝධය සේ ම ආශාවන් ද මෙහි දී අනිවාර්යයෙන් ම බලපායි. ප්‍රමාණවත් ආදායම යනු මෙපමණකැයි අන්තර් ජාතික වශයෙන් තබා ජාතික වශයෙන්වත් නිශ්චය කළ නොහැකි ය. එහෙත් මිනිසාගේ දිවිය රැක දෙන සුවය හා සතුට ලබා දෙන තරමට වත්කමක් වේ නම් එය සෑහෙන ආදායම් ප්‍රමාණයක් සේ තීරණය කොට, ඒ ප්‍රමාණය අහිමි ජන කොටසක් වේ නම් ඔවුන් දිළිඳු කොටස බව නිශ්චය කළ හැකි ය. එහෙත් නිරන්තරයෙන් වර්ධනය වන සාමාජයීය, තාක්ෂණික ආදී විවිධ අංශවල මට්ටම් නිසා මෙවැනි ආදායම් මට්ටමක් තීරණය කිරීම ඉතා ම තාවකාලික වූවකි.

වත් පොහොසත්කම් අනුව අද සමාජයේ අන්ත දිළිඳු, ප්‍රමාණවත් ආදායමක් නොලබන, අවම අවශ්‍යතා සපිරෙන, සැප පහසු දිවියක් ගතකරන හා සුඛෝපභෝගී ජීවිත ගත කරන යන සමාජ මට්ටම් පහක් ඇති බව පවසන සමාජ විද්‍යාඥයෝ මේ එක එක් මට්ටමක් අනෙක් මට්ටමෙන් වෙන් කෙරෙන රේඛා මායිම තීරණය කළ හැකි නම් දිළිඳු මායිම තීරණය කිරීම ද ඉතා පහසු කාර්යයක් බව කියති. එහෙත් ඇමෙරිකාව ප්‍රධාන ධනවත් රටවල් සේ ම සංවර්ධනය වන රටවල පවා එදා සුඛෝපභෝගී සේ ගැනුණ දේ අද සාමාන්‍ය සැප පහසුකම් පමණක් බවට ද පත් වී ඇති අතර සංවර්ධිත රටවල දිළිඳු අය පවා එදා ධනවත් අය පරිහරණය කළ සැප පහසුව අත්විඳිති. මේ ආකාරයේ ගලනයක් නිරන්තරයෙන් සිදු වන හෙයින් කිසියම් නිශ්චිත කාලයක් සඳහා ආදායම් මට්ටම් වෙන් කරන මායිමක් දැක්වීම අසීරු ය. මුළු ජාතියක් ම තවත් ජාතියකට වඩා දිළිඳු බව අද ලොවේ පවතින සාමාන්‍ය තත්වයකි. එහෙත් එවැනි රටක සියල්ලන් දිළින්දන් සේ තීරණය කළ නොහැක.

වත්කම් බෙදී යාමේ හා ආදායම් විෂමතාව අනුව දිළිඳු මායිම තීරණය කිරීමට වත්මන් සමීක්ෂකයන් පෙළඹී ඇත්තේ එය ගණනය කිරීමට පහසු ම ක්‍රමය නිසයි. එහෙත් නිතර සිහියේ තබා ගත යුතු වැදගත් කරුණකි, මුදලේ අගය නිරන්තරයෙන් වෙනස් වන බව. 20 වැනි සියවසේ ආරම්භයේ දී සැප පහසු ජීවිතයක් ගත කිරීමට ඇමෙරිකානු ඩොලර් 600ක වාර්ෂික ආදායමක් ප්‍රමාණවක් වුව ද තුන් වැනි දශකය එය ඇමෙරිකානු ඩොලර් 2,000 දක්වා ඉහළ නැංගේ ය. මේ තත්වය ලොව සියලු ම රටවලට පොදු ලක්ෂණයකි. භාණ්ඩ හා සේවාවන්හි නිෂ්පාදන වියදම් ඉහළ යාම සේ ම ඒවාගේ ගුණාත්මක භාවයේ ඉහළ යාම ද මෙයට හේතු වේ.

මෙසේ ගණනය කොට තීරණය කරන ලද ආදායම් මට්ටම නොලබන අයවළුන් දිළිඳු අය සේ නිශ්චය කෙරේ. ඇතැම් රටවල සුභ සාධක කටයුතු නිසා දිළිඳු මායිමෙන් පහළ සිටින ජනතාවට ද අධ්‍යාපන, සෞඛ්‍ය, ළදරු ආරක්ෂණ හා පෝෂණ වැඩ පිළිවෙලින් සහනයන් ලැබෙන හෙයින් මෙවැනි මුදල් මට්ටමකින් දිළිඳු මායිම තීරණය කිරීම ද සාවද්‍ය බව පෙනේ.

ආදායම් මට්ටම අනුව දිළිඳු මායිම තීරණය කෙරේ නම් පවුලේ සාමාජික සංඛ්‍යාව, වයස අවුරුදු 18ට අඩු සංඛ්‍යාව, පවුලේ ප්‍රධානියාගේ ස්ත්‍රී පුරුෂභාවය වැනි තොරතුරු ද ලබා ගැනීමෙන් වඩාත් නිවැරදි නිගමනයකට පැමිණිය හැකි වෙතැයි මොලී ඔර්ෂන්ස්කි තමා 1965 දී කළ සමීක්ෂණ වාර්තාව එළි දක්වමින් පැවසුවා ය. ඇයට අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලක වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් 3,000 ඉක්මවූයේ ද ඔවුන් දිළින්දන් සේ නොසැලකේ. තනි පුද්ගලයෙකුගේ නම් ඩොපර් 1,500 ඉක්මවීම දිළිඳු කඩයිමෙන් එතෙර වීමට සෑහුණි.

සමාජයේ මට්ටම් නීර්ණය කිරීමට හුදු ආදායම් ප්‍රමාණය පමණක් සලකා බැලීම ඉතා සරල ක්‍රමයක් සේ පෙනුන ද මේ තත්වය ඇති වී තිබෙන්නේ ඇමෙරිකාවේ සාමාන්‍ය පවුල් ඒකකයක් තම ආදායමින් 1/3කට වඩා වැය නොකොට ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සෑහෙන ආහාර සපයා ගන්නවා ය යන පදනම් මත පිහිටාගෙනයි. යම් පවුලකට සිය ආදායමින් 1/3ක් වැය කළත් සිය ආහාර ප්‍රශ්නය විසඳා ගත නොහැකි නම් ඔවුන් දිළිඳු කාණ්ඩයට ඇතුළත් වන බව සැලකේ. විවිධ සාමාජික සංඛ්‍යාවන් සිටින පවුල්වල ආහාර පරිභෝජන වියදම් එක් රැස් කොට එය තුනෙන් වැඩි කිරීමෙන් ගණනය කරන ලද ආදායම් ප්‍රමාණයන් අනුව දිළිඳු මායිමට හසු වන හා නොවන ප්‍රමාණය නිශ්චය කළ හැකියි. ඇමෙරිකාවේ 1960 හා 1980 වර්ෂවල පවුගේ සංඛ්‍යාව අනුව දිළිඳු මායිමේ තලයට නොවැටීම සඳහා අවශ්‍ය වූ ආදායම් ප්‍රමාණය මෙසේ ය.

පවුලේ සංඛ්‍යාව 1960 1980

1 1635 5000

2 2115 6500

4 3335 9900

9 5430 20000

විසි වසරක් තුළ දිළිඳු මායිමේ තීරක ආදායම, වෙනස් වූ ආකාරය මෙයින් පෙනේ. මෙහි දී වයස 65ට වැඩි අය සඳහා මායිම එක් අයෙකුට ඩොලර් 4,630 සහ දෙදෙනෙකුට ඩොලර් 5,840කි. මුදල් මට්ටම මේ සියල්ලට ම පදනම් වූ ආහාර වියදම් නිශ්චය කෙරුණේ සමාජ ආරක්ෂණ පරිපාලනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පිළියෙල කරන ලද සමබල අඩු වියදම් ආහාර මල්ලක මිල පදනම් කරගෙනයි. ඇතැම් විද්වතුන් විමසන්නේ මෙවැනි ආහාරවලින් ආහාර පරිභෝජනයෙන් ලබන වින්දනය ලැබේ ද යන්නයි. ආහාර සඳහා නාගරික වැසියන් වැඩි මුදලක් වැය කරන අතර ගම්බද හා ගොවිපල ආශ්‍රිත පවුල් වැය කරන්නේ සාපේක්ෂව අඩු මුදලක් හෙයින් දිළිඳු මායිම තීරණය කිරීමේ දී නාගරික, ගම්බද හා ගොවිපල ආශ්‍රිත පවුල් සඳහා වෙන වෙන ම පාදක මට්ටම් තිබීම ද අවශ්‍ය බව සැලකේ. මේ අනුව 1968 වසරේ දී ගොවිපල නොවන හා ගොවිපල ආශ්‍රිත පවුල්වල ජන සංඛ්‍යාව අනුව දිළිඳු මායිම තීරණය කිරීමේ අවම මට්ටම මෙසේ සැකසිණ.

පවුලේ සංඛ්‍යාව ගොවිපල නොවන ගොවිපල

1 1748 1487

2 2262 1904

3 2774 2352

4 3553 3034

5 4188 3577

6 4706 4021

7 5789 4916

සංඛ්‍යාත්මක වශයෙන් මුදල් අගයක් පදනම් කොට ගෙන තීරණය කරන ලද දිළිඳු මායිම නියත නිශ්චිත සීමාවක් වන අතර අවශ්‍ය ආදායම් දත්ත සැපයෙන්නේ නම් පවතින සමාජයේ දිළින්දන් සෙස්සන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමේ පහසු ම ක්‍රමයක් වේ.

දිළිඳු සංඛ්‍යාව නිශ්චය කිරීම සඳහා සමාජයේ පවතින ආර්ථික අසමානතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු යයි පවසන සමීක්ෂකයෝ අන්තර් බන්ධිත තත්ත්ව (RELATIVE STANDARD) යොදා ගැනීම වඩා වැඩදායක බව අදහති. දිළිඳුබවේ කඩයිමක් වශයෙන් මුදල්මය වටිනාකමක් කිසිසේත් යෙදිය නොහැකි බව පවසන ඔවුහු වසර ගණනකට පෙර දිළින්දන් පරිභෝජනය කරතැයි සිහිනෙන්වත් නොසිතූ දේවල් අද ඉතා සාමාන්‍ය දේවල් බවට පත් වී ඇති බව පවසති. ඔවුන් පවසන්නේ සංවර්ධනය වන රටක පවා දිළිඳු කොටස සේ සැලකෙන්නේ සමාජයේ බහුතරයක් ජනතාව භුක්ති විඳින දෑ නොලබන කොටස බවයි. මේ ක්‍රමය අනුගමනය කරන විට ඒ ඒ රටේ වෙසෙන නැතහොත් නගරයක වෙසෙන සෙසු අයට සාපේක්ෂව දිළිඳු කොටස් හඳුනා ගැනීම පහසු වෙයි.

මේ මතයට සහාය දෙන හර්මන් මිලර් නම් ආර්ථික විශ්ලේෂකයා පවසන්නේ ආර්ථික ව්‍යාප්තියේ පත්ලේ ම ඇති 1/5 කොටස දිළිඳු කොටස සේ සැලකීම වඩාත් සාර්ථක ක්‍රමය බවයි. මෙහි දී 1/5 යන අගය ම ගැනීමට හේතු නොදක්වතත් ඔහු පවසන්නේ ප්‍රධාන නගරයක පවා ජනගහණයෙන් 1/3ක් සැබවින් ම ප්‍රමාණවත් ආදායමක් නොලබන බවයි. 1951 වසරේ දී ඇමෙරිකාවේ ජනතාව අතුරින් ඩොලර් 2,000 ආදායමක් නොලැබූ ප්‍රමාණය ජන සංඛ්‍යාවෙන් 1/5කට සමාන වූ බවයි. 1961 දී අඩු ම ආදායම ලබන 1/5කගේ ආදායම් මට්ටම ඩොලර් 2,900 දක්වා ඉහළ ගිය ද දිළින්දන්ගේ සංඛ්‍යාව පෙර සේ ම පැවතිණ. වසර 10ක් තුළ ආදායම ඉහළ ගිය ප්‍රමාණය පමණක් සැලකුවේ නම් මේ අනුව දිළිඳු සංඛ්‍යාව හරි අඩකින් ම අඩු විය යුතු ය.

අන්තර් බන්ධිත තත්ත්ව මානය ගැලිබ්‍රේත්ගේ ප්‍රකාශයෙන් විවේචනයට ලක් වේ. ඔහු පවසන්නේ භෞතික සම්පත් අතින් සංවර්ධනය වූ ඇමෙරිකාව වැනි රටක වත්කම් මට්ටම් අතර තරඟකාරීබව හා එකිනෙක අතර අසමානතාව පිළිබඳ සංවේදීබව අතර කැපී පෙනෙන සබඳතාවක් නැති බවයි. ඔහුගේ පැහැදිළි කිරීම් අනුව ආදායමේ අඩුම මට්ටමේ හෙවත් දිළිඳු මායිමට අයත් වන 1/5ක කොටස අතර රටේ සමස්ත ආදායමෙන් 5%ක් පමණක් බෙදී ගිය අතර ආදායම් අතින් ඉහළ ම කාලයේ ජීවත් වූ 5%ක් අතර ආදායමෙන් 44%ක් බෙදී ගිය බව පෙනේ. රට සංවර්ධිත වුව ද දිළින්දන් හා ධනවතුන් අතර පරතරය පිළිබඳ සැබෑ චිත්‍රයක් දැක ගත හැකි වන්නේ මුදල් මට්ටමකින් නොව අන්තර් බන්ධිත තත්ත්ව මානයෙනි.

දිළිඳු මායිම තීරණය කිරීමේ දී මේ කවර මිණුම් ක්‍රමයක් යොදා ගත්ත ද අඩු පාඩු ඇති බව පිළිගත යුතු ය. තාවකාලිකව රැකියා අහිමි වීම, පවුලේ වත්කම් පිළිබඳ ව බොහෝ විට පිළිතුරු දීමට සිදුවන්නේ නිවසේ සිටින බිරිඳට බැවින් ඇය බොහෝ විට සැමියාගේ වත්කම හෝ ආදායම නියත වශයෙන් නොදැනීම, ආදායම් බදු ආදියට බියෙන් වත්කම් පිළිබඳව සැබෑ තතු එළි නොකිරීම ආදිය නිසා නිවැරදිව ම චිත්‍රයක් නොලැබුණ ද බොහෝ දුරට සාර්ථක නිගමනයන්ට මේ මඟන් එළඹිය හැකියි. සමාජ සේවා හෝ සුභ සාධන සේවා මඟින් ලැබෙන පහසුකම් ද මෙහි දී ගණනය නොවේ. මේ නිසා අද මේ මානයන්ට අමතර ව සෞඛ්‍ය, අධ්‍යපන, නිවාස, ළදරු මරණ සංඛ්‍යාව වැනි හොඳ ආදායමක අතරු ඵල ද විමසුමට ලක් කිරීමෙන් දිළිඳු මායිම තවත් පැහැදිළිව තීරණය කළ හැක.

ලොව පුරා සියලු රටවල් සිය වැසියන් අතුරින් දිළිඳු ගණයට අයත් කොටස ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමටත්, ඒ තත්ත්වයෙන් මිදෙන තුරු ඔවුන්ගේ සුභ සාධනයටත් පියවර ගන්නා අතර, මේ සහන ලැබීමට සුදුසු පුද්ගලයන් තේරීම සඳහා පෙර දැක්වූ මිණුම් ක්‍රම ම භාවිතා කරති. ඒ ඒ රටේ සංවර්ධිත තත්ත්වය අනුව මේ මායිමට හසු වන අයගේ ආදායම් මට්ටම් සාපේක්ෂ ව වෙනස් වන නමුදු සරල ව කිව හැක්කේ සෑම රටක ම පාහේ අඩු ම ආදායම් මට්ටමේ ජීවත් වන 1/5ක් දිළිදු මායිමේ පසු වන බවයි.

ලංකාවේ දිළිඳු මායිම මුල් අවධියේ සිට ම ලංකාවේ දිළිඳු ජනතාව සඳහා පියවර ගෙන තිබිණ. මුල් අවධියේ පිං පඩි ක්‍රමයක් තිබුණු අතර එය පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්ගේ නිර්දේශ මත දෙන ලද්දකි. පසු කලක ලංකාවේ දිළිඳු ජනතාව ඒ තත්ත්වයෙන් මුදවා ගැනීමටත්, ඔවුනගේ දිවි පවත්වා ගැනීමට තරම් වන සුභ සාධන කටයුතු කිරීම සඳහාත් රට තුළ දිළිඳු කොටසට වැටෙන්නන් සංඛ්‍යාව නිර්ණය කිරීම සඳහා සමීක්ෂණ ගණනාවක් සිදු කෙරිණ. මේවා ද බොහෝ දුරට විදේශයන්හි අනුගමනය කරන ලද සමීක්ෂණවලට සමාන වන අතර ඇතැම් වෙනස්කම් ද විද්‍යමාන වේ.

මෙහි දී යොදා ගත් ප්‍රථම ක්‍රමය ආහාර ජීව ශක්ති ක්‍රමයයි. මිනිසකුට අවශ්‍ය වන අවම පෝෂ්‍ය පාදාර්ථ ප්‍රමාණය ලැබෙන ආහාර මල්ලක මිල තක්සේරු කෙරේ. පවුලක පරිභෝජන වියදමට සාපේක්ෂව පවුලේ ආහාර වියදම, ලැබෙන කැලරි ප්‍රමාණය සහ පවුල් ඒකකයේ ආදායම ද ගණනය කළ යුතු ය. මෙයින් ආහාර සඳහා සිය ආදායමෙන් වෙන් කරනු ලබන කොටසින් කොපමණ ප්‍රමාණයක ජීව ශක්තියක් ලැබේ දැයි පැහැදිළි වේ.

මේ හැර පවුලක ආදායමෙන් කවර ප්‍රතිශතයක් අවම ශක්තිය ලැබීම සඳහා වියදම් කරන්නේ දැයි මිනුමට ලක් වන ආහාර අනුපාත ක්‍රමය ද භාවිත කෙරේ. මෙහි දී නාගරික ගැමි හා වතු අංශවල ආදායම් හා වියදම් වෙන වෙන ම ගණනය කොට ඒ ඒ අංශයට විශේෂ වූ 'ආහාර අනුපාත' පිළියෙල කෙරේ.

ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ දෙපාර්තමේන්තුව මඟින් කරන ලද සමීක්ෂණවලට අනුව පවුල් ඒකකයක වසන ඒ ඒ වයස් කාණ්ඩවලට අයත්, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ කැලරි සහ ප්‍රෝටීන පරිභෝජනය ඒක පුද්ගල දළ ආහාර වියදමට සාපේක්ෂව ගණනයි කිරීමෙන් ද දිළිඳු මායිමේ පසුවන්නන් නිශ්චය කර ගත හැක. ජාතික වශයෙන් දිළිඳු මායිම සෙවීමේ දී කරුණු තුනක් සලකා බලා, ඒවාට ගැලපෙන පවුල් දිළිඳු මායිමට අයත් බව තීරණය කරන ලදි. “1. පවුලේ සංඛ්‍යාවට නිශ්චිත වශයෙන් අවශ්‍ය වන කැලරි ප්‍රමාණය නොලබන පවුල්. 2. ලංකාවේ සාමාන්‍ය ආහාර අනුපාතය හෙවත් ආහාර වියදම සාමාන්‍ය පවුලක ආදායමින් 60%කි. මෙයට වඩා වැඩි ප්‍රතිශතයක් අහාර සඳහා වැය කිරීමට සිදු වන පවුල්. 3. වැඩිහිටියෙකු වෙනුවෙන් ආහාර සඳහා වියදම් වේ යැයි ගණන් බලා ඇති නිශ්චිත වියදමක් වැය කිරීමට නොහැකි පවුල්.” මේ කරුණු සොයා බැලීමේ දී ආහාර වියදම් අනුපාතය පවුලේ ආදායමින් 80% ඉක්මවා ගිය ද අවශ්‍ය අවම පෝෂණයවත් නොලබන, පෝෂණ අංශයෙන් අනතුරුදායක තත්ත්වයක පසු වන පවුල් ද සෑහෙන ප්‍රමාණයක් පවතින බව පෙනිණ.

1990/91 ආදායමින් වියදම් සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු අනුව අවශ්‍ය අවම කැලරි ප්‍රමාණය ලබා ගැනීම සඳහා ඒක පුද්ගල වියදම නාගරික ගම්බද හා වතු අංශයට එක සමාන නොවී ය. ලංකාවේ සාමාන්‍ය ඒක පුද්ගල වියදම රු.539.27 වන විට නගරබද රු.630.96, ගම්බද රු.479.50 හා වතු අංශයේ රු.454.46ක් ද විය. මේ අනුව දිළිඳු මායිමට හසුවන සංඛ්‍යාවෙන් විශාල ප්‍රමාණයක් නගරබද ජීවත් වූ බව ද පෙනිණ.

1990/91 සහ 1995/96 දී කරන ලද ශ්‍රම හමුදාව සහ සමාජයේ අර්ථික සමීක්ෂණවලට අනුව මෙරට දිළිඳු මායිමට වැටෙන්නේ රැකියා නැති වත්කම් නැති අය පමණක් නොවේ, රැකියා හා වත්කම් ඇති අය ද මේ කොටසට වැටිණ.

ලංකාවේ දිළිඳු සහන, දිළින්දන් නඟා සිටුවීමේ විවිධ වැඩපිළිවෙල දියත් කෙරිණ. ආහාර මුද්දර ලැබිය යුතු දිළිඳු අය සෙවීමේ දී මාසික ආදායම රු.700ට අඩු පවුල් ඒ සඳහා තෝරා ගන්නා ලදි. 1989 දී දියත් කෙරුණු 'ජන සවිය' වැඩ පිළිවෙළට ප්‍රථම දිළිඳු මායිමේ සිටියවුන්ට දෙන ලද ආහාර, මුද්දර ලැබීමට සුදුසුකම් ලැබූ ප්‍රමාණය මිලියන 7.8 හෙවත් ලංකාවේ ජන සංඛ්‍යාවෙන් 46%ක් විය. මෙහි දී මේ සහනය ලැබූ සියල්ලන් සැබවින් ම දිළිඳු මායිමේ සිටියවුන් විය නොහැක. එහෙත් පෙනී යන කරුණක් නම් සංවර්ධිත රටවල පහත් ම ආදායම් තලවල සිටිනා ජන සංඛ්‍යාවෙන් 1/5ක් පමණ වන දිළිඳු ජන සංඛ්‍යාවට සාපේක්ෂ ව ලංකාවේ දිළිඳු ප්‍රමාණය එමෙන් දෙගුණයකට ආසන්න බවයි. අන්තර් ජාතික ව පිළිගත් ඒක පුද්ගල ආදායම් මට්ටමට අනුව ද මෙය තවත් තහවුරු වෙයි.

ආශ්‍රිත ග්‍රන්ථ

POVERTY - JACKL ROACH & JANET K. ROACH AN ANALYTICAL DESCRIPTION OF POVERTY IN SRI LANKA - MARGA INSTITUTE

COUNTING THE POOR - ANOTHER LOOK AT THE POOR PROFILE - MOLLIE ORSHANSKY

INTERNATIONAL ENCYCLOPADIA OF THE SOCIAL SCIENCES

ENCYCLOPADIA OF THE SOCIAL SCIENCES

(කර්තෘ: පී. ඇල්ලේපොළ)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දිළිඳු_මායිම්&oldid=5059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි