දේශීය විෂ චිකිත්සාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රී ලංකාද්වීපයේ ඉතා ඈත යුගයේ පටන් ම සර්ප විෂ සම්බන්ධව විශේෂඥයින් උන් බව, නොයෙක් කාරණාවලින් අපට තේරුම් ගන්නට පුළුවන. දේශීය වෛද්‍ය ක්‍රම සඳහා ලියා ඇතිතාක් වෙද පොත් මෑත භාගයේ භාෂාවෙන් ම ලියන ලද ඒවා ය. පැරණි සිංහල බසින් ලියන ලද එක ම පොතක්වත් සොයා ගත නොහැකි විය. විෂ කුම්බ ගහේ මන්ත්‍රය වැනි ඉතාමත් ප්‍රකට මන්ත්‍රපවා වර්තමාන භාෂාවෙන් ම ලියා තිබෙන බැව් පෙනේ. ඒ නිසා මේ වෙදකම දැනට තිබෙන පොත්වල අරගෙන තිබෙන්නේ ඉතා මෑත කාලයේ බව පෙනේ. මා පරීක්ෂාකළ සියයකටත් අධික සර්ප වෙදපොත්වල බෙහෙත්වල නම් පවා වර්තමානයේ ව්‍යවහාර කරන නම් ය. සංස්කෘත භාෂාවෙන් ලියන ලද දේශිය සර්ප වෙදපොතක්වත් මට හමු වී නැත. මේ නිසා සර්ප වෙදකම බොහෝ දුරට පුරාතනයේ සිට ම කටපාඩමින් මතක තබා ගෙන ආ බව සිතන්නට කරුණු පෙනේ. රාසියක් බේත් හෝ වෛද්‍ය ක්‍රම මේ සඳහා උවමනා නොකරන හෙයිනි. අන්‍ය බේත් මෙන් කියා කර නොදෙන කාරණාවලින් එකක් නම් ඒ බැවිසි තනන්ට පුළුවන. හමු වූ සමහර සර්ප වෙදපොත් රහස්ක්‍රමවලින් ලියා තිබේ. ඒවා නොරහස් ක්‍රමයට සකස්කරගත්කල ඒවායේ භාෂාව ද මේ ඉතා මෑත යුගයේ භාෂාව ම ය. ඉන්දියාව වැනි රටවල ලංකාවේ නොමැති බොහෝ භයානක සර්ප වර්ග සිටිත්. ඒ නිසා එකිනෙකට වෙනස් විෂ වර්ග හා වෙනස් ප්‍රතිකාර ක්‍රම ගැන වෙන වෙන ම කරුණු සඳහන් පොත් ලියා තිබේ.

සිංහලයෝ ලංකාවේ සර්ප විෂ අතිභයානක ලෙස සැලකූ බවක් තේරුම් ගන්නට අපහසු ය. සාමාන්‍යයෙන් සර්ප විසෙන් ඇති වූ මරණ සංඛ්‍යාවද ඉතා අල්ප ය. ගමකට එක්කෙනා දෙන්නා ආදි වශයෙන් මේ පිළියම් කිරීමට දැන සිටියහ. ඒ අය බේත් තනා දුන්නා හැර බේත් කියා දුන්නේ නැත. ඒ සඳහා යොදන බේත්වලින් වැඩි හරිය ඉතා ම පහසුවෙන් සපයා ගත හැකි වූ නිසාත් සමහර ඒවා මිනිසුන් පිලිකුල් කරන ඒවා නිසාත් සමහර අයට මේ බේත් ගැන සිතේ බලවත් ඇල්මක් පවත්වාගන්නට බැරි නිසාත් යන කාරණා මුල් කරගෙනයි, ඒ කියානුදුන්නේ. අනිත් වෙදකම් මෙන් ම විෂ වෙදකම සඳහාත් යම් කිසි මුදලක් අයකොට නැත. ඔහුට හිමිවූයේ විෂ උරා දමන්නට දෙනතැටිය වැනි දේය.

උරග ප්‍රභේද

නයා, පොළඟා, මාපිලා, තෙලිස්සා, කරවලා, මමිනියා, ලේ මැඬිල්ලා, දෙපත් නයා, ඇහැටුල්ලා, හාල්දන්ඩා, කහ ගැරඩියා වැනි අපාදයෝද සිකනලා, මැඬියා, මීයා, බල්ලා, බළලා, රිලවා, කබරගොයා, ඉබ්බා, ආදි චතුස්පාදයෝද දිවිමකුළුවා, ගෝනුස්සා, ගරුඬා, පත්තෑයා, බඹරා, දෙබරා, කලාඳුරුවා, කනාමැඳිරියා, රාගඩුවා, ගෝනමරුවා, දලඹුවා, දල කඩියා, දිමියා, කොඩයා ආදි බහුපාදයෝ ද ලංකාවේ දක්නට ලැබෙන විෂ සහිත සත්වයෝ ය. ගරුඬා, මාපිල් හබරා, කරවලා ආදී සමහර සර්පයෝ ලංකාවේ ඇතැම් පළාත්වල සිටිති.

විෂත්වය

නයා, පොළඟා, මාපිලා, මාපිල්හබරා, නාග මාපිලා, කරවලා තෙලිස්සා, සිකනලා, දිවිමකුළුවා, යන අය පිළිවෙලින් විෂ අධික සත්වයෝ ය. අනිකුත් සත්තුන්ගේ විෂ වඩා සෑම තැන ම වාගේ ඒ විෂ නැති කළ හැකි බේත් පැළෑටි දැක්ක හැකි ය. ඒ පැළෑටිවල ද සමහර ඒවායේ විෂ පහකිරීමේ ගතිය ඉතා විසාල ය. සමහර ඒවායේ බලය අල්පය. ඉහත දැක් වූ සර්පයන්ගේ මෙනි.

මෙරට අය තම ආහාරයේ විශේෂ අංගයක් වසයෙන් පලා වර්ග භාවිතා කලහ. විෂ පහකිරීමේ බලයක් ඒ ආහාරයේ ඇති වූහ. ඒද ලංකාවේ වෙද කෙනෙකුට සර්ප විෂ පහසුවෙන් පහකරගැනීමට එක් හේතුවකි. සර්ප විෂ සම්බන්ධ ව බොහෝ දේ ඉගෙන ගත හැක්කේ වනචාරී සතුන් මේ සම්බන්ධ ව කරන දේවල් පරීක්ෂා කිරීමනි. ලංකාවේ සීත පලාත්වල සර්පයෝ වඩා නැත. නුවරඑළිය වැනි පළාත් මෙනි. උෂ්ණ පළාත්වල ඝන සරයට ජීවත්වෙති. අතරින් ගමන් කිරීමේ දී උපකාරීවන ලිස්සනසුලු තෙල්ගතිය මතුවීමට උෂ්ණය උපකාරීවීමට ඉන් එක් හේතුවකි. ලංකාවේ ඉන්න සර්ප වර්ග පිළිබඳ ව සාමාන්‍ය විස්තරයක් සැපයීමට මා අදහස් කරන්නේ සිංහල සර්ප වෙදපොත්වල උපකාරයෙන් සහ අවුරුදු 40ක් පමණ කල් මා පරීක්ෂාකාරීව කරන ලද අත්හදා බැලීම්වල උපකාරයෙන් ය.

මේ සඳහා වයඹ පළාතෙන් සොයාගන්නා ලද, සර්ප වෙදපොත් 83ක් ද යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, හතරකෝරළය, උඩහේවාහැට යන පළාත්වලින් සොයා ගන්නා ලද පොත් 26ක් ද ප්‍රයෝජනයට ගන්නා ලද්දෙමි. නයා සහ මුගටියා සටන්කරවා ඉන් ලබාගත් උපදෙස් ද අහිකුන්ටික ආදිනයින් අල්වන්නන්ගේ ක්‍රම පරීක්ෂාවෙන් ද පරම්පරාගතව සර්ප වෙදකම් කරන බොහෝ අයගේ ක්‍රම පරීක්ෂවෙන් ද අත්හදා බැලීම් කොට කරුණු පහදාගෙන ලබාගත් අත්දැකීම්වල උපකාරය ද මේ ලිපිය සඳහා ප්‍රයෝජනයට ගතිමි.

ඒ පමණක් නොව මම පරම්පරාගත, සර්ප වෙද පවුලකින් පැවත එන්නෙක්මි. මේ වන විට මවිසින් සුවපත් කරන ලද රෝගීන්, සියගණනකි. මුල දී ඒ සඳහා සටහන් තබා ගන්නා නමුත්, පසුව එය අතහැරීමි. දැනට මා ළඟ අතිප්‍රසස්ථ විෂ පහකරන විධි බොහෝ තිබේ. පිලිමතලාවේ මහ අදිකාරම්තුමා අතිදක්ෂ සර්ප වෙදෙකි. එතුමාට අදිකාරම් තනතුර ලැබුනාට පසු තෑගි වසයෙන් ලංකාවේ බොහෝ පළාත්වල සර්ප වෙදමහතුන් ළඟ පණ මෙන් ආරක්ෂා කර ගෙන තිබූ අස්ත සාර අවූෂද පොතක් ලියා ඔප්පු කරන ලදි. දැනට ගින්නේ පිලිස්සී වැඩි හරියක් විනාස වී ගිය ඒ පොතේ ඉතිරි කැබෙල්ලේ තිබූ වෛද්‍ය ක්‍රමයන් මා සටහන් කර ගෙන තිබේ. ඒ ප්‍රතිකාර ක්‍රම ඉතා ආශ්චරියමත් ය, අත්භූත ය. සර්ප විෂ සම්බන්ධයෙන් ඕනෑ යුරෝපීය වෛද්‍යවරයෙක් පසු බැස්සීමට ඒ කොටසේ සඳහන් වෛද්‍ය ක්‍රමයන් ප්‍රමාණවත් ය.

සර්පයින්ගේ ප්‍රභේද

1. දාර්වික නාගයා

ලංකාවේ සිටින වැදගත්ම සර්පයා නාගය ය. ලංකාවාසී බොහෝ දෙනා ඌට බොහෝ ආදරය කළාහ. ගරු කළාහ. ඌ ඉතා සෝභමාන සත්ත්වයෙකු නිසයි. මොණරා, අයිත්තා, තිත්මුවා ආදී සතුන්ට වඩා පුදුම අන්දමක අලංකාරයක් නයා තුළ තිබෙන නිසා ඒ ඉහත දැක්වූ සතුන්ට වඩා ගරු බුහුමන් කළහ. නයාගෙන් තදබල කරදරයක් ද සිදුනොවේ. ඌ දෂ්ට කරන්නේ ද කලාතුරකිනි. ඒ ද ඉතාමත් නොබැරිව ගිය අවස්ථාවක ය. එසේ අහම්බෙන් දෂ්ට කළ ද වෙදමහත්මයා එය තනිකර මතුරා ඒසේත් නැත්නම් සුළු ප්‍රතිකාර ක්‍රමයකින් හෝ සුවපත් කරයි. ඉනුත් එපිටට යන්නේ ඉතාමත් ම කලාතුරකිනි. පුරාණ අය වැඩිදෙනෙකු නයින් මැරුවේ ද නැත. “මේ අහිංසක දරු පැටියෝ ඉන්නා මේ කිලිටු ගෙදරවල් අතරින් අහකට වඩින්න” ආදි වශයෙන් ගරු බුහුමනින් කථා ද කළහ. “නයා වයිර බඳිනවා මැරුවොත් මුළු පවුලට ම ශාපවෙනවා” ආදි කථාව මුලු රටේ පැතිරී තිබුණි. ඒ ද උන් නොමැරීමට යොදාගෙන තිබුණ ඒවා ය. නාග රූපය ද සමාජයේ උසස් තැනක් ගෙන තිබුණි. උසස් ගෝත්‍ර ද ඒ නමින් විය. උතුම් යන අර්‍ථය ද ඒ නමේ ගැබ් ව තිබේ. විහාර දේවාල වැනි ජනයින් නොගැවසෙන ස්ථාන ද නාගයින්ගේ වාසය වසයෙන් වෙන්වෙති. නිදහන් ආරක්ෂා කිරීමේ අයිතියක් ද මේ නාගයින්ට පවරා තිබුණු බව ද රටපුරා කථාවකි. කන්ඨ මානික්‍යය නමැති අගනා මැණිකක් ද සමහර නයින් ළඟ තිබුණ බව පොත්පත්වලින් ද මුඛ පරම්පරාගත කතාවලින් ද දැනගන්නට තිබේ. ගෝරෝචන, සිකනල්ගල් වැනි යමක් වෙන්නට ද බැරි නැත. නයා දිලිසෙන දේට ඉතා ම කැමති ය. එයින් විෂ උපදිනා හෙයිනි. ඒ නිසා ඌ දිවා ආහාර පිණිස හැසිරෙන විට එබඳු දිලිසෙන යමක් දුටුහොත් ඒ ගිලී. ආහාර ගන්නට උවමනා වන විට නැවත වමාරයි. ඉන්පසු නැවත ගිලියි. සමහර විට එය හොඳම මැණික් ගලක් වෙන්නට බැරි නැත. නිතර නිතර ගිලීම් වැමෑරීම් නිසා එය වැඩිපුර ඔප වැටී බැබලීමේ තත්වයකට ද පත්වන්නට බැරි නැත. රාත්‍රි කාලයේ දී එබඳු දිලිසෙන දෙයක් වැමෑරීමෙන් පසු ඊට සඳඑළිය තරුඑළිය හෝ වෙනත් එළියක් වැටී බැබලීමටද බැරි නැත. මා දිනක් අල්වා ගත් විශාල නාගයෙකු වටකුරු සුදු දිලිසෙන තිරිවානගල් කැටයක් වැමෑරූ බව දිටිමි. නාගයන්ට කන් ඇත්තේ නැත. ඇස ම කන සේ පාවිච්චි කරයි. එසේම තුඹසකට හිස ඇතුළු කර සිටින නාගයෙකුට ශරීරයේ අනිත් ප්‍රදේශවලිනුත් යම් ශබ්දයක් තේරුම් ගන්නට පුළුවන් බව අපට පරික්ෂාකාරී ව සිටීමෙන් දැනගත හැකි ය. නලාවක් පිඹීම වැනි මිහිරි ශබ්දයක් නයින් ඉදිරියේ සිදු කළ විට උන්ගේ ඇස් කොපමණ මහත් ව තිබෙනවා ද කියාත් ශරීරයේ මස්පිඩු කෙසේ ක්‍රියා කරනවා ද කියාත් අපට බලා ගත හැකි ය. නයාගේ ඇඟේ පිටපැත්ත ලිස්සනසුලු ය. හොම්බ ඉන් ප්‍රධාන ය. ශරීරයේ පිරිමැදීමෙන් අතේ තෙල් ගෑවේ. සමහරු ඒවා ඉනා බේත් සෑදීමට ගනිති. ඒ තෙල් කැවුනහොත් නැවත නැවත නයින් ඇල්ලීමට ආශා කරයි. අබිංවලට - අභිඵෙන යන නමක් ද වෙයි. අබිං කන්සා ආදියේ තිබෙන නැවත නැවත ඒ කරා ප්‍රිය උපදවන උත්තේජක ගතිය නයාගේ පෙනේ පිරිමැදීමෙන් ලබා ගන්නා තෙල්වල ද තිබේ.

නයි ඇල්ලීම

අතින් ඌ ඇල්ලීම ඉතා සුළු දෙයකි. ඌ උෂ්ණයට ඉතා කැමති ය. එසේම මිහිරි සුවඳට මිහිරි නාදයට වසඟ වෙයි. අප්‍රියකර ගඳට ඌ ඉතා අකමැති වේ. අඳුකොල, කටු, ඇත්අඩි, මුරුංගා, සස්සඳ ආදී තද ගඳ වර්‍ග තිබෙන තැනක ඌ ජීවත්වන්නට කැමති නැත. විහාර දේවාල කෝවිල් ආදියේද ඌ නැවතීමට අභිරුචියක් දක්වන හේතූන්ගෙන් එකක් නම් එහි මල් හෝ වෙනත් සුවඳ වර්‍ග පිරී ඉතිරී තිබෙන හෙයින් ය. නයි ඉන්නවාට අකමැති නම් ඉහත දැක්වූ දේවලින් මනාප දෙයක් පොඩි කොට විසිරුවා හැරිය යුතු ය. අතින් අල්වා ගත්කල කීප විටක් බේරි යන්නට උත්සාහ කරයි. බැරි බව දැනුනොත් ළමයෙකු සේ කීකරු වෙයි. හුඟක් රිදුනොත් දෂ්ට කරන්නට ද බලයි. ඊට පසු ඌ ඇඟේ කිහිලි ඉන බෙල්ල ආදී උෂ්ණ තැන්වලට ඇලි වෙලී සැඟවී ඉන්නට කැමති වෙයි. ඈත පෙරදිග ආදි රටවල භාර හාර වී නයි අතින් අල්ලා පෙන ගොබය සිඹීම වැනි දේ කරන ස්ත්‍රින් පවා ඉන්නා බව අසා ඇත්තෙමි. සතුරාට ඇසු පෑමෙන්ම බොක්සිංකාරයන් මෙන් සතුරාගේ පහර වලකාලන්නට උත්සාහ දරයි. අතට මතුරා නයි අල්ලන්නේ ද නයි දැපනේ දමන්නේ ද මේ අන්දමටයි. බේත් අතේ ගාගෙන ද බේත් වැල් හෝ මුල් මුඳුව තනා අතේ දමාගෙන ද නයි අල්ලන්නේ මේ ක්‍රමය නිසයි. නයි අල්ලන්නට පුරුදුවන්නෝ පළමුව මෙසේ කරත්. භය සැක ඇරුනායින් පසු නිකම්ම හා පැටියෙකු අල්ලා ගන්නා මෙන් නයකු අල්ලා ගත හැක. කෙසේ නමුත් විෂකලාව නැකත දිනය තිතිය ආදී කරුණු ගැන පරීක්ෂා කර නයකු ඇල්විය යුතු ය. වැරදීමක් ඇතිවුනොත් - අන්තරාව නිසයි. පුරාණ අය නයින් අල්වා නටවා මිනිසුන් පුදුමයට පත් කර තෑගි බෝග ලබා ගත්හ. ඉරක් ඇඳ නයා දැපනේ දමා කවි කියමින් නයා වට මාත්‍රයට අනුව අඩිය තබමින් නයි නටවන්නා ගමන් කරයි. නයා ද ඔහු දෙස බලමින් දරන එක දෙක ආදී වශයෙන් සෑදෙමින් කැරකෙයි. නටවා තෑගි බෝග ලබා ගත්පසු උගේ වල්ගයේ අගලක් පමණ කොටසක් තියුණු ආයුධයකින් කපා දමා මල්ලකට දමා බැඳ තබයි. ඒ රාත්‍රි කාලයේ දී වල්ගයෙන් සිදුරක් සාදාගෙන මල්ලෙන් එළියට නොයනු පිණිස ය.

වල්ගය අග තුවාල වීම නිසා ඌට සිදුරක් කර ගත නොහැකි ය. එසේ ම යම් කෙනෙකුට ඌ හමු උනොත් මීට පෙර වතාවක් හෝ කීප වතාවක් අල්වා නටවන ලද නයෙකු බව තේරුම් ගන්නට පුළුවන. මල්ලේ දමා ගත් නයා පසුව ගෙන ගොස් ජල පාරකින් එගොඩ දී මුදා හරී.

නයි උපදින අන්දම

සිංහල වෙද පොත්වල අන්දමට නයින් අට කුලයකි.

1. අනන්තයා

2. වාසුකියා

3. කර්කටයා

4. තක්කෝටකයා

5. මහාපද්මයා

6. සංඛපාලයා

7. ගුලිකයා

8. පද්මයා

මේ අටකුලේ නයින් ම ඇසල මස පටන් සැට දවසක් රතිකෙලියේ පවතී. එසේ වූ පසු සැපින්නගේ කුස බිජු හට ගනී. ඒ බිජු එකසිය පනස් දවසකින් මුහුකුරන්නේ ය. දුරුත්තේ සිතල හා තෙත් කාලය ඒ සඳහා වැඩි වසයෙන් ප්‍රයෝජනවත් වෙයි. ඉන් පසු දිනකට විස්ස බැඟින් දින 12ක් තුළ බිජු දෙසිය සතලියක් දමන්නී ය. තුඹසක ඉතාමත්ම අඩිය හෝ බොහෝ ඈත ගුහාවක් ඒ සඳහා තෝරාගන්නී ය. ඒ බිජුවලින් පිරිමි බිජු ඉද්දමල් කැකුලක් මෙන් පෑ ඇතිවන්නේ ය. වටව තිබෙන්නේ ය. ගෑනු බිජුවට රන්වන්ව ලේ පැහැයට තිබෙන්නේ ය. බිජු සියල්ල ම එක්වර ම තිබෙන්නේ ය. මොනර, ගුරුළු, මුගටි, කබරගොයි, වල්ඌරු ආදී සතෙකුගේ ශබ්දයක් ඒ බිජුවලට වැදුනි නම් සියල්ල නරක් වන්නේ ය. ඒ පමණක් නොව එබඳු සතෙකුට ඒ බිජු හමුවුණි නම් කා දමන්නේ ය. කොයි ආකාරයකින් හෝ හානියක් සිදු නොවිනි නම් තුන් පක්ෂයක් ගත උනු පසු දවසක් හැර දවසක් විස්ස බැගින් සතියෙන් සතිය බිජු බිඳී නයි පැටියෝ නික්මෙති. දොළොස් දිනක් ගත වූ පසු ඇස් හරී. දළ ඇති වී ඉර එළිය දුටුවාට පසු උන්ට විෂ ඇතිවේ. විෂ එන්නේ ඉර එළියෙන් ය. නාගයා ආහාර සඳහා තම විෂ වියදම් කළ පසු නැවත ලබාගන්නේ උදය තරුණ සූර්ය රශ්මියෙන් දිලිසෙන පිනි බින්ඳු බීමෙන් ය. විශේෂයෙන් බැබිල මල් කෑමට මෙන් බැබිල ගසේ පිනිබින්ඳුවලට ඉතාමත් ඇල්මක් දක්වන්නේ මේ හේතුවෙන් ය. උපන් තිස්දිනකින් ප්‍රථම සැවය ගලවන්නේ ය. කඩි, කුහුඹි, කුකුලු ආදි මාංශ භෝජී සතුන්ගෙන් හානි නොපැමිනේ නම් උපන් ස්ථානයෙන් බස්නාහිර ගොස් වාසය කරන්නේ ය.

නයින් අඳුනා ගන්නා අන්දම

1.කර්කටකයා, 2.මහාපද්මයා:- කලුපාටයි, වාතපුත්‍රයි, ගොවිකුලයි

3.තක්ඛෝටකයා, 4.සංඛපාලයා:- දුඹුරුපාටයි, වෙළෙඳකුලයි

5.අනන්තයා, 6.ගුලිකයා:- අලුපාටයි, පිත්තපුත්‍රයි, බමුණුකුලයි

7.පද්මයා, 8.වාසුකියා:- සුදුපාටයි, ගෙලස්මාපුත්‍රයි, රජකුලයි

ආහාර හා වාසය

1. රජකුල නයි මීයන් කන්නේ ය, ගසේ වාසය කරන්නේ ය.

2. බමුනුකුල නයි බැබිල මල් කන්නේ ය, දේවාලේ වාසය කරන්නේ ය.

3. වෙළෙඳකුල නයි බමරුකන්නේ ය, ගෙදරවල වාසය කරන්නේ ය.

4. ගොවිකුල නයි නොයෙක් දේ කන්නේ ය, කුණුකසල මධ්‍යයේ වාසය කරන්නේ ය.

සර්පනිය

ඒ ඒ ගෝත්‍රයන්ගේ සර්පනිය ඒ ඒ ගෝත්‍ර ඇඳිනවූ පිළිවෙලින් සහ ආහාරයෙන් ජීවත් වන්නේ ය. සිහින් වූ හිස ඇතිවන්නේ ය. ඇස් කුඩාවන්නේ ය. අඩ පෙනය ඇතිවන්නේ ය. වහා කිපෙන්නේ ය.

ඉහත දැක්වූ නාග සර්පයෝ නැවත පහත පෙන්වන කොටස්වලට බෙදේ.

1. කාලි නයි

2. රෑ කලුවා

3. අලි නයි

4. ගැට කලුවා

5. සුලුනයි

6. පෙතිගොමුවා

7. කොබෝ නයි

8. කූටකයා

කාලි නයි

අවුරුදු බොහෝ ගණනකින් පමණක් දකින්නට ලැබේ. ඉතාමත් වන දුර්ග ගිරිදුර්ග ආශ්‍රය කර ගෙන ජීවත් වන තරමක් ලොකු පුවක්ගස්වලටත් වඩා සමහර විට මහත ඇති අය ය. පෙනේ තරමක කුල්ලක් විතර ඇත. බල්ලෙකු ඉතා පහසුවෙන් ගිලින්නට පුළුවන. අවුරුද්දක් හමාරක් පවතින තද නියංසායක් නිසා ජලය සඳහා ජලාශ්‍රිත ප්‍රදේශවලට පැමිණීමේ දී දිය බී නැවත ආපසු යාමේ දීත් දක්නට පුළුවන. ඉතා සෙමින් ගමන්කරයි. වහා කෝප නොවේ. උන්ගෙන් මිනිසුනට පීඩාවක් නැත. මුව ආදී සතුන් ආහාර පිණිස අල්ලාගනිත්. මේ වර්ගය පුරාණයේ දී ලංකාවේ බහුල ව සිටියෝ ය. දැනට මුන් බොහෝසෙයින් වඳ වී ගොස් ය. මුඛ පරම්පරාගත කථාවල ද මුන් ගැන බොහෝ විට සඳහන් වේ. මේ ලියන මම අගෝස්තු මාසයේ මැඳහරියේ දී, මෙබඳු නයින් දෙන්නකු සතර කෝරළයේ බතලේගල කඳු ප්‍රාන්තයේ දී දැක තිබේ. වර්‍ෂාවට නයිපෙනේ යට සිටි කථා ද කුඹුරු මැද නියරවල් කැඩී යන සේ පොල්ගස් ඇද්දාක් මෙන් ගමන් කළ මාර්‍ග තිබුණේ ය කියා ද කථා පැවත ගෙන එන්නේ මේ නාග වර්‍ගයා ප්‍රධාන කොටයි. මේ වර්‍ගය පිරිහීමට ප්‍රධාන හේතුව නම් විශාල වනාන්තර තේවතු ආදි ගොවිතැන් පිණිස එළිපෙහෙලි කිරීම ය. උන් වාසස්ථාන කරගත්තේ ඝන වනාන්තර මැඳ තිබෙන විශාල ගල් ගෙවල් ය.

අලි නයි

වඩා දිග නැති කොට වර්‍ගයකි. සමහර විට කුඩා මෝල්ගස් තරමට මහත් වේ. බොහෝ තැන්වල දී ද දැක්ක හැකි ය. උන් නපුරුයි. කළු පාටයි. ඇස් කුඩා ය.

සුළු නයි

බටු හරක් වාගේ පොඩි වර්‍ගයකි. එළිමහන් ප්‍රදේශවල වැඩි වසයෙන් ගැවසේ. මහත් වන්නේ ද නැත.

කොබෝ නයි

ඉතා කොට වර්‍ගයකි. මා දැක නැත. සාමාන්‍යයෙන් ගස් මුදුන්වල වාසය කරන වාතය පෙන ගොබයෙන් බදාගෙන (“හම්බාවාමෙන්”) අතුවලට පනින්ට පුළුවන් වර්‍ගයක් ය. සාමාන්‍ය නයි වර්‍ග ම දෂ්ට කිරීම නිසා ම පුරුක් වැටී කොට වන බව අසා ඇත්තෙමි.

රෑ කලුවා

බොහෝ ඉක්මනින් සැඟවෙන, මිනිසුන්ට බොහෝ භය ඇති සාමාන්‍ය නයි වර්‍ගයකි. “මෙන්න නයෙක්” කීවොත් අන්ථර්ධාන වුනා වාගේ සැඟවෙන්නට මූට පුළුවන.

ගැට කලුවා

සුළු නයා මෙනි. ඊටත් කොට ය. බොහෝ ඉකිමනින් කිපෙයි. මිනිසා දුටු විට සැඟවෙන්නට වීරිය නොකරයි. බොහෝ සෙයින් සටනට කැමති වර්‍ගයකි.

පෙති ගොමුවා

සීතලාශ්‍රිත ව නිතර ම හැසිරෙයි. ඇඟේ බොහෝ තෙල් ගතිය ඇත.

කූටකයා

තද සූර්ය රෂ්මියට කැමති ය. ඇඟේ තෙල් ගතිය බොහෝ අඩු සෑම තැනදී ම වාගේ දැක්ක හැකියි. විශේෂයෙන් මධ්‍යාහ්නයේ ගොදුරු සොයා යන වර්‍ගයකි.

මේ වර්‍ගයන්ගෙන් පිටත් තවත් වර්‍ග කීපයක් වෙත්.

අ. නා පොළොං

නැයිනගේ බඩේ පොළඟාට දාව උපන් බිජුවලින් පිට වූ සතුන් ය. ඌ සුගඳ දුගඳ දෙකට හෝ මිහිරි අමිහිරි දේවලට වැඩි සතුටු අසතුටු ගතියක් නොදක්වයි. සාමාන්‍ය නයෙකුට වඩා තද වේගයකින් පහරදෙයි.

ආ. ගැරඬිනයි

නැයිනගේ බඩේ ගැරඬියාට දාව උපන් බිජුවලින් උපන් අයයි. මේ ගැරඬි නයා ඉතා දිගය. කලුපාටය. බෙල්ල ගැරඬියා වගේය. පෙනය ද සම්පූර්ණයෙන් නැත. මිහිරි සුවඳට මිහිරි ගඳට ඌ ඇහුම්කම් නොදෙයි. වැඩිදුරට මන්ත්‍ර නාසයි. මන්ත්‍රයෙන් ඇපනය දමන්නටද බැරි ය. බොහෝ සෙයින් දිව දික්කරයි. හැඩහුරුකමින් ද බොහෝ සෙයින් ගැරඬියාට සමානයි. විෂ ඉතා අල්පයි. මේ අය බොහෝ තැන්වල දී දැක්ක හැකි ය.

නයින්ගේ දළ හා විෂ

ආහාර නොවිකන නිසා කියතක ආකාරයෙන් මුඛයේ සිට බඩ ඇතුළට දත් දහසක් ආහාර සූරා ගැනීමට උපකාරී වනසේ පිහිටා තිබේ. සතා මරාගන්නටත් මස් දිරවාගන්නටත් උපකාරී වන විෂ වර්‍ගයක් ඒ දළ මුල්හි කෝෂවල තිබේ. සතා අල්වා ගන්නේ ප්‍රධාන දළ සතරින් දෂ්ට කිරීමත් සමඟ ය. සතෙකු අල්වා ගත් විගස වල්ගය ගසක මුල වැනි දෙයක ඔතා ගනියි. කෝෂවල විෂ වහා සතාට ඇතුල් වෙයි. එයින් ඌ වහා සිහිය නැති වෙයි. ගැරඬියා අල්වා ගත් සතා බොහෝ වේලා කෑ ගසන්නේ ගැරඬියාගේ විෂ ගතිය නැති නිසා ය. සර්ප දන්ත දහසින් තිස්දෙකක් විෂ සහිත ය. දහසයක් තරමක විෂ සහිත ය. සතරක් අති උග්‍ර විෂ සහිත ය. නයාට විෂ තිබෙන්නේ උගේ ආහාර සකස් කර ගැනීමට ය. ඒ නිසා ඌ නිෂ්කාරයේ ඒවා වියදම් කර ගැනීමට කොහෙත් ම කැමති නැත. බැරිම අවස්ථාවක් උනහොත් පමණක් ඌ ඒ විෂ කොපුවල විෂ උගුලුවා දෂ්ට කරයි. එසේ දෂ්ට කිරීමෙන් පසු ඌ ඉතා වෙහෙසට පත්වෙයි. සමහර විට මාසයක් දෙකක් නිශ්චලව ආහාර නොගෙන තැනකට වී නිදාගෙන සිටියි. නැවත විෂ උපදවා ගන්නා තුරු වැඩි වශයෙන් ඌ කළඑලි නොබසියි. මේ බව දැනගත් අය නයි අල්වා සබයට ගෙනවිත් දස්කම් පාති. මේ සර්ප විෂ ඉතා ම අප්‍රිය රසයි. වරක් රස බැලුවොත් බොහෝ කාලයක් යන තුරුත් ඒ අප්‍රිය රස මතක නැති නොවේ. සර්පයා අල්වා විෂ කෝෂ මිරිකා ඒ විෂ භාජනයට ගත හැක. දළය මැඳින් ඉතා කුඩා සිදුරක් පිහිටා ඇත. ඒ කෝෂයෙන් විෂ එළියට ඒම පිණිස ය. සර්ප විෂ බොන්නට පුළුවන. ඒ කරනකොට කිසි ම උපද්‍රවයක් සිදුනොවේ. මට බොහෝ වාරවල නා පොළොං කරවැල් දිවිමකුලු ආදීන්ගේ විෂ වර්ග පෙවී තිබේ. සර්ප විෂ කටින් උරවන අවස්ථාවන්හි දී ය. විදීමෙන් ශරීරගත කරන බෙහෙතක් බීමෙන් වැඩි ප්‍රයෝජනයක් නොවන්නාක් මෙනි. දළ කඩා දැම්මොත් විෂ කෝෂවල එකතු නොවේ. පිනි නොබිව්වහොත් විෂ නූපදී. ඒ නිසා ම අහිගුන්ඨිකයාගේ නයාට විෂක් නැත.

"සර්ප දන්ත සහස්ශ්‍රෙත - ශෝඩසේන විෂං භවේන

චත්තරෝ විෂ උංඝ්‍රත - විෂ මාහුඃ ප්‍රකිර්තිතා"

සිංහල වෙදකමෙහි සර්ප විෂ බෙදා තිබෙන ක්‍රමය සාමාන්‍යයයි. එහි පහත දැක්වෙන ක්‍රමවලට විනා වෙන වෙනස් ක්‍රමයක් දක්වා නැත. සර්පයින්ගේ නම් විනා විෂයෙහි වෙනසක් එහි පෙන්වා නැත. අකුරු දූතයේ ඒවා එන අන්දමට ප්‍රධාන විෂ 6ක් වේ.

1. නයි විෂ

2. පොලොං විෂ

3. කරවැල් විෂ

4. තෙලිසක් විෂ

5. නිර්විෂ

බෙහෙත් කිරීමේ දී දූත ලක්ෂණ ක්‍රමයෙන් වැඩි ප්‍රයෝජනයක් ගෙන නැත. නමුත් ප්‍රතිකාර ක්‍රමයේ දී

1. බරපතල විෂ

2. සාමාන්‍ය විෂ

3. අල්ප විෂ

කියා තුන් ක්‍රමයකට ප්‍රතිකාර විධිය දක්වා තිබේ.

1. බරපතල විෂ :- මන්ත්‍ර, බේත්, විෂ ඉරීම, ශල්‍ය විධි, දුම්පෑම, නෂ්‍ය, විෂ කැපීම බේත් ඔරුවේ දැමීම.

2. සාමාන්‍ය විෂ :- මන්ත්‍ර, හෝ බේත් නොහොත් ඒ දෙකම

3. අල්ප විෂ :- මන්ත්‍ර, රෙද්ද පෙරලා ඇඳීම දූතයාට අතුල් පහර හෝ ටොකු ඇනීම, වතුර මතුරා දීම හෝ කෙම් කිරීම ය.

නයෙකුගේ ප්‍රධාන දළ සතරක් වේ.

1. තකරි - යටිතල්ලේ දකුණු දළ - මහාබ්‍රහ්මයාය

2. මකරි - යටිතල්ලේ වම් දළ - මහාවිෂ්ණු

3. යමදූති - උඩුතල්ලේ වම් දළ - ඊශ්වරයාය

4. කාල රාත්‍රී - උඩුතල්ලේ දකුණු දළ - සක්‍රයාය


1. තකරී :- විෂ අල්පයි, මන්ත්‍රයෙන් විෂ බසී, ලේ තෙල් පැහැයයි. කෑ තැන සුදු වේ.

2. මකරි :- විෂ අල්පයි, මන්ත්‍රයෙන් බසී, ලේ ලේ පාටයි.

3. යමදූති :- විෂ අති උග්‍රයි. කෑ තැන ළිඳක් සේ වෙයි. ලේ කලු පාටයි.

4. රාත්‍රී :- විෂ මධ්‍යමයි. තුවාලය තුනැස් වේ. බේතින් බසී.

නයාට ඇවිදින ගමන් හෝ දිග ඇරී සිටින විට විෂ දළ උගුලුවා දෂ්ට කළ නොහැකි ය. ගමන් කරන විට, දෂ්ට කිරීමට වුවමනා වුවහොත් වහා ම දරන ගැසිය යුතුයි. දරන නොගසා විෂ දළ ඇතුළු වන තරමට වේගයෙන් පහරදීමට ඌට ශක්තියක් නැත. සමහර අය නයා අල්වා හිස දෙසින් වියතක් පමණ ගිල දස්කම් පාන්නේ ද මේ නිසා ය.

ආහාර

සාමාන්‍යයෙන් අවුරුද්දක් පමණ ආහාර නොගෙන ජීවත් වීමට පුළුවන් බව සොයා දැනගෙන තිබේ. වැඩි වශයෙන් වාතය ආශ්වාස කරන හෙයින් වාතයේ ඇති ජීව ධාතුවෙන් ප්‍රාණය ආරක්ෂා වන හෙයිනි. පැදුරු ආණකට මැඳි වූ නාගයෙක් අවුරුද්දකට පසු ඒ පැදුරු ආණ ලිහන විටත් පණ ඇති ව සිටි බවත් මා දැක සිටී. ඌ පන් කොළයක් මෙන් පැතලි වී සිටි නමුත් පණ ඇති ව උන්නේ ය. වාතය නිසා ජීවිතය රැකගත හැකි බව මා ඉන් තේරුම් ගත්තේ ය. ආණෙන් මිදුන නයා බොහෝ වේලාවකට පසු සෙමින් සෙමින් කැලෑ රොදට ගියේ ය. මැඩි, මී, කටුසු, සිකනල්, ලේන් ආදී සතුන්ට ද අන්නාසි, අඹ ආදියෙහි මිහිරි රසයන්ට ද බැබිල මල් මී පැණි, කිරි ආදියට ද ඌ ඉතා කැමතියි.

ආහාර ගත් පසු වකුටුවීමත් සිදුරු අතරින් ඇදීයාමත් නිසා ගොදුරු පොඩි වී පහසුවෙන් දිරුණු බවට පත් වේ.

නයින්ගේ ප්‍රයෝජනය

නයි හැව බේත් පිණිස ද මන්තර ගුරුකම් පිණිස ද වේදු පිනිස දුම් පෑමට ද ගනිති. නයිසුරා ලබා ගත් තෙල් වශී බේත් සෑදීමට ඉතා අගනේ ය. නයි දළය තුළ ඇති විෂ ඇදුම රෝගය නිෂ්ඨාවට ම සුවකරයි. මනුෂ්‍යයාට අහිතකාරි කුඩා සතුන් විනාශ කරයි. බල්ලා, බළලා මෙන් අටුකොටු වතුපිටි ආදිය ආරක්ෂා කරයි. දැකීමෙන් ප්‍රීතිය ඇති වේ. අහිකුන්ඨිකාදීන් නයින් නටවා දිවි රැකගනිත්.

නයාගේ සතුරෝ

1. ඇලි මුගටියා

සුදු පාටයි. ලේනෙකු තරම මහතයි. නයා දුටු ක්‍ෂණයකින් එහා මෙහා පනී. වහාම බෙල්ලකඩා මරාදමයි. කොටියා දුටු එලුවා මෙන් ඇලි මුගටියා දුටු නයා මුසපත් වේ. කිසි ම ආකාර සටනක් නොකොට නයා මැරුම් කයි.

2. සාමාන්‍ය මුගටියා

දෙදෙනා හරි හරියට සටන්කරයි. ඌ නයාගේ මස් කෑමට ඉතා ප්‍රිය කරයි. සාමාන්‍යය මුගටියාට නයා මැරීමට නොහැකි අවස්ථාවට ඌ වහා ම ගොස් ඇලි මුගටියා පිට උඩ තබා ගෙනවිත් නයා මරවයි. ඇසීමටත් පෙනීමටත් පහරදීමටත් ශරීරයේ ඉදිරි කොටස ප්‍රයෝජනය වන නිසා තම සතුරෙකු දුටු විට ඉක්මනින් පලා නොයයි.

ශරීරය එක්තැනට ගෙන ඉහත කී ප්‍රධාන තුනෙන් ප්‍රයෝජනය ගන්නා පිණිස සැරසී ඉඳියි. කඳ දිග නිසා පැනයන්නට බලන්නේ නැත. සතුරෙකුට පසුපසට පහසුවෙන් පහරදිය නොහැකි හෙයිනි. මන්ත්‍රයෙන් හෝ වෙන ක්‍රමයකින් මුගටියා හෝ නයි දැපනේ දමනවාය කියන්නේ මේ ක්‍රමයට ය. නයා අල්වා, මිදුලක් මැඳ තබා කෝටුවකින් වට ඉරක් ඇඳ නයා වටේ වරක් ගමන් කළොත් ඌ මන්ත්‍රයක තවත් බොහෝ වේලා යනතුරු එහි පරීක්ෂාකාරී ව සිටී. මන්ත්‍රකාරයෝ මන්ත්‍රවල සාමාර්ථකම් දක්වන්නේ මේ ආකාරයෙන් ය. අතින් අල්වා නයෙක් රවුමක්කර පඳුරක් අස්සේ ටික වේලාවක් තබා අල්වාගෙන උන්නොත් සමහරවිට දින කිහිපයක් යනතුරු ඌ එතනින් ඉවත්ව නොයයි. මෙය ඕනෑ විටක අත්හදා බැලිය හැකි සත්‍යයකි.

3. කබරයා, තලගොයා, වල් ඌරාද සතුරෝය

උන් නයි මස් කැමට ඉතාම කැමති ය. පෙන ගොබයෙන් පහළ කොටස දත්වලින් සපා කා ගිලී. පෙනගොබය සපන්නේ නැතිව ගිලී. ඊට හේතුව විෂ දළ දිවේ හෝ තල්ලේ ඇනී, විෂයෙන් උපද්‍රව පැමිණෙන නිසා ය. ඇතැම් විට මරන ලද වල් ඌරකුගේ, ගොයෙකුගේ බඩේ පෙන ගොබයක් හෝ පොළඟකුගේ හිසක් ගිල දමා තිබෙන බව දකින්නට පුළුවන. ඉහත කී සතුන් නයාගේ අල්වා ගන්නේ බෙල්ලෙන් ය. ඒ නිසා ඌට දෂ්ට කළ නොහැකි ය. බෙල්ලෙන් අල්වා ගත් කල නයාගේ ශරීරය විරුද්ධකාරයාගේ ඇඟේ පටලවයි. එය ගිලීම වලක්වනු පිණිස ය. නමුත් ඌ පහසුවෙන් ම හිස කඳෙන් වෙන්කර දමයි. නයි ආදී සර්පයින්ට ඉහත කී සතුන්ට පහර දීම ද අපහසු ය. උන්ගේ හම බොහෝ තද හෙයිනි.

4. ගරුඬා

කුඩා නිල්පාට කඩිසර පලඟැටි වර්‍ගයේ මැස්සෙකි. උගේ සිහින් නාඳයට නයා වසඟ ව පෙනය විදහා ගෙන සිටී. ගරුඬා නයාගේ ඉස්මුදුනට විද මරා දමයි.

5. ගුරුලා

මූ මුහුදු බඩ හෝ වැව් විල් තෙරවල්හි ජීවත්වන උකුසු ගනයේ පක්ෂියෙකි. නයි මස් කෑමට ඉතා කැමති ය. අහසේ පියාඹමින් අහර සොයමින් ඇවිදින විට නයෙකු දුටුවොත් ඊතලයක වේගයෙන් නයා වෙත පැමිණ වල්ගයෙන් අල්වාගෙන අහසට නගී. නයා ගැලවීමට හැකිතාක් දඟලයි. ගුරුලා වේගයෙන් පියාඹයි. වල්ගය කරා පැමිණ දෂ්ට කරන්නට නයාට බැරි ය. විඩාවට පත් වූ නයාගේ පුරුක් ඇදෙයි. දුර්වල අවස්ථාවට පත් වූ අවස්ථාවේ දී වෙරළෙහි තිබෙන බෙනයක් කරා නයාත් රැගෙන පාත් වේ. බියපත් වූ නයා වහා සැඟවෙන පිණිස බෙනය තුළට යෑමට හිස දමයි. ක්ෂණයකින් ගුරුලා වල්ගය අතහැර නයාගේ බෙල්ල කතුරකින් මෙන් කපා පසු කොටසත් රැගෙන ගොස් ගසකට වී රිසි සේ දමයි.

6. මිනිසා

අධික භය ඇති තැනැත්තා ය. බෞද්ධයෝ සහ හින්දූහු වැඩි දෙනෙක් නයි නොමරත්.

2. මාන්ඩලිකයෝ

පොලඟා

මේ සතා දවල් කාලයේ හොඳට ඇස් නොපෙනෙන එකෙකි. රාත්‍රියේ ගොදුරු සොයා යයි. සූර්ය රශ්මිය ඔරොත්තු නොදෙයි. විනාඩි දහයක් පමණ වේලා තද අව්වේ උන්නොත් ඌ මැරී යයි. දළ උල් ය, දිග ය. දෂ්ට කරන බොහෝ වාරවල උගේ දළ කැඩී යයි. එසේ වන්නේ දළය ගලවා ගන්නට බැරිව පෙරලෙන නිසා ය. මී මැස්සාට මෙනි. හිස අලුවා හැඩයට තිබේ. මන්ඩලාකාර පුල්ලි ශරීරය පුරා තිබේ. අධික සීතල ඇති හන පඳුරු ගොම්මන්වල දිවා කාලය ගත කරයි. නයා මෙන් මිහිරි හඬට මිහිරි සුවඳට මිහිරි රසට ප්‍රිය නොකරයි. මිනිසා ඌට කිසි ආලයක් නොදක්වයි. නයා මෙන් කිසි ප්‍රියංකරතාවයක් ද ඌට නැත.

බෝවීම

බීජු බඩේ දී ම මුහුකුරා පිපිරේ. පොළොන් ධෙනුව ගෝනුසු පත්තෑ කකුළු ආදීන් මෙන් පළමුවන දරු ලැබීමේදීම ඒ නිසා මැරීයයි. මළ සිරුර පැටවුන්ට ආහාර වේ. කඩි කුරු කුහුඹුවෝ උන්ගේ පැටවුන් කා දමත්. යම්තම් එකෙක් කලාතුරකින් බේරේ. ඒ නිසා උන් ගණනින් වඩා නැත.

ආහාර

මැඬි, කටුසු, සිකනල්, කුරුලු, මී ආදී සතුන් වර්‍ග උගේ ආහාරය වේ.

වර්‍ග

ලංකාවේ පොළොන් වර්‍ග කිහිපයක් සිටිති.

1. ලේ පොලොං - බඩ පැත්ත ලේ පැහැයයි.

2. ගැට පොලොං - අඩියකට වඩා දිග නැත.

3. පලා පොලොං - කොළ පාටයි.

4. දළ පොලොං - ගැරඬි මෙන් මහතයි.

5. අලු පොලොං - සුදු පාටට හුරුයි.

6. කර පොලොං - මහතැති දිග කලුපාටයි.

7. දඟර පොලොං - බඩගා යන ගමන් ගුලිගැසි පනින වර්‍ගයකි.

8. තිඹිරි පොලොං - හිස කලුපාට වර්‍ගය.

9. කුණු පොලොං - කුඩාය, කුනු ගොඩවල සිටී.

10. කුණු මී පොලොං - ඊට වඩා මඳක් ලොකුය.

11. මී පොලොං - පිට රතු පාට කොට වර්‍ගයකි

12. අලු මී පොලොං - සුදුවට හුරු රතු පාට ය

13. නිඳි පොලොං - කුඩා වටකුරු වර්‍ගයකි.

දෂ්ඨ කිරීම

ආහාර ලැබෙන්නේ කලාතුරකින් නිසා ඔවුන්ගේ විෂ කෝෂවල විෂ නිතර ම පිරී තිබේ. ඒ නිසා නයාට මෙන් අඩු වැඩි විෂ පැවැත්ම බොහෝ දුරට අඩු ය. මන්ත්‍රයෙන් පමණක් ම විෂ පහව නොයේ. විෂ බොහෝ තිබෙන නිසා මස ඇතුළට දළ වදින නිසාත් නෂ්ත අංජනන් ආදිය ද වහා කළ යුතු වේ. වේදනාව අධික වේ. නියම ප්‍රතිකාරයක් ලැබුණත් පැය කිහිපයක් ගතවන තුරු සම්පූර්ණ සුවය නොලැබේ.

1. ලේ පොලොං කෑවාම නවදොරින්ම ලේ පිට වේ.

2. ගැට ” ” ඇග ගැට ගැසේ.

3. පලා ” ” ඇඟ පලාවන් වේ.

4. දළ ” ” සිහි වහා නැති වේ.

5. අලු ” ” වෙර අලුපිපේ.

6. කර ” ” ඇඟ නහර ඇකිලේ.

7. දඟර ” ” තදේට කෙන්ඩා පෙරලේ.

8. තිඹිරි ” ” තද දැවිල්ල ඇති වේ.

9. කුනු ” ” ඇඟ වහ වහා කුනු වේ.

10. කුනු මී ” ” කුනු වෙමින් දැවිල්ල පවතී.

11. මී ” ” ඇඟ කැසීම ඇති වේ.

12. අලු මී ” ” කැසීම හා වෙර අලු පිපේ.

13. නිඳි ” ” තදේට නින්ද ඇති වේ.

සමහර අවුෂදවලට ඌ ඉතාමත් අප්‍රිය ය. ඒ නිසා ඒවා අතේ ගාගෙන හෝ සමහර බේත් වැල් ඇඟිල්ලේ මුද්දක් මෙන් දාගෙන පොලඟුන් ඇල්විය හැක. එසේ විට ඌ හිස පුළුවන් තරම් සඟවා ගන්නවා විනා, ඉදිරියට මුහුණ දමා දෂ්ට නොකරයි. පොළඟා දීර්‍ඝ ආයුෂ්කයෙක් නොවේ. නයින් මෙන් පොළඟා මනුෂ්‍යයාට නිතර හමු නොවේ. ඌ බොහෝ සෙයින් මනුෂ්‍යය වාසයෙන් ඈත්ව වාසය කරයි.

නයි පොළොං වාදය

පෙර සිට පැවත එන කථාවකි. සංවාස කාලයේ දී පිරිමි පිරිමි හෝ ගැහැණු ගැහැණු හෝ විනා, විරුද්ධ ලිංගික සතුන්, සතුරු නොවේ. අනිත් කාලයේ දී තදබල සතුරුවෙත්. නයා කිහිප දිනක්වත් මහන්සි වී පොළඟා ගිල දමයි. දිග වැඩි නම් වල්ගය පැත්ත එලියේ තිබේ. ඌ මළ බව හොඳාකාර තේරුනාට පසු වමාරා දමයි. අඩි එකහමාරක් පමණ දිග බටලීයක් තරම මහත පසුපස අඩි එකහමාරක් පමණ දිග සුලඟිල්ලක් පමණ මහත ඇති නයෙක් එලවා යනවා මා දැක තිබේ. හාවා ලුහුබඳින බල්ලෙකු මෙන්. එසේ ම නයා තරමටත් වඩා මහත පොළොංගු වමාරනවා ද මා දැක තිබේ.

තෙලිස්සා, පොළොං තෙලිස්සා, කුනකටුවා, කහලගොඩේ සර්පයා ආදී නම්වලින් ද සිටිනුයේ මේ පොළොං ගෝත්‍රයේ ම සතුන් ය. උන් ද මණ්ඩලිකයෝ ය. ලොකු කුඩාකම පමණක් ම වෙනස් වීමට කාරණා නොවේ. ලොකු පොළඟාගේ විෂ තත්වයට වඩා කුඩා තෙලිස්සාගේ විෂ තත්වය බොහෝ අඩු ය. ඉක්මනින් මරණය ද සිදු නොවේ.

3. රිජීමත්

1. කරවලා

පොළඟා මෙන් මේ සතා ද දවල් කාලයේ විවේකයෙන් සිටී. රාත්‍රි කාලයේ ආහාර සොයයි. ඌට ද දවාලට හොඳට පෙනෙන්නේ නැත. උන් රන්චු වසයෙන් ජීවත් වේ. සමහර විට දහදොළොස් දෙනා එකපොදියට සිටිනු දක්නට ලැබේ. ආහාර සොයා යෑමේ දී උන් කඩියන් මෙන් සමූහ වසයෙන් එක්ව කටයුතු කරත්. ගසක හෝ වහලක මුදුනේ සිට බිමට බැසීමට එක එකා ලනුවක් මෙන් ගැටගසා ගැනීමෙන් උදව් කරත්. සතුරෙකුට පහරදීමට ද සමහර විට යන්නේ එලෙසිනි. උගේ ජීවත්වීම පාලු ගෙවල බිත්ති ඇතුළේ පොල්, තල්, කිතුල් වැනි ගස්වල පිති අස්සේ, දිරා ගිය ගස්කබල් අස්සේ ආදියේ ය. ඌ ඇඟිල්ලකට වඩා මහත් නොවේ. නමුත් අඩි තුනක් හෝ හතරක් පමණ දික් වේ.

1. තෙල් කරවැල් කලුපාටයි.

2. කුනු කරවැල් දුඹුරු පාටට හුරු කුඩා දික් වර්‍ගයයි.

3. කුනු මී ” රතට හුරු දුඹුරු පාට කුඩා දික් වර්‍ගයයි.

4. අල ” සුදට හුරු ” ” ”.

5. නිදි ” කලුපාට වඩා දිග මහත වර්‍ගයයි.

6. නිඳි මී ” රතට හුරු කලුපාට වර්‍ගයයි.

7. ගැට ” කොට වල්ගයෙන් එල්ලී පැද්දෙන වර්‍ගයයි

8. තිල්ල ” පුල්ලි ඇති රංචු වසයෙන් ඉන්න වර්‍ගයයි.

9. දඟර ” ගැට ගසා ගැනීමෙන් ගුලි වී ඉන්න වර්‍ගයයි.

10. පා ” හාල්දණ්ඩන් මෙන් පනින වර්‍ගය.

11. පොල් මල් ” පිටේ සුදු පුල්ලි තිබෙන වර්‍ගය.

දළ ඉදිකටු මෙන් කුඩා ය. දළ පහර ශරීරයේ ඇතුළට ම වදී. තුවාලය කුඩා නිසා සොයා ගැනීම පවා අමාරු ය. දෂ්ට කළ තැන්වලින් ලේ පිට නොවේ. පිනිබින්දු වැනි දියර බින්දුවක් පිට වේ. අධික වේදනාව වේ. ඉදිමුන් තද නොවේ. ශරීරයට විෂ ඇතුල්වන්නේ ඉතා ටිකයි. ඒ නිසා වහා මරණය සිදු නොවේ. නමුත් පීඩාව අධික වේ. සුදුසු ප්‍රතිකාරයක් කළ ඉක්මනින් ම ගුණ වේ.

2. මාපිලා

මේ සතා ඝන කැලෑවල වැඩි වසයේ ජීවත් වෙයි. ලංකාවේ ඉන්න සර්පයින්ගෙන් අතිශයින් කෝපවන විෂ කෝෂ ගැන කිසි තැකීමක් නැතිව සම්පූර්ණ විෂ උගුලුවා යන පරිද්දෙන් ම දෂ්ට කරන නපුරු සතෙකි. ලංකාවේ මුන් වර්‍ග පහක් පමණ දකින්නට පුළුවන.

1. මාපිලා

රතට හුරු දුඹුරු පාටය. හිස මුදුනේ පුල්ලියක් තිබේ. මඳක් කට කළු පාට ය. ජෝඩු වසයෙන් ජීවත් වේ.

2. ලේ මාපිලා

පිට රතු පාට ය, බඩ ලේ පාට ය, අධික ලෙස කෝප වේ. දෂ්ට කළ ක්ෂණයකින් ඇඟ ලේ පැහැය වේ. අධික විස වේ.

3. මාපිල් හබරා

ලොකු ගැරඬියෙකු තරම් මහත ය. රතට හුරුයි. බෙල්ල කුඩා ය. කඳ මහත් ය. අති භයානක ය.

4. නිඳි මාපිලා

කළුවට හුරු දුඹුරු පාට ය. දෂ්ට කල පසු නිඳි මත අධික ය.

5. ගැරඬි මාපිලා

ඉතා ලොකු කහ ගැරඬියෙකුටත් වඩා ලොකු ය. කළුපාටට හුරු ය. ගැරඬියා මෙනි. දළ බොහෝ දිගයි. දෂ්ට කළ විට මස් පසාකර ඇට කරා වුවත් දළය යයි. තරහ ගතිය බොහෝ සෙයින් තිබේ. මතක තබාගෙන ගොස් කරදර කළ පුද්ගලයාට පහර දේ. දෂ්ට කළ විගස ශරීරයේ පුවක් ගෙඩියක් තරම් මහත දිය බිබිල් හට ගැනේ. වහා ප්‍රතිකාර නොකළොත් වහා මැරීයයි. එපමණ භයානක විෂ සඳහා ද ඉතාමත් පහසුවෙන් සපයා ගත හැකි අවුෂද ප්‍රමාණවත් වේ.

"මාපිල් හබරට අවුසද කියතී - එම ගස එම පතු මලවා බඳි තී"

මා පිල් හබරා, මතක තබා ගැනීමට සමර්තයෙකි. ඉවපාරේ ගොස් තමාට පීඩා කළ තැනැත්තාට දෂ්ට කරයි. සැතපුම් දෙක තුන දුර පවා පලිගන්නා පිණිස, ගමන් කර තිබෙන බව දැන ගෙන තිබේ. වරක් මහවැලි ගඟේ දී දහවල් දෙකට පමණ හැවන් කපන විට, දෑ කැත්තට අසු වී වල්ගයෙන් කොටසක් කැපුනු, හබරෙක් ගඟට පැන්නේ ය. හැවන් කැපූ අය ඒවා අරගෙන ගෙදර ආවෝ ය. ඉවපාරේ මේ මාපිල් හබරා ඇවිත් තිබේ. දුර සැතපුම් තුනහමාරක් පමණ ය. හැවන් කැපූ තැනැත්තා එදා රෑ ගෙයි පිලේ නිඳා ගත්තේ ය. උදය අවදි වී බලන විට කඩියන් රාසියක් කමින් මැරී සිටි මේ වල්ගා කොටා දකින්නට ලැබුනි. අධික වේදනාව නිසා පලිගන්නා අදහසින් ආ නමුත් කඩි රැල නිසා ඌට එය බැරි වී තිබේ. මෙය මා සියැසින් දුටු සිද්ධියකි. මෙබඳු සිද්ධීන් තවත් තුන හතරක් මා දැක තිබේ. බොහෝ දෙන වනයේ දී ගැරඬියායි මූට රැවටේ. මූ කෝප වූ විට පුළුවන්කමක් නැතත් නයා මෙන් පෙනය කිරීමට උත්සාහ කරයි. නාග මාපිලා යන නම මූට ඒ සඳහා ව්‍යවහාර කරනවා යයි සිතන්නට පුළුවන. අන්ධකාරයේ ඇති වඩා ජනයා නොගැවසෙන පාලු ප්‍රදේශයන්හි තිබෙන ඈතට යාහැකි කුඩා ගල් ගුහාවල මුන් වැඩි වශයෙන් ජීවත් වේ. වැඩි වසයෙන් මුන්ගේ පහර ලබන්නෝ පැල් රකින ගොවිහු ය. මේ සතෙකුට නයෙකු මුනගැසුනොත්, නයා මඟහැර යනවා විනා මූ මඟහැර යන්නේ නැත. අනිත් සියලු ම සර්පයෝ නයාට ඉඩ දී පසුබා යත්. වෙද පොත්වල නාග විෂය ප්‍රධාන අංකයට දමා පෙන්වුවත්, මගේ අත්දැකීමේ හැටියට, ප්‍රධාන අංකය දිය යුතු වන්නේ මාපිල් හබර විසට ය.

4. නිර්විෂ සර්පයෝ

1. මං බල්ලා / අහරකුක්කා

2. දියබරියා

3. පුල්ලිබරියා / දිය නයා

4. පොලෝ උල්ලා

5. ගැරඬියා

6. කහ ගැරඬියා

7. ඇහැටුල්ලා

8. හාල් දන්ඩා

9. දෙපත් නයා

10. පිඹුරා


මේ දීර්‍ඝ ජාතින්ගේ ඉහත දැක්වූ සර්පයින්ගේ මෙන් විෂ ගතියක් නැත. නමුත් දෂ්ට කිරීමෙන් ශරීරයට ඇතැම් පීඩා ඇති වේ. දියබරියා, දියනයා, ගැරඬියා, දෙපත් නයා යන සතුන් දෂ්ට කිරීමෙන් කලක් ගත වුනු පසු හොරි නොහොත් කඩුවේගන් නමින් ශරීරයේ බිබිලි සෑදි වරින් වර සුව වෙවී වරින් වර පීඩා විඳින්නට සිදු වේ. ඒ විෂ මාරාන්තික නොවන නමුත් පීඩාදායක ය.

කහ ගැරඬියා දෂ්ට කළ විට ඇඟ කහපාට වේ. මල, මුත්‍ර, සෙම්, සොටු, කෙළ ආදිය පවා කහ පාට වේ. එනමින් ඇති විෂ නාෂක අවුසදයක ඉස්ම ටික බීමෙන් සහ ඇඟ ගාගැනීමෙන් පමණක් ම ඒ පීඩාව දුරු වේ. හාල්දන්ඩා දෂ්ට කළ විට, දවස් කිහිපයකට වරක් සුළු වේලාවක් ඇඟ ගැස්ම ඇති වේ. දෙපත් නයාගෙන් කුණුවීම ඇති වේ. පිඹුරාගේ පටලවා ගැනීමෙන් ඉල ඇට පවා පොඩි වී යන්නට පුළුවන. වල්ගයේ උලෙන් ඇන මරන්නට ද හැකි වේ. උගේ සම පාවහන් පටි ආදිය සෑදීමට පාවිච්චි කරත්. තෙල් කැපීමෙන් ඇතිවන තුවාලවලට ප්‍රත්‍යක්ෂ අවුසදයකි. කොඳු ඇටය ඉන බැඳීමෙන් කටී වායුව ගුන වේ. ඝන වනාන්තරවල අති විශාල පිඹුරන් දකින්නට පුළුවන. ඌ ගිල්ල ගොදුරක් වමාරා දැමුවහොත් ඒ මළ සිරුර, අධික සෙවල ගතියකින් යුක්ත බව අපට පෙනේ. ඒ සෙවල ගතිය ආහාර දිරවීමට උපකාරී වන දෙයකි. මනුෂ්‍යයාට පීඩා කරන විෂක් ඒ සෙවල ගතියෙහි නැත.

ගැරඬියා

බොහෝ මහතට වැඩේ. කළුපාට ය. පෙනේ කළ නොහැකි ය. හිස කුඩා ය. නිතර ම දිව එළියට දමයි. ඌ දෂ්ට කළහොත් පසුකලක දී කබර හෝ ලාදුරු වැනි ආබාධ ඇතිවිය හැක. ගැරඬින් ආහාර පිණිස ඉන්දියාවේ සමහර මිනිසුන් ගන්නා බව මා ලංකාවේ දී දැක තිබේ.

ඇහැටුල්ලා

කොළ පාට ය, කුඩා ය, දිග ය. ඌ නිල්වන් කොළ අතරේ ම නිතර ම ගැවසේ. ආහාර සොයාගැනීම පිණිස ය. ඇහැටුලු වර්‍ග රාශියක් වෙත්. එයින් නිතර ම දකින්නට පුළුවන් එක ම වර්‍ගයක් පමණ ය. එනම් සාමාන්‍ය ඇහැටුල්ලා ය. කැලෑවල යෑමේ දී මූ කොළ අතරේ සිටින නිසාත් උල් වූ හොටක් ඇති නිසාත් ඇහැට වදින මට්ටමේ සාමාන්‍යයෙන් සිටින නිසාත් ඌට ඇහැටුල්ලා යයි කියති. එසේ නමුත් ඌ කවදාවත් ඇහැට අනින්නේ නැත.

අපාද සත්ත්වයන්ගෙන් පිටත් තරමක් විෂ ඇති සත්වයන් සිටිත්.

5. දිවිමකුලුවා

මකුලුවෝ ප්‍රභේද රාශියකි. ඉන් ඉතාමත් ම මහත මකුළුවා, තරමක පීරිසියක් පමණ මහත ඇත. කළුපාටයි. නමුත් පිට මැද සුදු පුල්ලියක් තිබේ. කකුල්වල හා ඇඟේ දිග ලෝම තිබේ. එබඳු ම මහත ඇති තනිකර දුඹුරු වර්‍ගයක් ද ඇත. උන් පඬුවන් පැහැයයි. පිටේ පුල්ලියක් නැත. පොල් මටුලු අතරේ ඌ උන්විට හඳුනා ගැනීම අපහසු තරම් ය. ගල් ගුහාවල හා ලොකු ගස්බිලවල ද දිවිමකුළුවා වාසය කරයි. ඉහත සඳහන් දිවිමකුළු දෙදෙනාගේ ම විෂ එක තරමයි. උන් මිනිසාට එපමණ බයක් දක්වනුයේ නැත. දෂ්ට කරන ගමන් නියෙන් ද පහර දේ. ඒ නිසා දත්පහර සහ නිය සලකුණු රාසියක් තුවාලය අසල දැක්ක හැකි ය. මේ විෂෙන් වහා මැරෙන්නේ නැත. නියම ප්‍රතිකාරය කළොත් ක්ෂණයකින් ම සුව වේ. නැත්නම් වේදනාව ඇති වේ. ඉකිලි කිසිලි ගැට ගැසේ. පසුව කොරවේ. නැවතත් ඉබේ ම දිගහැරේ. මෙසේ වරින්වර කොරවේ. ඇඟේ කුඩා බිබිලි ඇති ව පතුල් සහ ඇස් දැවිල්ල ඇති කරයි. බොහෝ කාලයක් දුක් විඳින්නට සිදු වේ.

ඉහත කී දිවිමකුළුවාට වඩා අල්ප විෂ ඇති කුඩා මකුළුවෝ වර්ග කිහිපයක් සිටිත්. උන්ගේ ද ශරීරයේ කුඩා ලෝම තිබේ. දිවිමකුළුවන් ගේ සහ කුඩා මකුළුවන්ගේ මල සිරුරු ගෙඩිවලට බෙහෙත් පිණිස ගනිති. මනුෂ්‍යයාට අවැඩදායක කුඩා මැසි වර්‍ග රාසියක් නැති කරදමන හෙයින් එක් අතකින් මනුෂ්‍යයාට ප්‍රයෝජනවත් ය.

6. මැඬියා

මුන් වර්‍ග රාසියකි. ගොඩ, දිය සහ ගස්වල වාසය කරන වර්‍ගවෙත්. මෙයින් ගෙවල් අසල වාසය කරන ගෙමැඬියා තරමක විෂ ඇති එකෙකි. ඌ දෂ්ට කරන්නේ කලාතුරකිනි. එසේ කළොත් පොළඟකු හා සමාන විෂ ඇති වේ. දෂ්ට කල ඉක්මනින් කටින් කෙල පෙරෙන්නට පටන් ගනී. පසුව ක්‍රමයෙන් මුර්ච වේ. ශරීරයේ පිට අල්ලේ උදරයේ, පාද දෙකේ, දෙකම්මුල්හි නිල ස්ථානවල මැඬියකු තරම් ම පිලිස්සුන විට ඇතිවන දිය බුබුලු මෙන් බුබුලු මතු වේ. තවත් වේලාවක් ගතවන විට ඒ දිය බුබුලු මත කොන්ඩය ලෙස නැවත දිය බුබුලු මතු වේ. නිල ස්ථානයන්හි අන්තිම බිබිලත් මතු වුවහොත් ආතුරයා මැරෙයි. සුවකළ නොහැකි ය. මැරෙන්නට පෙර, හැදුන දියබිබිලි එක එක පුපුරා යයි. නියම ප්‍රථිකාරයකින් වහාම සුව කළ හැකි ය. ප්‍රතිකාර ක්‍රමයන් ද ඉතාමත් පහසු ය. මූ රාත්‍රි කාලයේ ගොදුරු සොයයි. ගෙවල්හි වාසයට වැඩි කැමති ය. දීර්‍ඝ ජාතීන්ගෙන් බේරෙන පිණිස ය. සර්පයෙක් ආහාර පිණිස මැඬියාගේ පසුපසින් අල්වා ගනියි. ඕනෑ ම සර්පයෙක් ගෙමැඬියාට මුහුණ දීමට බය ය. ඌ සර්පයා හපා කන නිසයි. ඒ නිසා බොහෝ සූදානමින් ඔහුගේ පසුපසින් අල්වා ගනී. ගැරඬියෙක් ගෙම්බකු ගිලින විට, බොහෝ වේලා කෑගසන බව අපට ඇසේ. ඒ පසුපසින් අල්වා ගන්නා හෙයිනි.

ඇට ගෙම්බා, ගස් ගෙම්බා, ආදී වර්‍ග ගස්වල වාසය කරති. උගේ ගාත්‍රා ඉතා දිග ය. ඌ ඈත පැනීමෙන් ගමන් කරයි. භයක් ඇති වූ විට ගෑගසන්නේ ළදරුවෙකුගේ හැඬීම මෙනි. ඌ ද මිනිසාට දෂ්ට කරයි. දිය බිබිලි වෙනුවට ශරීරයේ ගෙඩි මෙන් ගැට ඇති වේ. ඒ ගැට චලනය වනවා රෝගියාට දැනේ. පහසු ප්‍රතිකාරයකින් එය සුව කළ හැක. දියේ වාසය කරන දිය ගෙම්බා, පොල් ගෙම්බා ආදිනගේ සැලකිය යුතු විෂ ගතියක් නැත.

7. මීයා

නොයෙක් වර්‍ගවල මීයෝ සිටිත්. කුණු මීයා ඉන් ප්‍රධාන ය. කෑ කල ශරීරය කුණු වේ. ඌ කළුපාට ය. කට උල් ය. කියතක් මෙනි. ඌ කුඩා ය. ඌට සර්පයින්ගෙන් පීඩාවක් නොවේ. ඒ නිසා ඌ හුඹස්වල පවා වාසය කරති. උරුලෑවා මෙන් උගේ ගඳක් තිබේ. ඒ ඉතා අමිහිරි ය. ශබ්ද කරන්නේ උගේ විෂ ශරීරය කුණු කිරීමට හේතු වේ. එපමණක් නොව ඒ තුවාලය ද කුණු මී ගඳ ඇති වේ. තුවාලය සඳහා කිහිපදෙනෙක් පිළියම් කළ යුතු ය.

ගෙවල් වාසය කරන මීයා

ඌ මිනිසුන්ගේ අත්පා සපා කයි. වැඩි වශයෙන් සපා කන්නේ නිදා සිටින විට ය. ඌ රාත්‍රියේ ඇවිදින නිසා වෙන්ට පුළුවන. ඌ මිනිසුන්ගේ පාදවල හම ආහාරයක් වසයෙන් කයි. නිදි මාපිලාගේ පීඩාව මෙන් මිනිසාට සමහර විට ඒ බව නොදැනේ. උගේ දත් එපමණ තියුණු බැවිනි. ඇතැම් විට වේදනාව දැනෙන්නේ උදේ නැගිට ඇවිදින්නට ගිය විට ය. දැවිල්ල බොහෝ වේ. හිසරදය සහ උණ ගතිය ඇති වේ. නියම ප්‍රතිකාර නොකළොත් තුවාල වේ. එය සුව වුනොත් කලක් ගත උන පසු කබර සෑදේ. ඒ කබර නියමිත ස්ථානයන්ගෙන් ම පළමුව ඇති වේ. ශල්‍යකර්‍මයකින් සහ බෙහෙත්වලින් ද කබර හෝ ඒ පීඩා සුව කළ හැකි ය. ඉතිරි මී වර්‍ගයන්ගෙන් එපමණ පීඩාවක් නැත. යම් විටක දෂ්ට කළ ද ප්‍රතිකාරයක් නොලදත් සුව වේ.

8. ශරට

සිකනලා

මූ ඉතා භයානක ය. දෂ්ට කරන්නේ කලාතුරකින් ය. විෂ හොදාකාර ශරීරගත වුනොත් වෙවුලුම පටන් ගනී. ඒ වගේ ම දැවිල්ල ද ඇති වේ. නියම ප්‍රතිකාර නොකළෝත් විදුලි පහර ලැබුවන් සේ වේ. සිකනලා ද මිනිසාට වඩා භය නැත. හොඳ තරුණ සිකනලෙක් නයෙකු සමඟ උනත් සටන් කරන්නට සූදානම් වේ. මැඬියාගේ මෙන් උගේ ද පසුපසින් අල්වා ගැනීමෙන් ඌ ගිල දමන්නට පුළුවන. සිකනල් ගෝත්‍රයේ තවත් සතුන් සිටිත්.

1. කටුස්සා

නොයක් වර්‍ගවල අය සිටිත්. අතක් පමණ මහත බෝදිලිමා නම් කටුස්සා සපාකන්නේ නැත. නමුත් ඇඟට පැන නියෙන් පහුරු ගායි. එය මඳක් වේදනාව ඇති වන දෙයකි. සාමාන්‍ය කටුස්සා දුඹුරුපාට යි. සමහර විට ඌ සපකයි. එසේ සපා කෑ කල ඇග ගැට ගැසේ. දිව සහ දත් ඉතා තියුණු ය.

2. හූනා

දත් තියුණු ය. වර්‍ග කිහිපයකි. සපාකයි. මඳක් වේදනාව ඇති වේ. පසුව එය නැති වී යයි.

3.කබරගොයා

මස් කඩා ගනී. පසුව කබර හෝ ලාදුරු සෑදේ. උගේ තෙල් විෂ සහිත ය. හම් පාවහන් ආදියට ගනිති. ගොඩ සහ දිය දෙකේ ම ජීවත් විය හැක. උගේ තෙල් අනුභව කිරීමෙන් මරණය වුව ද සිදුවන්නට පුළුවන. මනුෂ්‍යයාගේ හිතවත් සතුන් අල්වා ගැනීමෙන් පාඩු ද සිදු වේ. එසේම මනුෂ්‍යයාට පීඩා ඇතිවන මී, මැඬි, සර්ප, කක්කොටු ආදි සතුන් රාසියක් නැති කරන හෙයින් ඌ මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ය. කබරයා ජීවත් ව සිටින ප්‍රදේශවල සර්පයෝ වඩා නැත. ඒ ඌ මරා කන හෙයිනි. තලගොයා විෂ රහිත ය. නමුත් විෂ සහිත සතුන් ඌද අල්වා කයි.

ඉබ්බා

මූ ද වර්‍ග කිහිපයකි. දියගොඩ දෙකේහි ම ජීවත් වේ. සමහරු උගේ මස් කෑමට කැමති ය. එහි මාන්දම ආදී රෝග සුව කරන ගතියක් තිබේ යයි විශ්වාස කරත්. කලාතුරකින් ඌ සපා කයි. ඒ කරන කොට ගෙන කබර සෑදේ. මීයාගේ මෙන් ඉබ්බාගේ ද විෂ ගතිය මරණය සිදු නොකරයි. ලේවල එක්තරා ජීවානු කොටසක් විනාශ කිරීමට සමර්ථ ය. උන් සපා කෑමෙන් ඇති වන කබර ද සාමාන්‍ය ප්‍රතිකාරවලින් සුවපත් කළ හැකි ය.

කිඹුලා

මින් ඉහත දැක්වුනු සෑම ගනයක ම සතුන්ට වඩා ලොකු ය. ඌ අත් පා ආදිය කඩාගෙන කයි. දත්වලින් තුවාලයක් ඇති වුනොත් එහි මඳක් විෂ ගතිය ඇත. තදේට උණ ගනී. භය වේ. තුවාල පැසවත්.


9. සතපදිකයෝ

1. ගරුඬා

අඟල් 6ක් හෝ 8ක් පමණ දිග ය. රතු පාට ය. හපා කයි. වේදනාව අධිකයි. තදේට ඉදිමෙයි. ඉතා සුළු ප්‍රතිකාරයකින් ක්ෂණයකින් සුව වේ.

2. පත්තෑයා

එම ගෝත්‍රයේ ම වඩා කුඩා සතා ය. හපා කයි. මඳක් විෂ පවතී. සුළු ප්‍රතිකාරයකින් සුව වේ.

3. ගෝනුස්සා

ගොඩ ඉන්නා හිසක් නැති සතා යනු අර්‍ථයයි. ලංකාවේ වර්‍ග දෙකක් සිටී. වල්ගයෙන් අනී. ඉදිමෙයි. වේදනාව ඇති වේ. මන්ත්‍ර ක්‍රමයෙන් හෝ රෙද්ද පෙරලා ඇදීම වැනි යමකින් හෝ දූතයාට ටොකු ඇනීමකින් හෝ සුව වේ. කුඩා වර්‍ගය ගැටුස්සෝ යයි කියත්. මඳක් වේලා අධික වේදනා හට ගනී. ගෝනුසු වර්‍ගය පැටව් ලැබීමෙන් පසු මැරී යත්.

4. බඹර දෙබර

පසු පසින් අනී. විරුද්ධකාරයා පසුපස රංචු වසයෙන් පියඹා යමින් පහර දෙති. විෂ ගැලවුන තැන ළිඳ සේ වේ. විත සමඟ මස් ගැලවී යන හෙයින් වේදනාව අධික වේ. බරපතල ලෙස ඉදිමේ. උගේ විත ඉස්කුරුප්පුවක් මෙනි. ගලවා ගන්නට පුලුවන් කැරකැවීමෙනි. පහරදුන් පසු කරකැවෙන්නේ නැතිව බියපත් වීමෙන් ගලවා ගන්නට තැත්කළොත් විෂ කෝෂයත් සමඟ ම ගැලවේ. ඒ කරන කොට ගෙන ඌ නසී. බත් තුලක් මෙන් ඇති ඒ විෂ කෝෂය ගලවා දැමීටමට අතින් මිරිනා ඇල්වුවහොත් එහි තුළ තිබෙන සියලු ම විෂ ශරීරයට ඇතුල් වේ. මුවහත් යමකින් ආපසු ඇදීමෙන් ගලවා දැමීමෙන් විෂ නැති වේ. මේ වර්‍ගයේ සතුන් හත් අට දෙනෙකුගෙන් පහර ලැබුවෙක් නයෙකුගෙන් පහර ලැබුවෙක් සේ වේ. ඒ කරන කොට මරණය පැමිනෙන්නට ද පුළුවන. මේ වර්‍ගයේ කුඩා සතා මී මැස්සා ය. උන් රාසියක් දෂ්ට කළ ද මරණය සිදු නොවේ. ඉදිමීම ඇති වේ. පුරා දවසක් ම ඉදිමීම ඇති වේ. රක්ත වාතය සුවකරන බලයක් ඒ විෂෙහි තිබේ.

5. කලාදුරුවා

උගේ ගේ වද එකයි. කීපදෙනෙක් පමණක් ජීවත් වෙති. පහර දුන් කල ඉතාමත් තද දැවිල්ල හට ගනී. මඳක් ඉදිමෙයි. නමුත් ප්‍රතිකාරයක් නොකර ම වුව ද සුව වේ.

6. දළඹුවා

වර්‍ග කීපයකි. ගෝනමරුවා - ඇඟිල්ලක් තරම මහත ඇත. මුගේ ඇඟ තැවරීමෙන් විෂ ඇති වේ. මුට ගෝනමරුවා කියන්නේ ගෝනාගේ ඇඟේ තැවරුන විට අධික වේදනාව හෙයින් බෙරිහන් දෙමින් වනය දෙවනත් කරගෙන දුවයි. එහෙයින් ඌ ඉන්න ස්ථානය සොයාගැනීමට දඩයම් කරුවන්ට පහසු ය. මූ ඇඟේ ගෑවුනොත් අධික දැවිල්ලක් හට ගනී. ඉකිලි කිසිලි ගැට ගැසේ. උණ ද වැළඳේ. ප්‍රතිකාරයක් නොකළ ද දවසකින් විෂ ගතිය පහ වේ. කඟවේන අඟකින් පිසීමෙන් එවේලේ ම සුව වේ.

රාගඩුවා

මූ ද පෙර කී එකා කරමට ම මහත ය. උගේ ස්පර්සය ද ගෝන මරුවාගෙන් මෙන් ය. තවත් කුඩා දළඹු වර්‍ග රාසියක් වෙයි. ලංකාවේ නානාප්‍රකාර සමනල වර්‍ග දකින්නට පුළුවන. උන් පිටවන්නේ නානාප්‍රකාර දළඹුවන්ගෙනි. දළඹුවාගේ මවිල් පහසුවෙන් ගැලවේ. ඇඟේ ඇනේ. ඒ නිසා බොහෝ සෙයින් කැසීම හට ගනී. කසඹිලියා මා උස්සා ආදිය ගෑවීමෙන් මේ දලඹුවන් ගෑවීමෙත් වෙනසක් නැත. තෙල් ස්වල්පයකින් ගා තියුනු ආවුදයකින් සූරා ඒ ලෝම ගලවා දැමීමෙන් පීඩාව නැති වේ.

10. සර්ප විෂ

අති උග්‍ර විෂ සහිත දළ සතරක් ද තරමක විෂ ඇති දත් දහසක් ද ඉතා සුළු විෂ ඇති තවත් දත් තිස් දෙකක් ද සමඟ දත් දාහක් සර්පයාට තිබේ. මේ විෂ ආහාර දිරවා ගැනීමේ දී ඉතා උපකාරී වේ. එසේ ම ගොදුර වහා අප්‍රානික කරවා ගැනීමට ද ඒ උපකාරී වේ. සූර්ය රශ්මියෙන් මල්වලට පාට එන්නාක් මෙන් දිලිසෙන පිනිබිඳුවලට සූර්ය රශ්මියෙන් ඇදී එන විෂ සර්පයන් බීමෙන් පසු උන්ගේ විෂ කෝෂ පිරෙන බව අපේ වෙද පොත්වල පෙන්වා දී තිබේ. කෙසේ හෝ සතෙකු ආහාර කරගත් පසු හෝ විෂ කෝෂ හොඳට ම මිරිකා හැරිය පසු, ඒ සතා නිර්විෂ සත්ත්වයෙකු මෙනි. ශරීරයට තුන් ආකාරයකින් විෂ ඇතුල් වේ.

1. දෂ්ට විෂ - දළ තුඩින් ශරීරයට විදීම.

2. පුෂ්ට විෂ - හමේ ගෑවීම.

3. දිෂ්ටි විෂ - භයානක දේ දැකීමෙන් ඇසින් ඇතුළු වෙන විෂ.

මෙයින් දෂ්ට විෂට බේත්, මන්ත්‍ර, සෑම කර්‍මම කළ යුතුයි.

පුෂ්ට විෂට තෙල් බේත් කළ යුතුයි.

දිෂ්ටි විෂට මන්ත්‍ර, අග්නි කර්‍ම, විෂ කැපුම් ආදිය කළ යුතුයි.


11. මූලික ප්‍රතිකාර

විෂ වෙදකමෙහි ක්‍රම තුනක් වේ. එනම්,

1. විෂ බැඳීම

2. විෂ බෑම

3. විෂ නැගීම යනුයි.

සර්පයා දෂ්ට කළ බව කියා ආ හැටියේ ම විෂ බඳුත්, බාත්, නඟත් යන මේ තුනෙන් කැමති දෙයක් කළ යුතු වෙයි. මේ ක්‍රම තුන ම ඉතාමත් ම සත්‍ය වූ ඒවා ය. මීට හේතු වසයෙන් මා කල්පනා කර තිබෙන්නේ රෝගියාගේ සහ උපස්ථායකයින්ගේ මානසික තත්වය සර්ප විෂ පිළිබඳ බලපවත්වන බව ය.

1. විෂ පහකිරීමේ ක්‍රමය

නිර්භීතව කථාකිරීම හෝ ඇති වුන භය පය පහකරන වචන හා වෙදමහත්මයා කෙරෙහි ඇති විශ්වාසය.

මැතිරීම. මෙයත් පළමු කොට සේම එකක් ය. පොත්වල නියම කර තිබෙන මන්ත්‍ර නොමැතිව ද තමාට හිතූ මනාප දෙයක් හෙමින් කිය කියා දෙහි ආදී අත්තකින් පිසා දමමින් හෝ බුලත් හුනු ආදි දෙයක් ප්‍රයෝජනය සඳහා ගෙන මැතිරීමෙන්.

ලබා ගන්නට පුලුවන් බෙහෙත් වැල් හෝ බෙහෙත් පට්ටා වර්‍ගයකින් විෂ ඈතට නොයන සේ බඳින්නට පුළුවන් තැනක නම් බැදීම. මේ සඳහා සමහර බේත් පට්ටා වර්‍ගයෝ අති උතුම් වන්නේ ය. නූල් පොටක් පමණ වූ එබඳු බෙහෙත් පට්ටයකින් ඔබ්බට, විෂ හෝ ඉදිමුම් කිසිසේත් නොයන නිසා ය.

හැකි නම් තුවාල මිරිකා හෝ දෙහි කටුවක් වැනි දෙයකින්, තුවාල කර ලේ ගලන්නට සැලස්වීම.

තුවාල මනාව පරීක්ෂා කොට සර්පයාගේ දළ කැඩී තිබේදැයි පරීක්ෂා කොට තිබේ නම් ඉවත ගෙන දැමීම.

ගිතෙල්, කිතුල් තෙලිදිය, ආදි සීතල වර්‍ගයක් බොන්ට දීම.

නිශ්චලව ඉන්නට නොදී දිවීම හෝ ඇවිද්දීම.

බේත් කොලවලින් පහතට පිස දැමීම. ලබාගත් කෝක නමුත් හොඳයි. සමහර ද්‍රව්‍ය විශේෂයි. බෙහෙත් දලු ඉස්ම බින්දු කිහිපයක් නෂ්‍ය කිරීම.

එලගොම හෝ ගෙන්දගම් පෑගෙන්නට ඉඩ නොදීම.

පයරියා ආදී දත්වල රෝගයක් නැති කෙනෙකු ලවා තුවාලය උරවා දැමීම. මේ සියලුම කර්‍මයන්ට වැදගත් දේ නම් අල්පමාත්‍ර භයක් හෝ බය වැද්දවීමක් නොකර බුදු ගුණ මෙනෙහි කිරීමෙන් විෂ පහකර ගැනීමයි. මේ සඳහා විශේෂ පිරිත් සූත්‍ර තිබේ.

12. විෂයයන්ගේ ප්‍රභේද

සිංහල ක්‍රමයට විෂ වර්‍ග බෙදා වෙන් කර තිබෙන බවක් දැනගන්නට නැත. ඉහත දැක්වූ සර්ප විශේෂයෝ කිට්ටු කිට්ටු ස්වරූප ඇති, සර්පයන් හා එක්වීමෙන් ගැබ් ගෙන දෙවර්‍ගයට ම සම හෝ අසම විෂ විධි ඇති වන බව සඳහන් වේ. විශේෂයෙන් නයා, ගැරඬි ධේනුව සමඟ ද ගැරඬියා නැයිනිය සමඟ ද නයා පොලොං ධේනුව සමඟ ද පොලඟා තෙලිස්සි සමඟ ද තෙලිස්සා පොලොං ධේනුව සමඟ ද කරවැලා කටකලුවා සමඟ ද මාපිලා පොලොන් ධේනුව සමඟ ද ආදී වශයෙනි. මේ සියලු ම විෂ එක ම ඝනයට ඇතුළත් ව තිබේ, නොහොත් එක ම බේතින් සුවපත් වේ. සුවපත් කිරීම විනා විෂ ඇඳින්වීම සඳහා සිංහල වෙදකමේ තැනක් නැත. උවමනා වනුයේ සුව වීම නිසා ය. ඇඳින්වෙන්නේ විෂ හැටියට නොව සර්පයින් හැටියට ය. උදාහරණයක් වසයෙන් නයි විෂ පහකරන බෙහෙතින් ම පොලොං, කරවැල්, මාපිල්, හිකනල්, බඹර, දෙබර, පත්තෑ, ගෝනුසු, බලු ආදි ඕනෑ ම විෂයක් නැති කර දැමිය හැක. මේ ගැන කිසි ම සැකයක් නැත. තවදුරටත් බේත්ඔරුව, සල්ල විධය, බේත් ගුලිය, බේත් තෙල, වක්කන් ඇල්ලීම, නිල විධිය, සල්‍ය විධිය, විෂ කලාව, අමෘත කලාව, බෙහෙත්ගල යන මේවා කොයි විෂටත් එක සේ යෙදෙයි.

13. බෙහෙත්

හැම සර්ප වෙද පොතක ම වාගේ එක එක සර්පයාට වෙන වෙන ම බේත් නියම කොට තිබේ. ඒ හැම බේතක් ම ඉතාමත්ම සත්‍යයයි. නොවරදිනසුලුයි. අඩු පහඩුවකට තිබෙන්නේ රෝගියාගේ හෝ උපස්ථාකයකයාගේ විශ්වාසභාවයයි. මේ බේත් කටපාඩම් කරගෙන තිබුණ පමණින් ම වෙදකම් කිරීම අපහසු ය. පාඩම් තිබෙන බේත් වර්‍ග සොයා ගන්නට අපහසු වීම හෝ එබඳු කිසිවක් සොයා ගන්නට බැරි ස්ථානවල දී කළයුතු ප්‍රතිකාර දැන නොසිටීම එබඳු කෙනෙකුට අඩුපාඩුවක් වෙයි. එසේ වූ විට පාඩයුම් කරගත් වෙද මහත්මයා ඉදිරියේ දී ම රෝගියා මැරී යන්නට හෝ අසාධ්‍ය හෝ දුස්සාධ්‍ය තත්වයට වැටීමට හැකි වේ. මේවා දස්කම් කිරීමේ දී බොහෝ බේත පාඩම් කර ගැනීම උවමනා නොකරයි. අප රටේ ඕනෑ ම තැනක දී සොයා ගත හැකි යම් අවුසදයකින් හෝ නිල විධියකින් හෝ භූත ක්‍රමයකින් හෝ සර්ප විෂ පහර ක්‍රම දැනගත යුතු වේ. කුමන දෙයක් නමුත් අවුෂද පිණිස යෙදේ. මනුෂ්‍යය ශරීරයේ දස ස්ථානයකින් පිටවන අපවිත්‍ර ද්‍රව්‍ය මේ එක් එක් විෂ නැති කිරීම සඳහා ඉතාමත් ම ප්‍රයෝජන වේ. ගෙදර දොරේ තිබෙන ගිතෙල්, කිතුල් හකුරු, අලු, වියන් දුඹුලු, ලිපයට පස්, කහ, ලුනු, කුරක්කන් පිටි ආදී ද්‍රව්‍යයෝ මේ විෂ පහකිරීම සඳහා ප්‍රධාන තැනක් ගනී. බේත් ගැනීමේ දී පෙනෙන්නට ගැනීම හොඳ නැත. ඒ බේත ගැන ලෙඩාගේ ඇති භක්තිය අඩුවීමට පුළුවන් නිසා ය. ගුරු දෙමව්පියන් සිහිකර, බේතට වැඳ නමස්කාර කර ගරු බුහුමන් දක්වා ගැනීමෙන් වෙදකම් කරන අයගේ, චෛතසික ධර්‍මතාව ඒකාග්‍රභාවයට පමුනුවා පිලියම් කිරීමෙන් රෝගය වහා සුව වේ. කෙසේ හෝ අපවිත්‍ර ස්ථානවලින් බේත් පිණිස ද්‍රව්‍ය නොගත යුතුයි. එබඳු තැන්වලට යාමේ දී වෙදදුරුට ම අප්‍රියතාවක් ඇති වන නිසා ය. ගෞරවයෙන් ම ද්‍රව්‍ය ලබාගත යුතුයි. අවුෂදයන්ගේ ගැනීම ද බස්නාහිර කොටසින් ම යුතු වෙයි. චෛතසික ධර්‍මතාව බලපවත්වන ක්‍රම කොයිවා නමුත් මේ සඳහා ප්‍රයෝජනවත් වේ. බේත් ගල්, බේත් ගුලි, බේත් කුඩු, බේත් තෙල් ආදිය පිළියෙල කරගෙන ඉඳීම එක්තරා ප්‍රමාණයක් ප්‍රයෝජන ය.

සර්ප විෂ ක්ෂණයකින් පහකළ හැකි ද්‍රව්‍ය ලංකාවේ ඕනෑ ම තැනක දී පහසුවෙන් සපයා ගත හැකි නිසා මේ ගැන එතරම් බරපතල ලෙස කටයුතු කිරීම උවමනා නොකරයි. වැඩිකොට සර්පයින්ගෙන් පහරක් හෝ මුගටි, හිවල්, බලු, බළල්, ගෝන, මුව ආදී සත්වයෝ ය. ඔවුහු කවදාවත් මේ සඳහා වෙද මහතෙකු සොයා නොයත්. මා ඉහත සඳහන් කල මූලික ප්‍රතිකාර ක්‍රමවලින් පමණක් ම ප්‍රයෝජන ගනිත්. වැඩිපුර ගස්වල කොළ, පොතු මුල් ආදිය සපාකමින් දිවීමෙන්ද කෑ ගැසීමෙන් ද කාලය ගෙවත්. ඒ කරණ කොට විෂ පහව යේ. ලෙව කෑම මේ ක්‍රමය ඉතා සාර්ථක ප්‍රථිපල ඇති වේ. එසේ ම නූගත් ගම්බද අයටත් මේ විෂ පහසුවෙන් සුව කරගත හැක. ඔවුහු වෙද මහත්මයා ගැනත්, බේත් මන්ත්‍ර ගැනත්, කෙම් පහම කිරීම ගැනත්, දැඩි භක්තියක් පවත්වා ගන්නා නිසා ය. විෂ පහසුවෙන් බස්වා ගන්නට අපහසු වන්නේ වැඩි වශයෙන් පලා වර්‍ග ආහාර පිණිස ගන්නා කොළ වර්‍ග, පොතු වර්‍ග, මුල් වර්‍ග හෝ ගොඩ වර්‍ග වැඩිපුර ඇඟේ ස්පර්ස නොවන බොහෝ ඈතට කල්පනා කරන මිනිසුන්ට ය. ඔවුහු ගම්බද වෙද මහතා කෙරේ විශ්වාස නොකරත්. ඔහුගේ සහකාරයෝ ද ඒ ගැන විශ්වාස නොකරත්. එසේ කොට යුරෝපීය විශේෂඥ වෛද්‍යවරයන් කරා යත්. එයින් පසු මාරයා කරා යන්නට ද සිදු වේ. වැඩි වශයෙන් සර්ප විෂෙන් පීඩා ඇති වන්නේ දුප්පත් ඉඩපහඩු නැති කාමරවල පදිංචිව ඉන්නා හේනේ කුඹුරේ වැඩට යන අයට ය. ලංකාවේ නූගත් බොහෝ දෙනෙක් මේ රටේ ඇති පැළෑටීන්ගේ ක්‍රියාකාරී ස්වභාවය නොදනිත්. ජර්මනිය, ඇමෙරිකාව ආදි රටවලට මේ පැළෑටි ගෙන ගොස් බොහෝ බලවත් අව්සද පිළියෙල කරන බව අපි දනිමු. විෂය විෂයකින් ම පහ කළ හැක යන යුරෝපීය මතයක් තිබෙන බව මා අසා ඇත. එක ම ආහාර ගන්නා සර්පයාගේ ශරීරයේ ඇති වන විෂ එම ආහාර ම වෙන ක්‍රමයකින් ගන්නා මනුෂ්‍යයාගේ ශරීරයේ ඇති විෂෙන් පහ කළ හැකි නිසා ඉහත කී කාරණය ඇත්තක් ලෙස අපට පිළිගන්නට පුළුවන. මෙරට බෙහෙත් පැළෑටි කිහිපයක ඇති බලය මෙහි දී පෙන්වා දෙනු කැමැත්තෙමි.

1. ගසේ පොතු ඉහළට ගලවා ඉස්ම මිරිකා බීමෙන් වමනය ඇති වේ. එම ගසේ ම එම පොත්ත පහතට ගලවා බීමෙන් පාචනය ඇති වේ.

2. නූල් පටක් බෙහෙත් පට්ටයක් ශරීරයේ එතුනොත් ඉන් ඔබ්බට විෂ හෝ වේදනාවක් හෝ ඉදිමුමක් නොයයි.

3. අධික ලෙස ලේ ගලන තුවාලයකට, අඟල් ගණනක් ඈත් කොට පොඩි කරන ලද කොළ වර්‍ගයක් ඇල් වී මෙන් ලේ ගමනය පස්සට ඇති වී ලේ ගැලීම නවතී.

4. එකම අවුසදය එක්තරා ප්‍රමාණයක් ගැනීමෙන් කිසි ම පීඩාවක් නැතිව වමනය වේ. එම අවුසදය ම අන්‍ය ප්‍රමාණය ගෙන බීමෙන් පාචනය වේ.

5. එක්තරා බෙහෙතක් ඉනේ තබාගෙන සර්පයන් මැඳක උන්නත් කිසි ම සර්පයෙක් දෂ්ට නොකරයි.

මේ ඉහත දැක්වූයේ ඉන් කිහිපයකි. මේ ප්‍රතිකාර ක්‍රමයේ දී බෙහෙත්වල අති සියුම් ක්‍රම ගැන කල්පනාව යොමුකර තිබේ. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

1. සාමාන්‍ය පොල් වතුර - තැඹිලි වතුර

2. එල එඬරු - රත් එඬරු

3. ස්ත්‍රියගේ මුත්‍රා - පුරුෂයාගේ මුත්‍රා

4. ගලායන වතුර - උල්පත් වතුර

5. සිහින් වැලි කැට - ලොකු වැලි කැට

6. හීනැටි හාල් - සාමාන්‍ය හාල්

පත්තෑයා, ගෝනුස්සා ආදී සතෙකුගේ පීඩාවලට අඳනා රෙද්ද පෙරලා ඇඳීම පමණක් ඇත. නමුත් උගත් යයි සම්මත බොහෝ දෙනා මේවා කෙරේ විශ්වාස තබද්ද? ප්‍රතිකාර කිරීමේදී විෂ සම්බන්ධ ප්‍රබේධ දැන ගැනීම අවශ්‍ය නොවේ. දූත ලක්ෂණයන්ගෙන් පෙන්වන නා නා තරාතිරමේ සර්ප වර්‍ග ඇතත්, ප්‍රතිකාරයේ දී ඒ ගැන විශේෂයක් උවමනා නොවේ. බෙහෙත් කිරීමේ දී පහත සඳහන් ක්‍රම තුන අනුගමනය කළහොත් එය ම ප්‍රමාණ වේ.

1. සියලු බරපතල විෂ - ලොකු කුඩා සියලු ම විෂ ඇති සතුන්ගේ

2. සාමාන්‍ය සුළු විෂ - ලොකු කුඩා සියලු ම විෂ ඇති සතුන්ගේ

3. අල්ප විෂ - ලොකු කුඩා සියලු ම විෂ ඇති සතුන්ගේ

කොතැනක දීත් සපයා ගත හැකි අගනා අව්සදයන්ගෙන් කිහිපයක් පහත සඳහන් කරමු.

1. මුත්‍රා

2. අමුකහ සහ ලුණු

3. දෙහිදලු

4. තෙල් එඬරු

5. ගිතෙල්

6. දිවි කඳුරු

7. වහතැල්ලා

8. දෙහි

9. රුක් අත්තන

10. රෑන පැපොල්

11. බුලත්

12. කුප්පමේනිය

13. මඳුරු දලු

14. සස්සඳ

15. අලු කෙසෙල්

16. කරපිංචා

17. ඇද්දෙමට

18. මුගුනුවැන්න

19. දෙලුම්

20. වියන් දුඹුලු ආදියයි.

පුරාතනයේ සිට ප්‍රසිද්ධ ව එන විෂ කුම්බ නම් ගසෙක් වෙයි. එය ද අපට ඉතා ම පහසුවෙන් සොයා ගත හැක. එහි ලක්ෂණ පහත දක්වමි.

1. මුල් - පොලඟා මෙනි - පොලොං විෂ බසී.

2. කඳ - නාගයා මෙනි - නාග විෂ බසී.

3. පොතු - සැපින්න මෙනි - සැපිනි විෂ බසී.

4. අතු - මාපිලා මෙනි - මාපිල් විෂ බසී.

5. පතු - පලා බරියා මෙනි - පලා බරි විෂ බසී

6. ගොබ - ගරුඬා මෙනි - ගරුඬ විෂ බසී

7. රේනු - රත්වෑයාමේ - රත් වෑ විෂ බසී

8. මල් - දිවි මකුලුවා මෙනි - දිවි මකුලු විෂ බසී

9. නැටි - හබරා මෙනි - හබර විෂ බසී.

10. තුඩු - සිකනලා මෙනි - සිකනල් විෂ බසී.

11. කොළ - තෙලිස්සා මෙනි - තෙලිසක් විෂ බසී.

"එල ත්‍රී බීජං අති උෂ්ණ සම්පදං

පත්‍රං විෂං මූල විෂං වදන්තී

ෂර්පී විෂත්වං විෂමේව තේන

සර්වේ විෂං හරති මේ විෂ කුම්භරාජා"

තිලෝගුරුගස

"ත්‍රි බීජං වෘක්ෂ කං චෛව - පත්‍රාන්ගුලි විලිසිතඃ

රක්ත පුෂ්පී ඵලංකණ්ඨා - තිලෝක ගුරු නායකං"

මේ අවුසදය රටේ සෑම තැන ම වාගේ තිබේ. සර්ප විෂට ඉතාමත් ම ප්‍රත්‍යක්ෂ ය. හොඳ සිංහල ස්ත්‍රිහු තම ස්වාමි පුරුෂයාගේ නම කියන්නේ නැත. ඒ සඳහා ළමයින්ගේ තාත්තා ආදි වශයෙන් යමක් කියති. ඒ ගරු බුහුමන් දක්වන ක්‍රමයන්ගෙන් එකක් ය. සර්ප බේත් ද ගුරු බුහුමන් දැක්වීම නිසාත් වෙන අය දැන ගන්නා නිසාත් වෙනස් නාමයන්ගෙන් අඳුන්වා දී ගෙනවිත් තිබේ. ඉන් සමහරක් ද පහත දක්වනු ලැබේ.

කිරි ඇති ගස - රුක් අත්තන, දේවගුරු මුදියන්සේ - ගන්සූරියා

ගෙඩි ඇති ගස - හීන් එඬරු, කටු ඇති ගස - කටු අන්දර

මහ අදි කාරී - බුලු ගස, සලඹ කුමරා - යක්බේරිය

සූර්ය අවතාර - ඉඟුරු, වද අවතාර - හාල් බැඹිලා

බූම් අවතාර - එලබිම් තඹුරු, කණා මැඳිරියා - කී කිරිඳිය

පොලව කනා මැදිරියා - මැඬියා, මන්ද පනික්කල - සෙන්දිරික්කා

මෙරට ආවා - අමුකහ, එරට ආවා - සුදු ලූණූ

කලු පිනක්කල - පාවට්ටා එල මැණික් - පොල්පලා

තනිවැල්ලේ පෙරුමාල් - පෙනෙල, නවරත්න කුමාරයා - එඬරු

විජේකොන් ආරච්චිල - නෙල්ලි, සමරකෝන් ආරච්චි - අරලු

හේරත් අදිකාරි - ගුරල, පටබැඳි ආරච්චි - කුප්පමේනියා

දම්මං සරණ - සස්සඳ, සංගං සරණ - වෙල්මුඩ

විලිකුම්බලා - පොල්පලා, එරට මුදලියා - කටු එරබඳු

විජේනෝනො - වැල්රුක් අත්තන, ඉද්ද මුදියන්සේ - කේසර බැබිල

කුඩාරත්න මුදියන්සේ - ගම්මිරිස්, කඩුවේ කසප්පුව - වැටකොලු

රතන් කම්බිලියා - රත්මල්, පුෂ්පරාජ කුමාරයා - කොල්ලං

නුවර එලියා - කපු, වීදි උලත්තුවා - බුලත්

පනික්කි අදිකාරි - කුඩු මිරිස්, කුඩා අදිකාරි - ඉඟුරු

විෂ කුම්බ - ජයපාල , රස කුම්බ - කිතුල්

තිලෝගුරු - බෝගස, මුගටි පහර - පිල

දිලිඳු පත්‍ර - උඳුපියලි , කැලෙන් කපා ගත් පොතු - කැට කලා

කලු කුමාර මුදියන්සේ - කඳු හබර, කැලණිය - කිඩාරං

ගව පුසුල - ගොං කැකිරි, මිනි බැඳිවැල ගිනිතිල්ල

සෝකකොල - දුං කොල, විෂරාජ මුදියන්සේ - විෂාදුවිලිය

වෙලඳ කුමාරයා - කපු ගස, කුඹුරේ - කඹුරු

මඟුලේ යන්නන් - මඟුල් කරඳ ,ගජුන්ද ගන්නේ - හොඬ අල

කොකුන්ද ගන්නේ - පුස් ඇට, මහ පනික්කල - අමු කහ

කුඩා පනික්කල - හරංකහ, රජ කුල මුදියා - කැකුන

බුදු රැස් හාමි - මුඬමහනා, අන්බූතන් - අඹගහ

බොන් පුතන් - බෝගහ, පැලයට - වැහි මුත්‍රා

වංගි වලලු - පුස්වැල්, කෙසෙම්මලට කිනම - ඇවරිය

ගෙදර ගල පිට ලඳ - කහ, පුත්තලමින් ආ අය - ලුනු

දිනසුරු නිසසුරු නැති දවසට එන අවුසද - කලුහබර ආදී වශයෙනි.

විෂ පහකිරීම සඳහා පිළියෙල කොට තබා ගත හැකි දේ සමහරක්

1. ගරුඬරාජ තෛලය

2. අමෘත අන්ජනන් ගුලිය

3. විෂ කපාල ගුලිය

4. විෂ හරන තෛලය

5. පච්චමරින්ද්‍ර ගල

6. විෂ නීල තෛලය

7. එලවරා මුල ආදී නොයෙක් ආකාර තෙල් බෙහෙත් ගුලි ආදිය තිබේ. ඒ සමහරක ඇත ගුණයන් පහත දැක්වෙන ලෙස විස්තර කර තිබේ. මේ හැම දෙයක් ම මම අත්හදා බලා ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ගත්තෙමි.

1. “සියලු සර්ප විෂ නොතිබෙයි සත්තයි කිල්ලට අසු නොකරත් නොදැනා”

2. “සියලු සර්ප විෂ බිඳිනට යමයෙකි විෂ කපාල නම් ගුලිය දැනා”

3. “දම්රද මර සෙන් දුරු කල විගසට විෂ බැස යයි තුන් පැයකින් නේ”

4. “සියලු විෂය රිවි දුටු පිනිලෙස නොතිබී දුරුවන් නේ”

5. “විදුරඹ නස්නයෙන් මල කඳ උපද්දන”

6. “කලන්දුකැ පණ ඇත්නම් පොවතී”

  “තැලිවල ඇත්නම් නස්නය කරති”
  “විෂයෙන් පණ ගෙන්වා දෙවති” 

මේ ලියන මට ඕනෑ ම විෂක් එක ම බේතකින් සුවකර ලැබූ අත්දැකීම් රාශියක් ඇත. මෙපමණක් නොව සර්පයින්ගේ කෙල, මළ, මුත්‍රා හෝ කුණු වූ කොටස් ශරීරයේ තැවරීමෙන් ඇතිවන විෂ ගතිය ද එම බේතින් ම සුවකළ හැක. ගස්වල ඇති විෂ කටු ආහාර වර්‍ග විෂ වීම ආදියේ දී මේ ප්‍රතිකාර ම ප්‍රමාණවත් වේ. එක ම තත්වයට ගණන් ගෙන එක ම ප්‍රතිකාරයේ ඒ කොයිදෙයක් නමුත් සුව කළ හැක. මේ නිසා සර්ප විෂ සඳහා ඇති හොඳ අවුසදයක් ගමරාලගේ වන්ගෙඩිය වාගේ ඕනෑ ම දෙයකට යෙදිය හැක. ඒ පමණක් නොව එම බේත් ම සර්වාංග වෙදකමට, ඇස් වෙදකමට, හන්දි වෙදකමට, ආහාරයට ආදි වශයෙන් බෙහෝ ප්‍රායෝජනවත් වේ. දස අට, කදුරු, චනාවි, නියඟලා, මය්යොක්කා, මත් අමු, වරා, බදුලු, තිත්ත වැටකොළු, ත්‍රස්සවාලු ආදය විසට ද යෝග්‍යයි. ගින්නෙන් දෑවාට ද මෙම බේත්හුම සුදුසු ය.

14. මැතිරීම

සර්ප විෂට මැතිරීම ඉතා ප්‍රයෝජනවත් ය. විෂ බාන මන්ත්‍ර සමහරක්,

1. විෂකුම්බ ගහේ මන්ත්‍රය, දෙහි අත්තෙන් මතුරමින් ඉස සිට පතුල දක්වා පිසදා ගෙන එන විට ඒ ඒ ස්ථානයට විෂ පාත් වී ගෙන ඇවිත් විෂ බසී.

2. රත්කබලේ මන්ත්‍රය නම අසා කබලේ ලියා කබල ගිනිකර එකසිය අටවරක් මතුරමින් කෙල ගසා කබල නිවීමෙන්

3. ගිනිපෙනෙල්ලේ මන්ත්‍රය ගිනිපෙනෙල්ලට එකසිය අටවර මතුරමින් කෙලගසා නිවීම මේ සඳහා ගැරඬි දූල් වැලේ ලිය වඩා සුදුසුයි.

4. ටොක්කද දැහැනේ - කියන්නට ආ දූතයාට ටොකු ඇන හෝ අතුල් පහර දීමෙන් විෂ නැති කර දමන මන්ත්‍රය

5. සත්දින මන්ත්‍ර - අෂ්ට නාගයින්ගේ දේවතාවන්ට ආ දූතයාගේ තෙපුල් අසා මතුරා බෑම

මේ ඉහත දැක්වූ එක, හතර, පහ යන මන්ත්‍ර ආශ්චර්යමත් ලෙස සත්‍ය ඒවා ය. සත්දිනය මන්ත්‍ර පිළියෙල කර ගත යුත්තේ මේ අන්දමටයි.

ඉරිදා ශනි අන්තයේ 20 පැයයි ඉරිදා මුල 40 පැයයි 60 පැයයි අනන්තයා දකුණු විෂ

සඳු ඉරිදා සිටි 20 පැයයි සඳු 60 කුජ 10 90 පැයයි වාසුකියා වම විෂටයි

කුජ සිටි (50) පැය කර්කටයා දකුණ විෂ

බුද සිටි 60 පැය ගුරු 30 90 පැයයි සංඛපාල වම විෂ

ගුරු සිටි 30 පැය කිවි 30 60 පැයයි කුඩාපද්ම දකුණ විෂ

කිවි සිටි 30 පැය කිවි 30 60 පැයයි මහාපද්ම වම විෂයි

ශනි මැඳ සිටි 10 පැය 10 පැයයි ගුලිකයා වම විෂයි.

මෙසේ පැය බෙදා ගෙන ඒ ඒ නාග ගෝත්‍ර වළඳන ක්‍රමය දැනගෙන ඊට නියමිත මන්ත්‍රයෙන් මැතිරීම වේලාව සැක සහිත වුවහොත් ළඟ කිට්ටු දිනට අයිති මන්ත්‍රයෙන් මතුරනු ලැබේ. මේ ඉතා ප්‍රත්‍යක්ෂ මන්ත්‍රයකි. බොහෝ වෙද පොත්වල තිබෙන අප රටේ කවුරුත් වාගේ සර් වෙදුන්ට පාඩම් තිබෙන කවි අතරින් මේ ක්‍රමය පිළියෙල වේ. උදාහරණයක් වශයෙන් “ඉරිදා හිමි අනන්තයා දෙදළ සමාරකින්කයා ද කුනේකෑකල විෂයා, හැටපැයකට උපුලනයා”

සර්ප විෂ සම්බන්ධ මේ ක්‍රමය ගණන් ගැනීමේදී පැය 420 සතියේ හැම දිනට ම එකසේ යෙදී නැත. සමහර දිනකට ඇත්තේ පැය දසයයි. සමහර දිනකට ඇත්තේ පැය 90යි. මේ ආදී වශයෙනි.

විෂ නගන මන්ත්‍ර

1. රත්නිතුලේ මන්ත්‍රය

2. රත්කබලේ මන්ත්‍රය

3. ගිනිපෙනල්ලේ මන්ත්‍රය

4. හොඬල අලේ මන්ත්‍රය ආදියයි.

රත් නිතුලේ මන්ත්‍රය ආතුරයාගෙන් ම කියමින් රත්නිතුල් අගයක රූපය කපා කෑතැ - නටු ගසා 108 වර ජප කරමින් ගින්නෙන් දැවීමෙන් දැවීම ද මඩේ දැමීමෙන් කුනු වීම් ද වෙයි.

දෙක සහ තුන රත්කබලේ සහ ගිනි පෙනෙල්ලේ මන්ත්‍රය:- මෙයින් බෑවිෂ කබල හෝ ගිනිපෙනල්ල නැවත ලිපට දැමීමෙන්

4. හොඬල අලේ මන්ත්‍රය රත්නිතුලේ මන්ත්‍රය ක්‍රමයෙනි.

විෂ බඳින මන්ත්‍රය

1. රූප කපා කටුගසන මන්ත්‍ර

2. කුරුමිනියන් කෑපතක නම ලියා රූප ඇඳ වින කරන මන්ත්‍ර භය වීමෙන් ඇතිවන පීඩා නිසා මේවා සත්‍ය බවට පත්වේ. බේත් බඳිනවා යන්න පවා මේ වෙදකමේ නොයෙදෙයි. ඒ සඳහා බේත් ඔතනවා කියා යෙදෙයි. බඳිනවා කී තරමින් විෂ බැඳේ ය අදහසයි ඉන් ඇතිවන්නේ.

15. විෂ ඉරීම

විෂ අරන ක්‍රම කිහිපයක් ඇත.

1. බේත් ගලෙන්

2. බේත් අඟෙන්

3. බේත් දලුවෙන් හෝ මුලෙන්

4. බේත් රොටියෙන්

5. කටින්

1. බේත් ගලෙන්

බේත් ද්‍රව්‍ය යොදා එහි පැසවා පිළියෙල කරගත් මැනික් ගලකි. මේ සඳහා කහ තෝරමල්ලිය වඩා හොඳයි. තුවලයේ තබා විෂ ඉරුනාට පසු එය පොල් කිරේ දැමීමෙන් පොල්කිරි ලේ පාට වේ. ඒ විෂ උරාගෙන තිබුන නිසා ය.

2. බේත් අඟ

ගෝන අං කැබලි පුලුස්සා බේත් වතුරේ දමා වියලා තබා ගැනීමෙන් එය ද පෙර සේම

3. බේත්මුල් හෝ දලු

විෂ අනුභව කිරීමට, ඉතා ආශා පැලෑටි ලංකාවේ තිබේ. එක්තරා බේත් පැලෑටියක දලුවක් කඩාගෙන වැඩිවේලා ගතනොවී දෂ්ට කළ තුවාලයේ දලුවේ කැඩුණ තැන තබන්නට පුළුවන් වුණොත් දලුවේ කොටස් චලනය වෙමින් අත දරුවෙක් කිරි උරන්නා වගේ විෂ ඒ උරන අන්දමක් ඒ දලුව විෂ ඇතුළට ගැනීමේ දී අමුතු වර්‍ණයකට පත්වන බවත් දැක්ක හැක. ඒ වගේ ම ඒ දලුව විෂ උරවා ඉවර වුණ විට ඉබේ ම ගැලවී වැටෙයි. නැවතත් එම වර්‍ගයේ දලුවක් තුවාලයේ තිබුවොත් පෙරසේ නොවෙයි. ඒ විෂ නැති නිසා ය. නැත්නම් ස්වල්පයක් තිබූ බව ඒ ක්‍රියාවෙන් තේරුම්ගත හැක. එම වර්‍ගයේ හෝ වෙන වර්‍ගවල මුල් ද මේ සඳහා සුදුසු ය. එල වරාමුල මේ සඳහා ඉතාමත් හොඳ ය.

4. බේත් රොටිය

කොල වර්‍ග අඹරා රොටි තනා තුවාලයේ තැබීම.

5. කටින්

බුලත් කොලයේ මැඳ නාරටියට උඩින් දෙහි කටුවකින් මන්ත්‍රයක් ලියා කොලය නවා ආතුරයට කන්නට දී තුවාලය පාදා ඊට කට තබා හැකිතාක් හපා උරවා දැමීමයි. කටට බේතක් ගැනීම භය උදවියට මිස නැත්නම් උවමනා නොවේ. මක්නිසාද යත් ඒ විෂ ගිලුනත් කිසි ම පීඩාවක් නොවන හෙයිනි. එහෙත් දත් මුල්වල සුළු තුවාල ආදිය තිබේ නම් මේ නිසා පසුව දත් වැටෙන්නට පුළුවන. කවදා තිබුණත් වැටෙන නිසා මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීමට ඇස්, ඉස්, ලේ, මෙන් ද දත් ද පරිත්‍යාග කළ යුතු අවස්ථා ලැබේ. දැනට මේ ප්‍රතිකාරයෙන් මගේ දත් එකක්වත් නැත. බෝතලයක් වැනි දෙයකින් විෂ ඉරවීම කිසි වැදගම්මකට නැති දෙයක් ය. කටේ බේත් තබාගෙන විෂ ඉරවීම නිසා බේතට බයේ විෂ හොඳට ඇදෙන්නේ නැත. තුවාලයේ ගිතෙල්ගා බළලුන්ට ලෙවකන්ට දීමෙන් ද තරමක් විෂ බසී.

16. ටොකු ඇනීම

මේ සඳහා අතට මතුරා දූතයාට ටොක්කක් ඇනීමෙන් හෝ පිටට අතුල් පහරක් දීම කළ යුතු වේ. මෙය ඉතා සත්‍ය, ආඩම්බර විධියේ සිංහල වෙදකමක් ය. නොදැන මෙය කරන්නට යෑමෙන් නින්දාවට පත්වන්ට පුළුවන. ඒ සඳහා පහත දැක්වෙන කරුණු අනුගමනය කළ යුතු ය. විෂ වෙදකමේ දූත ලක්ෂණය අපට පහත දක්වන කරුණු උගන්වා දෙයි.

1. දෂ්ට කළේ ගෙදර දී මිදුලේ දී ද, ඉන් පිට දී ද

2. දකුණු පැත්තේ ද වම් පැත්තේ ද

3. විස සමේ ද මසේ ද ඇටගතව ද

4. දළ කීයක් වැදී තිබෙන්නේ ද

5. දෂ්ට කර තිබෙන්නේ ගෑනු සතෙකු ද පිරිමි සතෙකු ද

6. සුව කල හැකි ද නොහැකි ද

7. ඒ සඳහා මන්ත්‍රය පමණක් ද මන්ත්‍රය සහ බේත් ද යන්නත් තේරුම් ගන්නට පුළුවන් වීම.

මෙසේ දූතයාගේ බස් අසන ගමන් ම විෂ සම්ගත ව තිබෙන බවත් ඒ මන්ත්‍රයෙන් සුවකළ හැකි බවත් හරියට තේරුම් ගත්තාට පසු දූතයාට ටොක්කක් ඇන හෝ අතුල් පහර දී පිටත් කරනු. ඔහු යන විට විෂ නැති වී තිබෙයි. දැන කළ යුතු වෙයි. විෂ නැති දූතයාගේ අධික විෂ සහිත දූතයා ඉතා පහසුවෙන් දැනගත හැකි ය.

17. දූත ලක්ෂණය

විෂ පහ කිරීමේ ක්‍රම පිළියෙල කරගත් ඉර්සීහු මේ ලක්ෂණ ක්‍රම කොයි ආකාර සොයා ගත්ත ද කියා සිතාගන්නට අපහසු ය. මින් ප්‍රධාන දූත ක්‍රම කීපයක් සඳහන් කරමි.

1. සබ්ද දූතය

දූතයා පැවසූ තෙපුලේ අකුරු නියමිත ක්‍රමයෙන් ගණන් කර තේරුම් ගන්නා ක්‍රම වර්‍ග පහක් ද සුවකළ නොහැකි වග ද තවත් බොහෝ දේ ද දැනගත හැක.

2. තිරි දූතය

අවුසද වර්‍ග කීපයක් එක්කොට පැන් වැටිය තනා රෝගියාට පෙන්නා දැන ගැනීම. එම පාන්වැටිය නිවා දුම් පෑමෙන් ද විෂ පහකිරීම වේ.

3. දිශා දූතය

දූතයා විත් සිටින දිසාව බලා සර්ප වර්‍ගය තේරුම් ගන්නා ක්‍රමය

4. මරුවට දූතය

දූතයා තම ශරීරයේ අල්ලාගෙන කථාකරන ස්ථානය පරීක්ෂා කිරීමෙන් සතා දැන ගැනීම.

6. තෙල් දූතය

සතා දැන ගැනීම සහ විෂ නැතිකිරීමට නෂ්න අන්ජනන් හා බීමට දීම මේ බේත ඉතා ආශ්චර්යයමත් ය. අද්භුත ය.

"තෙල් තෙමමින් පාන්වැටිය අවුලාගෙන පෙන්වන් නේ

නයාට ගිනිවලුපාටයි පොලඟට දුමටයි යන් නේ

මාවිල් හට ගිනිදලුදෙක කරවලාට නිල්වන් නේ

කටකුලවට තුනක් පෙනෙයි පලාබරිට එක වන් නේ


එකහමාර විෂ නැති සුර මර නෙට හත දැනගන් නේ

මේ ලෙස බලා නොදැන කාපු දූතල කුනු දැනගන් නේ

සියලු වෂට නස්නය කර කනුවල තෙල් හෙල මින් නේ

සතට පෙමින ඉසි පැවසූ සිත් දිරාජ තෙල වන් නේ"

අසාධ්‍ය දූත ලක්ෂණ

1. පයින් තණ උදුරමින් කීම.

2. පයේ ඇඟිල්ලේවල සාරමින් කීම.

3. ඉස අත බදාගෙන කීම.

4. කෙස් විහිදා ගෙන රත් ඇසින් යුතුව කීම.

අතර මඟ අසුභ දූත

සොහොන් පෙනෙල, දරමිටි, හිස් කළ, රතු, කළු වස්ත්‍ර ඇඳි අය, උල් ආවුද, මැඳින් සිදුරු ඇති දඬු වැල්බාන්, නඟුලේ වියගස් යන මේවා වෙදදුරු මඟට මුන ගැසුනොත් රෝග සාද්‍ය නොවේ. සර්ප දෂ්ටයා ඉන්නා තැන සිට පැගමන් හතකට පෙර ගඳක් වැදින නම් ඒත් ආතුරයා ජීවත් නොවේ. ගෙදරින් පිටවන විට ම, යන්නේ කොහේද කියා කෙනෙකු ඇසුයේ වී නම් ද ලෙඩා නොරැකේ. අතර මඟ සුබ ලකුණු සුභ ඇති කොයිවාත් හොඳ ය.

18. මුර්ජා වීම

සියලු ම විෂ වේගයෙන් ශරීරය තුළ ක්‍රියාකරන්නත් පටන් ගත් පසු විෂ මූර්ජා වේ. මළාක් මෙනි. තැලිවල පමණක් අතට තේරුම් ගන්නට බැරි තරම් උෂ්ණ ගුණයක් පවතී. විශේෂයෙන් නාග ගෝත්‍රයට පමණක් මේ සීමාවනවා වාගේ පෙනේ. අනිත් සර්පයින්ගේ විෂට මූර්ජා උනත් පණ තිබෙන බව දැනගන්නට අපහසු වේ. බේත් ඔරුවේ දැමීම, නිල පිළිස්සීම, අංජනන් දැමීම, නෂ්න කිරීම, සල්‍යකර්‍ම කිරීම යන මේ ප්‍රතිකාර කළ යුතු වේ. බෙහෙත් ලියේ ගැසූ කල වෛර නොනැඟේ නම් හිස කේ ගැලවේ නම් පපුවේ තැබූ බේත් ක්‍රියා නොකෙරේ නම් නිල ලකුනු අවිද්‍යමාන වේ නම් මළ බව තේරුම් ගත යුතුයි. සමහර විට වැඩි විෂක් ශරිරයට ඇතුල් වූ විට පළමුව සිහි නැති වී මළාක් මෙන් ඉදී. කිසි ප්‍රතිකාරයක් නොකළ ද, සුළු වේලාවකින් ඒ ගතිය මඟහැරේ. එය සාමාන්‍ය මුර්ජා වීමක් ය.

19. සර්පයා ගෙන්වා විෂ ඉරවීම

සර්පයා නම් කවදාවත් එන්නේ නැත. ප්‍රතිකාර කරන විට සමහර විට සර්පයා මැරිලා ය. සමහර විට ඌ සිහි නැතිව ගොස් ය. සර්පයෙක් දෂ්ට කිරීමෙන් පසු, ටික දිනක් යන තුරු ඒ සර්පයාට සිහිසුන් ව නිශ්චල ව සිටින බව මා පළමුවෙන් කියා ඇත. මෙය තන්ත්‍ර ක්‍රමයකි. පිදේනි තනා පුද පිදවිලි දී මන්ත්‍ර කියවීමෙන් කටයුත්ත ආරම්භ කරයි. රාත්‍රී කාලය මෙයට යොදා ගනිත්. මිදුලෙන් පිට සිට කෙසෙල් පතුරු එලා රෝගියා ඉන්න තැන දක්වා සර්පයා ඊම නොපෙනෙන්ට වග බලා ගනී. ශාන්ති කර්‍මයේ දී තුවාලය උරනවා වාගේ ආතුරයාට දැනේ. මේරු තන්ත්‍රයේ මේ ආකාර වෙනත් ක්‍රම තිබේ.

20 විෂ කැපීම

බේත් ගැන හෝ ප්‍රතිකාර විධි ගැන තද විශ්වාසයක් ඇත්තන්ටත් නිල පොලවල සැඟවුන විෂ ඇත්තන්ටත් විෂ වේගයෙන් බොහෝ බියපත් නැත්තන්ටත් මේ ප්‍රතිකර්‍ම ක්‍රමය ඉතා අවශ්‍ය ය. ප්‍රසිද්ධ යක් මඩුවකට උවමනා සියලු දේ ම වාගේ මීට අවශ්‍යයි. ඇඳුම්, බෙර, පුද පිදවිලි, බුලත්, කදුරු, දෙහි, පස්පැඟිරි, පස්තෙල්, රුක් අත්තන, කපුරු, කහ, එකසිය වරක් වැල් ජාති, නව කොල අත්ත, දෙහි අත්ත, මඳුරු තලා ආදිය විශේෂයෙන් උවමනා කරන ද්‍රව්‍යයි. මන්ත්‍ර හා කවි කිය කියා පස් පැඟිරෙන් කළ ගින්නට වින කප-කපා දමනු ලැබේ. මෙහි දී කියවෙන කවි සහ මන්ත්‍ර සාමාන්‍ය නූගත් ජනයාට පවා තේරුම් ගන්නට පුළුවන් භාෂාවෙන් තිබේ. උදාහරණයක් වසයෙන්:-

"දෙකෙන්ඩ දසැඟලි පතුලෙන් - පොකුනු හතේ දිය කැපුවෙන්

බැඳි දළ සර්පයො විෂයෙන් - මුඛතුල උගුලා කැපුයෙන්

ඉස්මුදුනේ සිට බඩ ටා - පොකුනට බැසි ලෙස එවිට

කඳ ලේ විෂ බඩ නොසිටා - කැපූ විෂ පහවෙයි මෙවිටා

දස ගිල්ලෙන් විෂ බැස පී - බැඳි විෂ උගුලා බැස පි

පස් පැඟරිට විෂ බැස පී - එ ගිනි දියෙන් විෂ දාපි" ආදිය මෙනි.

21. විෂයෙන් හට ගන්නා උපද්‍රව

1. අනු පූට්ටුව

2. සෙම තදවීම

3. කෙන්ඩා පෙරලීම

4. මුර්ජා වීම

5. අඟ ගැටගැසීම

6. ඉදිමිම

7. දැවීම

8. වේදනාව

9. වෙව්ලීම

10. තුවාල වී කුනු වීම

11. කොරවීම

12. සුව වීමට අසීරු තුවාල ඇති වීම

13. කබර සෑදීම

14. ලාදුරු වැනි උපද්‍රව උති වීම.

15. ඇස් අන්ධ වීම

16. සිහිය දුර්වල වීම.

17. මරණය

22. ශරීරයේ විෂ හිඳිනා ස්ථාන

1. හිස් මුදුන - මිය යාම නිල හතරයි - සල්‍යකර්‍ම හා අග්නිකර්‍ම

2. තනකිහයට - නිල පොලවල් දෙකයි - තැවීම වල් ඌරු දතින්

3. හඳුන් පොතේ - ” ” ” - ” අරත්ත අලෙන්

4. පෙකනිය වටේ - නිල වැලයි - ” රන් මුදුවෙන්

5. උරපතු දෙකයට - නිල පොල දෙකයි - තැවීම දෙහි ඌරු දත්

6. ඇඟිලි අග්ගිස්ස - නිල විස්සයි - සල්‍යකර්‍ම

7. ඇඟිලි ” - නිය බඩු පිට - අග්නි කර්‍ම

8. දෑස - නිල ලකුණු දෙකයි - අන්ජනම්

9. දෙකණ - නිල ” ” - දිය බේත්

10. දෙනාසාපුට - නිල ලකුණු එකයි - දුම් පෑම

මේ හැර සත් දිනයේ ඒ ඒ වේලාවල දී විෂ ගමන් කරන විධි බලා විෂ සිටිනා ස්ථානය පිරිමැඳ ඒ තිබෙන අන්දම දැනගත යුතු වෙයි. එතැනට පළමුවෙන් සුදුසු පිළියම් කර පසුව ඉහත කී දෙයක් හෝ කිහිපයක් යෙදීමෙන් සුවකර ගැනීම. උදාහරණයක් වශයෙන් සාධකයක් දක්වමි. බදාදා උදේ දකුණු උරේ නිලපලේ විෂ සිටින්නේ ය. එය පරීක්ෂාවෙන් සොයා ගත හැක. ඉර මුදුන් වන විට ඒ විෂ වමේ වැලමිටි සන්දියට එන්නේ ය. ඉර මුදුනේ දී පරීක්ෂාවෙන් එය දැන ගත හැක. උදේ සිට ඉර මුදුන දක්වා ගත වූ වේලාවට අනුව දකුණු උරේ සිට වමේ වැලමිටි සන්ධිය දක්වා මාර්‍ගයේ විෂ සිටිනා ස්ථානය බලා ගත හැක. බදාදා ඉර මුදුනේ සිට සවස මැනික් කටුවේ මැද නහරය දක්වා ද මුළු රාත්‍රිය දකුණු දණහිස දක්වා ද ගමන් කරන්නේ ය. ඒ නිසා සල්‍ය කර්‍මයේ දී මේ කාරණා දක්ෂ ලෙස ම සොයා දැන ගත යුතු වේ. ඉතිරි දිනවලට ද ඒ ඒ අන්දමටයි. විෂ කලාව තිබෙන තැන පිරිමැදීමෙන් වේදනාව ද අමෘත කලාව තිබෙන තැන පිරිමැදීමෙන් පහසුව ද දැනේ. බොහෝ කලක් ගුරු ආශ්‍රයෙන් පුහුණු කොට දැන ගත යුතු ක්‍රමයෙකි.

23. පහසුවෙන් සුවකළ නොහැකි ස්ථාන

මේ ස්ථානයන්හි සර්පයෙක් දෂ්ට කලේ නම්, දුස්සාධ්‍ය වේ. නැතහොත් අසාධ්‍ය වේ. දුස්සාධ්‍ය වන්නේ ස්ථානයේ අඟල් දසමයක් හෝ වෙනස් වීමෙනි. නැත්නම් මරණය ඒකාන්තයි.

1. ඉස්මුදුන

2. දෙබැම සාවුන තැන

3. ඉංගර වස්තුව

4. නාභියේ සිට ලිංගය දක්වා

5. ලිංගය අධෝ මාර්‍ගය අතර

6. උඩු තල්ලේ මුදුන

7. දිවේ

8. විෂකලාව ඇති තැන ඇති රේකාවේ මැද

24. පහසුවෙන් සුවකල නොහැකි දින සහ වේලාවල්

රවි, කුජ, ශනි, මේ දින වශයෙන් නරකයි. වේදනාව වැඩියි. සුව වීමට මඳක් ප්‍රමාදයි.

"බෙරන සුවන සිත දෙක දසය අට වනු

සාපුටු පෙත යත එකොලොස් දෙලොස්වක් දනු

අස්විදයද ගත අමාවක අර ගනු

සැනෙන් එලෝ යත සපුන් කෑවිට බේත් නොකරනු


මාවිසා අද මුලුය රෙහෙනද අස්ලිසද කැති නැකත ගන් නේ

පාප ග්‍රහයින් යෙදුන දිනයන් විස්ටි රිට්ටා ගුලිකයින් නේ

සපුන් දළ ගැන කියනු කවරද ඇනනු කටුවක් විසම වන් නේ

යම රජුන්විත් රැක්ම සිතුවත් ගතා යුෂවෙයි ඔහුගේ දන් නේ


තුන් සැන්දෑ දෙවොල සිවුමන් සුන්ගෙයි දී

කොත් මුදුන තුඹස උයනද කොටුගෙයි දී

සොහොන ගම පුදන තැන සංවස තැන දී

සපු කෑවත් කටු ඇනුනත් වැඩ වර දී


තුන්පුයනු කැති රෙහෙන අත්ලිස මා නැකත් ලත් අදයෙ නා

ඉන් විසේනිය සැටවකත් සහ අටවකත් සැන හරිමි නා

මින් අවට අටවක් දොලොස්වක් සොහෙන් දවනය ඉන් දැ නා

මින් එකක්වත් නැකත් අසුවුන බේත් මන්ත්‍රා නා ස නා"


කුජ ශනි බුද දිනවල බෙරන, හත, මුල, නැකත් යෙදී ජලවක, සැටවක, අටවක, දොළොස්වක්, තුදුස්වක, තිති එකක් යෙදී තුන්මංසල, කමත, සොහොන්වල, ඉර බසිනිවිට කෑව ජීවත් නොවේ. නපුරු වේලාවක නිඳි කටුවක් වුවත්, විෂ සහිත වේ. ඒ සඳහා සර්ප විෂට කළ යුතු පිළියම් කළ යුතු වේ. පාත හේවාහැටේ ස්ත්‍රියක්, ළමයෙකුනු බේත් පොවන විය දබරඟිල්ල ලමයාගේ දතකින් තුවාල විය. වේදනාව හා ඉදිමී අධික වූයෙන් මහනුවර ආරෝග්‍යශාලාවට ගෙන යනු ලැබී ය. දින පහක් පමණ ප්‍රතිකාර ගත් නමුත්, මඳක් වත් වැඩි උනා මිස සුවයක් වූයේ නැත. නින්ද ගියේ නැත. හය වැනි දිනයේ මාවෙත ගෙනා ඈට ගෙදර දී ම විෂ සඳහා කරන ප්‍රතිකාරයකින් පෑ බාගයකින් පමණ සුවපත් කළෙමි. අපරදිග වෛද්‍යවරු විෂබීජ නැති කරන්ට පුළුවන. කොළ ටිකක් කටින් පසා කිලිටි රෙදි කැබෙල්ලක් ගෙන බේත තුවාලයට තබා බැඳීමෙන් විෂබීජ උපද්‍රවයක් නොවේ. එම බෙහෙත තුළ විෂ බීජ මරණතියක් ඇති නිසයි. කටේ හෝ රෙදි කැබෙල්ලේ රැඳී ඇති විෂබීජත් සමඟ ම සර්පයාගේ විෂත්, එයින් නැති වී යයි.

25. සර්පයෝ නොකන්ට මැතිරීම හා වෙනත් ක්‍රම

1. ඇසුවෝ පහළොස් අවුරුද්දකට ද කිව්වෝ තිස් අවුරුද්දකට ද පාඩම් හිමියෝ දිවි ඇති තෙක් ද සර්පයෝ දෂ්ට නොකරන බැව් කියා ඇත.

2. ගමනක් යනකට කකුලට කෙල ගසා මතුරා ගෙන යෑම

3. ගමනක් යන විට කකුලට මුත්‍රකර මතුරා ගෙන යෑම

4. බේත් අඹරා හෝ පොඩි කොට හෝ වැල්වලලු සදා හෝ පාදයේ දමා ගෙන යෑම ආදි ක්‍රමයෝ ය.

සර්පයෝ විෂ මනුෂ්‍යයාට පීඩාවක් සේ ම මනුෂ්‍යයාගේ මුත්‍රා සර්පයාට තද පීඩාවකි. බින්දු කිහිපයක් ලොකු සර්පයෙකුට නම් තේ හැන්දක් පමණ පෙව්වොත් ඌ පැය කාලකින් පමණ මැරීයයි. තණ කිරි ද සර්පයින්ට ඉතා විෂයි. නයෙකුගේ පෙනය මත තණ කිරි ස්වල්පයක් දැමීම පමණක් උගේ මරණයට හේතුවන තරම් ය.


26. බේත් ගැනීමට නරක ස්ථාන සහ නරක අන්දම් සාමාන්‍ය සර්වාංග වෙදකමේ මෙනි

27. සර්ප විෂ පිළිබඳ මගේ අත්හදා බැලීමෙන් ලබාගත් දැනීම්

1. නයා හා මුගටියා දෙදෙනා සටනක යොදවා මුගටියා දන්නා ප්‍රමාණය පරීක්ෂා කර බලා ඇත. ඌ අමුතුවෙන් විශේෂ බේතක් නොදනී. මගේ ප්‍රතිකාර නොකරන්නට ඌ මිය යන්නට තිබුණි. මුගටියා ලණුවකින් බැඳ සිටි නිසා නයාගෙන් දැඩි ලෙස පහර කන්නට සිදුවිය. ඒ නිසා ඌ අධික වේදනාවෙන් පෙලුණි.

2. මේ ලිපියෙහි සඳහන් කර ඇති දූත ලක්ෂණය පිළිබඳ බොහෝ දේ ඉතාමත් සත්‍යය.

3. වෙද මහත්මයා කෙරෙහි විශ්වාසයේ තරමට ඉක්මනින් විෂ බසී.

4. භය වීම සහ භය ගැන්වීම ඉතාමත් නරක ය.

5. විෂ බෑම සඳහා මැතිරීමට කුමන මන්ත්‍රයක් වුවත් කමක් නැත.

6. අවුරුදු 40ක් තුල දී, ලංකාවේ නානා පළාත්වල සිටීමට සුවකළ නොහැකි තැන දෂ්ට කළ එක ම ලමයෙකු පමණ ය හමුවූයේ. ඒ ළමයා හැර පණ ඇති ව මා වෙත ආ එක ලෙඩෙක්වත් විෂයෙන් අන්තරාවට පත්ව නැත.

7. සර්ප විෂෙන් මළ කුකුලු සා ආදී සතෙකුගේ මස්තම්බා කෑමෙන් කිසි ම පීඩාවක් නැත.

8. ගොදුරට කිහිපවරක් පැන ඒ අල්වා ගත නොහැකි වූ සර්පයා ද සන්වාසය සඳහා වීරිය කොට ඊට බාධා පැමුනුණ සර්පයා ද බොහෝ කෙට්ටු වී උන් සර්පයා ද යන මෙතෙක් දෙනා වේගවත් ලෙස පහර දෙන බව දැන ගතිමි.

9. රාත්‍රී දහයෙන් පසු නයින්ගෙන් පීඩා වෙතොත් ඒ ඉතාමත් කලාතුරකිනි.

10. විෂ අඩු ඇති වේලාවක දෂ්ට කළ සර්පයා සඳහා කිසි බේතක් නොගැනීමෙන් පීඩාවක් නොවේ.

11. මිහිරි නාදයක් කිරීමෙන් (වීනාවක් නලාවක් වැනි) ඕනෑ ම සර්පයෙකුගේ කෝපය අඩු කළ හැක.

12. හමුවන කුමක් වුවත්, පැළෑටියකින් විෂ පහකර ගත හැක.

13. විෂ අඩු සුළු සතුන් පවා නරක ස්ථානයක හෝ නරක වේලාවක දෂ්ට කළේ නම් බොහෝ අමාරුවෙන් සුවකර ගත යුතු වේ.

14. කැකුන මල ආදි දේ දුන් ගැස්වීමෙන් ගෙරදවලින් සර්පයින් එලවිය හැක.

15. වැඩි වශයෙන් සර්පයින් දෂ්ට කරන්නේ දුප්පත් අයට ය. මේ අවුරුදු 40 තුළ පොහොසත් උදවිය එක් අයෙකු පමණකි සර්ප විෂෙන් පීඩාවට පත්ව මට හමුවූයේ.

16. නයි දෂ්ට කිරීමෙන් සුවපත් වූ පසු ඇදුම රෝගය සම්පූර්ණයෙන් සුව වේ.

17. බළලා කුප්පමේනිය මුලට ඉතා ප්‍රිය කරන්නේ එය වැදගත් සර්ප බේතක් නිසා ය.

18. සතුන්ගේ දෂ්ට කිරීමෙන් ඇති වූ කබර, ලාදුරු, වන, පිලියල්, කොරවීම්, ගැට ගැසීම් ආදී රෝග කොපමණ කල් ගත වී තිබුණත් නිලවලට සුළු ප්‍රතිකාර කිරීමෙන් බොහෝ ඉක්මනින් සුව වේ.

19. විෂකින් ආතුරව ඉන්නා ඕනෑ ම කෙනෙකු කොපමණ කල්ගත වී තිබුණත්, ඉතා පහසුවෙන් ඒ විෂ පහකළ හැක.

20. බල්ලා විෂ පහකර ගන්නේ බිරීමෙන් දාඩිය පිටකර හැරීමෙනි.

සර්‍ප විෂෙන් පීඩා විඳින කෙනෙකුට ඉතා ඉක්මනින් නොමිලයේ ප්‍රතිකාර කර දෙන්නෙමි.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)